තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ | සිළුමිණ

තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ

මං වගේ ටැටූ ගහලා නැහැ කවුරුවත්ම

සමිතයි චිරන්තයි දෙන්නා එක්කම අපේ ගෙදර ආවේ  ෆස්ට් ටයිම්

අපි වෙන් වුණේ ගහමරාගෙන නොවෙයි

අමායා අධිකාරී කියන්නේ බොහෝ කතාබහට ලක්වෙන, ලක්වුණු චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි ඇය සල්සපුනා ටෙලි නාට්‍යයේ නර්මදාගේ චරිතයෙන් රංගනයට පිවිසුණා. මේ කතාබහ ඇය සමඟයි.

 

අමායා මේ දවස්වල පේන්න නැත්තේ රංගනයට සමු දීල ද?

නැහැ.. නැහැ. මම රංගනයට සමු දුන්නේ නැහැ. මට ඉන්නෙ තාම පොඩි බබාල. දුව නම් චුට්ටක් ලොකුයි. පුතාල දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. ඒ නිසා දෙන්නම පොඩියි. මං තාමත් එයාලට කිරි දෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඒත් මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න කැමති නෑ. ඒ වගේම මගේ කෑම ප්‍රොඩක්ට් එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. ඒක නම් කරන්නේ ඔන්ලයින් ඕඩර්ස්වලට.

 

ඔබ කලාවට පිවිසි ගමන්මඟ ගැන සිහි කළොත්?

“මුලින්ම මං බ්‍රයිඩ්ල් නිරූපණයෙන් තමයි කලාවට පිවිසුණේ. ඒකත් අක්කිගෙ වෙඩින් එක දවසෙ මාව දැකලා ප්‍රේමසිරි හේවාවසම් තමයි මුලින්ම මාව පැජන්ට් එකකට බ්‍රයිඩ්ල් කෙනෙක් වගේ ඇන්දුවේ. ඊට පස්සෙ ඉතින් දිගටම අඳින්න වුණා. පස්සේ පැෂන් ෂෝවලට සම්බන්ධ වුණා. මොඩ්ලින් නිසා මං ජනප්‍රිය වෙලා හිටියේ. ඒත් අතුල මැරි කළාට පස්සෙ තමයි රංගනයට පිවිසෙන්නේ. මාව දැකලා, සල්සපුනා එකේ නර්මදාගේ කැරැක්ටර් එකට මේ වගේ කෙනෙක් තමයි හොඳ කියලා, තුෂාරි අබේකෝන් තමයි මාව තෝර ගත්තේ. එයාලාගේ වුවමනාවට ගියා මිසක් ඇත්තටම මං දැනන් හිටියෙ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. එයාල කීයන විදිහට මං දක්ෂ විදියට ඒ චරිතයට සාධාරණයක් ඉටු කළාලු. නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වුණු සල්සපු නා හරිම ලස්සන දිග කතාවක්. සුසිල නිෂ්පාදනයක්. වගකීමකින් වැඩ කරන ඒ වගේ අයත් එක්ක වැඩ කරන්න ලැබුණහම බයක් නැහැ.

 

ඔබ අතුලගෙන් වෙන් වෙලා දැන් හර්ෂ ධනෝෂ්ගේ බිරිය. ඒත් අතුලත් එක්ක තියෙන යාළුකමේ වෙනසක් නැහැ නේද?

අපි වෙන් වෙලා නැහැ. තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ තට්ටුවේ. මම එයාගේ හොඳම යාළුවා. එයා මගේ හොඳම යාළුවා. මං හිතන්නේ කාලයක් ආදරය කරපු කෙනෙක් එක්ක ප්‍රශ්න බෙදාගෙන යාළුවෙක් විදිහට ආශ්‍රය කළාම ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන් ඒ තේරුම් ගැනීමත් එක්ක. අපි වෙන්වේවි කියලා හිතන්නත් බෑ. හදවත්වලින්, මනසින් වෙන්වීම ගැන හිතන්නත් බැහැ. ඒක යාළුකමක් විදිහට හරි එක දිගට පවත්වගෙන එන එක ගැන සතුටුයි. හදවත්වලින් අපි තාමත් යාළුවෝ. එහෙම ඉන්න එක පහසුයි. ඇත්තටම වෛරක්කාරයො බිහිකර ගන්නවට වඩා. ඒවා ඉතින් බලාගෙන ඉන්න බෑ මිනිස්සුන්ට. අපි ප්‍රසිද්ධ නිසා අපි ගැන හොයනවා වැඩියි. අපි ඒවා අහගෙන ඉන්නවා. වෙලාවකට හිනාත් යනවා.

අතුලයි, හර්ෂයි කොහොමත් ඉස්සර ඉඳන්ම දන්නවා. හර්ෂ ඩ්‍රීම් ස්ටාර්වලින් ආවේ. අතුල හරිම ආදරේ කැරැක්ටර් එකක් හර්ෂ කියන්නේ. එයා ආසම කටහඬක් තියෙන්නේ හර්ෂට. ඇත්තටම අතුලයි හර්ෂ එක්ක තරහා වෙන්න ඕන. එහෙනම් චිරන්ත එක්කත් තරහා වෙන්න ඕන. එහෙම දෙයක් නෑ. වෙන්වුණාට පස්සේ කා එක්ක ජීවත් වුණත්, ඒ මනුස්සයත් එක්ක කතාබහ කරලා හොඳින් ඉන්න ලැබෙනව කියන්නේ කොච්චර දෙයක්ද? ඒ මනුස්සයගේ හදවත විශාලයි. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න පහසුයි.

 

පහුගිය දවස්වල අමුත්තෝ කට්ටියක් අමායා බලන්න ආවා කියලා ආරංචියි?

ආ ඔව්. කාවින්ද්‍යා නම් ඉස්සර ඉඳලම තාත්තිව බලන්න කොහොමත් එනවා. එයා මගෙත් එක්කත් කිට්ටුයි. මගේ බබාලත් එක්කත් එකතුයි. එයා හරි හොඳ ඇක්ෂුවල් ළමයෙක්. සමිතා නම් කලින් ඇවිත් තියෙනවා. ඒත් සමිතයි චිරන්තයි එකතු වුණාට පස්සේ නම් දෙන්නා එක්කම අපේ ගෙදර ආවේ ෆස්ට් ටයිම්. ඩිනර් අරගෙන එන්ජෝයි කරලා ගියා. පිටදි අපි හමු වෙනවා. ඒත් ගෙවල්වලට එවෙන්නේ නැහැ. මොකද මං ඉන්නේ කොළඹින් ටිකක් ඈත. එයාලට ට්‍රිප් එකක් එනවා වගේ තමයි මාව බලන්න එන එක. හැබැයි ආවා. අපි ඉතින් හොඳින් ආදරෙන් ඉන්නවා. එයත් හොඳ හදවතක් තියෙන කෙනෙක්. හැබැයි ඉතින් කතා හැදෙන්නෙත් අපි වගේ මිනිස්සුන්ට. ඒ හින්දා ඉතින් එයාලගේ කතාබහ පැත්තකට දාලා අපි එකමුතුව ආදරෙන් ඉන්නවා. හොඳින් ඉන්නනේ ඕන. එහෙම ඉන්න බැරි අය තමයි ඉරිසියාවට කතා හදන්නේ. මගේ කලින් හස්බන්ඩ් අයින් වෙලා නම් ඉන්නේ මට එයාව යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන්නේ. මොකෝ අපි වෙන් වුණේ ගහමරාගෙන නොවෙයිනේ.

 

අමායාට ටැටූ පිස්සුවක් තියෙනවා නේද, ඒක රංගනයට අවාසියක් වුණොත්?

ඔව්. ටැටූ නම් ගොඩක් තියෙනවා ඇඟේ. පේන තැන්වල තියෙන්නේ. පේන්නෙ නැත්නම් ගහලා වැඩක් නෑනේ. ටැටූ එකක් ගහනවා නම්, ඒ පැෂන් එක කරනවා නම් ඒක පේන තැනක තියෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ලංකාවේ ෆිල්ම් හෝ ටෙලි නාට්‍ය කලාවේ මං වගේ ටැටූ ගහලා නැහැ කවුරුත්ම. අත් දෙකේ පුරාම තියෙනවා. සමහර අයට දෙපාරක් හිතන්න වේවි මාව නිර්මාණයකට ගන්න. සමහර අයට මාව ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේ චරිතයක් හම්බවුණොත් තමයි කරන්න වෙන්නේ.“

 

Comments