
- වැඩිම ගැනුම්කරුවන් සිටින 'පීක් ටයිම්' එක රෑ 8
- තරුණ තරුණියන් කෑමට වඩා ගන්නෙ 'සෙල්ෆි'
- ඩිමාන්ඩ්ම කෑම බුරියානි
- වන්ෂොට් බොන්න ඕන තත්පරෙන්
මල් ගන්න! අපෙනුත් මල් ගන්න!! අනේ අපෙනුත් මල් ගන්න....න!!!
අපට මෙවැනි ආයාචනා බොහෝවිට ඇසෙන්නේ කතරගම දේවාලයට හෝ කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යන අතර දෙපස ඇති මල්කඩවලිනි. අපට මෙවැනිම ආයාචනා කරන වෙළෙඳ පිරිසක් පසුගියදා කොළඹ අලුත්කඩේ උසාවිය අසල පාරකදී අසන්නට ලැබුණි. මේ වෙෙළඳුන් ගන්න කියන්නේ මේවාය.
පාන්පූරි ගන්න පාන්පූරි ගන්න!
පිට්ටු බුරියානි කන්න. පිට්ටු බුරියානි කන්න!!
වන්ෂොට් බොන්ඩ,. ගන්න ලොක්කා හ්!!!
අපි මේ කියන පාරේ දෙපස ඇත්තේ තනිකරම කෑම කඩය. ආමර් වීදියේ පරණ BCC ෆැක්ටරිය දන්නවා නම් මේ තැන සොයා ගැනීම ඉතා පහසුය. ඒත් නැත්නම් වේල්ලවීදියේ සිට උසාවිය ඇති කඳු මුදුනෙන් වමට ගිය විට මේ කෑමකඩ වීදිය හමුවේ. ආමර් වීදියෙන් යනවා නම් කැපිටල් සිනමාශාලාව ඉදිරිපිට බණ්ඩාරනායක මාවතෙන් ආවත් වැටෙන්නේ එම වීදියටමය. බණ්ඩාරනායක පාර කිවුවේ හොරගොල්ල බණ්ඩාරනායක උන්නාන්සේලාගේ කොළඹ වලව්ව පිහිටියේ මේ පාරේ නිසාය. බණ්ඩාරනායක මාවතට මුස්ලිම් නමක් දමන්නට ගොස් වරක් මහා ගාලගෝට්ටියක් ඇති වූ නිසා මේ 'කෑම වීදිය' හැඳින්වෙන නියම නම කියන්නට ගියොත් ඇතිවිය හැක්කේ තවත් ආරවුලක් නිසා මෙයට 'කොළඹ කෑම වීදිය' ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.
වරක් අසාත් සාලි කොළඹ නගර සභාවේ යෝජනාවක් ගෙනාවේ කොළඹ Night Basar පුරයක් කිරීමටය. එයින් අදහස් වූයේ කොළඹ රාත්‍රිය පුරා කෑම බීම වීදිවල කෑම කඩ විවෘත කොට විවිධ විනෝද මාධ්‍ය කොළඹ වාසීන්ට හඳුන්වාදීමය. ඒත් ඒ Night සංස්කෘතිය ටික කාලයකින්ම අභාවයට ගියේය.
කොළඹ කරක් ගසා ඇති පුද්ගලයකු ලෙස මේ 'කෑම වීදිය' පුරා ඇවිද ගිය විට පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ මෙම වීදි කෑම ට්‍රෙන්ඩ් එක මෑතකදී ඇතිවූ එකක් බවය. වසර 2018 පමණ වන විටත් මේ පාරේ තිබුණ රාත්‍රී කඩ කිහිපය අතර ප්‍රධාන වුයේ අස්කාර් හෝටලයයි. මේ කියන සන්දියේ හෝටලේ කඩේ ඇතුළට වඩා කෑම වර්ග තිබුණේ රබර් තැටිවල දමා පාරට වෙන්නටය. චිකන්, මට්න්, බීෆ් බුරියානි, ෆ්‍රයිඩ්රයිස්, පිට්ටු, ඉඳිආප්ප, බාබත්, ඩෙවල් බීෆ්, චිකන්, ෆ්‍රයිඩ් රයිස්වලින් කඩය පිරී ඉතිරී ගොස් තිබුණි. හරකාගේ ඇහැ, දිව, කිරි බුරුල්ල, නැට්ටෙන් නොනැවතී හරකාගේ සියලුම අවයව දක්වා සියලු බීෆ් ස්පෙයාර් පාට්ස් මේ කඩයේ වැරදුණේ නැත. අන්තිමට මගේ මොළයට ආවේ හරක් මොළය ද හොඳට ලුණු ඇඹුල් දමා උයා තිබූ මේ පාරේ මේ 'කෑම ට්‍රෙන්ඩ්' එක ඇති වූයේ කෙසේද යන පැනයයි.
අස්කාර් හෝටලයේ වත්මන් සම අයිතිකරුවන් වන්නේ සපාහාන් අයියා සහ ෆරිර්ඩුස් මල්ලිය. මේ කැම ඉතිහාසය හොඳින් දන්නේ අයියා සපාහාන්ය.
"මේ හෝටල්' බිස්නස් එක අවුරුදු 70කට කලින් පටන් අරන් තියෙන්නේ අපේ මාමා. ඒ කාලේ රාසික් හොටෙල්. අපි ලංකා යෝනක."
"ලංකාවට ආපු සපාහාන්ලගේ කීවෙනි පරම්පරාවට ද 'මාමා' කිවුවේ?"
"හතරවෙනි පරම්පරාව තමා මාමා. 1978දි තමයි මාමාගෙන් පස්සේ අපි බිස්නස් හෝටල් කරන්න ගත්තේ. අපි මේක අස්කාර් හෝටල් කළා."
"හැත්තෑවට කලින් කෑමවල ගණන් කොහොමද?"
"මොනාද බොසා, පොල් රොටිය, පරාට එකක් සත 10යි. බත් එක සත 40යි. කිරි තේ එක සත 10, ප්ලේන්ටිය සත 5යි."
"වැඩියෙන්ම කස්ටර්මර්ල කන අයිටම් එක මොකද්ද?"
"වැඩිම ඩිමාන්ඩ් බුරියානියි. ඩොල්පින් කොත්තුයි. කොරෝනාවට කලින් චිකන් / බීෆ් බුරියානිය රුපියල් 350/=යි."
"මාර ලාබයි. දැන් රුපියල් 500/=ක්වත් ඇති නේද?"
"පිස්සුද බොසා දැන් බුරියානි එක රුපියල්1200/=යි. දෙන්නෙක්ට බඩ පැළෙන්න කන්න පුළුවන්. චිකන් ෆුල්රෝස් එකක්ම රුපියල් 2500/=යි. කොරෝනාවට කලින් චිකන් කිලෝ එකම රුපියල් 400/=යි.
"මේ පාරේ තිබ්බ එකම හෝලටය ද මේක?"
"නෑ තව එකක් තිබ්බා. ඔය මුස්ලිම් පල්ලිය ළඟ. ඒ ඉඩම පල්ලියෙන් සල්ලිවලට ගත්තා."
"එතකොට මේ පාර දෙපැත්තේ කෑම කඩ වැටෙන්න පටන් ගත්තේ කොයි කාලේද?"
"පහුගිය කාලෙ විවිධ ඉල්ලුම් ආවා. අපි ඉතින් කොහොමහරි ඉල්ලුමට සැපයුවා. ඒකෙන් කඩ ගාණත් වැඩි වුණා"
මේ කෑම වීදියේ බොහෝ තාවකාලික කඩවල ඉදිරියේ තඩි පොලිතින් බෑග්වල ඇත්තේ ටෙනිස් බෝලයට වඩා ටිකක් කුඩා පපඩම් වැනි බෝල වර්ගයකි. ඒවායේ නම පාම්පූරිය. මේ බෝල ගේන්නේ ඉන්දියාවෙන්.
අපට මේ කෑම ගැන විස්තර කළේ කඩේ කළමනාකරු නවුබ් ය.
මේ පූරි ඉල්ලූ සැණින් ඒවා මුහුණත සිදුරු කර සාදා ඇති කළමනා ඒ සිදුරෙන් ඇතුළට බහාලනු ලැබේ. එයින් විසිතුරුම පූරි වර්ගය ෆයර් පූරිය. ෆයර් කියන්නේ ගින්දරය. ෆයර් පූරිය පිරවීමෙන් පසු දෑසට නොපෙනෙන තරමේ කුඩා තිරයක් ඒ මත තබා පත්තු කරනු ලැබේ. ගනුදෙනුකරු ෆයර් පූරිය ගිනි තැබූ පසු එක හුස්මට කටේ දමා ගන්නේ ගින්දර පිටින්මය. එය අපට සිහි කළේ සිංහල නැටුම්වල ගිනි පන්දම කටට දමා ගන්නා දසුනකි. ෆයර් පූරියක් රුපියල් 150ක්, පැනි හෝ කට සැරට දයියා දැමූ පූරියක් රුපියල් 120ක්, කිරි දැමූ පූරියක් හෝ අයිස්ක්‍රීම් දැමූ පූරියක් එවලේම හදා දෙන්නේ රුපියල් 110කටය.
බොහෝ දෙනා පවසන්නේ මේ කෑම කඩ රාත්‍රී 8ට පමණ ආරම්භ වන බවය. ඒත් මේ පාර පුරා ඇවිද්ද අපට පෙනී ගියේ හවස 3 සිට සෙනඟ හිටියොත් පසුදා අලුයම තුන පමණ වනතුරු විවෘතව ඇති බවය. රාත්‍රි අට කියන්නේ වැඩිම ගැනුම්කරුවන් සිටින 'පීක් ටයිම්' එකය.
'ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාන් අදින්නේ' නමින් ගීතයක් සනත් නන්දසිරි ගායනා කොට ඇත. එම ගීතයේ කියවෙන්නේ ගමේ කෝපි කඩේ ඉලන්දාරින් දාන් අදින හැටිය. අපි මේ ගිය කෑම කඩ වීදියේ ද කෝපි කඩයක් ඇත. නම ඒ.ජේ. කෝපි කඩේය. බොහෝ දෙනා කිවුවේ මේ පාරේ පරණම අනික් කඩය මේ කෝපි කඩය බවය. අපි මුලින් කියූ අස්කාර් කඩය මේ කෝපි කඩයත් ගොන් දෙන්නා බැඳි කරත්තවලින් ගොස් 'සිංහලෙන්' දුම්කොළ ගෙනා යුගය තෙක් පැරණි මතකයට උරුමකම් කියයි. එදා ඒ ඇත්තන් කොළඹදී 'ඉඟුරු කෝපි' එකක් බී ඇත්තේ මේ කෝපි කඩයෙනි. මෙම ව්‍යාපාරයේ වත්මන් හිමිකරු එම්. ඉක්බාල් මෙම "කෑම වීදියේ" ආරම්භය ගැන කියන්නේ කලින් සපාහාන් කියූ කතාවට වෙනස් කතාවකි.
"මේක අපේ ආච්චිලාටත් ඉස්සෙල්ලා පරම්පරාගත බිස්නස් එකක්. මං කාලයක් මැලේසියාවේ රෙස්ටුරන්ට් එකක වැඩ කළා. එහේ ඉන්දියන් රෙස්ටුරන්ට්වල හදනවා ක්ලබ් සැන්ඩ්විච් කියලා ජාතියක්. සැන්ඩ්විච් පාන්වලට චීස්, බිත්තර, එළවළු ජාති, මයෝනිස්, චිකන්, බීෆ් එකතු කර ඇතුළට දාලා සැන්ඩ්විච් එක ටෝස්ට් කරනවා."
"එතකොට ඉස්සෙල්ලම ඒ ක්ලබ් සැන්ඩ්විච් එක ද මේ පාරෙ ප්‍රසිද්ධ වුණේ."
"මම ඒ සැන්විච් එක ලංකාවට හරියන විදිහට වෙනස් කරල හැදුවා. මුලින්ම සැන්ඩ්විචි එකක් වික්කේ රුපියල් 150/=යි. කොත්තුවක් කෑවා වගේ බඩ පිරෙනවා.'
"තාම ගාණ රුපියල් 150/=ද?"
"දැන් කොහොට දෙන්නද සැන්ඩ්විච් එකක් රුපියල් 150ට. ඒ දවස්වල බිත්තරයක් රුපියල් 12යි - දැන් රුපියල් 65යි. චිකන් ඒ දවස්වල රුපියල් 600/=යි. දැන් රුපියල් 1600/=යි. ඒ හින්ද දැන් ක්ලබ් සැන්ඩ්විච් එකක් රුපියල් 450/=යි.
"එතකොට කෑම කඩ පැතිරිලා ගියේ මෙතැනින් කියල කියන්නේ කොහොමද?"
"අපි ක්ලබ් සැන්ඩ්විච් එවලේම හදල දෙන්නේ උණු උණුවෙම. දවසක් ට්‍රැවල් ටුඩේ එකේ බණ්ඩා ඇවිත් ක්ලබ් සැන්ඩ්විච් එකක් කෑව. එයා යූටියුබ් එකේ දැම්මා මේ සැන්ඩ්විච් පිටරටටත් වඩා රහයි. මීට වැඩි අඩු ගාණට රස ක්ලබ් සැන්ඩ්විච් තියෙනවා නම් එයාට කියන්න කියලා. එදා ඉඳන් බලන් ඉන්නකොට මේ පාරේ සෙනඟ පිරුණා. අපිට දී ගන්න බැරි තරම්. අලුතින් කඩ දෙක තුන වැටිලා දැන් පාර දෙපැත්තෙම කඩ එකට එකක් හේත්තු වෙන්න තියෙනවා!"
"දැන් එතකොට බණ්ඩා ගියා ගියාමයි ආවේ නැතෙයි?"
"එයා කෑමක් හොඳයි කිවුවහම සතියකට වරක් ඇවිල්ල හොරෙන් සල්ලි දීලා කාලා බලනවා හොඳද කියලා. මේ පාර කෑම පාරක් වුණේ බණ්ඩාගේ යූටියුබ් එක නිසා කියලා තමයි මං නම් කියන්නේ."
ඉස්සර නම් 'වන්ෂොට්' කිවුවේ අපරාධකරුවකුටය. ඉන්පසු රන්ජන් අල්පෝන්සු නොහොත් රන්ජන් රාමනායක 'වන්ෂොට්' නමින් බයිස්කෝප් එකක් හැදුවේය. මේ කෑම පාරේ ද 'වන්ෂොට්' සිටී. ඒ 'වන්ෂොට්' කියන්නේ බීම වර්ගයකයට. සෝඩා හෝ ස්ප්‍රයිට් බෝතලයෙන් වීදුරුවට දාන්නේ අඟලක් පමණ කරට අඩුවෙනි. බොන්න සූදානම් වන්නට තත්පර 3කට පෙර අරක්කු මූඩියක පමණ කුඩා වීදුරුවකට 'කාබනේට් වෝටර්' වැනි දියරක් එයට එක් කළ සැණින් එය පානය කළ යුත්තේ පෙණ උතුරා ගලායන නිසාය. පෙණ ටික උතුරා යන්නට පෙර සැණෙකින් තත්පර ගණනකදී 'වන්ෂොට්' පානය කොට අවසන් කළ යුතුය. නැත්නම් ඔක්කොම බීම ටික උතුරා ගොස් හමාරය.
මෙහි විකිණීමට කවාබි ස්ටික්වල අමුණා ඇත්තේ සොසේජස්, ඉස්සන් හා චිකන් කෑලිය. ඒවා අමුණා ඇත්තේ ඉරටුවකය. ඉරටුවක මිල රුපියල් 300කි. කටු නැති හොඳ චිකන් අඟල් 1/2ක පමණ පතුරක් දැමූ චිකන් බර්ගර් එකක් රුපියල් 600/-යි.
අප කතා කළ කබාබ් ස්ටික් අලෙවියට තිබූ ජංගම රථයේ හිමිකරු වූයේ වසීම් ය.
ඉම්රාන්ගේ අලෙවි කුටියේ වූයේ අපි මුලින්ම කියූ පාම් පූරිවලට වඩා පැකට් කරන ලද 'ටෙක්අවේ' කෑම ජාතිය.
"අපි ගාව තියෙනවා කප්වල දාන වටලප්පල්, ලඩ්ඩු, චොකලට් කේක්, ස්නෝවන් කජු කේක්, බොම්බයි මොටයි, බූන්දි, අයිස් ක්‍රීම් කේක්, ගුලබ්ජින් වගේම ජෙලි."
බොහෝ දෙනකු ඒවා දෙක තුන අරන් ගියේ කෑමට මේ පාරේ ඉඩ අඩු නිසාය.
දැන් මේ කෑම පාර විදේශිකයන් අතර ද ජනප්‍රිය වන බව එහි එන විදේශිකයන්ගෙන් පෙනී යයි. විදේශිකයන්ට කෑම හැදීමේදී මිරිස් වෙනුවට යොදා ගන්නේ ගම්මිරිස් බව අපට කියා සිටියේ 'තන්දූරි චිකන්' හදමින් සිටි ෆවුම්ය.
මෙහි කඩ මෙන්ම මුළුමනින්ම බීම කඩ ද ඇත. මොහිදින් හා චාමර අපව තම බීම කුටිය ගැන ද පත්තරේ පින්තූරයක් දාන ලෙස ඉල්ලා සිටියෝය.
"අපි ගාව තමයි තියේනනේ බාදම්, අයිස් මෙලන්, චාජින්, ෆලුඩා, නන්නාරි, ලෙමන් හොඳම ජාති.
පාර අයිනේ දෙපැත්තේම ප්ලාස්ටික් මේස පුටු දමා තිබේ. බොහෝ දෙනා පවුල් පිටින් බුරියානි, රයිස්, පිට්ටු ඇදබාන්නේ ලෝක විනාසයක් අත ළඟ එද්දී කන අවසන් කෑම වේල වගේය. තරුණ තරුණියන්ට නම් කෑමට වඩා වැදගත් වී ඇත්තේ 'සෙල්ෆි' ගැනීමය. වන්ෂොට් එකක් බොන විට කට්ටියම එය ෆෝන් එකෙන් රූගත කරන්නේ තරගයට මෙන්ය.
මේ පාරේ එහා මෙහා ගිය අපට මතකයට ආවේ පකිස්ථානයේ හෝ ඉන්දියාවේ වීදියකි. මේ වෙෙළන්දන් බහුතරයක් එකම ජාතියකට අයත්ය. අප මෙතෙක් අසා සිටියේ සංගීතය විශ්ව භාෂාවක් කියාය. මේ කෑම පාරේ රැයක් ගෙවූ අපට පෙනී ගියේ ආහාර ද ජාතියක්, ආගමක්, දේශයක් නැති විශ්ව ආහාරයක් බවත් එහි ආගම කුසගින්න බවත් නොවේද?
ඡයාරූප - ගයාන් පුෂ්පික