ලංකාවට එළව එළවා ගහන ඉන්දීය අම්පයර්ගේ තුට්ටු දෙකේ ක්‍රිකට් | Page 4 | සිළුමිණ

ලංකාවට එළව එළවා ගහන ඉන්දීය අම්පයර්ගේ තුට්ටු දෙකේ ක්‍රිකට්

200- දසුන් ශානක ඉන්දි­යා­වට එරෙහි පළමු විස්සයි20 තර­ගය අත­ර­තුර

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ඇතැම් වැරැදි තීන්දු තීරණවලින් තරගයක් උඩුයටිකුරු වීමට ඉඩ තිබෙන බව අප වරින් වර පෙන්වා දී ඇත. ක්‍රීඩකයන් තරමටම නොවූවත් ක්‍රිකට් විනිසුරුවරුන් ද ක්‍රීඩාලෝලීන් අතර යම් ප්‍රමාණයකට අවධානයට ලක් වන පිරිසක් වන අතර, ඔවුන්ගේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට හා දෝෂාරෝපණයට ලක්වූ අවස්ථා ඉතිහාසයේ එමටය. ඊයේ පෙරේදා ඉන්දියාවට එරෙහිව මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අත් වූ ඉරණම ඊට වඩාත්ම ආසන්න නිදසුනය. 

එම තරගයේදී ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටි නායක දසුන් ශානකගේ දැවී යෑමට තරගයේ රූපවාහිනි විනිසුරුගේ ක්‍රියා කලාපය දැඩි බලපෑමක් ඇති කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි කතාබහට ලක් විය. ඉන්දීය පිලේ වේගපන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් විසින් යවන ලද ඉනිමේ 17 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් ශානක දැවී ගිය අතර, ඊට පෙර යවන ලද පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයා උඩපන්දුවක් රැක ගත් බවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රූපවාහිනි විනිසුරු ලෙස කටයුතු කළ ජෙයරාමන් මදන්ගෝපාල් වැඩි කාලයක් ගැනීම ඊට දැඩිව බලපෑ බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහස විය.

උම්රාන් විසින් යවනු ලැබූ එම ඕවරය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 24කදී ලකුණු 40ක් අවශ්‍ය වී තිබූ අතර, එම ඕවරයේ දෙවැනි පන්දුවට ශානක එල්ල කළ හයේ පහරත් සමඟ අවශ්‍ය ලකුණු සංඛ්‍යාව පන්දු 22කදී 34ක් බවට පත් විය. තුන්වැනි පන්දුව ශානකගේ පිත්තේ අග වැදී පාද අතරින් රිංගා කඩුලු රකින්නා වෙත ඇදී ගිය අතර, කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂාන් පන්දුව රැක ගැනීමට පෙර එය බිම පතිත වූ බව පළමු රූපවාහිනී පුනරූපණයෙන්ම පැහැදිලි විය. එහෙත් අවස්ථා කිහිපයකදීම එය නැවත නැවත නැරඹූ තුන්වැනි විනිසුරු මදන්ගෝපාල් එය බිම වැදී ගිය පන්දුවක් බව ප්‍රකාශ කළ අතර, එසේ තිබියදීම පන්දුව පිත්තෙහි ගැටුණේ දැයි තහවුරු කර ගැනීමට අල්ට්‍රා ඒජ් ක්‍රමවේදය ඉල්ලා සිටීම විචාරකයන්ගේ විමතියට හේතු විය.

අනතුරුව ශානක නොදැවුණු පිතිකරුවකු ලෙස නම් කිරීමට තුන්වැනි විනිසුරුවරයා මිනිත්තු 5කට අධික කාලයක් ගත් අතර, එය ඒ මොහොතේ විචාරක කටයුතුවල නිරතව සිටි හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරග පවා එය හැඳින් වූයේ දීර්ඝතම නිරීක්ෂණයක් ලෙසටය. එමෙන්ම එය තරගය වෙනස් කිරීමට තුඩු දෙන සිදුවීමක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා තිබිණි. අවසානයේ එය තහවුරු විය. දසුන් ශානක ඊළඟ පන්දුවේදී දැවී ගියේය. එය අනවශ්‍ය ප්‍රමාද කිරීමක් බවත්, ඉන් පිතිකරුගේ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීමට හේතුවක් බවටත් තවත් මත ගණනාවක් පළ වන්නට වූයේ ඉන් අනතුරුවය.

මේ සිදුවීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට විනිසුරුවරුන්ට ඇති වගකීම පිළිබඳ කතාබහක් ද ඇති විය. සැබැවින්ම යම්කිසි ක්‍රීඩාවක ඇතිවීම හෝ නැතිවීම තීරණය වන්නේ ක්‍රීඩාවේ පරිපාලකයන් සහ ක්‍රීඩකයන් කටයුතු කරන ආකාරය හෝ ඔවුන්ගේ හැසිරීම අරභයා පමණක්ම නොවන බව විනිසුරුවරුන්ගේ මෙවැනි ක්‍රියාවලින් තහවුරු වෙයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර හෝ ජාතික හෝ වෙනත් ඕනෑම ආකරයක ක්‍රිකට් තරගයක උණුසුම් අවස්ථාවකදී නොඑසේ නම් තරගයක ජයග්‍රහණය උදෙසා යම්කිසි ක්‍රීඩකයකු දස්කම් දක්වමින් සිටියදී මෙවැනි සිදුවීම් බහුලව සිදුවන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතිනි. එය ඒ මොහොතේ දස්කම් දක්වමින් සිටින ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීමේ සහ momentum යනුවෙන් හඳුන්වනු ලබන අවස්ථානුකූල තත්ත්වය අඩපණ කිරීමේ උපාය මාර්ගයකි. මෙවැනි අවස්ථාවන්හී දී බහුලව සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ නොඑසේනම් පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයන් අනවශ්‍ය විවේකයක් ගැනීමය. එය හදිසි සිසිල්පැන් පානයක් හෝ යම්කිසි ක්‍රීඩකයකු ආබාධයකට ලක්වූ බවට ව්‍යාජ මවාපෑමක් හෝ විය හැකිය. එවැනි සිදුවීම්වලදී බොහෝ දුරට සිදුවන්නේ ජයග්‍රහණය හඹා යමින් සිටින පිතිකරුවන් ඒ පිළිබඳ විනිසුරුවරුන්ගේ අවධානයට යොමු කිරීමය. එවිට විනිසුරුවරුන් අදාළ ක්‍රීඩකයන්ට දැඩි ලෙස අවවාද කරන අතර, ඇතැම් අවස්ථාවන්හිදී එම සිදුවීම තරගයේ තීරකවරයාගේ දැඩි නිරීක්ෂණයට ද ලක් වෙයි.

එහෙත් දසුන් ශානකගේ සිදුවීමේදී එවැන්නක් සිදු වූයේ නැත. අනවශ්‍ය ආකාරයෙන් කාලය ගැනීම හේතුවෙන් දසුන් ශානකගේ මානසික ඒකාග්‍රතාව බිඳ යෑමත්, තරගයේ ඒ මොහොතේ momentum තත්ත්වය දුර්වල වීමත් තරග තීරකවරයාගේ අවධානයට ලක් වූ බවක් ද වාර්තා නොවේ.

මේ තරගයට සහ සමස්ත තරගාවලිය සඳහා විනිසුරුවරුන් ලැයිස්තුගත කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසිනි. එම ලැයිස්තුවේ සිටින සියලු විනිසුරුවරුන් ඉන්දීය ජාතිකයෝ වෙති. තරග තීරකවරයා ද ඉන්දීය ජාතික හිටපු ක්‍රීඩක ජවගල් ශ්‍රීනාත් ය. එබැවින් යම්කිසි ආකාරයෙන් ඉන්දීය පිලට පක්ෂග්‍රාහීව කටයුතු කළේද යන්න ගැටලුවකි. ඉන්දීය ජාතික අනිල් චවුද්රි සහ කේ.එන්. ආනන්ද පද්මනාභන් එම තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලැබූ අතර, රූපවාහිනී විනිසුරු ලෙස ජෙයරාමන් මදන්ගෝපල් කටයුතු කරද්දී, අතිරේක විනිසුරුවරයා වූයේ රොහාන් පාන්ඩිත්ය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගවලදී මධ්‍යස්ථ විනිසුරුවරුන් යෙදවීමක් සිදු වූවත්, විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී එවැන්නක් සිදු නොවීම මතවාදයට තුඩු දෙන්නේ මෙවැනි සිදුවීම්වලදීය.

දසුන්ගේ සිදුවීම පිළිබඳ එදිනම තුන්වැනි විනිසුරුගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මෙරට හිටපු ප්‍රවීණ ක්‍රීඩකයකු සහ කළමනාකරුවකු වන චරිත් සේනානායක ද මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේ ඉන්දියාව සිය භූමියේදී අපරාජිත වීමට මෙවැනි කරුණු ද හේතු වී ඇති බවය. ක්‍රීඩකයන්ට කළ නොහැකි දේවල් විනිසුරුවන් විසින් ඉටු කර දෙන බවට ද චරිත් සේනානායක එය සිදු වීම අරභයා සටහන් කර තිබිණි. මේ පිළිබඳ ‘සිළුමිණ‘ කළ විමසුමකදී ඔහු කියා සිටියේ දැවී යෑමක තීරණයක් දීමට විනිසුරුවරුන්ට කොපමණ වේලාවක් ගත හැකිද යන්න පිළිබඳ වර්තමානයේ කිසිදු නීතියක් නැති බවය. එහෙත් එම තරගයේදී තුන්වැනි විනිසුරුවරයා දසුන්ගේ දැවී යෑම සම්බන්ධව තීරණයක් ගැනීමට ගත් වේලාව වැඩි බව ඔහු සඳහන් කළේය. මෙවැනි අවස්ථාවන්හිදී තරග තීරකවරයාට පැමිණිලි කිරීමට සිදුවීමට මුහුණ පෑ පිතිකරුගේ කණ්ඩායමේ කළමනාකරුට සහ පුහුණුකරුට හැකියාව ඇතැයි ද චරිත් සේනානායක කීවේය. තමා කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටියේ නම් තරග තීරකවරයාගෙන් මේ පිළිබඳ විමසා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

උම්රාන් විසින් යවනු ලැබූ එම පන්දුව කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂාන් රැක ගැනීමට පෙර එය බිම පතිත වූ බව පළමු රූපවාහිනී පුනරූපණයෙන්ම පැහැදිලි වූ බවත්, ඒ මොහොතේ තුන්වැනි විනිසුරු එය තහවුරු කළ බවත් කියා සිටි චරිත් සේනානායක, එසේ තිබියදී අල්ට්‍රා ඒජ් තාක්ෂණය ඉල්ලා සිටියේ මන්දැයි ගැටලු සහගත බවත් එය අනවශ්‍ය දෙයක් බවත් කීවේය.

සාමාන්‍යයෙන් ඉන්දියානු විනිසුරුවරුන් පක්ෂාග්‍රාහීව කටයුතු කරන බව කී චරිත් සේනානායක විනිසුරු තීරණ යළි විමසීමේ DRS ක්‍රමවේදය ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගනු ලැබුවේ ද ඉන්දීය සහ පාකිස්තාන ක්‍රිකට් විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් බවත් සඳහන් කළේය. ඉන්දීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී තීරණවලට එවකට තමා ද ගොදුරු වූ බව ඔහු සිහිපත් කළේය. එසේ වුවත් අතීතයේ මෙන්ම වර්තමානයේදිත් ජාත්‍යන්තර කීර්තියට පත් විනිසුරුවරුන් ලොව පුරා සිටින බව ද චරිත් සේනනායක වැඩිදුරටත් කීවේය. 

එම තරගයේ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කළ මදන්ගෝපාල් මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම අරභයා මතභේදාත්මකව කටයුතු කළ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර පසුගිය ආසියා කුසලාන තරගාවලියේ පළමු තරගයේදීත් රූපවාහිනි විනිසුරුවා ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක දැවී ගිය පිතිකරුවකු බවට තනි තීරණයක් ගත් අතර, පසුව එය දැඩි විවේචනයට ලක් විය. ඔහු එවර වැඩ වරද්දා ගැනීමට ද බලපෑවේ අල්ට්‍රා ඒජ් තාක්ෂණය ය.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ නවීන් උල් හක් විසින් යවන ලද ඉනිමේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට කඩුලු රකින රහ්මනුල්ලා ගුර්බාස් උඩපන්දුවක් රැකගත් බවට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පිටියේ විනිසුරු පැතුම් නිශ්ශංක දැවී ගිය බවට තීන්දු කළ අතර, ඊට එරෙහිව පැතුම් ඩීආර්එස් ක්‍රමවේදය ඉල්ලා සිටියේය. ඒ මොහොතේ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කළ මදන්ගෝපාල් පන්දුව පිත්තෙහි නොගැටුණු බව අල්ට්‍රා ඒජ් තාක්ෂණයෙන් පැහැදිලි වූවත් ඔහුගේ දැවී යෑම තහවුරු කළේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පමණක් නොව විස්තර විචාරකයන් ද විමතියට පත් කරමිනි. පන්දුව පිත්තේ දැවටුණේදැයි නිශ්චිතවම තහවුරු කරගැනීමේ දර්ශන පථය (UltraEdge) සෙලවීමක් හෝ දර්ශනය නොවීම පිතිකරුට අන්තිම සාධාරණය ඉටු වීමේ මෙවලමකි. පැතුම්ගේ පිත්තේ ගැටුණු බවට අනුමාන කරමින් කඩුලු රකින්නා පන්දුව ඩැහැ ගනිද්දී එය එසේ වූවාදැයි යන්න හරියටම දැනගත හැකිවන්නේ මේ දර්ශන පථය තුළිනි. පැතුම්ගේ පිත්ත පරයා පන්දුව කඩුලු රකින්නා අතට යද්දී එම දර්ශන පථය තිබුණේ නිරුපද්‍රිතවය. එහි සාමාන්‍ය හරස් රේඛාව හැරුණු විට තිරස් අතට එකදු ඉරක් හෝ සෙලවීමක් හෝ සටහන් නොවීය.

මදන්ගෝපාල් දුන් වැරදි තීරණය නොවන්නට තරගයේ තීරණය වෙනස් වන්නට තිබූ ඉඩකඩ වැඩි බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අදහස වී තිබිණි. එහෙත් අවාසනාවට එය එසේ නොවීය.

රූපවාහිනී පුනරූපණ තිබියදීත් විනිසුරුවකු වැරදි තීරණයක් ගැනීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග විනිසුරුවන්ගේ සුදුසුකම් නැවත වතාවක් නිරීක්ෂණයට ලක් කිරීමට අයිසීසීයට කළ යෝජනාවක් බඳුය. මදන්ගෝපාල් මේ හිතුවක්කාර තීරණය ගනු ලැබුවේ නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් ක්‍රීඩාවේ උන්නතියට අයිසීසීය තව තවත් නව මානයන් සොයමින් සිටින අතරතුරදීය.

කනගාටුවට කරුණ වන්නේ මේ සිදුවීම් දෙකටම මුල් වූ මදන්ගෝපාල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විනිසුරු මඬුල්ලේ (ICC International Panel of Umpires) සාමාජිකයකු වීමය. ශ්‍රී ලංකා - ඉන්දීය විස්සයි20 තරගාවලියේ විනිසුරු කටයුතුවල නිරතව සිටින ඔහු ඇතුළු තිදෙනකුම එම විනිසුරු මඬුල්ලේ සිටිති. එහෙත් ඊට ඉහළ මට්ටමේ විනිසුරු මඬුල්ලේ (ICC Elite Panel of Umpires) සිටින්නේ නිතින් මෙනන් පමණි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු සහ කීර්තිමත් විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන සිටින්නේ ද එම ඉහළ මට්ටමේ විනිසුරු ලැයිස්තුවේය.

මදන්ගෝපාල් වහා කලබලයට පත්වන ආකාරයේ විනිසුරුවකු බව ඔහුගේ විනිසුරු ජීවිතයේ ඉතිහාස සිදුවීම්වලින් පැහැදිලි වේ. එසේ කලබලයට පත්වීමෙන් පසු ඇතිවන ව්‍යාකූල තත්ත්වය මත එවැනි තීරණ ගන්නේ නම් ඔහුගේ කාර්යභාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමත්, ඊට මැදිහත් වී කටයුතු කිරීමත් තරගාවලියට ඔහු පත් කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමකි. පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේ පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ මදන්ගෝපාල් කල්කටා ඉනිමේ පළමු පන්දු 2දීම ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහානේ දැවී ගිය බවට තීන්දු කළ අතර, රහානේ සිය කඩුල්ල බේරා ගත්තේ ඩීආර්එස් ක්‍රමවේදයට පින්සිදුවන්නටය. එහෙත් තුන්වැනි පන්දුව සැබැවින්ම දැවී යෑමක් විය. පන්දුව කඩුලු රකින්නා අතට ගියේ රහානේගේ පිත්තේ යාන්තමට ගැටීමෙන් පසුවය. අවාසනාවට කඩුලු රකින ක්‍රීඩක රිෂ්බා පාන්ට් ඉල්ලීමක් කළේ නැත. මේ සිදුවීම අරභයා මදන්ගෝපාල්ගේ දුර්වල විනිශ්චයන් ගැන සමාජ මාධ්‍ය ජාලා අතර ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ හාස්‍යයට සහ විවේචනයට ලක් වී තිබිණි.

48 හැවිරිදි මේ විනිසුරුවරයා ගැන මෙරට ක්‍රීඩාලෝලීන් දන්නේ අල්ප වශයෙනි. පළමුපෙළ තරග 33කට සහ ‘ඒ‘ කාණ්ඩයේ තරග 37කට ක්‍රීඩා කර ඇති මදන්ගෝපාල් අවසන් වරට පළමුපෙළ තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2007දීය. කැපී පෙනෙන කාරණාව වන්නේ පැතුම් නිශ්ශංකට වැරදි තීන්දුවක් දුන්, දසුන් ශානකගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීමට කටයුතු කළ මේ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර තිබීමය.

වසර 2004-2005 මෙරට අන්තර් සමාජ ක්‍රිකට් තරගවාරයේදිත්, 2006-2007 තරගවාරයේදිත් ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ඔහු ශ්‍රී ලංකාවේ තරග බිමට එක් වූ අතර, ඔහු අවසන් වරට පළමුපෙළ තරගයකට ක්‍රීඩා කිරීමත්, අවසන් වරට ‘ඒ‘ කාණ්ඩයේ තරගයකට ක්‍රීඩා කිරීමත් දෙකම සිදු වූයේ ශ්‍රී ලංකා භූමියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරමිනි. මෙරට ක්‍රීඩා සමාජ තරග බිමේ සිය පළමු තරග වාරයේදී තරමක් දස්කම් අතර සිටි ජෙයරාමන් 2004 අගෝස්තුවේ එස්එස්සී පිලට එරෙහිව පැවැති එක්දින තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිලට අර්ධ ශතකයකින් දායකත්වය ලබාදීම කැපී පෙනේ. ද්‍රවිඩ සංගම් පිල එවර රංග ඩයස්ගේ නායකත්වයෙන් තරග වැදුණු අතර, පරාජිත එස්එස්සී පිලේ නායකයා වූ හේමන්ත වික්‍රමරත්න එම තරගයේදී නොදැවී ලකුණු 74ක් රැස් කළේය. ආසියානු කුසලාන තරගාවලියේදී මදන්ගෝපාල්ගේ වැරදි තීන්දුවෙන් පැතුම් නිශ්ශංක දැවී යද්දී හේමන්ත වික්‍රමරත්න ද ක්‍රීඩාගාරයේ සිටීම කැපී පෙනේ. ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජිකයකු වන හේමන්ත වික්‍රමරත්න එවර ශ්‍රී ලංකා පිලේ තරග සංචාර තේරීම් කමිටු සාමාජිකයකු ලෙස තරගාවලියට එක් වී සිටියේය. 2007 තරග වාරයේදී ජෙයරාම්ගේ අවසන් පළමුපෙළ තරගය වන්නේ සීසීසී පිලට එරෙහිව සරා ඕවල් පිටියේ පැවැති තුන්දින තරගයයි. සීසීසී පිල කඩුලු 5ක ජය ලැබූ එම තරගයේ පළමු ඉනිමේදී ජෙයරාමන් මදන්ගෝපාල් රැස් කළේ එක් ලකුණක් පමණි. දෙවැනි ඉනිමේ ඔහු දැවී ගියේ ලකුණක්වත් ගන්නට පෙරය.

 

Comments