ගෙඩි, වණ, පිළිකා සියලු චර්ම රෝග සුව කරන සමාධි වෙදහාමිනේ | Page 2 | සිළුමිණ

ගෙඩි, වණ, පිළිකා සියලු චර්ම රෝග සුව කරන සමාධි වෙදහාමිනේ

මෙවර ඉසිවර අරණ තුළින් හඳුන්වා දෙන්නේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියකි. ඕ පාරම්පරික උරුමයෙන් ගෙඩි, වණ, පිළිකා, පොකු කබර, සුදු කබර ආදී සියලු සමේ රෝග සුව කිරීමට සමත්, කීර්ති ශ්‍රි දේශශක්ති ආයුර්වේද ප්‍රසාදි සම්මානයෙන් පිදුම්ලත් වෛද්‍යවරියකි. චීන කටු චිකිත්සාව මෙන්ම ‍යෝගා හා ක්‍රීඩා සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති ඇය දෙස් විදෙස් ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවීම ලබා ඇත. මහරගම ආයුර්වේද සංරක්ෂණ ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. තවද මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳව උපාධිධාරීනියක වන ඇය නොමිලේ උපදේශන සේවය ලබා දෙන්නීය. රට පුරා ජංගම සායන පවත්වමින් සමාජ සේවයේ නිරතව සිටින ඇය දේශීය වෛද්‍ය සමාධි සෂිකලා ය. අප ඇය සොයා අංක 385/2 දරන, කෝට්ටේ පාර රාජගිරිය යන ස්ථානයේ පිහිටි ස්මෘතී වෛද්‍ය මධ්‍යස්ථනය ගොඩවුණෙමු.

සමාධි සෂිකලා උපන්නේ බියගම දෙල්ගොඩ ග්‍රාමයේදීය. ඒ මාධ්‍යවේදී සරත් විජයලත් සහ පාරම්පරික වෛද්‍ය දයානි හේරත්ට දාව ඔවුන්ගේ පළමු දරුවා ලෙසය. ඇයට බාල සොහොයුරකු සහ සොහොයුරියක සිටින අතර, මල්ලි ශෙහාන් විජයලත්. ඔහු වාතරෝග අංශය භාරව කටයුතු කරන අතර, නංගී ශාලිකා විජයලත් ප්‍රතිකාර අංශය භාරව සිටිති. ඔවුන් දෙදෙනා ද මේ වන විට ආයුර්වේද වෛද්‍ය සමාධි සෂිකලාගේ වෛද්‍ය කටයුතු සඳහා දායක වේ.

සමාධි පළමු වසරේ සිට පහ වසර දක්වා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත්ව 2002දී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීය. පරිගණක විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන පරිගණක විද්‍යාව හොඳින් අධ්‍යයනය කළ ඈ ඉන් තෘප්තිමත් නොවූවාය. ඇයගේ මවගේ පියා හේරත් මුදියන්සේලාගේ මල්හාමි ගෙඩි, වණ, පිළිකා සම්බන්ධයෙන් පාරම්පරික වෛද්‍යවරයකු විය. මුල් කාලයේ නුවර වෙදකම් කළ හෙතෙම පසුව අනුරාධපුරයට පැමිණ මියයනතුරුම අනුරාධපුර නගරය හා කැබිතිගොල්ලෑව කේන්ද්‍ර කරගනිමින් වෙදකම් කළේය. කුඩා වියේ සිටම මුත්තනුවන් සමීපයේ වැඩුණු සමාධි පාරම්පරික නාඩි ශාස්ත්‍රය පරතෙරට උගත්තාය. නාඩි ඇල්ලීමෙන් ශරීරයේ ඇති ඕනෑම ලෙඩක් දැන ගැනීමේ හැකියාව ඈ සතු වූයේ මුත්තණුවන්ගෙන් ආභාසයෙනි. පාසල් නිවාඩු කාලය ආරම්භ වූ විගස ඇය ගියේ මුත්තණුවන් හා මිත්තණියගේ තුරුලටය. ඒ නිසා ඔවුන් දෙපළගේ ආභාසය තදින්ම සමාධිට බලපෑවේය. වෙදකමට අමතරව ධාර්මික දිවිපැවැත්ම හා සමාජ සේවා සඳහා ඇති නැඹුරුව ඇය උරුම කර ගත්තේ ඔවුන් දෙපළගෙනි. නිර්මාංසව ඉතා ගෞරවයෙන් කටයුතු කිරීමට ඇය උගත්තේ ඔවුන් දෙපළගෙනි. කොළඹ පාසලක උගත් සමාජශීලි ස්ත්‍රියක වුවද මේ වෙළෙඳ සමාජය තුළ ගතයුත්තක් නොමැති බව ඇය අවබෝධ කර ගන්නේ මේ අපිස් දිවිපෙවෙත නිසාය.

පරිගණක ක්ෂේත්‍රයෙන් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ ඇය ව්‍යාපාරික ක්ෂේත්‍රයට කැමැත්තක් දැක්වූ නිසා ව්‍යාපාර තුනකට අත ගැසුවාය. ඉන් එකක් වූයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයයි. අනෙක ඇඳුම් මොස්තර නිර්මාණකරණය වූ අතර, ඒවා අලෙවි කිරීමට වෙළෙඳසල් ආරම්භ කිරීම අගෙත් ව්‍යාපාරය විය. ඒ සියලු දෙයින් හොඳ ලාභයක් ඉපයුවද ඇයට ඉන් ආත්ම තෘප්තියක් ලැබීමට නොහැකි වූවාය. මේ අවස්ථාවේදී මව හා පවුලේ සියලු දෙනා ඇගෙන් ඉල්ලීමක් කළාය. ඒ තම මුත්තණුවන්ගේ වෙදකම බාරගෙන ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසය. ඉන් තමන්ට ද ආත්ම තෘප්තියක් ලැබිය හැකි බව ඇගේ මවගේ ද අදහස විය. එනිසා කුඩා කල පටන් මුත්තණුවන් සමීපයේ ඉගෙනගත් දෑ පිළිබඳ ඇය සිය අවධානය යොමු කළාය. මව සතුව තිබූ මුත්තණුවන්ගේ පොතපත අධ්‍යනය කළ ඇය තමන්ට ආත්ම තෘප්තියක් ලැබිය හැකි මඟ මෙය බව අවබෝධ කර ගත්තාය. ඒ පිළිබඳ ඈ පවසන්නේ මෙවැන්නකි.

“ව්‍යාපාරවලින් මට මුදල් හම්බ වුණාට හිතට සතුටක් තිබුණේ නැහැ. අපේ පවුලේ ඥති සහෝදර සහෝදරියන් බටහිර වෙදකමට යොමු වී සිටියත් සීයාගේ වෙදකම ඉදිරියට ගෙනියන්න කවුරුවත් උනන්දු වුණේ නැහැ. ඒ නිසා මගේ අම්මගේ ආශිර්වාදයත් එක්ක මං සීයා පරම්පරාවෙන් රැගෙන ආ වෙදකමට යොමු වෙන්න තීරණය කළා. ඒ අනුව රාජගිරියේ ශ්‍රී පැරකුම්බා ආයුර්වේද විද්‍යාලයේ ආයුර්වේද ශාස්ත්‍රී(ඩී.ඒ) සඳහා යොමු වුණා.‍ වසර තුනක් පමණ කාලයක් ඉගෙන ගනිමින් සිටින අතරතුර එම පාඨමාලාව නවතා දැමුවා. ඊට පස්සේ බී.ඒ.එම්.එස් වෛද්‍යවරයකු වූ තිස්ස වික්‍රමතුංග යටතේ විෂයය කරුණු මෙන්ම ප්‍රායෝගික පුහුණුව ලබා ගත්තා. වරින් වර කේරලයට ගොස් ආයුර්වේදය පිළිබඳ ඉගෙන ගත්තා. නාගානන්ද විශ්වවිද්‍යාලය මඟින් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ උපාධිය හිමිකර ගත්තා. ඒ වගේම 2012 වසරේ තායිලන්තයට ගොස් චීනකටු චිකිත්සාව ඉගෙන ගත්තා. නැවත ලංකාවට පැමිණ පුහුණුවීම් කළා. 2017දී ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස ලියාපදිංචිය හිමි කරගත්තා. ඒ වගේම 2022 වසරේදී චර්ම රෝග සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා. මම ගොඩක් ස්වෙච්ඡා සායන පවත්වන නිසා පාර්ලිමේන්තුවෙන් ගෞරව සම්මාන පවා ලබා දී තිබෙනවා”

දේශීය වෛද්‍ය සමාධි සෂිකලා විසින් රාජගිරියේ පවත්වා ගෙන යනු ලබන ස්මෘති වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මූලික වශයෙන් චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන අතර, චීන කටු චිකිත්සාව, පංචකර්ම චිකිත්සාව ද සිදු කරයි. විශේෂයෙන් ඇයට පාරම්පරිකව උරුම වූ ගෙඩි, වණ, පිළිකා ආදී රෝගී තත්ත්වයන් සඳහා ද මෙහිදී ප්‍රතිකාර දෙන්නීය.

“පිළිකාවක් හැදුණු අයකු බටහිර වෛද්‍ය ප්‍රතිකාර මඟින් තුවාලවලට ප්‍රතිකාර කිරීම වගේම තුවාල වූ රෝගීන්ගේ පහළ යන ප්‍රතිශක්තීකරණය නැවත වර්ධනය කර ගැනීම සඳහා මෙහිදී ප්‍රතිකාර ලබා දෙනවා. මීට අමතරව මා සමඟ මෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන සර්වාංග රෝග වෛද්‍යවරු සිටිනවා. ඔවුන් විසින් සර්වාංග රෝග සඳහා ද ප්‍රතිකාර කරනවා.”

මෙහිදී ගෙඩි, වණ, පිළිකා සඳහා ප්‍රතිකාර ලබා දීමේදී මැටිවලට බෙහෙත් ඖෂධ එකතු කර අදාළ ස්ථානවල තවරා ශරීරගතව තිබෙන විෂ ඉවත් කිරීම වගේම ඖෂධීය කසාය මඟින් කිරිබත් සකස් කර මුළු ශරීරයම තැවීමෙන් විෂ ඉවත් කිරීම වැනි පාරම්පරික ප්‍රතිකාර ලබා දේ. ඇය නාඩි චිකිත්සාව ද රෝග හඳුනා ගැනීම සඳහා යොදා ගන්නීය. සිය පාරම්පරික වෛද්‍ය දැනුම අනුව ඒ පිළිබඳව ඈ පවසන්නේ මෙවන් අදහසකි.

“මං මේ කතා කරන්නේ ආයුර්වේදයේ සඳහන් වාත, පිත, සෙම කියන ත්‍රිදෝස කිපීමෙන් ඇති වන රෝග නාඩි පරීක්ෂා කිරීමෙන් හඳුනා ගැනීම පිළිබඳ නෙමෙයි, අපේ පාරම්පරික නාඩි චිකිත්සාව ගැනයි. නාඩි බැලීම කියන්නේ කිසිම ගුප්ත දෙයක් නෙමෙයි. අප රෝගය විනිශ්චය කරන පද්ධතියට යන නාලවල ස්පන්දන රිද්මය අනුව අපට එය සැක හැර හඳුනා ගැනීමයි. අපේ පාරම්පරික වෙදකමේදී අපේ ශරීරයේ පවතින නාඩි 8,400ක් පිළිබඳ කතා කරනවා. මේ අතර ප්‍රධාන නාඩි 107ක් දක්වා තිබෙනවා. මේ ප්‍රධාන නාඩි 107ත් තවතවත් කොටස්වලට බෙදී යනවා. අපේ ශරීරයේ නාඩි බලන්න පුළුවන් තැන් කිහිපයක් තිබෙනවා.

මහපට ඇඟිල්ලට පහළින් තිබෙන ජීව සාක්ෂිණි නාඩිය ඉන් එකක්. ඊට පස්සේ බෙල්ලේ බල නහර ලෙස සාමාන්‍ය ව්‍යවහාරයෙදී හඳුන්වන ස්ථානය තව එකක්. ඒ වගේම කකුලේ වළලුකර තවත් ස්ථානයක්. අප පුහුණු වන ස්ථානය අනුව මේ ඕනම තැනකින් ශරීරයේ පවතින රෝගී තත්ත්වය ගැන විනිශ්චයකට එන්න පුළුවන්. උදාහරණයක් ලෙස කොරෝනා කියන ලෙඩේ අලුත් ලෙඩක් වුණත්, පළමු වැනි කොරෝනා ලෙඩාගේ නාඩි බලන කොටම වයිරස් එක අපට අහුවුණා. අදාළ නාඩි මාර්ගය තුළ ඇති වන ගැස්ම අනුව එය අපට හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම විශේෂ වන නාඩිය වෛද්‍ය පර්යේෂණ වාර්තාවක් මඟින් පරීක්ෂා කර බැලුවාම කොරෝනා පොසිටිව් බව දැනගත්තා. ඒ විදියට දිගින් දිගටම මම එම රෝගීන් පරීක්ෂා කිරීමෙන් එහිදී වෙනස ඇති වන නාඩිය හඳුනා ගත්තා. රෝගීන් පරීක්ෂා කිරීමෙන්ම තමයි ඒ පුහුණුව අපට එන්නේ. ඒක න්‍යායික දැනුමෙන් ඉගෙන ගන්න බැහැ. දවසකට රෝගීන් පනහකට හැටකට අධික සංඛ්‍යාවක් නාඩි පරීක්ෂාවට ලක් වන නිසා නාඩි බලපු ගමන් මට රෝගය හඳුනා ගත හැකියි. මේ වන විට මගේ ලොකු දුවට අවුරුදු දොළහයි, එයාටත් නාඩි බැලීමෙන් සෑහෙන්න රෝග හඳුනා ගැනීමේ අවබෝධය තියෙනවා. ඒක වෙන්නේ නිරන්තරයෙන් රෝගීන් පරීක්ෂා කිරීම නිසයි. ඒ නිසා එයට වයස සීමාවක්වත් වෙනත් විශේෂ සුදුසු කමක්වත් බාහිර බලවේගයක උපකාරයක්වත් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ සියුම් දේ හඳුනා ගැනීම සඳහා මානසික නිදහස නම් අත්‍යවශ්‍යයි.

ඒ වගේම අව්ව වැටුණට පස්සේ නාඩි බලන්න බැහැ. මොකද ඒ වෙලාවට ශරීරයේ ලේ ගමනාගමනය වේගවත්. එච්චර වේගවත්ව ලේ ගමන් කරද්දි අපට ගැණ ගන්න බැහැ. කවුරු හරි එහෙම බලනව නම් ඒක බොරුවක්. සාමාන්‍යයෙන් උදෑසන හතත් දහයත් අතර කාලය නාඩි බලන්න සුදුසුම වෙලාවයි. ඊට උදෙන් බැලුවොත් සෙම ගතිය වැඩියි. ඒ වගේම හවසට බලන්නත් බැහැ, එතකොට වාත වැඩියි. උදේ 7-10ත් අතර ඉතාම මධ්‍යස්ථව රෝග විනිශ්චය කළ හැකියි. එහිදී හෘදයවස්තුවට යන මාර්ගය අවහිර වීම් කීයක් තියෙනවද කියා ඉතා නිවැරැදිව ගණන් කළ හැකියි. මම වුණත් නාඩි 8400ම බලන්න දක්ෂ නැහැ; මට නාඩි 250ක් 300ක් විතර බලන්න පුළුවන්.”

සුදු කබර, පොතු කරබර කුෂ්ඨ රෝග ආදී සුව කළ නොහැකි යැයි හඳුන්වන චර්ම රෝග සඳහා මෙහිදී ප්‍රතිකාර ලබාගත හැකිය.

“අප ළඟට ප්‍රතිකාර ගන්න වැඩිපුරම එන්නේ කාන්තාවන්. ඊට හේතුව වැඩි වශයෙන් රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ කාන්තාවන් නිසා. කාන්තාවන් බොහෝ දෙනෙක් ලෙඩ වෙන්න බලපාන කාරණාවක් වෙන්නේ ආහාර විහරණයයි. විශේෂයෙන් උදේ ආහාරය නිසි පරිදි නොගැනීමයි. ඒකට බලපාන්නේ කාන්තාව අධික කාර්යබහුල වීමයි. ඒ නිසා ඇය ලේසියෙන්ම කරන්නේ තමන් ගැන අමතක කරන එකයි. එහෙම නොක‍ළොත් පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න බැහැ. මේ නිසා කාන්තාවන් ඉක්මනින් රෝගවලට ගොදුරු වෙනවා. කාන්තාවන්ට වැඩිපුර තියෙන රෝගී තත්ත්වයක් තමයි කුරුලෑ නොවන කළුපාට තිත් තිත් මුහුණ මත පැතිරීම. ඒක චර්ම රෝගයක් නෙමෙයි, මානසික ආතතියත් එක්ක ඇති වන තත්ත්වයක්. අනෙක් අතට ඇඟ රිදෙනවා, හන්දි රිදෙනවා කියල කියනවා. මේකට ප්‍රධාන හේතුව උදේ නිසි වෙලාවට ආහාර නොගැනීම. සමහරු කරන්නේ කිරි තේ එකක් උදේම බීලා වැඩ පටන් ගන්න එක. ඒක ඉතාම නරකයි. මොකද රෑ තිස්සේ බඩ ගින්නේ ඉඳලා බඩේ අම්ල ගතිය පිරිලා තියෙන්නේ. උදේට කිරි එකක් බීපු ගමන් ඒක ලැක්ටික් ඇසිඩ් බවට පෙරළෙනවා. එතකොට ඇ‍ෙඟ් ඇසිඩ් ගතිය වර්ධනය වෙනවා. බඩේ ගෑස් පිරිලා නිසා උදේ නවය දහය වෙනකම් ආහාර රුචිය එන්නෙ නැහැ. එවැනි කෙනෙක් අනිවාර්යයෙන්ම ආතරයිටිස් රෝගයට ගොදුරු වෙනවා.

පොදුවේ බොහෝ දෙනා රෝගී වෙන්න ආහාර වගේම බලපාන අනෙක් හේතුව තමයි ඔක්සිජන් හිඟකම. බොහෝ වෙලාවට බස් රථයක ගියත්, කාර්යාල පරිසරයේ වුණත් වායුසමීකරණ දාගෙතමයි ඉන්නේ. ජනේලයක් ඇරලා ස්වාභාවික වාතාශ්‍රය එන්න දෙනවා අඩුයි. නමුත් ඔක්සිජන් කියන්නේ අපේ ශරීරය පවත්වා ගෙන යන්න ඕනම දේ. එහෙම වුණාම බහිස්‍රාවී ක්‍රියාව හරියට සිදු වෙන්නේ නැහැ. අපි මොන මොන පෝෂ්‍ය පදාර්ථ ආහාරයට ගත්තත් ඒවා ශරීරයට අවශෝෂණය කරගන්න අවශ්‍ය අමතර ඔක්සිජන් ප්‍රමාණය, ඒක අපි ඔරැක්රේට් එක කියල හඳුන්වනවා. ශරීරයේ දිනකට මේ ඔරැක්රේට් එක 16000ට වැඩිය තියෙන්න ඕන. නමුත් ඒ තත්ත්වය අපේ ශරීරයේ නැහැ. අද පිළිකා රෝගයට බහුලව ගොදුරු වන්නේ ඒ නිසයි.”

ස්මෘතී වෛද්‍ය මධ්‍යස්ථනය වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශේෂ පිළිවෙත් කිහිපයක් අනුගමනය කළ යුතුය. එහිදී අක්මාව සහ වකුගඩු සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනිවාර්ය වේ. ඒවා නොමැතිව කිසිදු ප්‍රතිකාරයක් මෙහිදී ලබා ගත නොහැකිය. ඊට හේතුව ලෙස වෛද්‍ය සමාධි දක්වන්නේ “සිංහල වෙදකම් කළාම අක්මාව සහ වකුගඩු ආසාදන ඇති වන බවට බොහෝ දෙනා තුළ මතයක් තිබෙනවා. ඒ නිසා එහි වාර්තාවක් ලබා ගෙන ප්‍රතිකාර ආරම්භ කිරීම වඩාත් සුදුසුයි. මොකද කෙනෙක් වැරැදියට කෑම බීම අරගෙන,වේදනා නාශක බීලා, වැරැදි ආකාරයට නිදාගෙන මේ දේවල් ආබාධ කරන් ආවොත් ඒකටත් වගකියන්න වෙන්නේ මටයි. ඉතින් සුදුසුම දේ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා ලබාගෙන ඒ අනුව ප්‍රතිකාර ආරම්භ කිරීමයි. මීට අමතරව පූර්ණ ලේ පරීක්ෂාවක් කරනවා. මොකද අපිත් එක්ක වැඩ කරන කොට සෙනඟ ගොඩක් එක්ක මෙතන ඉන්න වෙනවා. එතකොට විෂබීජ වැඩියි. ඒ අය තුළ විෂ බීජ තිබුණත් ඒකට වැරැදි කාරයන් වන්නේ අපයි. මේ දේ අපි කරන්නේ හෙළ වෙදකමට හානියක් අගෞරවයක් නොවෙන්නයි. දුප්පත් කෙනෙක් මෙතෙන්ට ආවොත් මං සල්ලි නොගෙන ප්‍රතිකාර කරනවා, නමුත් මේ වෛද්‍ය වාර්තා ගෙන්නම ඕන.

ඒ වගේම ප්‍රතිකාර කරන කාලය තුළ මස්, මාළු, පාන් පිටි ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්, අනික් ඕනම ආහාරයක් ගන්න පුළුවන්. වාතය පිත සෙම කියලා ආහාර ගැනීම වළක්වන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඕන දෙයක් කාල බීල ඉන්න පුළුවන් ආකාරයට ශරීරය අපි හදනවා. ඒ වගේම අපි ලොකුවට කසාය වගේ දේවල් දෙන්නෙ නැහැ. මොකද අද එහෙම දේවල් කරන්න අමාරුයි. බොහෝම පොඩි බෙහෙත් ප්‍රමාණයක් පමණයි ලබා දෙන්නේ. අනික අපි මේ අයව ස්වාභාවික පරිසරයට හුරු කරනවා; ඒ අයට උණු වතුර දෙන්නෙත් නැහැ; නාන්නත් ඕන ඇල්වතුර. මාසයක් එකහමාරක් යද්දි රෝගය සුව කරන අපේක්ෂාවෙන් තමයි අපි ප්‍රතිකාර ලබා දෙන්නේ. ”

වසර 14ක් පුරා දේශීය වෛද්‍ය සමාධි සෂිකලා විසින් සිදු කරන ලේ දන්දීමේ පින්කම එළඹෙන ජනවාරි 01 වැනිදාට යෙදී තිබෙන අතර ඒ සඳහා ඔබට ද දායකත්වය දිය හැකිය.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments