
මානව සංහතියේ අසිරිමත්ම නිර්මාණය නිවුන්නුය. නිවුන් දරු උපත මහා භාග්‍යයක් කොට සැලකූ ඉතිහාසයක් ලෝකය පුරාම පැවතිණි. එය දුලබ මෙන්ම වර්ණවත් භාග්‍යයක්සේ සැලකිණි. නිවුන් දරු උපතක් කළ මවක් සමාජ බහුමානයට ලක්වූවාය. ශ්‍රම සම්පත ආර්ථික බලය සේ සැලකූ අතීත ජන සමාජයේ නිවුන් දරුලාභී මවක් සමාජය තුළ හැසිරුණේද ගර්වයෙනි.
මේ විචිත්රත්වය දෙස අදත් ලෝකය බලන්නේ විශ්මයෙනි. ඔවුන් සුවිශේෂී සමාජ ස්ථරයකි. ඔවුන් මුහුණපාන ගැටලු වෙනස්ය. නිවුන් දරු ප්‍රසූතියක් සඳහා සැරසෙන මවකට ගර්භිණී සමයේ දී ඇතිවන ගැටලු සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන මවකට වඩා වෙනස්ය. උපතේ දී මාතෘ හා ළදරු සෞඛ්‍ය විෂයෙහි ඇතිවන ගැටලු ඉහළය. නිවුන් සමාජ ස්ථරයේ සෞඛ්‍ය හා වෛද්‍ය ගැටලු ඇත්තේ වෙනස් තලයකය. එකට බිහිවූ දරුවන් දෙදෙනෙක් එකම ජීවන අවකාශයක් බෙදා ගනිමින් සමාන්තර ලෙස එකම පවුලක වැඩෙති. සමාන අත්දැකීම් ලබති.
නිවුන් යන පදය ඇසුණු සැණින්ම සිහියට නැඟෙන්නේ සපුරා සම බවය. මේ නිවුන් බව නිසාම ඔවුහු විශේෂ සමාජ සංකීර්ණයන්ට මුහුණ දෙති.
ලෝකයේ නිවුන් සංවිධාන බිහි වෙන්නේ මේ විශේෂ තත්ත්ව සඳහා විධිමත් විසඳුම් සලකාගෙනය. එමෙන්ම නිවුන් දරුවන් යනු වෛද්‍ය විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වශයෙන් සජීවී පර්යේෂණාගාරයන්ය.
නිවුන් දරුවෝ සම නිවුන් දරුවන් සහ විෂම නිවුන් දරුවන් ලෙස දෙයාකාරය. විෂම නිවුන් දරුවෝ ජාන සංයුතිය අතින් වෙනස් වෙති. සමහරවිට ලිංග භේදයෙන් වෙනස් වෙති. සාකල්‍යයෙන් සමාන රූප ස්වභාවයන් නොදරති. නිවුන්නුන් බව නොකීවොත් හඳුනා ගැනීමත් අපහසු වෙති.
එහෙත් සම නිවුන් දරුවෝ බොහෝ විට අතිශයින්ම සමානය. සම නිවුන් දරුවන් යනු පරම්පරාවෙන් පරම්පරාවට ගති ලක්ෂණ ගෙනියන ජාන සම පුද්ගලයන්ය.
මේ නිසා නිවුන් අධ්‍යයන යනු අධ්‍යයන විද්‍යාත්මකව ඉතාම දියුණු පර්යේෂණ ක්රමවේදයකි.
මේ හේතුව නිසාම පුළුල් සමාජ අර්ථයකින් යුතුව ලෝකයේ නිවුන්නුන් එක් අරමුණකට රොක් කර නිවුන් දිනය සැමරීම මානව සංහතියේ යථාවත් පැවැත්මට වැදගත් සුබ ලකුණකි. ඒ සුබ දිනය යෙදුණේ පසුගිය දෙසැම්බර් 18 වැනිදාය.
නිවුන් දිනය දා අප අපට ආඩම්බර විය හැකි ප්‍රවේශයක් නිර්මාණය කරගෙන තිබේ. ඒ ආසියාවේ දැනටත් ක්‍රියාත්මක පළමු නිවුන් ලේඛනාගාරය අප විසින් බිහි කිරීමය. නිවුන් පුද්ගලයන් සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට හැකි ඉහළ හැකියාව පදනම් කරගෙන නිවුන් සමාජය වෙත විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය පිහිටුවා ගන්නේ 1997 දීය. ඊට මූලික වන්නේ එවකට ලන්ඩන් කිංග්ස් විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් වූ මහාචාර්ය අතුල සුමතිපාලය. ඔහුගේ සංකල්පයක් ප්‍රකාරව ස්වේච්ඡා විද්‍යාර්ථීන් පිරිසකගේ එකතුවෙන් එය බිහි වූයේය. එහි මවු ආයතනය සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ය. ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය ජාත්‍යන්තර නිවුන් සංවිධානයේ ද ක්‍රියාකාරී සමාජිකයෙකි.
ලොව පුරා නිවුන් ලේඛනාගාර 44 ක් ඇත. “ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය” දකුණු ආසියාවේ ප්‍රථම නිවුන් ලේඛනයයි. එය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක ජනගහනයක් මත පදනම් වූ නිවුන් ලේඛන කිහිපයෙන් එකකි. මහා පරිමාණ නිවුන් පර්යේෂණ කළ හැක්කේ නිවුන් ලේඛන පදනම් කරගෙන ය. ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ ප්‍රධාන නිවුන් කණ්ඩායම් දෙක ස්වේච්ඡා සහ ජනගහණය මත පදනම් වේ.
ස්වේච්ඡා කණ්ඩායමට නිවුන් යුගල 7000ක් සහ ත්‍රිත්ව නිවුන් යුගල 86ක් (පුද්ගලයන් 14,258) ඇතුළත් ය. ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි නාමලේඛනය භාවිතයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ජනගහනය මත පදනම් වූ නිවුන් ලේඛනයේ නිවුන් යුගල 9570ක් සහ ත්‍රිත්ව නිවුන් යුගල 46ක් (පුද්ගලයන් 19,278) ඇතුළත් ය.
මේ වනවිට ශ්‍රී ලංකා නිවුන් ලේඛන පදනම් කරගෙන පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කර තිබේ.
ලේඛන වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ලෙස එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාවේ මූල්‍යාධාර පදනම් කර ගත් එක් වාර්ෂික ව්‍යාපෘතියක් අනුව කොළඹ සහ වවුනියාව දිස්ත්‍රික්කවල දත්ත පදනම් කර ගෙන ළදරු ළමා සහ යොවුන් වියේ පසු වන නිවුන් දරුවන් ද නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන් ද පිළිබඳ ලැයිස්තුවක් පිහිටුවනු ලැබේ.
මෙම ලේඛනය භාවිත කරනුයේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් තුනක (බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය) මානසික රෝගවලට බලපාන මුල්කාලීන මොළයේ සංවර්ධන රටා පිළිබඳ පර්යේෂණ කිරීමටත් ඒ හා සම්බන්ධ ශක්‍යතා සංවර්ධනයටත් ය.
එමෙන්ම මේ වනවිට සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය නිවුන් පුද්ගලයන් සම්බන්ධ කරගෙන පර්යේෂණ ව්‍යාපෘති 05ක් නිම කර ඇත්තේය.
ඉන් පළමු පර්යේෂණය සිදුවන්නේ වර්ෂ 2004 වසරේ දීය. එය නිවුන් පුද්ගලයන් 4000ක් ද සංසන්දනාත්මක ව අධ්‍යයනය කිරීම සඳහා නිවුන් නො වන පුද්ගලයන් 2000ක් ද ලෙස සම්බන්ධ කර ගෙන “මානසික රෝග රාශියක ජානමය සහ පාරිසරික සම්බන්ධතා” සම්බන්ධයෙන් කළ පර්යේෂණයකි. එය ලෝක අවධානයට ලක් විය.
එම පර්යේෂණයේ දෙවැනි අදියර 2012 දී ද 2018 වර්ෂයේදී එහි තෙවන අදියර ද ක්‍රියාත්මක විය.
අප නොදැන ලෝකයේ ප්රගමනයට අප විසින් සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ දායකත්වය පිළිබඳ ඇසෙන්නේ එසේය. එහෙත් අපට දැනෙන ආකාරයට නිවුන් සොයුරු සොයුරියන්ගේ මනෝභාව සම්බන්ධව ඔවුන් කීප දෙනෙක් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළෙමු.
මුලින්ම අප හා සංවාදයට එක්වෙන්නේ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කුය. නිවුන් පුද්ගලයින් මුහුණ දෙන විශේෂිත සමාජ ආරවුල පිළිබඳව ඔහුගේ කතාව විශේෂිත යැයි හඟිමි.
ආචාර්ය ගොඩ්වින්ගේ නිවුන් සහෝදරයා ග්ලැඩ්වින් කොඩිතුවක්කු දැන් ජීවතුන් අතර නැත. මේ රට අමු සොහොනක් වුණු 88 -89 දේශපාලන කැරැල්ලේ බිල්ලක් ලෙස ඔහු ජීවිතයෙන් සමුගෙන තිබිණි. “එයා නැති වුණේ 1989 දි. එයා දේශපාලනයට දැඩිව සම්බන්ධ වෙලා හිටියා. ඔහුට පක්ෂය ඇතුළෙ කිව්වෙ ටෝනි කියලා. වතු පාලකවරයෙක් ලෙස කටයුතු කළ ඔහුට භාෂා ත්‍රිත්වයම හොඳින් හැසිරවිය හැකි වුණා. ඒ නිසාම පක්ෂය ඇතුළේ ජාත්‍යන්තරව ගැටෙන තීරණාත්මක වැඩවලට ඔහු සම්බන්ධ වෙලා හිටියා. ඔහු මට කිව්වෙ එකම දෙයයි. මට බයයි ඔයා ගැන. අපි දෙන්නම එක වගේ හින්දා ඔයාට කරදයක් වෙයි කියලා...“ “ ඔහු කාලයක් තිස්සේ හිටියෙ හැංගිලා. අප දැනගෙන හිටියෙ නෑ ඔහු කොහෙද ඉන්නෙ කියලා. කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුණත් මා ඔහුගෙ හැඩරුව සහිත වීම හේතුවෙන්ම මාත් ජීවත් වුනේ ඉතාම දැඩි කම්පනයෙන්. “ “ අවසානයේ දී ඔහු ඝාතනය වෙලා කියලා අපි දැන ගත්තේ පත්තරේක පළ වුණ කුඩා ප්‍රවෘත්තියකින්. එතකොට අපිට වයස අවුරුදු 35යි...“ “ අපි දෙන්න එක වගේ වුණාට ඔහුගේ සහ මගේ චින්තන ස්වරූප දෙකක් තිබුණේ. අපි එක පන්තියක හිටියත් ඔහුට වඩා වැඩි අධ්‍යාපන හැකියාවක් මට තිබුණා. ඔහුට තිබුණෙ වෙනස් වූ හැකියාවක්. දැනුමක්. “
අට දෙනෙකුගෙන් යුතු පවුලේ නිවුන් දරුවන්ගේ කතාව නිමා වන්නේ එසේය. දැන් ග්ලැඩ්වින් කොඩිතුවක්කු සම්බන්ධව ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කුට ඇත්තේ මතකයක් පමණි. මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙන ගත් ආකාරය ඔහු සිහි කරන්නේය. තමන් සරසවි ප්‍රවේශය ලබද්දී පුළුල් සමාජ අවකාශයට ග්ලැඩ්වින් යොමු වූ ආකාරයත් වතු පරිපාලන ක්‍රියාවලියට යොමු වී ලැබූ සමාජ ඥානය ඔහුව දේශපාලනිකව වෙනත් දිශානතියකට යොමු කළ ආකාරයත් සිහි කරන්නේය.
කුඩා අවධියේ එකට එක්වෙමින් ජීවිතය බෙදා ගත් ආකාරයේ ඒ මතකයත්, අතිශය භීෂණ සමයේ එකම දේහ ස්වරූපය නිසා ලියැවී තිබුණු මරණ වරෙන්තුවක් සමඟ ගත කළ කාලයත් ගැන දැන් ඔහුට ඇත්තේ කම්පිත මතකයකි.
අප ඊළඟට හමුවන්නෙ වෘත්තීය ජීවිත ජය ගත් තරුණ නිවුන් ආදර්ශයක් වෙතය. විෂම නිවුන් දරුවන් වූ ඔවුන් මාධව ද අල්විස් සහ මාධවී ද අල්විස්ය. මාධව ද අල්විස් ප්‍රකට තරුණ නීතිවේදියෙකි. මාධවී ද අල්විස් වෛද්‍යවරියකි.
වෛද්‍ය යුවළකට දාව බිහි වෙන මෙම නිවුන් දරුවන් දෙපළගේ අත්දැකීම වෙනස්ම වූ ආදරයක් හා අවබෝධයක් මත ගොඩනැඟුණ සහෝදර ප්‍රේමයකි.
“ අක්ක මට වඩා විනාඩි දෙකකට වැඩිමල්. එයා තමයි මට සහෝදරයටත් සහෝදරියටත් ඉන්න එකම කෙනා.“
“අපේ කුඩා අවදියෙ ජීවිතයම හරිම වෙනස් අත්දැකීමක් කියලා මා දැන් කල්පනා කරනවා. පුංචි කාලෙ අපි ගියෙ එකම ඉස්කෝලෙට. ඉගෙන ගත්තෙ එකම පන්තියෙ. 4 ශ්‍රේණිය වෙනකම් අපිට කිසිම යාලුවෙක් නෑ. අපි දෙන්න තමයි හොඳම යාළුවො.“
“ අපි රණ්ඩු වුණා. ගහගත්තා. එත් අම්මයි තාත්තයි එක්ක එන මතවාදී ගැටුම්වලදි අපි දෙන්න හැමදාම ඉන්නෙ එකට. ඒ වගේම අපේ සහෝදරත්වයට නිවුන් කියන වටිනාකම එකතු වෙච්චි නිසා වෙන්න ඇති, දෙන්නට දෙන්නම එකිනෙකා ගැන හිරිම අවධානයෙන් හිටියෙ. “
“ මට දැනෙන එකම දේ තමයි අපේ හැඟීම් වලින් දෙදෙනාගෙ මනෝභාවයන් ගැන මොකක්දෝ සන්නිවේදනයක් වෙනවා. උදාහරණයක් විදිහට මම මානසිකව පීඩාවක ඉන්නකොට කඩා වැටිලා ඉන්නකොට මම අක්කට කියන්න අවශ්‍ය නෑ. ඒක එයාට දැනෙනවා. මටත් එහෙමයි. එයාගෙ දුක සතුට සම්බන්ධ මනෝභාව මට තේරෙනවා.“
“ එකටම හැදුණු අපි උසස් පෙළදි අපේ වෙනස් වෘත්තීය ගමන් තෝරා ගත්තා. අක්කා දැඩිව දරාගන්න කෙනෙක්. එයා ඒ දාරා ගැනීම් සහිතව ඉලක්කයට ගියා. ඇය දැන් දක්ෂ වෛද්‍යවරියක්. මම නීතිඥයෙක් ලෙස මගේ වෘත්තීය ගමන තහවුරු කර ගනිමින් ඉන්නවා“. නීතිඥ මාධව ද අල්විස් කීවේය. වෛද්‍ය මාධවී අල්විස්ට සිය සොයුරා ගැන ඇත්තේ විශාල කියැවීමකි. “ 2012 -2013 කාලෙ තමයි අපි දෙන්න අපේ වෙනස් මාවත් තෝරා ගත්තේ. අපි ලොකු බාධක මැදින් ආවෙ. මම මගෙ මල්ලි ගැන ගොඩක් ආඩම්බරයි. එයා හරිම සංවේදී යුක්තිකරුක කෙනෙක්. කාන්තාවන්ට ගොඩක් ගරු කරන කෙනෙක්. නීතියට ගරු කරන කනෙක්. ඔහුගේ ඒ ජීවිත ප්‍රතිපත්තිවලට මම ගොඩක් ගරු කරනවා. “ මම දකින දේ තමයි මල්ලිගේ ඉවසීම මගෙ තරම් දියුණු නෑ. මම ගොඩක් ඉවසන කෙනෙක්. නමුත් සමාජ කියැවීමෙදි ඔහු මට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නෙ...“ වෛද්‍ය මාධවී කියන්නීය.
ජෛව විද්‍යාත්මක අසිරියක් වූ නිවුන්නුගේ ජාත්‍යාන්තර දිනය අද උත්කර්ෂයෙන් සමරන්නේ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, වෛද්‍ය මාධවී ද අල්විස් සහ මාධව අල්විස් ප්රමුඛ කරගෙනය. ජාත්‍යාන්තර නිවුන් දිනය දා උලෙළේ ප්‍රධාන සමරු දේශනය ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කුය. එදින ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ නිල ලාංඡනය සහ එෆ්බී පිටුව එළිදක්වන්නේ මාධවී සහ මාධව අතිනි. මානව ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත විද්‍යාත්මක පර්යේෂණයක් ප්‍රවේශයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය හෙට ලෝකය සුවපත් කරන විසල් දැනුමක් ලෝකයට දායාද කරනු ඇති බව විශ්වාස කරමු.