මට එයාලා ගොඩක් මිස් වුණේ කොවිඩ් කාලේ අවුරුදු එකහමාරකින් විතර රඟපාලත් නැහැ | Page 2 | සිළුමිණ

මට එයාලා ගොඩක් මිස් වුණේ කොවිඩ් කාලේ අවුරුදු එකහමාරකින් විතර රඟපාලත් නැහැ

ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රුවැත්තියක්. නිවේදිකාවක් විදිහට කලා ජීවිතය ආරම්භ කළ ඈ රංගන ශිල්පිනියක් බවටත් පත් වුණා. විවිධ චරිත එක්ක පුංචි තිරයේ ගනුදෙනු කරන ඇයව නිරන්තරයෙන්ම දැක ගන්න නොලැබුණත් ඇයගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ, විටින් විට විදෙස්ගත වෙලා මෙරටට එන ඇ එක්ක කතා කරන්න හිතුවා. මේ ඇය ගැනයි.

 

තවම යනවා එනවා නේද?. කවද්ද එහේ හෝ මෙහේ ස්ථීරව ඉන්නේ…?

මට නම් නෙදර්ලන්තයේ පදිංචි වෙන්න ආසාවක් නැහැ. වැඩ ටික ඉවර කරලා එහේ යනවා ඇවිත් ආයේ වැඩ කරන්න ලංකාවට එනවා. ඒ විදිහට තමයි මගේ කාලේ ගත වෙන්නේ. ලංකාවේ තියෙන කට්ට මට දැන් හුරුයි. සුපිරි රටවල්වල ගෙවන ජීවිතේට වඩා හුරු ජීවිතේ මට සැපයි කියලා හිතෙනවා. මට එහේ ගිහිං හුදෙකලා ජීවිතයක් ගත කරන්න අමාරුයි, පුතයි හස්බන්ඩ් හිටියට. මෙහේ පවුලේ අය, නෑදෑයෝ, යාළුවෝ ඉන්නවා. සුපුරුදු රස්සාව කරන්න පුළුවන්. ඒ නිසා මම ඉන්නේ ලංකාවේ කියලා හිතුවා. බලමු ඉදිරියේ දි මොනාද කරන්නේ කියලා. දැනට හිතලා තියෙනවා ජීවත් වෙන්නේ ලංකාවේ කියලා තමයි.

සැමියා හා පුතා ලංකාවේ පදිංචි වෙන්න අකමැති ඇති..?

අපොයි ඔව්. ඒ දෙන්නා නම් එන්නේ නැහැ. ඒ දෙන්නට නෙදර්ලන්තයේ ජීවිතේ හුරු වෙලා. මම නෙදර්ලන්තයට ගිය ගමන් පුතා බය වෙනවා එයාව ලංකාවට එක්කගෙන යන්න මම ඇවිත් කියලා. ලංකාවේ හිටපු කාලේ එයාව මදුරුවෝ කූඹී කාලා එයා ඒකට බය වෙලා. අනේ අම්මී යන්න බැහැ මොස්කිටෝස් ඉන්නවා කියනවා. එයාගේ වයස හයයි. ඊට වඩා දෙයක් කියන්න තේරුමක් නැහැ. සැමියත් කොහොමත් එන්නේ නැහැ. ඇවිත් යන්න එයි. ජූනී මාසේ ඉඳලා මාස දෙකක් පුතාගේ ඉස්කෝලේ නිවාඩු. එයා අකමැති වුණත් එක්කගෙන එන්න ඕන. මොකද නෑදෑයෝ, මෙහේ සංස්කෘතිය එයාට අමතක වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ

එහේ නිදහස් ජීවිතේට හුරු වුණු පුතාට ලෝචනා එහේ ගිහිං නිති රීතී දානවා ඇති ..?

ඒකම තමයි එයා මම ඉන්නවට අකමැති. එහේ මම ගියොත් එයාව ඉස්කෝලේ දාන්නේ ගන්නේ මම. දවසක් මම එයාව ගන්න ගියේ නැහැ. හස්බන්ඩ් ගියේ. පුතා අහලා අම්මී කෝ? තාත්තී කියලා. එයා කියලා අම්මී ලංකාවට ගියා කියලා. හරි සතුටින් ගෙදර ඇවිත් මම හංගලා තිබ්බ චොක්ලට් ස්නැක්ස් ඔක්කොම ඩ්‍රෝවර් එකෙන් එළියට අරන් අම්මී ගියා දැන් අපි දෙන්නට මේවා ඔක්කොම කන්න පුළුවන් කියලා කෑගැහුවා. මම එතකොටම බාත් රූම් එකෙන් එළියට ආවා. පුතා මාව දැකලා හස්බන්ඩ් එක්ක තරහා වුණා බොරු කිව්වා කියලා, එයා ඒ වගේ හුරතල් වැඩ කරද්දී සතුටුයි.

යාළුවොත් ඇති..?

ඉන්නවා, එහේ ඉස්කෝලේ හැම ළමයම කතා කරන්න ඕන ඩච් භාෂාවෙන්. ඒ රටේ මව් භාෂාව. පුතාට හොඳට ඩච් කතා කරන්න පුලුවන් වුණාට එයා කැමති නැහැ ඩච්වලින් කතා කරන්න. ඉංග්‍රීසි කතා කරන යාළුවෙක් ඉන්නවා අප්‍රිකානු ළමයෙක්. එයාට පුතා හරි කැමතියි. එයා තමයි යාළුවා. ඊට අමතරව ගෙවල් ළඟ සිංහල පවුලක් ඉන්නවා. ඒ ගෙදර ඉන්නේ දුවලා දෙන්නෙක්. එයාලා එක්ක සෙල්ලම් බත් උයනවා. මෙයාව මැද්දෙන් තියාගෙන බෝනික්කෝ එක්ක සෙල්ලම් කරනවා. පවු කියලත් හිතෙනවා. ඒත් ඉතිං මොනා කරන්නද?

ඔබයි සැමියයි දරුවයි දෙපැත්තක, කවදාවත් දැනිලා නැද්ද පවුල් ජීවිතේ අසම්පූර්ණයි කියලා ..?

එහෙම කියලා මොනා කරන්නද. මට එයාලා ගොඩක් මිස් වුණේ කොවිඩ් කාලේ. තුන්සිය හැටපස් දවසෙම දකින අය ළඟ තියෙන බැඳිමේ ශක්තියට වඩා අපේ බැඳීම ආදරණීයයි කියලා හිතෙනවා.

ලෝචනා වැඩිපුර කරන්නේ නෙදර්ලන්තයේ විලාසිතාලු..?

ලංකාවේ කරන්න තරම් හොඳ විලාසිතා නැහැ. හොඳ ඇඳුම් තිබ්බොත් ගන්නවා. අනිත් එක මෙහේ ගණන් වැඩියි. එක ඇඳුමක් ගන්න අට දාහක් දහදාහක් විතර යනව. එච්චර වියදම් කරලා ලස්සනට අඳින්න නැත්තම් වැඩක් නැහැනේ. ඒ නිසා නෙදර්ලන්තයේ යන එන වෙලාවට මට ගැළපෙන සරල විලාසිතා ඇඳුම් මිල දී ගන්නවා. එහෙන් ගේන ඒවා තමයි එහෙට මෙහෙට කරලා පාවිච්චි කරන්නේ.

ලංකාවට ආව ගමන්ම නිවේදනයට සම්බන්ධ වුණා නේද ..?

සියත ටීවි එකෙන් ආරාධනාවක් ලැබුණා නිවේදනයට. ඇවිත් දවස් දෙක තුනක් ඇති ඒ ආරාධනා ව ලැබෙද්දි. මේ දවස්වල ලොකු වැඩක් බාර අරගෙන නැති නිසා මාත් ඒ ආරාධනාව බාර ගත්තා. අවුරුදු එකහමාරකින් විතර රඟපාලත් නැහැ.

ඇයි අවුරුදු එකහාමාරකින් රඟපාලා නැත්තේ. ආරාධනා නැද්ද ..?

මම නෙදර්ලන්තයේ යන්න ඔක්කොම ලෑස්ති කර ගත්තට පස්සේ නාට්‍යයකට කතා කරා. යන්න ලෑස්ති වෙලා ඉවර නිසා මම කිව්වා විදෙස්ගත වෙනවා කියලා. චරිතය මොකක්ද කියලා අහන්නවත් ගියේ නැහැ. ආරාධනා ලැබෙනවා. නමුත් මම මේ තත්ත්වයට ආවේ ලොකු කට්ටක් කාලා. අපිට වටිනාකමක් දෙන්නේ නැහැ. අඩු මුදලට කතා කරනවා. සමහර නිර්මාණවල කොලිටි එකක් නැහැ. ඔය හේතූ නිසා ටිකක් පස්ස ගහනවා ආරාධනා ලැබෙද්දි. හොඳ චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.

පේන්න නැති නිසා ප්‍රතිචාරවල අඩුවක් ඇති..?

අවංකවම කිව්වොත් මාව වැඩිය දකින්නත් නැහැ. සම්බන්ධ වෙන්නේ රූපවාහිනී වැඩසටහන්වලට විතරයි. ඒත් කොහේ ගියත් ආ ලෝචනා කියලා කතා කරන රසිකයන් ඉන්නවා. ෆේස්බුක් ෆොටෝස් දැම්මොත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. මාව අඳුරගත්ත පිරිස වැඩියි. ඒ නිසා මට තවම නම් එහෙම හිතිලා නැහැ.

Comments