- අහිමි වීමකදී හිත හදා ගන්න හැටි ඉගෙන ගන්න අත්වැලක්
- ආශීර්වාද රැසක් සුරතල් සතුන්ගේ ආශ්‍රයෙන් අපට ලැබෙයි. ඔවුන් සමුගෙන යන්නේ ඒ වේදනාත්මක සමුගැනීම් හරහා ද අපට යම් පාඩමක් උගන්වමිනි
‘‘ඔයාට සීතල දැනෙන එකක් නැහැ බ්‍රවුන් මැණික! අද රෙදි දෙකක්ම පෙරෙව්වා." කිසි උත්තරයක්, වෙනදා වාගෙ ඇස් කරකවා බැලිල්ලක්වත් නෑ. " ඒත් ඔයාගෙ අයිතිකාරයො තුන් දෙනාම නැති අතරෙ ඔයා හොරෙන් යන එකයි නරක. එයාලා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්. මං හිතන්නෙ නෑ මට පුළුවන් වෙයි කියලා ඔයා යන්න ගිය හැටි එයාලට කියන්න." ඉන් පස්සෙ තුනී පස්තට්ටුවක් ගානෙ වැටුණා.
අහිමි වීම යනු අපට අලුත් අත්දැකීමක් නොවේ. කොපමණ දාර්ශනික ලෙස කල්පනා කළද, පිළිතුරු දුන්නද මේ අහිමි වීම් අතිශය වේදනාකාරීය. එය ජීවිත කාලයක් මුළුල්ලේ ඉගෙන ගත්‍තද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ කීයෙන් කී දෙනාටද? සැබවින්ම එය දරා ගැනීම අතිශය වැදගත් කාරණයකි. විශේෂයෙන්ම අහිමි වීමකදී හිත හදා ගන්නා ආකාරය අප කාටත් වැදගත්ය. එබඳු චිත්තවේගයක් කළමනාකරණය කර ගැනීම ගැන අප කවුරුත් ඉගෙන ගත යුතුය. එය විශේෂයෙන්ම වැදගත් වන්නේ දූ දරුවන්ටය.
සුරතල් සතුන් හා මිනිසුන් අතර ඇති සබැඳියාව අද ඊයෙක පටන් ගත් එකක් නොවේ. විනෝදය පිණිසද, පාළුව සාංකාව මකා ගැනීමේ අරමුණින් මිතුරකු ලෙස ද එබඳු සතුන් අප අතරේ වැඩෙනු දකින්නට පුළුවන. මන සුව වඩන කාරණා රැසක් සතුන් හේතුවෙන් අපට ලැබෙන බව කීම මුසාවක් නොවේ. ඔවුන් අප සමඟ ගත කරන කෙටි කාලය තුළ අපේ මන සුව ඇති කරන්නාක් මෙන්ම අනපේක්ෂිතව අප හැර යන මොහොතේ ද ඒ අතිශය කනගාටුදායක හැඟීම්වලට අමතරව " ජීවිතයට පාඩම් " කීපයක් කියා දී යන්නට ද සමත් ය. ඉන්නා කාලයේ ඔවුන් අපේ මානසික සුවයට හේතු වන ආකාරය ගැන කතා කරන්නට පෙර ඔවුන්ගේ වේදනාකාරී වියෝව අපට කියා දෙන පාඩම් ගැන ඇබින්දක් කතා කරන්නට මා සතුටුය.
බොහෝ දරුවන් වැඩෙන්නේ සුරතල් සතකු හෝ සතුන් කිහිප දෙනකුගේ හෝ ආශ්‍රය, ආදරය කිරීම් හා ලැබීම් ඇසුරේ බැව් කිවහොත් එහි වරදක් නොවේ. ඇතැම්විට එය වැඩිහිටියකුගේ ද ජීවිතයේ කොටසක් වන්නට ඉඩ තිබේ. ඒ බල්ලකු, බළලකු, හාවකු, මාළුවකු හෝ කුරුල්ලකු වන්නට පුළුවන. බොහෝ දරුවන් දවස අරඹන්නේ , ගෙදරින් පිටව යන්නේ උන්ට ද ආදරණීය වදනක් තෙපලමිනි. එහෙත් උන් අප හැර ගිය දවසක අපට ඒ සැහැල්ලුවෙන්ම උන්ට ආයුබෝවන් කියන්නට අපට නොහැකිය. මන්ද යත් ඔවුන් අපේම කොටසක්ව සිටි බව දැන් අපට තදින්ම දැනෙන්නට පටන් ගන්නා බැවිනි.
සුරතල් සතුන් හුදෙක් ඔවුනට විනෝදාස්වාදය පමණක්ම ගෙන එන්නේ නොවේ. ඔවුන්ගෙන් ආශ්‍රයෙන් යම් ඉගෙනුමක් ලබා ගන්නට ද දරුවන්ට ඉඩ කඩ ලැබේ. අනෙෙකකු ගැන හිතන්නට, අනෙකෙකුගේ වේදනාවකදී ඒ බව හැඟෙන්නට සුරතල් සතුන්ගේ ආශ්‍රය ඔවුන්ට උපකාරී වෙයි. එපමණක් නොව ජීවන රටාවේ යම් පිළිවෙළක් ඇති වන්නට ද එය හේතුවක් වෙයි.
සුරතල් සතකු වෙනුවෙන් කැපවීම හා සොයා බැලීම කුඩා වයසේ පටන්ම වගකීම් ඉටු කිරීමේ හුරුව ඔවුන්ට ලබා දෙයි. ආදරය, කරුණාව ආදී අත්‍යවශ්‍ය ගුණාංග වර්ධනය කරයි. ප්‍රායෝගික මිනිසකු බිහි කරන්නට මූලික අඩිතාලම වැටෙන තැනක් වශයෙන් ද එය හඳුනා ගැනීම වරදක් නොවේ.
එයාකාර සැඟවුණු ආශීර්වාද රැසක් සුරතල් සතුන්ගේ ආශ්‍රයෙන් අපට, විශේෂයෙන්ම දරුවන්ට ලැබෙයි. ඔවුන් අපේ ජීවිතය හා සසඳා බලන කළ සාපේක්ෂව ජීවත් වන්නේ කෙටි කාලයකි. උදාහරණයක් වශයෙන් බල්ලකු නම් අවුරුදු අටත් දොළහත් අතර පමණය. බළලකු නම් උපරිමය දාහතරක් පමණය. එපමණකින් නොනවතින ඔවුන් අපෙන් සමුගෙන යන්නේ ඒ වේදනාත්මක සමුගැනීම් හරහා ද අපට යම් පාඩමක් උගන්වමිනි.
ඇතැම් සුරතල් සතකු, විශේෂයෙන්ම බල්ලකු ඇති කරන්නට මැළි වන එක්තරා කාරණාවක් තිබේ. එනම්, ඔවුන් පවසන ආකාරයට, ලෙඩ දුකකදී හෝ වියෝවකදී හෝ අත්විඳින්නට ලැබෙන වේදනාව හේතුවෙනි. සැබවින්ම, සුරතල් සතකුගේ වියෝව දරාගත නොහැකි අන්දමේ එකකි. එහෙත් සත්‍යයට මුහුණ දෙන්නට අපට සිදු වෙයි. ඒ අතිශය කටුක අත්දැකීම දරා ගැනීම ද එක්තරා පාඩමකි. මරණය කා හටත් පොදු බවත් එය කවර වේලාවකදී කොයි ආකාරයෙන් සිදුවේ දැයි කියන්නට නොහැකි බවත් සුරතලකුගේ වියෝව තුළින් දරුවන්ට වටහා ගත හැකි වෙයි. එම වියෝ දුක කොපමණ කල් පවතින්නේද, නැවත ඒ සුරතලා කිසි දවසක දකින්නට නොලැබෙන්නේද ආදී වශයෙන් දරුවන්ට යථාර්ථය වටහා ගන්නට ඒ වෙන්ව යෑම හේතු වෙයි. අනෙක් අතට ඒ කිසිදා අමතක නොවන මතකයක් වන්නට ද ඉඩ තිබේ. එය ස්වයං පොරොන්දු හා තීන්දු තීරණ ගැනීමේදී දරුවකුට ශක්තියක් වන්නේ තම සුරතලාගේ මතකය වෙනුවෙන් ඇතැම් හුරු පුරුදු වුව සදහට වෙනස් කරගත් දරුවන් ගැන අප අසා ඇති බැවිනි.
දරුවන් යම් දිනෙක යථාර්ථය අවබෝධය කර ගත යුතුය. එහෙත් එය එක වර සිදු කළ හැකි දෙයක් නො වේ. එය ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කර ගත යුත්තකි. ජීවිතය පිළිබඳ අතැම් අත්දැකීම් ඔවුන්ට ලබා දෙන්නේ සුරතල් සතුන්ය. සමුගැන්මක වේදනාව, සමුගැන්මක කනස්සල්ල කළමනාකරණය කර ගන්නට ඔවුන්ට උපකාරී වන්නේ සුරතලුන්ය.
ළමා අවදිය සෑම විටෙකම පාහේ අනාගතය ගැන අවධානය යොමු කෙරෙන කාලයකි. ඊළඟ උපන් දිනය, ඊළඟ පන්තියට සමත් වන දවස, ඊළඟ නිවාඩු කාලය යනාදිය ගැන වැඩි අවධානයකින් යුතුවය ඔවුන්ගේ ජීවිත ගතවන්නේ.
විභාග හෝ අනාගතයේ කවර රැකියාවකට යා හැකිද යනාදී කාරණා ඔවුන්ගේ මනසේ වැඩිමනත් ඉඩක් උදුරා ගනී. මතක සැමරුම්, අතීත සිදුවීම් ගැන ඔවුන්ගේ සිත වැඩ කරන්නේ සාපේක්ෂව ඊට අඩුවෙනි. ගෙවුණු දවස හෝ ගෙවෙන දවස ගැන ඒ හැටි කල්පනාවක් නැති තරම්ය. සුරතල් සතකුගේ වියෝව මේ අනාගත අපේක්ෂා ගැනම වැඩිපුර කල්පනා කිරීමේ ගතිය යම් මොහොතකට අඩු කරයි. අතීතයේ එනම්, පෙර දවසේ අත්විඳි සුන්දර මතක සැමරුම් ආවර්ජනය කරන්නට ඔහු හෝ ඇය පෙලඹෙයි.
සුරතලකුගේ වියෝව එක් අතකින් නිර්මාණශීලීත්වයට ද මඟ පාදන්නකි. අහිමි වී ගිය ඒ සුරතලා, ඒ මතකය වෙනුවෙන් යමක් කරන්නට ඔහුට හෝ ඇයට සිත් වෙයි. ඒවා අප බොහෝ විට හඳුන් වන්නේ වෙනුවෙන් සිදු කරන හෝ සැමරුම පිණිස සිදු කරන ක්‍රියාකාරකම් වශයෙනි. එය චිත්‍ර ඇඳීම, ඡායාරූප එකතුවක් සැකසීම හෝ කතාන්දරයක් ලිවීම විය හැකිය. ඇතැම්විට අප නොවැදගත් යැයි සිතන බොහෝ දේ පසුකලෙක ලෙහෙසියෙන් නොමැකෙන මතක බවට පත්විය හැකි යැයි දරුවන් වටහා ගන්නේ සුරතල් සතකු ඇසුරිනි. බාගවිට උගේ අඩි සලකුණක්, ඌ අතින් හානි වූ යමෙක කොටසක් පසුකාලීනව මතක සැමරුමක් ලෙස දකින්නට දරුවකු හුරු වෙයි.
සුරතල් සතකුගේ වියෝව දරුවන්ට කියා දෙන වැදගත්ම පාඩම වන්නේ ජීවිතය යනු සදාකාලිකවම පවතී යැයි සිතා කටයුතු කළ හැකි හෝ වින්දනය කළ හැකි හෝ දෙයක් නොවන බවය. තමා ඇලුම් කරන කවරකුට හෝ කවර දෙයකට හෝ ඔය ඉරණම අත් විය හැකි බව ඔවුන් ඒ හරහා අවබෝධය කර ගනී. අතීතය දිහා ආපසු හැරී බලා , " අපොයි ඊට වඩා හොඳින් කරන්නට තිබුණා නොවේදැ"යි හුදෙකලාවේ ළතැවෙමින් සිතා බලන්නට අප පොලඹවන්නේ උන්ගේ වියෝවයි. ඊළඟ වතාවේ ඊට වඩා කාරුණික, අවධානයෙන් යුතු තැනැත්තකු වන්නට ඔහුට හෝ ඇයට තමාගේ අභ්‍යන්තරයෙන්ම පණිවුඩයක් ලැබෙන තැනට පත් වෙයි.
සෑම දවසක්ම වින්දනය කළ යුතු දවසක් බව ඔවුන් පළමු වතාවට ඉගෙන ගන්නේ තම සුරතලාගේ වියෝවත් සමඟය. ඊළඟ, ඊළඟ හා ඊටත් පසු දවස් ගැනම විපරම් කරමින් සිත වෙහෙසනවාට වඩා ගෙවෙන දවස ගැන කොයි තරම් සිතන්නට තිබුණා දැයි දරුවනට කියා දෙන්නේ මේ වියෝවය. දරුවනට මතු නොව, වැඩිහිටි අපට වුව එය සිත් කම්පනයක් සහිතව ඉගෙන ගන්නට ලැබෙන වටිනා පාඩමක් බව කීම බොරුවක් නොවේ. උගත් පාඩම්වලින් ඉගෙන ගන්නට දරුවාට හුරුවක් ඇති කරන වැදගත්ම අවස්ථාවක් වන්නේ ද එයයි. අතපසු වීම් හා නොසලකා හැරීම් ගැන කනගාටු වීම ද සුරතලකු මිය යෑමත් සමඟ සිතේ ඇතිවන්නකි.
කනගාටු වීම හෝ පසුතැවිලි වීම නොකළ යුතු දෙයකැයි බොහෝ දෙසුම්වලින් අප අසා තිබේ. එහෙත් එහි වාසි නැතුවා ද නොවේ. එකම වරද අප අතින් නැවත වරක් සිදු නොවන්නට අපට උපකාරී වන්නේ මේ කනගාටු වීම හෝ පසුතැවිලි වීමය. අප කවුරුන් දැයි අපටම තේරුම් ගන්නට එය කදිම අවස්ථාවකි.
සුරතල් සතකුගේ වියෝවේදී නෙතින් කඳුළු ගලා යන්නේ අපේක්ෂා නොකළ ආකාරයෙනි. ඇතැම් වැඩිහිටියෙක් විටෙක අප හා පවසන්නේ, " මං එහෙම කවදාවත් අඬන කෙනෙක් නෙවෙයි. එහෙම අඬන්නෙ නැහැ. ඒත් ක්ලයිෂි (සුරතල් බල්ලා ) මැරුණ දවසේ මට ඇඬුණා" යනුවෙනි. එසේ නම් කුඩා දරුවන්ට වේදනාව දැනෙන අයුරු ගැන තවත් කවර කතාද? ඉතින් මෙබඳු අවස්ථාවකදී දරුවන් ඒ ශෝකය බෙදා හදා ගැනීම අපේක්ෂා කරන බව වැඩිහිටියන් තේරුම් ගත යුතුමය. එය නොසලකා හැර ඔවුන්ගේ දුක, කනස්සල්ල හා සංවේදී බව හෑල්ලු කරන්නේ නම් එය හොඳ දෙයක් නොවේ. එය පවුලේ බැඳීම කෙරේ බලපාන්නා වූ අතිශය වැදගත් අවස්ථාවකි. එය මග හළ නොයුතුය.
සුරතල් සතුන්ගේ වියෝව හා මන සුව අතර ඇති සම්බන්ධය ගැන කතා කරන හැම විටෙකම අප අමතක නොකළ යුතු දෙයක් වෙයි. ඒ එය දරා ගන්නේ කෙසේද , එය දරා ගන්නට උදවු වන්නේ කෙසේද යන කාරණාවයි. එහිදී මුලින්ම අපේ සැලකිල්ලට බඳුන් විය යුතු දෙය වන්නේ ඉහළින් කී ආකාරයට සාමූහිකව පවුලක් ඇතුළේ ඒ දුක බෙදා හදා ගැනීමයි. එය සමච්චලයට හෝ නොසැලකිල්ලට ලක් කිරීම කිසි විටෙකත් නොකළ යුත්තකි. එකිනෙකා හා කතා කරමින් ඒ චිත්තවේග හා හැඟීම් සමනය කර ගන්නට ඉඩක් ලබා දීම හා ලබා ගැනීම පවුලේ කාගේත් වගකීමකි.
අනෙක් අතට හිත් හැදීමේදීත් ජීවිතය පිළිබඳ කියා දීමේදීත් එය සිදු කළ යුත්තේ තවත් බරපතළ ප්‍රශ්න ගණනාවක් ඔවුන්ගේ සිත් තුළ ඉතිරි කරමිනි. ආගම හෝ විද්‍යාව හෝ අනුව තාර්කික ලෙස මේ අවබෝධය වයසින් වැඩි දරුවන්ට ලබා දිය හැකි නමුදු ඉතා කුඩා දරුවන්ට එය වටහා දිය යුත්තේ ඔවුන්ගේ මනසට ගැළපෙන අයුරිනි. Cleveland Clinic Children’s Hospitalහි පෝෂණය පිළිබඳ මනෝවෛද්‍ය ආචාර්ය මාගරට් රිචර්ඩ්ස් ඒ ගැන අපූරු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
" මිය යෑම ගැන තේරුම් ගැනීමේ මට්ටම තීරණය වෙන්නේ වයසත් එක්කයි. අවුරුදු දෙකේ සිට පහ දක්වා වයස් කාණ්ඩවල පසු වන දරුවන් වටහා ගන්නට අසමත් ඔවුන්ගේ සුරතලාට සිදු වූයේ කුමක්දැයි කියා. ඒත් අවුරුදු අටෙන් ඉහළ දරුවන් බොහෝ විට දන්නවා මරණය නොවැළැක්විය හැකි දෙයක් බව. ඒත් කුඩාම දරුවන්ට එය වැටහෙන්නෙ නැහැ. එතැනදී වැඩිහිටියන් සමත් වෙන්න ඕනෑ එය ඉතා සරල වචනවලින් හා උදාහරණවලින් ඔවුන්ට පෙන්නා දෙන්න. ඒත් එයා නිදාගෙන ඉන්නෙ, එයාව සුරංගනාවියො අරන් ගිහිල්ලා වාගෙ බොරු හේතු කීම නොකළ යුතු දෙයක්. "
සුරතලකුගේ වියෝවකදී, දරුවකුගේ වේවා, වැඩිහිටියකුගේ වේවා එකී ශෝකය අවදි හතක් පසු කරන බව තේරුම් ගැනීම අනෙකාගේ හිත හැදීමේදී හෝ තමාගේ හිත හදාගැනීමේදී හෝ ඉතා වැදගත් ය. තිගැස්ම සහ සිදුව ඇති දෙය පිළිගන්නට මැළි වීම පළමුවෙන්ම සිදු වන දෙයයි. වේදනාව මුසු වරදකාරී හැඟීමක් ඉන් පසු මතුවෙයි.
ඒ දෙවැනි අදියරයි. කෝපය හා එහි අවාසි හා පාඩු ගැන කල්පනා කිරීම තුන්වැන්නයි. ආතතියට පත්වීම, ආවර්ජනය හා තනිකමක් දැනීම හතර වැනි අදියරේදී සිදු වෙයි. සුරතලා නැතිව ජීවිතයට හුරු වීම, අලුත් ජීවිතය සාමාන්‍ය අතට හැරීම ඊළඟ දෙපියවරයි. අවසාන අදියර වන්නේ යථාර්ථය පිළිගෙන බලාපොරොත්තු සහගතව ඉදිරිය දෙස බැලීමයි. එබැවින් සුරතල් සතකුගේ වියොව පිළිබඳව තැවෙන්නෙකුගෙන් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වීම නොයුතුය. ඊට කවරකුට වුව යම් කාලයක් ලැබිය යුතුය.
ඇතැම් රටවල සුරතල් සතුන්ගේ වියෝවකදී හැසිරිය යුතු, කටයුතු කළ යුතු අයුරු පෙන්නා දීම වෙනමම අවධානය යොමු කරන විෂයයකි. එය පුද්ගලයන්ගේ , වෙසෙසින්ම දරුවන්ගේ මානසික සමබරතාව, මානසික සෞඛ්‍ය හා පෞරුෂ සංවර්ධනය කෙරේ බලපෑමක් ඇති කරන බැවින් මේ අවධානය යොමු වී තිබේ.
මේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය වයස් කාණ්ඩ අනුව ද වර්ගීකරණය කර තිබෙනු දකින්නට පුළුවන. ඒ වයස අවුරුදු දෙකත් තුනත්, හතරේ සිට හය දක්වා, හතේ සිට නමය දක්වා, දහයේ සිට එකොළහ දක්වා සහ නව යොවුන් අවදිය හා වැඩිහිටි වශයෙනි.