මගේ සාර්ථකත්වයට හේතුව සිහින හඹා යෑමයි | සිළුමිණ

මගේ සාර්ථකත්වයට හේතුව සිහින හඹා යෑමයි

කෑගල්ලෙන් කිලෝමීටර් 25ක් දුර තුම්බාගේ ගමේ සිට වයස අවුරුදු 11 වයසැති පුංචි තුෂාර සිය තාත්තා සමඟ පාන්දර තුනට ගෙදරින් පිටත් වුණේ ය. අයිස් මෙන් සීතල ගං දියේ බැස ගඟෙන් එගොඩ වී කිලෝමීටර් 4ක් පයින් විත් බුලත්කොහුපිටියෙන් මේ දෙදෙනා බසයට නඟින්නේ කොළඹ එන්නට ය. පුංචි හිත ඒ හිතට ඔරොත්තු නොදෙන තරම් සුන්දර සිහිනයකින් පිරී තිබිණි. කොළඹ ආනන්දයට ඉගෙන ගන්නට එන සිහිනය පුංචි හිතේ තිබුණේ තුම්බාගේ ප්‍රාථමික විද්‍යාලයේ අකුරු කරනා සන්දියේ ඉඳගෙනම ය. එදින සිය ජීවන විලාසාවට නව අරුතක් එක්කර ගන්නා තුෂාර අසුරුමාන්නට ජීවිතයේ ශක්තිමත් බව උරගා බලන්නට තව අවස්ථාවක් ලැබෙන්නේ ය. ඒ සුනාමියෙන් වැනසුණු මාතර නගරයේ බැංකු කළමනාකරුවකු ලෙස සේවය කරන්නට ය. එහිදී ඔහුට දසතින් ඇහුණේ සිය සමීපතමයන්ගේ වියෝව දරා ගත නොහැකිවත්, ජීවිත කාලය පුරා හරිහම්බු කළ දේපළ ක්ෂණයකින් විනාශ වී යෑම නිසාත් සොවෙන් විලාප නඟන හඬ පමණී. ජීවිතයේ ස්වභාවය මැනවින් අවබෝධ කරගන්නා ඔහු මාතරින් එන්නේ කළමනාකරුවකු ලෙස මනා පන්නරයක් සේම අත්දැකීම් සම්භාරයක් ද උකහා ගනිමිනි. අද ඔහු සිය වෘත්තීය ජීවිතයේ මනා සාර්ථකත්වයක් උදා කර ගන්නේ මේ සියල්ලෙන් ලද පන්නරයෙනි. වත්මන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරියා වන තුෂාර අසුරමාන්න සිය දිවිසැරියේ මතක සටහන් අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.

- මට සිහිනයක් තිබුණා කොළඹ ආනන්දෙට ඉගෙන ගන්න එන්න; කොළඹ ආනන්දෙට ආව එක තමයි මගේ ජීවිතේ පළමු හැරවුම් ලක්ෂ්‍යය
- මම ජාතික සංවර්ධන බැංකුවෙ මාතර ශාඛාවට ගියේ විවාහ වෙලා මාස තුනෙන්
- අවුරුදු 4 ඉවර වෙද්දි ඒ අවුරුද්දෙ මම බැච් ටොප් වෙලා, හොඳම විද්‍යාර්ථියත් වෙලා තමයි විශ්වවිද්‍යාල ජීවිතේ අවසාන කළේ 
- ලංකාවේ හොඳම පාසලකින් ඇවිත්, ලංකාවෙ හොඳම විශ්වවිද්‍යාලයක පළමු පෙළ ඉහළ සාමාර්ථ්‍යයක් අරන් බැච් ටොප් වුණාම මමත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

සම්පූර්ණ නම

ඉන්දික තුෂාර අසුරමාන්න 

උපන් දිනය

1973 දෙසැම්බර් 8 වැනිදා

ගම් පළාත

තුම්බාගෙ කියන ගමේ. ඒක තියෙන්නෙ කෑගල්ලෙ ඉඳන් කිලෝමීටර් 25ක් විතර ඇතුළෙ.

අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්. ඒවගේම සහෝදර සහෝදරියන්

අම්මා නන්දාවතී. ඇය නියෝජ්‍ය විදුහල්පතිනියක් විදියට ගමේ පාසලේ අවුරුදු 35ක් වැඩ කළා. තාත්තා ආහාර දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක්. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.

අධ්‍යාපනය ලබන්නේ

මම මූලික අධ්‍යාපනය ලබන්නේ තුම්බාගේ ප්‍රාථමික විද්‍යාලයේ. ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් 3ක් වගේ ඈතක තමයි මේ පාසල තිබුණෙ. අපි පයින් යන්නෙ එන්නෙ.

6 වැනි ශ්‍රේණියේදි මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා.

ඒ කියන්නෙ ශිෂ්‍යත්වෙන්

මම ශිෂ්‍යත්වේ පාස් වෙනවා. හැබැයි මම ශිෂ්‍යත්වෙන් නොවෙයි එන්නෙ. මට සිහිනයක් තිබුණා කොළඹ ආනන්දෙට එන්න. අපේ ගමේ අයියා කෙනෙක් මට කලින් ආනන්දෙට ආවා. එදා ඉඳන් ඒක මගෙත් හීනයක් වුණා. ඒකාලෙ කොළඹ ආනන්දයට ඇතුළත් වෙන්න ඇතුළත් වීමේ විභාගයක් තිබුණා. මම ඒකට පෙනී ඉඳලා පාස් වුණා.

සිහිනය සැබෑ වෙන්න විභාගය පාස් වීම ම මදිනෙ. ඉතිරි අවශ්‍යතා සම්පූර්ණ කරගත්තෙ කොහොමද?

අපි දුර ගමකනෙ හිටියෙ. ගඟ හරහා ඇවිත් තමයි ප්‍රධාන පාරට පවා එන්න ඕන. විභාගයට පෙනී ඉන්න උදේ 7.30 වෙද්දි කොළඹට එන්න ඕන. තාත්තාට කොළඹ යාළුවෙක් හිටියෙ නෑ, කලින් දවසෙ ඇවිත් නතර වෙන්න. අපි පාන්දර තුනට විතර ගඟ හරහා කිලෝමීටර් 4ක් විතර පයින් ඇවිත් බුලත්කොහුපිටිය නගරයට ඇවිත් තමයි කොළඹ බස් එකට නඟින්න ඕන. ඒ කාලෙ සතියට දවස් තුනක් වගේ තමයි කොළඹට බස් එක තිබුණෙ. තාත්තා හිතාගෙන හිටියා එදා බස් එක තියේවි කියලා. මගේ වාසනාවට බස් එක තිබුණා. මම වෙනුවෙන් තාත්තා කොයිතරම් කැපවුණා ද කියන එක කියන්න මට වචන නෑ.

තුම්බාගෙ වගේ ගමක ඉඳලා කොළඹ ආනන්දෙට ආවම නවාතැන් පහසුකම් ප්‍රශ්න එන්න ඇතිනෙ. නේවාසිකාගාරයේ ද නතර වුණේ.

කොළඹ ආනන්දෙට ආව එක තමයි මගේ ජීවිතේ පළමු හැරවුම් ලක්ෂ්‍යය. ලංකාවේ හැම පළාතකින් ම වගේ ආව අය එතැන හිටියා. 92 හොස්ටල් කණ්ඩායම අපි. අද වෙනකොටත් අපි හරිම එකමුතුයි. කොළඹට පුරුදු වෙන්න අමාරු වුණා. ආදායම් පැත්තෙන් ගත්තත්, සංස්කෘතිය පැත්තෙන් ගත්තත් ඒක අසීරු වැඩක් වුණා. මධ්‍යම පාන්තික අය වුණු අපට ජීවිතේ පුහුණුව කියන දේ ලැබුණෙ ආනන්දෙ හොස්ටල් එකෙන්. නේවාසිකාගාර ජීවිතය නිසා ජීවිතේ විනය, වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම මේ සියලු දේවල් මට පුරුදු වුණා.

කොහොමද පාසල් ජීවිතේ. බාහිර වැඩ එහෙම කළා ද?

මම ක්‍රීඩා පැත්තට යොමු වුණා. බාස්කට් බෝල් කාණ්ඩ කිහිපයක මම සෙල්ලම් කළා. වොලිබෝල් කළා. බෞද්ධ සංගමය, සෞඛ්‍යදාන සංගමය, ඉංග්‍රීසි සාහිත්‍යය සංගමය වගේ දේවල්වල මම ක්‍රියාකාරීව වැඩ කළා.

උසස් පෙළ මොනවද විෂයයන් කළේ

මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. මගේ දෙවැනි සිහිනය වුණේ, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. මම පළමු වරම 95දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වුණා.

වියදම් වැඩි වෙන්න ඇති. කොහොමද කළමනාකරණය කර ගත්තේ 

අපේ තාත්තා හැකි පමණ මට මුදල් එව්වා. මට ශිෂ්‍යාධාරත් හම්බු වුණා. ආනන්දෙන් ලැබුණු පන්නරය නිසා ඕන තැනක හොඳින් ගත කරන්න අවශ්‍ය පසුබිම මට තිබුණා. අවුරුද්දක් දෙකක් යද්දි මට තේරෙනවා ඉංජිනියරින් විතරක් කරලා මදි කියලා. ඊට පස්සෙ මට හිතුණා ගණකාධිකරණ විභාග කරන්න ඕන කියලා. හැබැයි මට ඒ සඳහා මුදල් තිබුණෙ නෑ. මට හිතුණා සා පෙළ හදාරන සිසුන්ට අමතර පන්ති කරන්න ඕන කියලා. අපි කිහිපදෙනෙක් එකතු වෙලා ටියුෂන් කරන්න පටන් ගත්තා. ඒකෙන් ලැබුණු මුදල්වලින් මම කැම්පස් එකෙන් එළියට එද්දිම CIMA ඉවර කර ගත්තා.

ඉංජිනේරුවරයෙක් වෙන්න ඉගෙන ගන්න ඔබට ඇයි කළමනාකරණ පැත්ත හදාරන්න කැමැත්තක් ඇති වුණේ

මට තේරුණා මට ඒ පැත්තත් පුළුවන් කියලා. ඒනිසාම මම මොරටුව විශ්වවිද්‍යාලෙ ඉඳිද්දිම විවෘත විශ්වවිද්‍යාලෙන් කළමනාකරණ ඩිප්ලෝමාවක් හා උපාධියක් සම්පූර්ණ කරනවා.

මේ සියල්ල කරගන්න අමතර පන්තිවලින් ලැබුණු ආදායම ප්‍රමාණවත් වුණාද?

ඔව්, ඇත්තටම. අනික ඒ කාලෙ විවෘත විශ්වවිද්‍යාලෙ පාඨමාලා ගොඩක් ගණන් ඒවා නොවෙයි. CIMA තමයි ටිකක් වියදම් අධික වුණේ. ඒත් අපි යාළුවො එකතු වෙලා හැමදේම කළේ. අපි හැමෝම ගොඩ යන්න ඕන කියන දේ අපි ළඟ තිබුණා.

මේ හැමදේම කරද්දි විශ්වවිද්‍යාල වැඩ අතපසු වුණේ නැද්ද?

ඒ දේ ගැන මම ගොඩක් හිතුවා. ඇත්තටම මම කල්පනා කළා, මම මේ ඔක්කොම එක්ක කොහොම හරි විශ්වවිද්‍යාලෙත් ඉහළ පන්ති සාමාර්ථයක් ඇතිව පාස් වෙන්න ඕන කියලා. මම අරමුණ විදියට ඒක ගත්තා. එතනදි මට ඒ පෙන්වූ හොඳ ප්‍රතිඵල නිසා විශ්වවිද්‍යාලයේ ම සහය කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරන්නත්, වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදෙස්ගත වෙන්නත් අවස්ථාව ලැබුණා.

කථිකාචාර්යවරයෙක් විදියට වැඩ බාර ගන්නවද?

ඔව්, ඒකත් මගේ සිහිනයක්. අම්මා වගේ ම මටත් උගන්වන්න ආසාවක් තිබුණා. හැබැයි මට හිතෙනවා ඉංජිනේරුවරයෙක් හා කළමනාකරුවෙක් විදියට වැඩ කරන එක ඊට වඩා හොඳයි ද කියලා. මොකද මම CIMA සහ කළමනාකරණ පාඨමාලා කරලා තියෙන නිසා. මම මේ කිහිපය ඇතුළත දෝලනය වුණා. මම විවිධ රැකියාවලට ඉල්ලුම් කළා.

කොතනද ඔබ තෝරා ගන්නෙ

මට මතකයි, එතැනට ජාතික සංවර්ධන බැංකුවෙනුත් (NDB) ආවා. එයාලා අපේ ජීව දත්ත සටහන් අරන් ගියා. ඉංජිනියරින් පැත්ත ඉගෙන ගත්තත් මට හිතෙනවා බැංකු ක්ෂේත්‍රය මට වෙනස් මාවතක් විවර කරාවි කියලා. ජාතික සංවර්ධන බැංකුවෙ පුහුණු කළමනාකරුවෙක් විදියට මම වැඩ පටන් ගත්තා. ඒකත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. එතැන අවුරුදු 11ක් හිටියා.

ඔබට තිබුණු සුදුසුකම් එක්ක හිතුණෙ නැද්ද පුහුණුවන්නෙක් විදියට වැඩ කරන එක මදිකමක් කියලා?

ඇත්තටම අපිට ඊගෝ එකක් තිබුණා. ලංකාවේ හොඳම පාසලකින් ඇවිත්, ලංකාවෙ හොඳම විශ්වවිද්‍යාලයක පළමු පෙළ ඉහළ සාමාර්ථයක් අරන් බැච් ටොප් වුණාම එහෙම මමත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි දන්න දේවල් අපි බැංකුව ඇතුළෙ කරන්න හැදුවට එතැන සංස්කෘතිය වෙනස්. අපි පාරිභෝගික සේවාව ගැන එච්චර හොඳට දන්නෙ නෑ. අනික අපි මොළේ වම් පැත්තෙන් වැඩියෙන් වැඩ ගත්ත අයනෙ. ඒ පැත්ත ඒ කියන්නෙ ගණිතමය හැකියාව, තර්කනය මේ දේවල් අපේ හොඳටම හොඳයි. මිනිසුන්ගෙ ක්‍රියාකාරකම්, හැකියාවන් අතරෙ මුල් කාලෙ අපි දෝලනය වුණා. අපරාදෙ මම මේක තෝර ගත්තෙ, මගේ හැකියාව තිබුණෙ අතන කියලා මට කිහිපවිටක් හිතුණා.

හැබැයි ඔබ අරමුණු හා සිහින හඹා යන්නෙක්

ඇත්තටම. මම අලුත් සිහිනයක් හදා ගත්තා මම කවදහරි මෙතනින් එළියට යන්නෙ මේ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක් වෙලා තමයි කියලා. මම බලාපොරොත්තු දෙකක් හදා ගත්තා. ඒ තමයි, මේ ක්ෂේත්‍රයේ මම වැඩක් කරනවා, ඒ කියන්නෙ උපදේශනය වගේ දෙයක් කරනවා කියන දේ. අනික මම කවදහරි ප්‍රධාන බැංකුවක ඉහළ කළමනාකාරීත්වයට ගිහින් තමයි විශ්‍රාම ගන්නෙ කියන බලාපොරොත්තුව. මම ඒ සිහිනය හඹා යන්න පටන් ගත්තා. මම අර මගේ මමත්වය නැති ම කර ගත්තා. ඊට පස්සෙ අපි ඉගෙන ගත්ත දේවල් ඒවට යොදද්දි හරිම සතුටක් දැනෙන්න පටන් ගත්තා. අවුරුදු 12ක් මම ජාතික සංවර්ධන බැංකුවෙ හිටියා.

ජාතික සංවර්ධන බැංකුවට ඔබ ඇතුළත් වෙන්නෙ පුහුණු කළමනාකරුවෙක් විදියටනෙ. අවුරුදු 12කින් විශ්‍රාම යද්දි මොකද්ද තනතුර?

ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙක් විදියට තමයි මම 2011දි විශ්‍රාම ගත්තෙ.

ජාතික සංවර්ධන බැංකුවෙන් සමුගන්න හිතුවෙ ඇයි?

මම කලින් කිව්වා වගේ මගේ සිහිනයක් තිබුණා ඉහළ කළමනාකාරීත්වයට යන්න. මට අවස්ථාවක් ලැබුණා ජාතික සංවර්ධන බැංකුවෙ 2004දි මාතර ශාඛාවෙ කළමනාකරු වෙන්න. එතකොට සුනාමි ආවා විතරයි. එතකොට මම විවාහ වෙලා මාස තුනයි. අවදානම් ගන්න මම කැමතියි. සුනාමි නිසා බිමටම සමතලා වෙච්ච පැත්තක මිනිසුන්ගෙ බලාපොරොත්තු සුන් වුණු වෙලාවක තමයි මම එතැනට යන්නෙ. මට සංස්කෘතික වෙනස්කම් පවා දැනුණා. ඒකාලෙ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධියක් හදාරමින් හිටියෙ. මම ඒකට අදාළ උපාධි නිබන්ධනය සකස් කළෙත් ඒ මට හමුවුණු මාතර ජනතාවගේ ව්‍යවසායක ගැටලු පාදක කරගනිමින්. ජීවිතයේ මම එතෙක් නොදැකපු පැත්තක් දකින්නෙ එහෙදි.

ඒවගේම සුන්බුන් මැද ජීවත් වෙන්නත් අමාරු වෙන්න ඇති?

ඇත්තෙන්ම. අපිට හරියට ඉන්න හිටින්න තැනක් තිබුණේ නෑ. හරිහමන් දෙයක් කන්න බොන්න තිබුණේ නෑ. දකින දකින පැත්තෙ තියෙන්නෙ විනාශ වුණු දේවල් සහ ඒ මත්තේ නැහෙන මිනිසුන්. විලාප විතරයි ඇහෙන්නෙ. හැබැයි මට ජීවිතෙ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒවගේම එහේදී මගේ සාර්ථකත්වය නිසා මට ජාතික සංවර්ධන බැංකුවෙ උසස්වීම් කිහිපයකුත් ලැබුණා.

එතැනින් ඔබ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සම්බන්ධ වෙනවා.

2011දි මම අයදුම් කරලා තමයි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සම්බන්ධ වෙන්නෙ.

ජාතික සංවර්ධන බැංකුවෙ සාර්ථක ගමනක් ගිය ඔබ ඇයි අයඳුම් කරලා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට යන්නෙ? 

මම මාතර වැඩ කරද්දි තමයි මට තේරුණේ මට කළමනාකරණ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මට පෞද්ගලික ගැටලු කිහිපයක් තිබුණා. මම ඉන්නෙ පවුල තමයි ජීවිතේ අංක එක කියන ස්ථාවරයේ. දරුවො දෙන්නා පොඩි නිසා මගේ බිරිය තීරණයක් ගන්නවා, රැකියාවෙන් ඉවත් වෙන්න. එතකොට අපිට එයාගෙ වේතනය නැතිව යනවා. එහෙම වුණාම මම වැඩියෙන් හම්බු කරන්න ඕන. ඒනිසා වැඩි වැටුපක් කියන දේට මට යන්න වෙනවා. සමාන තනතුර ම වුණාට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වේතනය ජාතික සංවර්ධන බැංකුවට වඩා වැඩියි. හැබැයි අවධානම හා වැඩ වැඩියි.

එතැනින් ඔබ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට (SMIB) සම්බන්ධ වෙනවා.

ඔව්, මම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාලයක් සේවය කරද්දි මට 2022 ජූලි ආරාධනයක් ලැබුණා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන්. ඒ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන්. එතැන මම මගේ වයසේ සහ මට වඩා වයසින් වැඩි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ක වැඩ කරන්නෙ. මම එතැනදි හොඳ ඇහුම්කන් දෙන්නෙක්. එයාලා එක්ක සහයෝගයෙන් වැඩ කරන්නෙ.

සාර්ථකත්වයේ රහස මොකද්ද?

මම සිහින හඹා යන්නෙක්. ඒවගේම මම ඉන්නෙ පවුල තමයි ජීවිතේ අංක එක ස්ථාවරයේ. අවදානම් ගන්නත් මම කැමතියි. ප්‍රමාණාත්මකව ගණනය කරන ලද අවදානම් ගන්න මම කැමැතියි. මම ගොඩක් සැලසුම් කරනවා. ඒ දේවල් තමයි මගේ සාර්ථක්වය. මම මගේ ක්‍රමය අකුරු හතරකින් කියන්න කැමැතියි. ඒ DPARD කියන්නෙ Dream. ඒ කියන්නෙ සිහින. මම සිහින දකින්නෙක්. p කියන්නෙ plan. ඒ කියන්නෙ ඒ සිහින සැලසුම් කරන්න. A කියන්නෙ Action. ඒ සිහින ක්‍රියාත්මක කරන්න. R කියන්නෙ Review. ඒ කියන්නෙ සිහින පසුවිපරම් කරන්න. මම මේ වගේ ආකෘතියක තමයි වැඩ කරන්නෙ.

කවුද ඔබේ ජීවන සහකාරිය

මම විවාහ වෙන්නෙ 2004දි. ඇය මහේෂා ජයවීර. මාත් එක්ක ජාතික සංවර්ධන බැංකුවෙම තමයි ඇයත් වැඩ කළේ. ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ අපි විවාහ වුණා. ඇය තමයි මම සහ අපේ දරුවන් දෙදෙනාගේ සාර්ථකත්වයේ පිටුපස සිටින යෝධ සෙවණැල්ල.

දරුවන් - මට ඉන්නෙ දුවයි පුතයි. පුතා නෙවිඳු, දැනට කොළඹ ආනන්ද විද්‍යාලයේම 11 වැනි වසරේ ඉගෙනුම ලබනවා. දුව නෙතුකි, ඇය ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා.

විවේක වෙලාවට මොකද කරන්නෙ

මම ගොඩක් වෙලාවට ක්‍රිකට් මැච් බලනවා. සමාජ සත්කාරක වැඩ කරනවා. ඒ වගේම මම බැංකුකරුවන්ගේ සංගමයේ හා විවිධ පුහුණු ආයතනවල බැංකුකරණය, නායකත්වය වගේ දේවල් ගැන දේශන පවත්වනවා.

පොත් කියවන්න, චිත්‍රපට බලන්න කැමැතිද?

මම පොත් කියවන්නෙක් නොවෙයි. අවශ්‍ය වෙලාවට මම විෂයානුබද්ධ පොත් කියවනවා. කරුණු හොයා ගන්නවා. චිත්‍රපට නිතර නොබැලුවත් ඉඳහිටලා බලනවා.

සංචාරය කරන්න කැමතිද?

මම නිතර ඇවිදින්න කැමැතියි. පවුලක් විදියට එකතු වෙලා අපි රටේ විවිධ තැන්වලට යනවා.

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

නෑ, එහෙම විශේෂයක් නෑ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි තමයි හැමදේම කරන්නෙ.

Comments