
මෙරට ආර්ථීකය කඩා වැටීම සම්බන්ධයෙන් සංවාද විවාද නිරන්තරයෙන් අසන්නට,ලැබෙයි. එමෙන්ම එකිනෙකාට චෝදනා නැඟීම නිරන්තරයෙන් ඇසෙයි. එහෙත් අර්බුදයෙන් ගොඩ ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාරවත් සංවාදයන් සිදු වන්නේද යන්න ගැටලුවකි. අතීතය පිළිබඳ සිතමින් කල්මරමින් සිටීම හෝ අතීතයට දොස් නඟමින් වර්තමානයේ ජීවත් වීමට වඩා කළ යුත්තේ ලෝකයත් සමඟ අපේ රට සංසන්දනාත්මකව බලා අප යා යුතු දිශානතිය පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළැඹීමයි.
ඕනෑම රටක් ඉදිරියට යෑම සහ ඒ රටේ ආර්ථිකය සංවර්ධනය වීම සිදු වන්නේ එහි ජීවත් වන ජනගහනය ආර්ථිකය වෙනුවෙන් දෙනු ලබන දායකත්වය අනුවයි. එම දායකත්වය සපයන පිරිස ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහ බැංකු වාර්තා පදනම් කරගත් වාර්තා අනුව සැකසෙයි. ඒ අනුව ඇමරිකාව ගත් විට ජනගහනයෙන් 65%ක් පමණ දායකත්වය සපයයි. කැනඩාවේ 65%ක් ජපානයේ 66%ක් නවසීලන්තයේ 70%ක් එංගලන්තය 62%ක් පමණ වෙයි. ලෝකයේ ජනගහනයෙන් සංවර්ධිත රටවල් හැම විටම 60%ක සීමාව ඉක්මවා එම රටවල ආර්ථිකය වෙනුවෙන් දායකත්වය සපයන බව පෙනෙයි.
එහිදී ඉන්දියාව 45%, වියට්නාමය 70%, කාම්බෝජය 78%ක් ලෙස රටවල ආර්ථීක දායකත්වය ලබා දෙයි. මේ වන විට අපේ අපනයනවලට තර්ජනයක් වන රටක් ලෙස වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවල් ඉදිරියට පැමිණ ඇත. මෙහිදී ලංකාව ගත් විට ආර්ථිකයට දායකත්වය සපයන්නේ ජනගහනයෙන් 39%කි. ඒ අනුව මෙරටේ ආර්ථිකයට ජනගහනයෙන් අඩු දායකත්වය ලබා දෙන බව පැහැදිලිය. වැඩ කරන පිරිසගේ ඵලදායිතාව සම්බන්ධයෙන් කතා කළහොත් ලංකාවේ පැය දහයක් රාජකාරී කරන කෙනකු ඵලදායි ලෙස ආර්ථීකයට දායකත්වය සපයන්නේ පැය තුනක කාලයක් පමණි. මෙමඟින් රටක් ලෙස අපි ස්ථානගත වන්නේ කොතැනද යන කරුණ පැහැදිලිය.
පසුගිය වසරේ ඩොලර් මිලියන 10ක අපනයන අාදායමක් ලැබි ඇත. ආනයනය වෙනුවෙන් ඩොලර් මිලිය 16ක් වැය කරනු ලබයි. ඒ අනුව ඩොලර් මිලියන 6කට ආසන්න වශයෙන් පරතරයක් පවතී.
මේ රටේ මිනිසුන් වැඩ නොකරන මිනිසුන් බවට පත් කිරීමට හේතු ලෙස ගතහොත් ජනසවියෙන් ආරම්භ කර ඇති සුබසාධන වැඩසටහන් සමෘද්ධිය දක්වා අද ගමන් කර ඇත. සමෘද්ධි උපයන්නන් විසින් වැඩ නොකරන පිරිසක් වෙනුවෙන් ලබා දෙන දීමනාවකි. වසර 10ක් ආපස්සට ගත හොත් සමෘද්ධි වෙනුවෙන් 2010දී රුපියල් බිලියන 10ක් වැය කර ඇත. එය 2020දී රුපියල් බිලියන 50ක් දක්වාත් වැඩි කර ඇත. 2010 වසරේදී සමෘද්ධිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 16කි. මෙය 2020දී ලක්ෂ 18කි. සමෘද්ධී ලාභින් රජයකින් ලැබෙන මුදලකින් යැපෙන්නන් පිරිසක් බවට පත් වී ඇති අතර, ඒ අය යැපුම් මානසිකත්වයෙන් මුදවා ගැනීම අසීරු කරුණකි.
දිළිඳුකම තුරුන් කිරීමේ අදහසින් මෙය ලබාදුන්නද එම අපේක්ෂිත අරමුණ ඉටු වී නැත. මේ තත්ත්වය වෙනස් කළ යුතුය.
මේ රටේ උපයන්නන් ජනගහනයෙන් සියයට 59ක තත්ත්වයකටවත් පත් කළ යුතුය. ඵලදායිතාව පැය 5ක් දක්වා ගෙන ආ යුතුයි. ආර්ථීකයට දායකත්වය සපයන පිරිස වැඩි කිරීම මඟින් රටේ ආර්ථීකය තුළ විශාල වෙනසක් ඇති කළ යුතුය. මේ පෙලඹවීම අනිවාර්යෙන්ම කළ යුතුය. විශේෂයෙන් වැඩ නොකරන පිරිස කිසිදු ආකාරයකින් ආර්ථීකයට දායකත්වය සපයන්නේ නැත. මෙරට උපරිම ඵලදායිතාව ඇති ස්ථානවල පවා එනම් ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත ඵලදායිතාව සියයට 60ක් පමණි. සියලු ආයතනවල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරිම අත්‍යවශ්‍ය වෙයි.
මේ අදහස අපි අවධානය යොමු කළ යුතුය. වැඩ කරන මිනිසුන් විසින් වැඩ නොකරන පිරිස හැකි තරම් වැඩ කිරීමට පෙලඹ විය යුතුයි. දේශපාලනඥයන්ගෙන් මේ පෙලඹ වීම අපේක්ෂා කළ නොහැකිය. දේශපාලනඥයන් විසින් පසුගිය කාලය පුරාම සිදු කරනු ලැබූයේ වැඩ නොකරන මිනිසුන්ට ජීවත් වීමට සුබසාධන පහසුකම් සලසා දීමයි. දේශපාලන මතිමතාන්තර ආකල්ප වෙනුවෙන් සුබසාධනය වැඩි කිරීම සිදු කර ඇත. දේශපාලනඥයන් මෙතරම් ආර්ථීක අර්බුදයක් අවස්ථාවකදී වුවත් ජනතාවට නොමිලේ යම් යම් දීමනා ලබා දීමට උත්සාහ කරයි.
පෞද්ගලිකව දේශපාලනඥයන් පවා ඵලදායිතාව සඳහා යම් දායකත්වයක් සහ කාර්යයක් ඉටු කරයි. රටේ මේ 39%ක ශ්‍රමදායකත්වය මඟින් ඵලදායිතාවයේ යෙදෙන විට තවත් 61%ක් කිසිවක් නොකරන පිරිසක් බවට පත්ව ඇත. මේ පවතින ක්‍රමවේදයේ යම් වෙනසක් ඇති කිරීමට මේ අවස්ථාවේදී ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවනය වැඩසටහන රජය විසින් ඉරිදිපත් කර ඇත. එය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ ජනාධිපති කාර්යාලය මඟින් සැලසුම් කර තිබේ. එහි අරමුණ ආර්ථිකයට දායකත්වය සපයන්නේ නැති පිරිස ආර්ථීකයට දායකත්වය සපයන්නන් බවට පත් කිරීමයි. මෙහි එක් කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව හැඳින්විය හැකිය. එනම් ග්‍රාමීය ආර්ථික පුනර්ජනනීය කුලකයේ උපකුලකයක් ලෙස මේ ආහාර සුරක්ෂිතතාව සඳහන් වෙයි.
ආහාර සුරක්ෂිතතාව යනු ආහාර නොමැති පිරිසට නොමිලේ ආහාර ලබා දීම නොවෙයි. එය බොහෝ දෙනෙකුගේ වැරදි වැටහීමකි. ආහාර සුරක්ෂිතතාව යනු රටේ කුසගින්නේ සිටින පිරිසට ජීවිත කාලය පුරා ආහාර දීම නොවෙයි. උපරිම මාස 6කට යටත්ව යම් සහනාධාරයක් දිය යුතුය. නොමිලයේ ලබා දීම සහ එයට හුරු වීම නිසා වැඩ නොකරන පිරිස වැඩ නොකර සිටීම පුරුද්දක් බවට පත් කරගෙන ඇත. ගැටලුව පවතින්නේ එතැනයි.
මෙරට රැකියාවල හිඟයක් නොමැති බව ව්‍යවසායක ආයතනවල අදහසයි. රටේ රැකියා අවස්ථා තිබුණත් තමන්ට රුචිකත්වය අනුව රැකියාවන් නැති නිසා රැකියා සඳහා යොමු නොවෙයි. රජය මැදිහත් වී පුහුණු වීම් කිරීම සහ රැකියා සඳහා යොමු කිරීමට යම් පෙලඹවීමක් අවශ්‍යයි. ජනසවිය ලබා දීම සිදු කළ කාලවකවානුවේදී එම ප්‍රතිලාභීන් යම් ශ්‍රම දායකත්වයක් සමාජ ප්‍රගමනය වෙනුවෙන් ලබා දී ඇත. අද එය සමෘද්ධීලාභීන්ට සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. සමෘද්ධිලාභීන් ගත්විට පැහැදිලිව දිළිඳු සහ ධනවත් ලෙස කොටස් දෙකක් වෙයි. දේශපාලන බලපෑම නිසා මෙය සිදුවෙයි. වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුය. දුප්පත් සමෘද්ධිලාභීන් ගත් විට ඔවුන් ඵලදායි මිනිසුන් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
මේ වැඩසටහන දිස්ත්‍රික් 25ක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 330ක් හරහා සිදු වෙයි. මේ චක්‍ර ලේඛයක් සමඟ කිසිදු ඉලක්කයක් ගමට ලබා දී නැත. මේ ඉලක්ක සකස් කිරීම ඉතා කඩිනමින් කළ යුතුය. මෙය නියමාකාරයෙන් කළහොත් 39% ශ්‍රම දායකත්වය ඵලදායිතා අගය 50% දක්වා වැඩි කර ගත හැකිය. ආර්ථීකයට දායකත්ව සපයන පිරිස එයට අනිවාර්යෙන් මැදිහත්වීම කළ හැකිය. වයස 18ට අඩු දරුවන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වූ විට ඒ අය සඳහා යම් යම් වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ඇත. මේ රටේ ගැටලුව උගතුන් නොමැති වීම නොවේ. මේ වෘත්තීය පුහුණුව ලැබූ පිර සීමිත වීමයි. හැකියාව, කුසලතාව ඇති පිරිසගේ විශාල හිඟයක් වෙයි. කාර්මික පුහුණු ආයතන, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන මේ රටේ විශාල ප්‍රමාණයක් ඇත. මේ ආයතනවලට යොමු වීමට පෙලඹවීමක් ඇති කළ යුතුය.
රට තුළ මානසික පෙරළියක්, පරිවර්තනයක් ඇති කළ යුතුය. මානසික පරිවර්තනයක් රටේ ඉහළ සිට පහළට ඇති කරලීම අත්‍යවශ්‍ය කරුණකි.
සියලු දේට පාර්ලිමේන්තුවේ 225 දෙනාට ඇඟිල්ල දිගු නොකළ යුතුය. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ය. මේ රටේ 61%ක් යැපෙන්නන් වීමට සියලු පාර්ශ්ව වගකිව යුතුය. මේ යැපෙන්නන් විසින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ වඩා හොඳින් එම පිරිසට යැපෙන්නට හැකි පහසුකම් සපයා දෙන පිරිසකි. අපි ආකල්පමය වෙනසක් ඇති කළ යුතු වන්නේ ඒ හෙයිනි. අපි රටේ ඉපයීම් වැඩි කළහොත් ඊළඟ මැතිවරණයකදී අවශ්‍ය වන්නේ තමන්ගේ ඉපැයීමේ ක්‍රියාවලිය වඩා හොඳින් කරගෙන යා හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සමාජ පරිවර්තනය සිදු කරන විට මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව තුළ සිටින පිරිස වෙනස් විය හැකිය. අපි ‘225 ගෙදර යවමු’ යන සටහන් පාඨය තුළම ‘රටට ගැළපෙන 225 ගෙනෙමු’ යන සටන් පාඨය ඇතුළත් කිරීම වැදගත් වෙයි. මේ පරිවර්තනය ඇති වන විට ඡන්දය ලබා දීම සිදුවන්නේ ද ඒ කටයුත්ත වෙනුවෙනි. මේ යථාර්ථය වටහාගෙන මිනිසුන් ලෙස ස්වයං තීරණයන් මත රටට දායකත්වය සැපයීම කළ යුතුය. මුලින්ම අපි 39%ක් වන වැඩ කරන කොටසට අයත් ද යන කාරණාව හෘදය සාක්ෂිය අනුව තේරුම් ගත යුතුය.
එබැවින් විකල්පයක් ලෙස අපිට ලංකාවේ සිට පිටරටවල සේවය කිරීමට හැකියාව ඇත. ඒ සඳහා අවස්ථා උදාකර ගත හැකිය. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය අනුව සේවය කළ හැකිය. අපේ සේවය විදෙස්වලට සැපයීමේ හැකියාව ඇත. අපිට මේ රටට විදෙස් විනිමය ගෙන ඒමට හැකි ක්‍රමවේදයන් විශාල ලෙස තිබෙයි. එයට බුද්ධිය, නිපුණතාව මත පදනම් වෙයි. තවද සංචාරක කර්මාන්තය වර්තමානයට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුය. මේ සියල්ලට ම ඉහළින් පියවර ගත යුතුය. ඉලක්ක හඳුනා ගෙන අවැසි පෙලඹවීම් සිදුවිය යුතුය. අවසානයේ මේ සඳහා මඟපෙන්වීමට අදාළ ක්ෂේත්‍රවල පිරිස මැදිහත්විය යුතුය.
ඉතා දියුණු ලෝකයත් සමඟ එනම්, හතරවැනි කාර්මික වීප්ලවය සමඟ අප ජීවත් වන බව වටහා ගත යුතුය. අප ජීවත් වෙන්නේ තවමත් යල් පැන ගිය ක්‍රමවේදයන් සමඟ බව වටහා ගෙන ව්‍යවසායකත්වය යනු තවමත් ස්වයං රැකියාවන් නොවන බව වටහා නොගන්නා තාක් මේ රට දියුණු ලෝකය සමඟ සම්බන්ධ කළ නොහැකිය. නූතන ලෝකයට ගැළපෙන ව්‍යවසායකත්වයක් කරා අපි යා යුතුය. ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකාර්මික අංශයෙන් ලබා දෙන්නේ 8 ½ක් පමණයි. නමුත් කර්මාන්ත ආශ්‍රිතව 30%ක් ලබා දෙයි. 60%ක් දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙනුයේ සේවා ආර්ථිකය මඟිනි. අපේ රටේ වැඩ කරන පිරිසෙන් මිලියන 2 1/2 ජීවිකාව කෘෂිකර්මාන්තයයි.
අපේ ආර්ථීකයෙන් 60%ක් සේවා ආර්ථීකයක් හරහා ලැබෙයි. එසේ නම් අපි මේ සේවා ආර්ථීකයකට පහසුකම් සැපයීම කළ යුතුය. සේවා ආර්ථීකයේ ප්‍රධානතම සංඝටක වන තොග සහ සිල්ලර 20%කි. ඉන් අනතුරුව සන්නිවේදනය සහ ප්‍රවාහනය 14%ක් පමණ වෙයි. සංචාරක කර්මාන්තය ආශ්‍රිත 10%ක් වෙයි. අපි ප්‍රවර්ධනයට කටයුතු කළ යුත්තේ සේවා ආර්ථිකයයි. ඇමරිකාව කෘෂි නිෂ්පාදනය අතින් ලෝකයේ වැඩිම රටවල් 5 අතර වුවත් එරටේ කෘෂිකර්මයට ආර්ථික දායකත්වය 1%යි. අපේ රටේ කෘෂි ආර්ථීක පහසුකම් සැපැයීම රජය විසින් සිදු කළත් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් සේවා ආර්ථීකයට පහසුකම් සැපැයීම වැදගත් වෙයි. එසේම කර්මාන්ත 30%ක් වෙයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී 20%ක් ගොඩනැඟීම් ආර්ථික අංශය 10%ක් වෙයි. එහෙත් කෘෂී ආර්ථිකයෙන් වැඩිම ආදායම ලබා දෙන්නේ මත්ස්‍ය නිෂ්පාදනයයි. තේ ආශ්‍රිත නිෂ්පාදන සහ සහල් නිෂ්පාදනය පිළිවෙළින් වෙයි. වී ගොවිතැනින් 1%ක් පමණ වෙයි. මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ ආර්ථීක සුරක්ෂිතතාවයි. අපේ ආදායම වැඩි කරගත හැකි ව්‍යාපෘති වැඩි දියුණු කළ යුතුය. අප අපෙන් විය යුතු සුවිශේෂ කාර්යයන් ඉටු කළ යුතුසේම එකිනෙකාට ඇති සුවිශේෂ දක්ෂතා මඟින් ඉදිරියට යා යුතුය. වෘත්තියක් ලෙස කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් සඳහා සහයෝගය සැපැයීම කළ යුතුය.
මේ අවස්ථාවේදී අපි අනුන්ට අත දිගු කිරීමට වඩා කළ යුත්තේ අපි අපේ පැත්තට ඇඟිල්ල දිගු කර අපෙන් රටට විය යුතු කාර්ය ඉටු කිරීමයි. ඇමෙරිකානු ජනාධිපති ජෝන් එස්. කෙනඩි මූලාරම්භ කතාවේදී සඳහන් කළ කරුණක් නම් ‘අපි දැන් රටෙන් අපට වන දේ නොහිතා අපෙන් රටට විය යුතු දේ ගැන සිතිය යුතු බවයි’. අප ද රටක් ලෙස කළ යුතු වන්නේ එයයි. මේ අවස්ථාව එයට සුදුසුම අවස්ථාවයි. රට අපිට බොහෝ දේ ලබා දී ඇත. මේ රට වෙනුවෙන් අපි ද යමක් කළ යුතු කාලයයි. ඒ නිසා අපි අපෙන් විය යුතු දේ අවශ්‍ය දේ ගැන සිතා කටයුතු කළ යුතුය. මේ අර්බුදය විශාල අර්බුදයක් නොසලකා සියලු දෙනා එකතු වී කටයුතු කරන්නේ නම් මෙය ඉක්මනින්ම විසඳා ගත හැකි ගැටලුවකි.