අංක එකේ පාපන්දු රජුගේ ලොවක් වසඟ කළ ආදර කතාව | සිළුමිණ

අංක එකේ පාපන්දු රජුගේ ලොවක් වසඟ කළ ආදර කතාව

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් වී දැන් සතියකටත් වැඩිය. එහෙත් ලොව පුරා තවමත් කතාව මෙසී ගැනය. ජාත්‍යන්තර වෙබ් අඩවිවල වැඩි ඉඩකඩක් වෙන්වී ඇත්තේ ඔහු වෙනුවෙන්ය. පත්තරවල පිටු ගණන් පිරෙන්නේ වසර 36කට පසු ආජන්ටිනාවට යළි කුසලාන වසන්තය උදා කළ මෙසීගේ විස්මිත දස්කම් ගැන ලියැවුණු සටහන්වලිනි. 

ලියොනල් ඇන්ඩ්‍රිස් මෙසී, ලයනල් ඇන්ඩ්‍රිස් මෙසී එසේත් නැතිනම් ලියෝ මෙසී වශයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටින මේ පෙරළිකාර ක්‍රීඩකයා ආජන්ටිනාවේ නම් කාගෙත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ‘ල පුල්ගා‘ නමිනි. ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ල පුල්ගා‘ යනු මැක්කා හඳුන්වන නම ය. වසර 2005 දී ස්පාඤ්ඤයේ ‘ල ලීගා‘ පාපන්දු තරගාවලියේදී ගෝල පිට ගෝල රැස් කිරීමෙන් පසු ඔහුට ඒ නම තැබුවේ එරට මාධ්‍යවේදීන්ය. කුඩා සිරුරකට හිමිකම් කියන ක්‍රීඩකයකු වුවද ඔහු ඉතා වේගවත්ය. දෙපා චලනය ප්‍රතිවාදී ක්‍රීඩකයන් මුළා කරවන්නකි. ඔහුට මැක්කා නාමය පට බැඳුණේ එබැවිනි. මේ අසහාය ක්‍රීඩකයා කොතරම් කුඩා වූවත් ලෝක පාපන්දු පිටියේ දැවැන්තම ප්‍රතිරූපයකට හිමිකම් කියන්නේ දස්කම් අතින් කිසිවකුට නොදෙවැනි නිසාය. ඕනෑම උත්සවයකදී අතිවිශාල ජනකායක් මැද වුවත් ඔහු සියලුදෙනාට වැඩියෙන් කැපී පෙනුණේ එබැවිනි.

අමරණීය පෙම් කතාව

ඇතැමුන් මෙසී හඳුන්වනු ලබන්නේ ලෝක පාපන්දු පිටියේ අමරණීය පෙම්වතා ලෙසිනි. තවත් සමහරු කියන්නේ එය වීර කාව්‍යයක් බඳු ආදර කතාවක් බවය. පාපන්දු ලෝකය ජයගැනීමෙන් පසු විවිධ රටවල සුරූපි යුවතියන්ගේ ඇල්මට බැල්මට ලක් වූවත් ඔහුගේ සිතෙහි කවදත් සිටියේ එක‘මෙක යුවතියක පමණි. ඇය ඇන්ටනෙලෝ රුකූසෝය. මේ රූමත් යුවතිය මෙසීගේ සිහින කුමාරිකාව වූයේ හය හතර නොදත් කුඩා වියේ සිටමය. එකළ මෙසීට සිහින දෙකක් තිබිණි. එකක් ලොව නොම්මර එකේ පාපන්දු සමාජයක් වන බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමය. අනෙක අන්ටනෙලෝගේ ප්‍රේමය දිනා ගැනීමය. ඇය ඔහුගේ හදවතේ ලැගුම් ගත්තේ නොඉල්ලා ලැබෙන ප්‍රේමය අතිසුන්දර බව යළි යළිත් සනාථ කරමිනි. එය අපූරු ආදර අන්දරයකි.

දෙදෙනාගේ ආදර කතාව ළමා විය දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියන බවට තොරතුරු පළ වී තිබේ. අවුරුදු 5 සිට දෙදෙනා දැන හැඳින සිටි බව කීව ද, මේ කොලු ගැටයා හරියටම ඇන්ටනෙලෝට වහ වැටුණේ

භද්‍ර යෞවන වියේදීය. මෙසීගේ මුල්ම ක්‍රීඩා සමාජය වන ග්‍රැන්ඩෝලි ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ලූකස් ස්කැග්ලියා ඇගේ ඥාති සොහොයුරකු විය. මෙසී ඇය හඳුනා ගත්තේ ඔහුගේ මාර්ගයෙනි. පළමු වරට ඇය දුටුවේ ද මිතුරාගේ නිවෙසේදීය. මෙසීගේ බාසිලෝනා සිහිනයට තවත් සිහිනයක් එකතු වූයේ එදින සිටය. එතැන් පටන් ඔහු මිතුරාගේ නිවසට යෑම දෛනික පුරුද්දක් කරගත් අතර, එය මිතුරාගේ පියාට රහසක් ද නොවීමට වැඩි කාලයක් ගියේ නැත. ‘ඇයි මෙසී නිතරම එහේ එන්නේ ?‘ දිනක් ග්‍රැන්ඩෝලි ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලූකස්ගේ පියාගෙන් ඇසුවේය. ‘ඒ මොකද දන්නවද ? ලුකස්ගේ ඥාති සොහොයුරිය ඇන්ටනෙලෝ එහේ එනවනේ. මෙසී එයාට කැමතියි වගේ‘ ලූකස්ගේ පියා දුන් පිළිතුර එය විය. 

ඉන් එහාට වැඩි යමක් සිදු නොවීය. දෙන්නට දෙන්නා නොදැක සිටින්නට බැරි බව දෙදෙනාටම දැනී තිබිණි. ආදරයක් ප්‍රකාශ නොවූවත් නිතර හමුවන්නට දෙදෙනාටම වුවමනා වී තිබිණි. එහෙත් ඒ මුණගැසීම් විවිධ ක්‍රීඩාවල නිරත වීම් සහ ඇවිදින්නට යෑම් වැනි ක්‍රියාකාරකම්වලට පමණක් සීමා වූවකි. දෙදෙනාගේ ආදර කතාවේ හොඳම කොටස ආරම්භ වන්නේ ඛේදජනක සිදුවීමක් ඔස්සේය. 13 හැවිරිදි වියේ පසු වූ මෙසීට බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ලද ඇරයුමට අනුව පවුල් පිටින් ඔහු ස්පාඤ්ඤය බලා යෑමෙන් පසු ඇය සිතුවේ ඔහු කිසිදිනෙක යළි හමු නොවෙනු ඇති බවය. එහෙත් 2005 වසරේ එක්තරා දිනෙක ඇන්ටනෙලෝගේ හොඳම මිතුරිය මාරක රිය අනතුරකින් මිය යෑමෙන් පසු ඇය දුක්බර අවස්ථාවකට මුහුණ දී සිටි අතර, නොසිතූ ලෙස ඇය අස්වසාලීමට මෙසී ආජන්ටිනාව වෙත ඉගිළී ආවේය. ඒ වෙද්දී ඇය දින ගණනාවක් පාසල් නොගොසින් නිවෙසේ කාමරයට වී හැඬූ කඳුළෙන් පසුවූ අතර, ඔහුගේ පැමිණීම ඇයට අදහාගත නොහැකි විය. සිප වැලඳ ගැනීම්, හාදු හුවමාරු වීම්, හඬා වැටීම්, සතුටින් කෑගැසීම් එක මොහොතක සිදුවීම් ගොන්නක් නිර්මාණය වීමට එය හොඳටෝම ප්‍රමාණවත් විය. නොඉල්ලාම ලැබුණු ආදරය සුන්දර බව දෙන්නාටම සිතෙන්නට ඇත.

මීට වසර තුනකට ඉහත සම්මුඛ සාකච්ඡාවකදී සිය ආදර කතාව සිහිපත් කරමින් මෙසී කීවේ ‘ආදරය උපදින්නේ පළමු දැකීමේදී බවය. ‘කවදා හෝ දිනෙක අප විවාහ ගිවිස ගමු‘ යැයි කෙටි පණිවුඩයක් කුඩා වියේදී ඇයට ලියූ බවත් ඔහු කීවේ සිනාසෙමිනි.

පෙම්වතියගේ දුක තුනී කිරීමට ආජන්ටිනාවට ගිය මෙසී නැවත ස්පාඤ්ඤයට පැමිණි අතර, ඊළඟ වසරේදී ඔහු ආජන්ටිනාව නියෝජනය කරමින් සිය මංගල පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළේ ආජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරග වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසිනි.

පසුකාලීනව රොසරියෝ නුවර විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලැබීමට ඇන්ටනෙලෝ සමත්වූවද ඇය එය ප්‍රතික්ෂේප කරමින් මෙසී හා එක්වීමට ස්පාඤ්ඤය බලා ගියාය. ඔවුන්ගේ ආදර කතාව ලොවට අනාවරණය වූයේ ස්පාඤ්ඤයේදීය. ඒ වනවිට මෙසී ලොවම හඳුනන සුපිරි තරුවක් බවට පත් වෙමින් සිටි අතර, ජනප්‍රියත්වයේ මුදුනටම ගමන් කරමින් සිටියේය. කවුරුත් කියන්නේ මෙසීගේ ක්‍රීඩා ජීවිතය වඩාත්ම ආලෝකවත් වූයේ ඇන්ටනෙලෝ ස්පාඤ්ඤයට පැමිණීමත් සමඟ බවය. එහිදී ඔවුන් එකට ජීවත් වූ අතර, 2012 වසරේදී ඇය ඔහුට පළමු දරුවා තියාගෝ ද තෑගි කළාය. දෙවැනි පුතා මටියෝ උපන්නේ ඊට වසර තුනකට පසුවය. වසර 2017 මෙසී - ඇන්ටනෙලෝ යුවළ නිල වශයෙන් විවාහ වීමට තිරණය කළ අතර, දෙදෙනාගේ උපන් ගම වන රොසරියෝ නුවරදී විවාහ උත්සවය පැවැත්විණි. තුන්වැන්නා සිරෝ උපන්නේ ඊළඟ වසරේදීය.

පාපන්දු ලෝකය උඩුයටිකුරු කළත්, ලස්සනම ලස්සන ආදර කතාවකට හිමිකම් කීවත් මේ පෙරළිකාරයා හැසිරෙන්නේ කිසිවක් සිදු නොවූ ගාණටය. ඔහු එතරම්ම සන්සුන්ය. මෙසී කවදත් වැඩිකතා බහක් නැති පුද්ගලයෙකි. ඔහු හඬ නඟා කතා කරන්නේ ද කලාතුරකිනි. ඔහුගේ මේ හැසිරීම් රටාව නිසාම එවකට බාසිලෝනා පිලේ සෙසු සගයන් සිතුවේ ඔහුට කතා කිරීමේ අපහසුතාවක් ඇති බවය. ඇතැමුන් ඔහුට ‘ගොළුවා‘ නමින් ද ආමන්ත්‍රණය කළ බව පසුකාලීනව මෙසී කීවේ සිනාසෙමිනි.

උස නොයෑමේ හේතුව

ලියෝ මෙසී එතරම් උස නැති ක්‍රීඩකයෙකි. විවිධ වයස් කාණ්ඩ යටතේ ආජන්ටිනාවේ ක්‍රීඩා කළ සෑම කණ්ඩායමකම සිටි මිටිම ක්‍රීඩකයා ඔහු ය. අවුරුදු 9දී මෙසීගේ උස අඩි තුනකුත් අඟල් 9ක් පමණි. මේ වනවිට 35 හැවිරිදි වියෙහි පසුවන මෙසීගේ දැන් උස අඩි පහකුත් අඟල් 5ක් පමණි. ඔහුගේ මේ මිටිකම කුඩා වියේ සිදු වූ හෝමෝන වර්ධනයේ ව්‍යාකූලත්වයක ප්‍රතිඵලයකි. මෙසීගේ හෝමෝන වර්ධනයේ ගැටලුවක් පවතින බව වෛද්‍යවරු සොයා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 11කි. ඔහු පාපන්දු ක්‍රීඩාවේ නිරත වූයේ එම රෝගී තත්ත්වයත් සමඟිනි. දිනපතා රාත්‍රි නින්දට පෙර මෙසීගේ දෙපාවලට එන්නත් විඳීමට සිදු වී තිබිණි. එය නොකඩවා වසර තුනක් පුරා සිදු වූ අතර, එවකට මාසයකට අමෙරිකානු ඩොලර් 1,500ක් පමණ වැය වූ බැවින් ඉන් එහාට මෙසීට ප්‍රතිකාර කිරීමට තරම් වත්කමක් ඔහුගේ මාපියන්ට නොතිබිණි. 

සැබැවින්ම ඔවුන් සිටියේ අගහිඟකම්වල පහළම මට්ටමකය. ඒ වන විට ආජන්ටිනාවේ රොසරියෝ නුවර ග්‍රැන්ඩෝලි ක්‍රීඩා සමාජයට නැතුවම බැරි ක්‍රීඩකයකු වූවත්, ඔහුගේ ප්‍රතිකාර සඳහා වියදම් දැරීමට ක්‍රීඩා සමාජය එකඟ නොවීය.

මෙසීගේ ජීවිතයේ පෙරළිකාර වෙනස සිදුවූයේ ඔය අතරතුරය. මේ හුරුබුහුටි ක්‍රීඩකයාගේ දස්කම් හඳුනාගත් ස්පාඤ්ඤයේ එෆ්සී බාසිලෝනා ක්‍රීඩා සමාජය ඔහුට ඇරියුම් කළේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජයට එක්වන ලෙසය. තම ක්‍රීඩා සමාජයට එක් වන්නේ නම් ප්‍රතිකාර සඳහා යන වියදමත් දැරීමට හැකි බව ඔවුන් මෙසීට දන්වා යැව්වේය. අවසානයේ මෙසීගේ වාසනාව සොයා ස්පාඤ්ඤයට යෑමට තීරණය කළ ඔහුගේ මව්පියෝ කිසිදු ආදායමක් හෝ රැකියාවක් පිළිබඳ නිශ්චිත නිගමනයකින් තොරවම ස්පාඤ්ඤය බලා පිටත්ව ගියහ. ඒ වන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු 13ක් විය.

මිත්තණියගේ දිරිගැන්වීම

වසර 1987 ජූනි මාසයේ 24 වැනිදා ආජන්ටිනාවේ රොසරියෝ නුවර උපන් ලියෝ මෙසී පාපන්දු ක්‍රීඩකයකු බවට පත් කිරීමේ සිහිනය මුලින්ම දුටුවේ ඔහුගේ ආදරණීය මිත්තණිය සීලියා ය. ජීවිතයේ පළමුවතාවට පාපන්දු පුහුණු කඳවුරකට මෙසී රැගෙන යනු ලැබුවේ ඇය විසිනි. ඒ වන විට සිව් හැවිරිදි වියෙහි පසු වූ කුඩා මෙසී ග්‍රැන්ඩෝලි දේශීය පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණු කඳවුරට රැගෙන යන ගමන් ඇය මෙසේ කීවාය. ‘කවදහරි දවසක ඔයා ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වේවි‘

ඇය මෙසීට පළමු පාපන්දු බූට්ස් යුගල මිලදී ගෙන දෙන ලෙස ඔහුගේ මාපියන්ට බල කළා පමණක් නොව තම මුනුපුරාව කණ්ඩායමට බඳවා ගන්නා ලෙස ක්‍රීඩා සමාජයේ පුහුණුකරුට බල කර සිටියාය.

එහෙත් අවාසනාවකට ඔහුගේ දස්කම් දැක බලා ගැනීමට ඇයට වාසනාවක් නොතිබිණි. ඇය මෙලොව හැර ගියේ ඔහු යන්තම් දසවැනි විය පසු කරද්දීය. ඒ වන විට ඔහුගේ රෝගී තත්ත්වය අනාවරණය වී නොතිබිණි. අදටත් තම ජීවිතයේ වඩාත්ම දුක්බර දිනය එය බව පසුකාලීනව මෙසී කීවේය.

වාසනාව ගෙන බාසිලෝනා

එදා මෙදා තුර පාපන්දු ලෝකයේ පේලේට පසුව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස විචාරකයන් හඳුන්වන මෙසීට වාසනාව උදා වූයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට බැඳීමෙන් පසුවය. බාසිලෝනා පිලට එක් වී වැඩි කාලයක් යෑමට පෙර ඔහු යුරෝපයේ පාපන්දු පිටිය දිග්විජය කිරීමට සමත් වූයේ ගෝල පිට ගෝල රැස් කරමිනි. 17 හැවිරිදි වියේදී ඔහු බාසිලෝනා පිල වෙනුවෙන් ගෝලයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත් වූයේ පුහුණුකරුවන්ගේ අනාවැකි පිට අනාවැකි පළවෙමින් තිබියදීය. එතැනින් ආරම්භ වූ ඔහුගේ ගමන් මඟ එහෙම පිටින්ම ගෝලවලින් පිරී ගියේය. අනතුරුව ලෝක පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයා බවට පත් වනතුරුම ඔහු ආපසු හැරුණේ නැත. 

එවකට බාසිලෝනා ක්‍රීඩා සමාජය ලොව සාර්ථකම පාපන්දු කණ්ඩායම බවට පත් වූයේ තනිකරම මෙසීගේ දස්කම් මතිනි. වසර 2008-09 තරගවාරයේදී ඔවුන් පළමු වතාවට පාපන්දු පිටියේ ත්‍රිත්ව ශූරතා දිනා ගත්තේ මෙසීට පින්සිදු වන්නටය. එවර ‘ල ලීගා‘ ශුරතාවත්, ල කෝපා ශූරතාවත්, යුරෝපා පාපන්දු සංගම් ශූරතාවත් බාසිලෝනා පිලට හිමි වූයේ ඓතිහාසික වාර්තාවක් ද සමඟිනි. පළමුවරට මෙසීට ලෝක පාපන්දු සම්මේලනයේ ‘FIFA Ballon d'Or‘ වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට හේතු වූයේ එම දස්කම්ය. අවුරුදු 22දී පළමු වතාවට ‘FIFA Ballon d'Or - 2009‘ සම්මානය දිනූ මෙසී අනතුරුව 2012 දක්වා අඛණ්ඩව එම සම්මානයට හිමිකම් කී අතර, 2015දිත්, 2019 සහ 2021දිත් ඊට හිමිකම් කීවේ සම්මාන 7ක් දිනා වැඩිම වාර ගණනක් වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

බිත්තරය පැරද වූ මෙසීගේ ඡායාරූපය

2022 දෙසැම්බරයේ 18 වැනිදා මෙසී ආජන්ටිනාවට ලෝක කුසලානය දිනා දුන් දිනය විය. විචාරකයෝ කියන්නේ එදින මුළු ලොවම නිදිවර්ජිතව සිටි බවය. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලය වාර්තාගත අයුරින් පිරී ඉතිරී ගියේ ලෝක කුසලානයේ සහ මෙසීගේ ඡායාරූපවලිනි. මේ අතුරින් ලියෝ මෙසී ලෝක කුසලානය අතැතිව සිය සගයන්ගේ කර මතින් යන ඡායාරූපය එතෙක් මෙතෙක් ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම පිරිසක් නැරඹූ ඡායාරූපය බවට පත් වූයේ මිලියන 72.1ක පිරිසකගේ ‘Likes‘ ප්‍රමාණයකුත් සමඟිනි. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මිලියන 58.3ක ජනතා කැමැත්ත ලැබුණු අරුම පුදුම බිත්තරයක ඡායාරූපයකි.

එය සැබැවින්ම එක්තරා ඡායාරූප ශිල්පියකු වාර්තාවක් තැබීමේ අරමුණින් දැමූ පෝස්ටුවකි. දුඹුරු පැහැති බිත්තරයක පෝස්ටුවක් දමා ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ ලෝක වාර්තාවක් තැබීමට මේ බිත්තරයට ‘Likes‘ දමන්නැයි කියාය. දින දහයක් ඇතුළත ඊට ‘Likes‘ මිලියන 28.3ක් වැටිණි. මෙසීගේ වාර්තාගත ඡායාරූපයට ‘Likes‘ පළමු මිලියන 10 පසු කිරීමට වැය වූයේ මිනිත්තු 39ක් පමණි. පැය විසිහතරක් ගෙවෙද්දී එය බිත්තරයේ වාර්තාව බිඳ දමා අවසන්ය.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වී දින දෙකක් ගත වෙද්දී කුසලානය පසෙක තබාගෙන මෙසී ඇඳක නිදා සිටින ඡායාරූපය ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ අප්ලෝඩ් කර තිබූ අතර, එය මිලියන 52.2 ක ‘Likes‘ ප්‍රමාණයක් ලබා ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම පිරිසක් නැරඹූ ඡායාරූප ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්වී තිබේ.

Comments