ජීවිතය යනු මුදල් නොව ගුණධර්ම යැයි ඔහු බොහෝ දෙනකුට කියා දුන්නේය. ඒ මීට වසර පනහකට පමණ පෙරය. දැන් ඔහු ස්වකීය ජීවන ගමන් මඟෙහි අසූ වැනි සැතපුම් කණුවට ළඟා වී ඇත. හැබෑවටම ගතහොත් මේ ගුරුවරයාගේ ගෝල පරම්පරාව ද දහස් ගණනක් වෙති. ඔහු පන්ති කාමරයේ ඉගැන්වීම්වලට අමතරව මානව ශිෂ්ටාචාරය ගැන ප්‍රසිද්ධ දේශන පැවැත් වීය. සාමකාමී, යහපත් සමාජයක් යන්න එදා ඔහුගේ තේමා පාඨය විය. එහෙත් මේ වන විට ස්වකීය පරණ ඉගැන්වීම් සියල්ල නිස්සාර - බොලඳ දේවල් ලෙස ඔහුටම දැනෙන්නට පටන් ගෙන තිබේ. ජීවිතය යනු මුදල් බව ද, මුදල් යනු ජීවිතය බව ද නැවත කියා දෙන්නට හැකි නම්, ඔහු ඒ කටයුත්ත ඉතා හොඳින් ඉටු කරනු ඇත.
මේ වන විට ගුරුතුමා ළඟ ස්වල්ප මුදලක් ඉතිරිව තිබේ. ඔහු එය කඩදාසියක ඔතා සුරක්ෂිතව කලිසම් සාක්කුවේ පතුලෙහි සඟවා ඇත. ඒ හැරෙන්නට ඔහු සතුව ඇත්තේ හැඳුනුම්පත, උපැස් යුවළ හා ලොතරැයි පත් දහයක් පමණි. ඔහු මෑතක සිට දිනපතාම පාහේ ලොතරැයි පත් කිහිපයක් මිලට ගත්තේය. කිසිදු දිනුමක් ලැබුණේ නැති වුව හෙතෙම ලොතරැයිපත් මිලට ගත්තේය. එය ජීවත් වීමට හා සිහින දැකීමට රුකුලක් වන්නේ යැයි තර්කයක් ගුරුතුමා ළඟ තිබිණි.
ඔහු සිය දියණියගේ නිවෙසින් එළියට බැස්සේ යළි කිසි දිනෙක ඔවුන් වෙත නොයන්නෙමි යැයි තිර අදිටනක් ඇතිවය. එම අංග සම්පූර්ණ නිවෙස මෙන්ම අක්කර එක හමාරක ඉඩම ද ඔහුගේ තනි මහන්සියේ ප්‍රතිඵලයකි. බිරිය රැකියාවක් නොකළ අතර ඔහුට සිටියේ එකම දියණියක පමණි. අධ්‍යාපනයෙන් බොහෝ දෙනකුගේ ඇස් පෑදූ ගුරුතුමාට තම දියණියගේ ඇස් පාදන්නට බැරි විය. ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක පැටලී සිට පසුව ත්‍රීරෝද රථ රියදුරකු හා පැන ගියාය. කුලී ගෙවල්වල ලගිමින් නන්නත්තාර ජීවිතයක් ගත කළ ඔවුහු පසුව හෙමින් සීරුවේ මහගෙදරට රිංගා ගත්හ.
ලෙඩ ගානේ සිටි බිරිය මිය ගියාය. ඉනික්බිති එම නිවසෙහි ගෘහ මූලිකයා බවට පත් වූයේ දියණියගේ පුරුෂයාය. ඔහු ඉඩම හා නිවෙස දියණියගේ නමට ලියන්නැ'යි ආරවුල් ඇති කළේය. සිය දියණියගේ විවාහ ජීවිතය ගැන ගැඹුරින් සිතා බැලූ ගුරුතුමා ප්‍රාණ භුක්තිය පවා නැතිව සියල්ල දියණියට ලියා දුන්නේය. සැමියා හා බිරිය එක් වී අක්කර භාගයක් විකුණා දැමූහ. දෙවැනුව ගුරුතුමාගේ විශ්‍රාම වැටුප ඇපයට තබා සැලකිය යුතු ණය මුදලක් ලබා ගත්හ. ණය වාරික හා පොලී කැපුණු විට ගුරුතුමාගේ විශ්‍රාම වැටුපෙන් අත ඉතිරි වන්නේ ඉතා ස්වල්පයකි. එය ද බෑණා විසින් වරින්වර හොරකම් කරනු ලැබේ. ඔහු තමන්ට නාකියා යැයි කියමින් බැණ වදින විට ද ගුරුතුමා ඉවසා සිටී. සියල්ල දමා ගසා ගෙදරින් පිටවීමට හේතු සාධක වූ ආසන්න සිද්ධිය මේ දැනුත් ඔහුගේ මනසෙහි රඟ දැක්වෙයි.
"මගෙ පරණ පොත් ගොඩට මොක ද වුණේ!? එතන වටිනා පොත් ගොඩාක් තිබුණා!"
"පොත් කන්ඩද මනුස්සයෝ? මං ඒ ටික විකුණල දැම්මා. වැඩක් නෑ, එක්දාස් දෙසීයයි හම්බවුණේ!"
"කාලකන්නි මෝඩයා! උඹ මාව මරල දැම්ම නම් ඊට වඩා හොඳයි!"
"කෑ නොගහ හිටපන් නාකියෝ අර ගෑනිට ඇහුණොත් බර බරේ!" ගුරුතුමාගේ මුළු ශරීරයම වෙව්ලන්නට වූ අතර සිරුරේ සමබරතාව බිඳී ගියේය. ඔහු නිවෙසේ බිත්ති අල්ලමින් තම කාමරයට ගියේය. නැවත එහි දොර වසා එළියට බැස්සේය.
ගුරුතුමා ආසන්න උප නගරයට පැමිණ එහි මහ වීදිය දිගේ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගත්තේය. හුදෙකලාව, අසරණ භාවය පමණක් නොව සියුම් කෝපයක් ද ඔහු තුළ ඇතැ'යි කියන්නට පුළුවන. ගුරුතුමා මත්පැන් පානයට හුරු වූ තැනැත්තෙක් නොවේ. ඔහුට ඒ කෙරෙහි ආශාවක් ද නැත. එහෙත් ඔහු ඉබේම මෙන් අවන්හල වෙත ඇදී ගියේය.
ගුරුතුමා කෙළවරක වූ හිස් මේසයක් වෙත ගොස් අරක්කු කාලක්, සෝඩා බෝතලයක් හා කඩල තසිමක් ඇණැවුම් කළේය. අවන්හල පුරා විවිධ ඝෝෂාවන් නැඟෙන්නේ වුව ඔහුගේ කල්පනා කෝලයට එය බාධාවක් නොවීය.
ගුරුතුමා සිය ජීවිතයට වැරැදුණු තැන් දෙස ආපසු හැරී බලන්නට පටන් ගත්තේය. ඔහුට දැන් හැඟෙන්නේ ගුණධර්ම කියා ජාතියක් මිනිසුන් ළඟ නැති බවය. ඔහු තම දියණිය අමතක කර දමන්නට උත්සාහ කළේය. එහෙත් පියකු ලෙස ඔහුට එය කළ නො හැකිය. අතහැරීම ප්‍රගුණ කළ යුතු දෙයක් බව බෞද්ධ දර්ශනයේ සඳහන් වී ඇති බව ඔහුට හදිසියේම සිහිපත් විය.
"සර්ට මාව අඳුරන්න පුළුවන්ද?"
අපූරු ප්‍රියමනාප පෙනුමකින් යුත් මහත්තයෙක් ගුරුතුමා ළඟ ගරුසරු ඇති ව හිටගෙන සිටී. ගුරුතුමාට නිනව්වක් නැත. ඒ බව පෙන්වීම ද හොඳ නැත.
"මං දැන් වයසක මිනිහෙක්නෙ මහත්තයා!"
"මම සර්ගෙන් හොඳටම ගුටිකාපු නරක ශිෂ්‍යයෙක්!"
"ශිෂ්‍යයො වුණහම ගුටිකන්ඩත් වෙනව නේද?"
"ඒ හැම ගුටියකම අර්ථයක් තිබුණ සර්...!"
ගුරු ගෝල සංවාදය දීර්ඝ ලෙස පැවැතිණි. ගෝලයා ඕනෑවටත් වඩා ගරුසරු වූ අතර ගුරුතුමා තම හෘද සාක්ෂියට එකඟව කතා කරන්නට විය. ඔහු තමා පිළිබඳ සම්පූර්ණ ඇත්ත ගෝලයා ඉදිරියේ දිග හැරියේය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනාම තවදුරටත් පානය කළහ.
ගෝලයා සිය ගුරුවරයාගේ ගුණ වයමින් හඬා වැටුණේය. ගුරුවරයා තමන්ගේ අසරණකම කියමින් හඬා වැටුණේය. අවසන් ලෙස ඔවුහු දෙදෙනාම එකිනෙකා වැලඳ ගත්හ.
සිද්ධිය නිමාවට පත් වූයේ ගෝලයාගේ නිවෙස වෙත ගුරුවරයා කැටුව යෑමෙන්ය. වාසනාවකට මෙන් ඒ ගෙදර සියල්ලෝම ගුරුවරයාට ගරු කළහ. "සෑර් ටික දවසක් අපේ ගෙදර ඉන්ඩ ඕනෑ!" ගෝලයා අවධාරණයෙන් කියා සිටියේය.
එදින රාත්‍රිය ප්‍රීතිදායක එකක් විය. ගෙදර සියල්ලෝම රූපවාහිනිය ඉදිරිපිට අසුන්ගෙන නොයෙක් දේ කතා කරන්නට වූහ. රූපවාහිනියෙහි ලොතරැයි දිනුම් ඇදීම ප්‍රචාරය විය. ගුරුතුමා දිනුම් අංක හතරක් හා ඉංග්‍රීසි අකුරක් හිතේ සටහන් කර ගත්තේය.
"හරි නම් සර් වගේ ගුණ යහපත් කෙනකුට දිනුමක් ඇදෙන්ටම ඕනෑ!"
ගෝලයා කිහිප වරක් කියා සිටියේය. එදින මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී රාත්‍රී ඇඳුමක් ද, සුව පහසු කාමරයක් ද ගුරුතුමාට ලැබිණි. දොර වසාගත් ගුරුතුමා පළමුව සිදු කළේ මතක ගබඩාවේ ඇති ලොතරැයි අංක සමඟ ඔහුගේ සාක්කුවේ තිබුණු ලොතරැයි පත් සසඳා බැලීමය. එක ලොතරැයි පතකට සැලකිය යුතු දිනුමක් තිබිණි.
හැබෑවටම ජීවිතය යනු මුදල් ද නැත්නම් ගුණධර්ම ද ඒ රාත්‍රිය පුරාම ඔහු කල්පනා කළේය.