බෞද්ධ හා පාලි සරසවිය ඇතුළේ නවකයන්ට සතර අපායම පෙන්නූ වධකයෝ | සිළුමිණ

බෞද්ධ හා පාලි සරසවිය ඇතුළේ නවකයන්ට සතර අපායම පෙන්නූ වධකයෝ

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය කියූ විට ඔබේ මනසේ මතකයට ආ යුත්තේ මොනවාද?
- හිස බූගා කහ සිවුරෙන් සන්සුන් සිතෙන් ගමන් කරන හිමිවරු
- ධර්ම පුස්තක
- දැහැත්
- ඒත් දැන් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය කියූ සැණින් ඔබේ මතකයට එන්නේ මොනවාද?
- සාංඝික නවකවධය
- අයිස්
- අරක්කු, බියර්

සාමාන්‍යයෙන් අප පන්සලක දකින බෞද්ධ සංකේත වන්නේ බුදු මැදුර, චෛත්‍ය, බෝධීන් වහන්සේ වැනි වස්තූන්ය. එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විශේෂිත වන්නේ ක්‍රිකට් පිච් එකක් හදා ගත්තා යැයි කියන එකම භික්ෂූන්ට වෙන්වූ විශ්වවිද්‍යාලය වූ නිසාය. මේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාණන් රාහුල හිමියන්ය. රාහුල හිමියන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළ මොහොතේ පවසා සිටියේ බෞද්ධයන් මෙන් අනිත් ආගමිකයන් ද තමන්ගේ ආගම්වලට ද අමාත්‍යාංශ ඉල්ලුවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ කියාය! 

කෙසේ නමුත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේදී මෙවැනි අලකලංචියක් අනාගතයේ සිදුවේ යැයි රාහුල හාමුදුරුවෝ කීයටවත් සිතන්නට නැතුව ඇත. රාහුල හාමුදුරුවන්ගේ ජීවන චරිතය වූ වල්පොල රාහුල චරිතාපදානය (කර්තෘ - ගුණදාස ලියනගේ) පරිච්ඡේදයක්ම ඇත්තේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භයේ අරමුණු ගැනය. වල්පොල රාහුල ග්‍රන්ථයේ සැලැස්මේ කොටසක් නිම කරන ලද්දේ මා විසිනි. මුද්‍රිත පොතේ පෙරවදන ඊට සාක්ෂි දරයි.

ඒත් අද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ තත්ත්වය කුමක්ද? පසුගියදා එම විශ්වවිද්‍යාලයේ තිබුණ හිස් බියර් කෑන් හා හිස් අරක්කු බෝතල් දහසක් පමණ හමුවීමත් සමඟ නැවතත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන කතාබහක් කරළියට පැමිණ ඇත.

නේවාසික නොවන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා නම් මේ බියර්, අරක්කු ගිලන්පස ලෙස තම කරේ දාගෙන එන මල්ලේ බැතියෙන් විශ්වවිද්‍යාල භූමියට වඩම්මන්නට ඇත. එතකොට නේවාසික ශිෂ්‍ය හිමිවරු මේ බියර්, අරක්කු ගිලන්පස වඩම්මවා ගන්නේ කෙසේද?

අපට මේ ගැන හෙළිදරව්වක් කළේ හෝමාගම හන්දියේ ත්‍රිවිල් රියදුරෙකි.

"පිටිපන ඉඳල බාර් එකක් හොයන්න ඉස්සර කොට්ටාවටම යන්න ඕන. මෑතකදි හෝමාගම සුපර්මාකට් එකක බාර් එකක් ඇරියා. ගාමණී ජයසූරිය හෝමාගම මන්ත්‍රී වෙලා ඉන්නකම්ම හෝමාගමට බාර් ලයිසන් දුන්නේම නැහැ. මේ පිටිපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හාමුදුරුවො එකවුන්ට් එකට සල්ලි දැම්මාම එතැනට බෝතල් දෙක තුන නෙමෙයි පහක් හිටන් ගෙනිහින් තියෙනවා. බියර් නම් කේස් පිටින් ගෙනියන්නේ. විශ්වවිද්‍යාලයේ සිකුයුරිටිලත් බයයි ඕවා ඇරල බලන්න. ඇතුළට ගෙනියන්න විරුද්ධ වෙන්න."

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන දැන් නිරාවරණය වන ප්‍රවෘත්ති අනුව පෙනී යන්නේ මෙය බාහිර සමාජයෙන් වෙන්වී බළකොටුවක් මෙන් පැවති ස්ථානයක් බවය. අත්අඩංගුවට ගැනීමට පෙර අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටියේ ඒ නිසාම විය යුතුය.

අපි කලින් කී ත්‍රිවිල් රියදුරාම අපට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය අසල අසල්වැසියකු හඳුන්වා දුන්නේය. ඔහු කිසිදු බයකින් තොරව තමන්ගේ නම 'කළු මල්ලි' ලෙස පළ කරන ලෙස කියා සිටියේය.

"ඔය කැම්පස් එක රෑට කානිවල් එකක් වගේ. සිකුරාදාට නම් බඩු ෂුවර්. අපිට රෑට නිදාගන්නත් නෑ. බජව්ව රෑ දෙක තුනට ඉවර වෙන්නේ හැමදාම ගෝරියකින්. අපිත් බුද්ධාගම්කාරයෝ. මේ අය භික්ෂූන්ට ගැළපෙන්නේ නැති තට්ටේ ගාලා සිවුරු පොරෝගත්ත අය පිරිසක්. මුං ටික හින්ද ගම්වලින් ආපු අහිංසක සිල්වත් හාමුදුරු නමකටවත් ඉගෙන ගන්න බැරිවුණා."

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කෙරුවාව අනාවරණයයෙන් පසු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ මහ නාහිමිවරුන්, විවිධ පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා කිහිපයක් ද කර ඇත. මෙම සිද්ධීන් නිසා වසා දැමූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදි. මේ අතර මෙම විශ්වවිද්‍යාලයේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා ශාසනයට ද ගැටලු පැන නඟින බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස බොහෝ වියත්හු මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිට ඇති අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට ද එකඟත්වයට පැමිණ ඇත.

ජනාධිපතිවරයා වෙත බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ලබා දී ඇති රහසිගත වාර්තාවක මේ නවකවධ තත්ත්වය විග්‍රහ කොට ඉදිරිපත් කොට ඇති බව දැනගැනීමට ඇත. ඒ් අනුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවකවධය දෙන ප්‍රධාන ක්‍රමයක් වූයේ සති ගණන් කුණු වූ කෑම දැමූ ගඳ ගසන වතුර වලවල්වල පැවිදි ශිෂ්‍යයන් බස්සවා තැබීමය. හිස් අරක්කු බෝතල් සහ හිස් බියර් කෑන් ගෝනි ද සොයා ගන්නේ මෙවැනි ශිෂ්‍යයන් බෙල්ල තෙක් බස්සවා තබන අපද්‍රව්‍ය වළකිනි. මේ වළවල් වලට බස්සන ලද ඇතැම් සිසුන් විනාඩි ගණනක් ගත වෙද්දි වෙව්ලන්නේ හීතල හා කුණු වතුරේ ගඳ දරාගත නොහැකිවය. වේදනාවෙන් වලෙන් ගොඩ ඒමට දැඟලුවොත් ලැබෙන්නේ ගංජා, ක්‍රිස්ටල්, අයිස් සංග්‍රහයකි. ඒ බලහත්කාරයෙන් මත්ද්‍රව්‍යවලට යොමු වුණොත් කෙළින්ම එළියේය. එහෙම නැත්නම් හවස් වනතුරුත් කැහැ කැහැ කුණු වතුර වළේ සිටීමට සිදු වේ. නවක වදයට විරුද්ධ වන සිසුන්ට දෙන ප්‍රධාන වදයක් වන්නේ ව්‍යායාම කරවීමය. ඒවා එසේ මෙසේ ව්‍යායාම නොවේ. ඒවා ශිෂ්‍යයකුට දරාගත නොහැකි තරම් ඒවාය. එක්සයිස් දරාගත නොහැකිව ඇතැම් සිසුන් සිහිසුන්ව ඇද වැටුණ අවස්ථා ද ඇත.

ඔවුන්ට සිහි එන්නට ඉසින්නේ සිසිල් දියපැන් පොදක් වෙනුවට උත්තමානුවන්ගේ චූ පැන් පොදකි. උත්තමානුවන් කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ 'සීනියර්' ශිෂ්‍යයන්ටය.

විශ්වවිද්‍යාලයට ඇතුළු වන දින නවක වදය ආරම්භ කරන්නේ දුරබැහැර සිට කුසගින්නේ පැමිණි ශිෂ්‍යයන් හාමතේ වැසිකිළිවල රඳවා තබා ගැනීමෙනි. නවක ශිෂ්‍යයන් ඒමට දින කිහිපයකට පෙර සිටම නාසය වසාගෙන සිටිය නොහැකි තරමට මලපහවලින් මේ වැසිකිළි අපවිත්‍ර කරනු ලැබේ.

මෙම විශ්වවිද්‍යාලයේ නවක වදය දී ඇති අයුරු පිරික්සීමේදී තහවුරු වෙන්නේ මේ නවක වදය දෙන්නන් 'ලිංගික උන්මත්තකයන්' පිරිසක් බවය. ඇතැම් ශිෂ්‍යයන් විවිධ ලිංගිකත්ව ඉරියව්වල යොදවා ඇත්තේ බලහත්කාරයෙනි. එමෙන්ම විවිධ ඉරියව්වලට ලිංගික ක්‍රියාවන්වල යෙදෙන ආකාරය නිරූපණ ඉදිරිපත් කිරීමට ද නවක සිසුන් පොලඹවා ඇත. එමෙන් සමලිංගික පිරිසක් ලෙස ශිෂ්‍ය ජෝඩු තෝරාගෙන එම ක්‍රියාවන්ගේ හැසිරවීම බොහෝ ශිෂ්‍යයන් බලාගෙන සිට ඇත්තේ ජුගුප්සාවෙන් යුතුවය.

මේ අතර විශ්වවිද්‍යාලය තුළ සිදුවන නවක වද ක්‍රියාකාරකම් පාලනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙස ඉල්ලා නවක වදයට එරෙහි ශිෂ්‍යයන් පිරිසක් විසින් 2022.12.05 දින විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා, සහකාර ලේඛකාධිකාරිවරයා, නේවාසිකාගාර පාලකවරයා හා ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා හමු වී සාකච්ඡා සිදුකොට ඇත.

මෙහිදී අනාවරණය වී අනාවරණය වී ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ සිදුවන නවක වද ක්‍රියාකාරකම් පාලනය කිරීමට එහි වැඩ බලන උපකුලපති ලෙස කටයුතු කරන පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් නිසි පරිදි මැදිහත් නොවන බැවින් ඔවුන්හටද අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වී ඇති බවය. එහෙත් ඊට පෙර 2022.11.29 දින සරසවි මැදුර නේවාසිකාගාරය තුළදී නවක වදයට එරෙහි ශිෂ්‍යයන් පිරිසක් රැඳී සිටින කාමරවලට පහරදී තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව සිසුන් 21 දෙනකු හා භික්ෂු සිසුවකු සඳහා 2021.12.05 දින සිට ක්‍රියාත්මක වන පරිදි පන්ති තහනම ලබාදීමට පරිපාලනය පියවර ගෙන ඇත.

මේ අතර නවක වදය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මෙතෙක් අනාවරණ වී ඇති ශිෂ්‍යයන් මෙසේය. පොල්පිතිගම ප්‍රංඥාසාර හිමි, බ්‍රාක්මණ ආරච්චිගේ ධම්මික ලක්සිරි, විජේසුන්දර මුදියන්සේලාගේ පල්ලෙ වලව්වේ නවීන් ධර්මරත්න , කොබෝමෙල්ලේ ගෙදර අසේල වසන්ත කුමාර, රන්හොටි බණ්ඩාරලගේ ලහිරු මාධව, සුරංග ලක්ෂාන්, අධිකාරී මුදියන්සේලාගේ ඉඳුනිල් ජයන්ත බණ්ඩාර , රංබණ්ඩා දේවයලාගේ සජිත් තෙන්නකෝන්, (සිරිපතුල් දේවගේ පුබුදු නිරෝෂන් කුමාර, මැදගම අරියධම්ම හිමි, බෙරගම සෝමින්ද හිමි, මිදෙල්ලෑවේ සිරිරතන හිමි, මැදවච්චියේ සුමනරතන හිමි, බුත්තල සුමනසිරි හිමි, දන්තුරේ උත්තරනන්ද හිමි , කිරින්දේ චන්ද්‍රාලෝක, වීරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් සිසිර කුමාර , එගොඩගෙදර කාවින්ද දේශාන් දයාරත්න යන ශිෂ්‍යයින්ය. මේ අතර පසුගිය 20 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන ප්‍රකාශ කළේ මෙසේය.

"පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ථෙරවාදී බෞද්ධ දර්ශනයත් මේ රටේ ශාසනික උන්නතියත් සඳහා සම්පූර්ණයෙන්ම ආගමික නායකයන්ගේ උපදේශකත්වය යටතේ උත්තරීතර පරමාර්ථ සහිතව පිහිටවපු ආයතනයක් බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. නමුත් පිහිටවූ උතුම් පරමාර්ථවලින් බැහැරව අනෙකුත් විශ්වවිද්‍යාල මට්ටමටත් වඩා දරුණු අන්දමෙන් නවක වදය, ප්‍රචණ්ඩත්වය හා අනෙකුත් විනය විරෝධී කටයුතු රාශියක් සිදුවෙන බව ඔප්පු කරලා පෙන්නලා තියෙන තත්ත්වයක් තුළ කැබිනට් මණ්ඩලය තීන්දු කළා මේ විශ්වවිද්‍යාලය මහනායක හිමිවරු ඇතුළු බෞද්ධ ආගමික නායකයන්ගේ පූර්ණ සංශෝධන සහිතව මිස යළි විවෘත කරන්නේ නෑ කියලා.

ඒ සඳහා අවශ්‍ය වාර්තා ලබාගෙන සියලුම මහනායක ස්වාමීන් වහන්සේලාත් මේ හා සම්බන්ධ වෙන බෞද්ධ ආගමික නායකන්ගෙත් පූර්ණ ලෙස සහභාගිත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව තමයි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන්නේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයක්."

එසේ නම් දැන් අප බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටිය යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයක් විවෘත කරන තුරු නොවේද?

Comments