මඟ නැගු මේ කෝටි 200 වංචාවේ සුලමුල එළියට | Page 2 | සිළුමිණ

මඟ නැගු මේ කෝටි 200 වංචාවේ සුලමුල එළියට

ලුත් අවුරුද්දේ රාජකාරි කටයුතු අරඹන රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන පවා කිරිබත් කැවිලි මේසයක් විවෘත කර සංග්‍රහ පැවැත්වීම පිළිගත් සම්ප්‍රදාය වේ. අලුත් අවුරුද්දේ ආයතනයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑමටත් පෙර තිබුණු අඩුපාඩු නිවැරැදි කර ගැනීමත් සේව්‍ය සේවක සුහදතාව තහවුරු කර ගැනීමත් මේ හමුවේ ප්‍රධාන අරමුණු අතර වේ.

ආයතන ප්‍රධානීන් විසින් සංග්‍රහ මේසය විවෘත කිරීමෙන් පසුව සෙසු සේවක සේවිකාවන් ද කිරිබත් කැවුම් රස බලා නව වසරේ වැඩ කටයුතු සාර්ථක ලෙසින් සුහද සිතින් ආරම්භ කිරීම ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ලෙස ද පෙන්වා දිය හැකිය.

එහෙත් කිරිබත් ආහාරයට ගන්නවා වෙනුවට එම කිරිබත්වලින් පහරදීමක් කළහොත්? එවැන්නක් අපට හඳුන්වා දිය හැක්කේ කුමක් ලෙසින්ද? අපට මේ කතාව කියන්නට සිදු වූයේ පසුගිය 2 වෙනිදා පෑලියගොඩ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ ප්‍රධාන කාර්යාලය හෙවත් මඟ නැඟුම ව්‍යාපෘති කාර්යාලයේ වූ සිදුවීමක් නිසාය.

ප්‍රවාහන හා මහාමාර්ග‍ අමාත්‍යාංශය යටතේ ඇති මඟනැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ ප්‍රධාන කාර්යාලය පෑලියගොඩ නව නුගේ පාරේ අක්කර 5ක පමණ වූ විශාල භූමි වපසරියක පිහිටා තිබේ. එහි සේවක සේවිකාවෝ 980ක පිරිසක් සේවය කරති. ආයතනයේ සභාපති යෝගේන්ද්‍ර පෙරේරා, විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම ඇතුළු පිරිසක් අලුත් අවුරුද්දේ සේවක සේවිකාවන් සමඟ ආගමික වතාවත් ඉටු කිරීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන සුහද සංග්‍රහය පිණිස පැමිණියහ.

ස්වාමීන් වහන්සේ සෙත් පිරිත් සඡ්ඤායනා කොට ආපසු වැඩම කළහ. ඉන් පසුව ජාතික ගීය ගායනා කර ජාතික කොඩිය ඔසවා සභාපතිවරයා සභාව ඇමතීමට නියමිතව තිබුණි. එහෙත් එක්වරම මයික්‍රපෝනය උදුරාගත් වෘත්තීය සමිති නියෝජිතයෙක් සභාපතිවරයාටත් විධායක අධ්‍යක්ෂවරයාටත් අපහාස වන ලෙස බැණ වැදුණු අතර එයින් පසුව කෑම මේසයේ තිබූ කිරිබත් ගත් පිරිසක් ඒවායින් සභාපතිවරයාටත් විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු කළමනාකාරීත්වයටත් දමා ගැසූහ. එම කාර්යය වැළැක්වීමට පිරිසක් උත්සාහ ගත් අතර එහිදී ඇතැම් පිරිස් තමන් අතට ගත් කිරිබත් ඇතුළු ආහාර ද්‍රව්‍ය බිම දැමූහ. සිදු වූ කලබැගෑනිය අස්සේ සභාපතිවරයාත් විධායක අධ්‍යක්ෂවරයාත් ඉහළ මහලේ පිහිටි තම නිල කාමර වෙත පිටත්ව ගියහ. ඔවුන්ට කාමරයෙන් පිටවීමට පවා මේ කලබලකාරී පිරිස් ඉඩ නොදුන්හ. නව වසරේ වැඩ ආරම්භයේදී වූ මේ සිදුවීම ගැන පෑලියගොඩ මඟ නැඟුම ප්‍රධාන කාර්යාලයේ සභාපති යෝගේන්ද්‍ර පෙරේරාගෙන් සිළුමිණ විමසීමක් කරන ලදී.

‘‘ ඇත්තෙන්ම මේ විරෝධය, එහෙමත් නැත්නම් කිරිබත්වලින් පහරදීම පිටුපස ඇත්තේ වෙනම කතාවක්. ඒක වහන්න වෙන කතා බොරුවට එළි දැක්වීමක් කරනවා. සිද්ධිය වූ දිනයේ ආගමික වතාවත්වලින් පසුව ජාතික ගීය ගායනා කිරීමටත් ජාතික කොඩිය එසවීමත් සිදු කිරීමට බාධා පමුණුවා මේ පිරිස් කිරිබත් ඇතුළු ආහාරවලින් පහර දුන්නා. ඒ අවස්ථාවේ සේවක සේවිකාවන් 200ක් පමණ හිටියා. අපට කාමරවලින් එළියට එන්න නොදී මරණ තර්ජන එල්ල කළා. පසුව ගේට්ටුවලට පවා යතුරු දමා තිබෙන බව වාර්තා වුණා. එම නිසා අපි වහාම මේ සිදුවීම පොලිසියට දැනුම් දුන්නා. පැය දෙකකටත් වැඩි කාලයක් අපට කාමරයේ සිරවී සිටින්නට සිදු වුණා. අදාළ පිරිස් කැමරාවලින් සොයා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත්තා.

මම වැඩ භාරගත්තේ 2022 වසරේ ඔක්තෝබර් 5 වෙනිදා, ඊට පෙර 2020 වසරේ සිට 2022 දක්වා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ මම කටයුතු කළා. එහිදී පාඩු ලබමින් තිබූ තිබුණු එම ආයතනය ලාභදායී තත්ත්වයට පත් කළා. ඒ වගේම මඟ නැඟුම ආයතනය බාර ගැනීමෙන් පසුව මම ආයතනයේ ව්‍යුහය ක්‍රියාකාරීත්වය, මූල්‍ය කටයුතු ගැන හොඳින් සොයා බැලුවා. ඒ සොයා බලන අතරේ තමයි අපට වාර්තා වුණේ රුපියල් කෝටි 200ක මුදලක් අස්ථානගතව ඇති බවට. මේ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් දැනුම් දුන්නා. ඒ අනුව පුළුල් විමර්ශනයක් සිදු කළා. මාර්ග සංවර්ධන අධිකාරියෙන් විශේෂ කමිටුවක් ඒ වෙනුවෙන් පත් කළා. එහිදී ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු ගිණුම් අංශයේ තිදෙනකුට සිදුවූ මුදල් ගැන නිසි පිළිතුර ලබා දෙන්නට හැකි වුණේ නැහැ. අදාළ ලිපි ලේඛන නැහැ. ගෙවුම් ක්‍රම වේද නැහැ. කිසිදු පිළිගත හැකි පිළිතුරක් ඔවුන්ගෙන් ලැබුණේ නැහැ. පසුව අපි ඔවුන් වැඩ තහනමට ලක් කළා. මේ වන විට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

ඒ වැඩ තහනමට ලක් වූ අය විසින් පිරිස් උසි ගන්වා කඩාකප්පල්කාරී වැඩ සිදු කළ බවයි අප අනුමාන කරන්නේ. එහෙත් ඒ බව වසන් කරමින් විවිධ ව්‍යාජ කතාවන් කියා මේ ඇත්ත කතාව වසන් කරන්න උත්සාහ ගන්නා බවක් පේනවා. මම රාජකාරියට ආවේ ඔක්තෝබර් 5 වෙනිදා. දින කිහිපයකින් මේ වංචාව හෙළි කර ගත්තා. රාජ්‍ය ආයතන තුළ නිලධාරීන් දූෂණ වංචා නොකරනවා නම් රාජ්‍ය ආයතන ගොඩ ගැනීම අපහසු වන්නේ නැහැ. මේ අක්‍රමිකතා තුළින් රජයත් ඇමැතිවරුත් අපහසුතාවට පත්වන බවත් මම පැහැදිලිව කියනවා. "සභාපතිවරයා පවසන කතාව එයයි.

එදින වූ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලට අනුව පැය කිහිපයක් ඇතුළත දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් දෙදෙනාම බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. එක් අයෙක් මඟ නැඟුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා වන අතර අනෙක් තැනැත්තා එහි කාරක සභිකයෙකි. එයින් පසුව සිදු කළ විමර්ශනයන්හි ප්‍රතිඵලයක් ලෙසින් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හතරදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළව එම ආයතනයේ තවත් සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සභාපතිවරයා අදාළ ආයතනයේ සේවකයන්ගේ දුක්ගැනවිලිවලට කන් නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මෙම සිද්ධිය පිටුපස කිසිදු කුමන්ත්‍රණකාරී තත්ත්වයක් නොමැති බවත් ගැටලුවලට විසඳුම් නොමැති නිසා සේවක විරෝධයක් මතුවීම බව පැවසූ විත්තියේ නීතිඥවරයා තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. එසේම අදාළ පැමිණිල්ල වෙනුවෙන් කරුණු සලකා බැලීම ජනවාරි 16 වැනිදාට නියම විය.

අධිකරණයෙන් ඇප ලැබූව ද එම සිවුදෙනා පරීක්ෂණ නිමවනතුරු වැඩ තහනමට ලක් කර තිබේ. සීසීටීවී කැමරා සාක්ෂි අනුව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද නියමිතය.

සභාපතිවරයා පවසන පරිදි මේ සිද්ධිය පිටුපස ඇති වංචාව මෙපරිදිය.

එම වංචාව දෙස ඇස යොමු කිරීමේදී පෙනී යන්නේ 2018 වස‌ෙර් සිට මඟ නැඟුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත වී ඇති බවයි. ඇත්තෙන්ම අවභාවිත නොව එම මුදල් අස්ථානගතව ඇති බවත් ඒවාට කුමක් වූවා දැයි සොයා ගැන්ටම පවා නොමැති බවත් මේ වන විට සිදු කරන විමර්ශනවලින් පැහැදිලි වේ.

මඟ නැඟුම හා කොන්ත්‍රාත් සිදු කරනු ලබන සමාගම් බැංකු හරහා ඇති කර ගන්නා එකඟතා ගිවිසුමක් තිබේ. එහෙත් එවැනි ඇතැම් සමාගම් සමඟ ඇති කරගත් එම ගිවිසුම් අස්ථානගතව තිබේ. එවැනි තත්ත්වයක් තිබියදීත් එවැනි කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා තිබේ. එම මුදල් ගෙවන ලද්දේ කෙසේද? කුමන කටයුත්තක් වෙනුවෙන්ද? වැය ශීර්ෂය වැනි ප්‍රධාන කරුණු කිසිවක් ගිණුම් වාර්තාවල නොමැති බවට වාර්තා වේ.

ඒ ගැන කිසිදු ආකාරයක විමර්ශනයක් හෝ සිදු කර නොමැත.

එසේම වැට් බදු සඳහා ලියාපදිංචි නොවූ සමාගමකට රුපියල් මිලියන 35ක මුදලක් ආපසු ගෙවීමට මඟ නැගුම හරහා කටයුතු කර ඇති බවට ද වාර්තා වේ. මේ සියල්ල විශාල මූල්‍ය වංචා ගොන්නට අයත්ව ඇති අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරමින් පවතී. එම පරීක්ෂණ නවතා දැමීම පසුගිය වසරේ වැඩ තහනමට ලක් වූ ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු පිරිස විසින් මෙහෙයවනු ලබන බව සභාපතිවරයා පෙන්වා දෙයි. සභාපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය විසින් සිදුව ඇති මුදල් අවභාවිතයන් විගණන පරීක්ෂණයට යොමු කළ අතර එහිදී හඳුනාගත් ප්‍රධාන ගැටලු ශීර්ෂ කිහිපයක් ඔස්සේ පෙන්වා දී ඇත.

ඒ අනුව,

1. 2022.09.30 දිනට බැංකු ඇපකරවලින් ආවරණය නොවන අත්තිකාරම් වටිනාකම රුපියල් මිලියන 2556කි.

2. අත්තිකාරම් අයකර ගැනීමේ අවදානම පවතින සේවා සැපයුම්කරුවන්ගේ වටිනාකම රුපියල් මිලියන 973කි.

3. අත්තිකාරම් ලබා ගැනීමට ඇපයට තබා ඇති බිල්පත් විස්තර නොමැත.

4. බැංකු ඇපකර සම්බන්ධ කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් අනුයුත්ත කර නැති අතර නිශ්චිතව රාජකාරි ලබා නොදීම සහ බැංකු ඇපකර සම්බන්ධ කටයුතු අධීක්ෂණය සිදු නොවීම.

5. භෞතික බැංකු ඇපකර ලේඛන (Bond Register) පවත්වා නොගැනීම.

ඒ අනුව බැංකු ඇපකරවලින් ආවරණය නොවන අත්තිකාරම් වටිනාකම රුපියල් මිලියන 2,556 ක් බවත් සැපයුකරුවන් හට ලබා දී ඇති ව්‍යාපෘති අත්තිකාරම්වලින් 2022.09.30 වන විට හිඟ අත්තිකාරම් වටිනාකම රුපියල් මිලියන 3,071ක් බවත් එහි දැක්වේ.

ඒ සඳහා ආයතනය සතු වලංගු බැංකු ඇපකරවල වටිනාකම රුපියල් මිලියන 515කි. ඒ අනුව රුපියල් මිලියන 2,556 ක වටිනාකම බැංකු ඇපකරවලින් ආවරණය නොවන බව නිරීක්ෂණය වී ඇත. ඉහත රුපියල් මිලියන 2,556 තුළ බැංකු ඇපකරවල වලංගු කාලය දීර්ඝ කරන ලෙස ඉදිරිපත් කර ඇති බව පැවසුවත් විමර්ශනය කිරීම ආරම්භ කරන තෙක්ම එවන් දීර්ඝ කිරීමේ ලිපි ලැබී නොතිබුණි. අත්තිකාරම් අයකර ගැනීමේ අවදානම පවතින සේවා සැපයුම්කරුවන්ගේ වටිනාකම රුපියල් මිලියන 973ක් බව ද මෙහිදී අනාවරණය වී ඇත. එනම් රුපියල් බිලියනයකි.

ආපසු අයකර ගැනීමට නොහැකි අත්තිකාරම් පිළිබඳ අවදානමක් පවතින බවත් එහි වටිනාකම රුපියල් මිලියන 973ක් බවත් එලෙස හඳුනාගත් සේවා සැපයුම්කරුවන් 39ක් සිටින බවත් අනාවරණය වී ඇත.

එහිදී රුපියල් මිලියන 200 වැඩි සේවා සැපයුම්කරුවන් දෙදෙනකු සිටින බව තහවුරු වී තිබේ. ඒවා 2K Construction (pvt) Ltd සහ Business Promoters and Partners Engineering (Pvt) Ltd ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 2K Construction ආයතනයේ අය විය යුතු වටිනාකම් පිළිබඳ දැඩි අවදානමක් පවතී. මීට අමතරව බැංකු ඇපකර මුදල් කර ගැනීමට කටයුතු නොකිරීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණක විසින් සිදු කළ විගණනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව ඒ අනුව සෙලාන් බැංකුවේ තිබූ 2022.05.12 දිනට කල් පිරුණු අංක APG/ANP/21/007 හා APG/ANP/21/006 ඇපකරයන්හි පිළිවෙළින් රුපියල් 18,518,000 හා රුපියල් 9,020,163 ට අදාළ ඇපකරවල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැත. ඒ හරහා කල් පිරෙන දිනයේ සිට එම ඇපකරවලට අදාළ ආයතනයේ වත්කම් පිළිබඳ බරපතළ ගැටලු මතුව තිබේ.

රුපියල් මිලියන එකේ සිට 10ක් දක්වා සැපයුම්කරුවන්ගේ හිඟ අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 61ක් ගිණුමේ සඳහන්ව නොමැති අතර ඊට අදාළ සැපයුම්කරුවන් සංඛ්‍යාව 20කි. එමෙන්ම රුපියල් මිලියන 10 සිට 20 දක්වා සැපයුම්කරුවන් තිදෙනකුගේ හිඟ අත්තිකාරම් වටිනාකම රුපියල් 53,639,361ක් බව විගණනයේදී හෙළිව තිබේ.

විශේෂයෙන්ම St Georges Endevours සේවා සැපයුම්කරුට අදාළව රුපියල් මිලියන 21ක් වන අත්තිකාරම් 2015 වසරේ සිට අයකර ගත නොහැකිව තිබේ. මීට අමතරව මුදල් ගෙවීමේදී අත්තිකාරම් ගෙවුම් අඩු නොකර සම්පූර්ණ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ද ගිණුම් රැසක දක්නට තිබේ. එයින් මුල් තැනක් ගෙන ඇත්තේ 2K Construction (pvt ) Ltd සමාගම වෙත රුපියල් 35,514,030.15 ක මුදලක් 2021.08.24 දිනැතිව චෙක්පත් අංක 158892 යටතේ ගෙවා තිබීමයි.

එමෙන්ම රන්මාවත් මාර්ග ව්‍යාපෘතියට අදාළව අත්තිකාරම් අය කර ගත නොහැකි සැපයුම්කරුවන් 7 දෙනකු පිළිබඳ වාර්තා වී ඇත. ඒ යටතේ රුපියල් 23,281,419ක් පිළිබඳ මුදල් ගැටලුවක් මතුව ඇත. එම මුදල් 2022.09.30 දිනට අය කර ගැනීමට තිබුණි.

එමෙන්ම දීර්ඝකාලීනව පියවීමට පත් නොවී ඇති අත්තිකාරම් සම්බන්ධයෙන් ද විගණනයේදී විමර්ශනය වී ඇත. ඒ යටතේ 2015 වසරේ ප්‍රෙමියම් ඩෙකොර් සමාගම හා සම්බන්ධිත රුපියල් 2,000,000ත් හා 2016 වසරට අදාළව ටෙක්සෝන් ටෙක්නොලොජීස් සමාගම හා සම්බන්ධිත රුපියල් 1963,588ක මුදලක් වාර්තා වී තිබේ. මීට අමතරව ව්‍යාපෘතිවල අත්තිකාරම්වල ප්‍රගතිය මත පදනම්ව ගෙවීම් සිදු කිරීමේදී බිල්පත් ඉදිරිපත් නොවීම් සම්බන්ධයෙන් රුපියල් 8,768,573ක මුදලක් පෙන්නුම් කර තිබේ.

ගෙවිය යුතු රඳවා ගැනීමේ මුදල් සම්බන්ධ ගැටලු රැසක් ද මතුව ඇති අතර එහිදී රුපියල් 75,29,883ක් පිළිබඳව ගැටලු මතුව තිබේ. ඒ යටතේ බස්නායක කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් හා සම්බන්ධ රුපියල් 3,976,265ක් කොස්මොස් ටෙක්නොලිජි ආයතනය හා සම්බන්ධ රුපියල් 2,399,618ක් හා ජේම්ස් වුඩ් වෝකර්ස් ආයතනය සහා සම්බන්ධ රුපියල් 1,154,000ක මුදලක් වාර්තා වේ. මීට අමතරව අත්තිකාරම් ලබා ගැනීමට තබා ඇති බිල්පත් තොරතුරු නොමැතිවීම, බැංකු ඇප කර කාර්ය අධීක්ෂණය නොවීම, බැංකු ඇපකර ලේඛන පවත්වා නොගැනීම, ප්‍රමාණවත් සේවකයන් අනුයුක්ත නොකිරීම වැනි කරුණු නිරීක්ෂණය වී තිබේ.

විශේෂයෙන්ම බැංකු ඇපකර රුපියල් මිලියන 510ක් වෙනුවෙන් ඇපකර තබාගෙන ඇත්තේ රුපියල් මිලියන 8ක පමණක් වන වාර්තා වේ. ඒ අනුව රුපියල් මිලියන 502ක් වෙනුවෙන් ඇපකර ඉදිරිපත් කර නොමැති බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එහිදී පෙර පැවසූ 2K Construction (pvt) Ltd ආයතනය සම්බන්ධයෙන් අයවිය යුතු වෙනත් ලැබීම් සම්බන්ධයෙන් අය කර ගැනීම් සම්බන්ධයෙන් රුපියල් මිලියන 358ක අවදානමක් තිබෙන බව පෙනීගොස් තිබේ.

මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ මීට පෙරද එනම් 2011 වර්ෂයේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන විමර්ශන ආරම්භ කරන ලදී. ඒ එවකට ස්ථාපිත කරන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟිනි. එහෙත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ වූ ගැටලුව නිසා එය යටපත්ව ගියේය. එවකට අයථා අන්දමින් අමෙරිකානු ඩො‍ලර් 679753ක් වැය කර කොන්ක්‍රීට් ඇතිරීම, මිලියන 10ක් වැය කර ස්කැවෙටර් යන්ත්‍රයක් මිල දී ගැනීම එම යන්ත්‍රයෙන් කඩුවෙල කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළු ගලක් කැණීම් කටයුතු ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබුණි.

2011 වසරේ කොන්ක්‍රීට් ජේටර් රථයක් ඇඩින් ඉන්ටනැෂනල් ආයතනය මඟ නැඟුමට මිලදී ගැනීම රු 73,907,243.55 ගෙවා ඇති එම ආයතනය මේ රථයට 36,506,995.35 ඇස්තමේන්තු කර එම මුදල රුපියල් 37.370,248.00 වැඩිපුර ගෙවා මඟ නැඟුම බැංකු ගිණුමෙන් ලබා ගෙන මුදල් අක්‍රමිකතා සිදු කිරීම හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩෙන්ජරස් කාගෝ ඇහිරීමක් සම්බන්ධයෙන් රුපියල් 1,096,000 මඟ නැඟුම මාර්ග ඉදි කිරීම ශ්‍රී ලංකා වරායට නොගෙවීම යන සිද්ධිය සම්බන්ධ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් හා රියැදුරෙක් අත්අඩංගුව ගෙන තිබුණි.

දැන් සිදුව ඇත්තේ එවන්ම මහා පරිමාණ මූල්‍ය වංචාවකි. එකතකින් මඟ නැගුම ඉහගෙන කන්නන්ට හොඳ තෝනැන්නකි.

පෑලියගොඩ නුගේ පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලය සතුව බිලියන ගණනක යන්ත්‍රෝපකරණ වෙයි. අවශ්‍ය අයකුට ඒවා අවභාවිත කරා යොමු කර ගැනීම පහසුය. ඒ ආයතනයේ මුල් පුටු විපරම් නොකරන්නේ නම් පමණි. එහෙත් මෙවර සභාපතිවරයා පත්ව පැමිණ සති 3ක් යන්නටත් පෙර අදාළ සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමම මේ අර්බුදයට මඟ පෑදුණා විය හැකිය.

එහෙත් සේවකයන් පවසන්නේ වෙනම කතාවකි. ඔවුන් පවසන්නේ මඟ නැගුම ව්‍යාපෘතියකට බඳවා ගත් සේවකයන් 40ක පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වීමත්, සේවකයන්ට ලබාදී ඇති නිල නිවාසවලින් සේවකයන්ව ඉවත් කිරීමට යෑමත්, එම නිල නිවාසවල විදුලි හා ජල බිල්පත්වලටත් සභාපතිවරයා හා විධායක අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවයි.

එහෙත් කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ රජයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ සීමාවට යටත්ව මේ වන විට කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන පිරිස් එම වයස් සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ගන්වා ඇති බවයි. මෙරට මාර්ග තැනීමට යොදා ගන්නා දැවැන්තම කළුගල් මෝලේ හිමිකාරීත්වය ද මඟ නැඟුම සතු බවත් එය කැකිරාව ගනේවල්පොළ පිහිටි කළුගල් මෝල බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. මෙවන් සම්පත් හිමි ආයතනයක් ඉහළ ලාභයක් ලැබිය යුතු වුවත් එවැන්නක් පසුගිය කාලයේම සිදුව නැත. ලාභ කෙසේ වෙතත් මෙවන් මහා පරිමාණ වංචාකරුවන්ට නම් නිසි දඬුවම් ලබා දිය යුතුය.

Comments