සීතල නත්තල සරසන්න පිටකොටුවේ සූදානම මෙන්න | සිළුමිණ

සීතල නත්තල සරසන්න පිටකොටුවේ සූදානම මෙන්න

- නත්තල් තාරකා තරම් ඉහළ ගිය නත්තල් කේක් බඩු මිල 
- බදුල්ලේ හිස් වතුර බෝතල්වලින් නත්තල් ගහක්
- සුරාබදු අඥා පනත සහ නත්තල් වයින්
- නත්තල් සීයා නත්තල් සේල්ස් රෙප් ධුරයෙන් ඉවත් කර ගත් හැටි
- දැන් නත්තල් කාඩ් සොයා ගන්නත් නෑ

තුරේ යුද සමයේ පාසල් සිසුවකු නත්තල් කාලයේදී උතුරේ සටන් බිමේ සිටි තම පියාට පණිවුඩයක් යැව්වේ මෙසේය.

"තාත්තේ මට නත්තල් ගහක් එවන්න"

ඒ සන්දියේ උතුර සමඟ දුරකතන සබඳතා, ෆැක්ස්, ඊමේල් මොකවත් වැඩ කළේ නැත. හමුදාව කොළඹින් උතුරේ හමුදා භටයන්ට විවිධ ක්‍රම මඟින් පණිවුඩ දැනුම් දෙන්නට වු යුගයකි ඒ.

දිනක් පාසල් සිසුවා සහ හමුදා භටයාගේ බිරිය විමතියට පත් කරමින් හමුදා ලොරියක තඩි තල් ගහක් ඒවා තිබුණේ උතුරේ සිටි හමුදා සෙබළ පියා විසිනි. හමුදා භටයාගේ බිරිය අවසානයේ සිදු වී ඇති අකරතැබ්බය සොයා ගත්තාය. තම පුතා උතුරේ සටන් බිමේ තම පියාට යැවු තාත්තේ මට නත්තල් ගහක් එවන්න යන පණිවුඩය උතුරේ සටන් බිමේ පියාට ගොස් තිබුණේ මෙසේය.

"තාත්තේ මට නාත තල් ගහක් එවන්න" කියාය.

ලංකාවේ නත්තල් කාලයට මතකයට එන ප්‍රධාන පුද්ගලයකු නම් මර්සලින් ජයකොඩි පියතුමාය. එතුමාට 'පන්සලේ පියතුමා' යන නාමය මුලින්ම බෞතිස්ම කළේ මගේ පියා ගුණදාස ලියනගේය. ජයකොඩි පියතුමා ජීවත් වූයේ තුන්මුල්ල ආසන්නයේ අසපුවකය. නත්තල් දිනයේ කෑමක් දීම ජයකොඩි පියතුමාගේ සිරිතය. එම සංග්‍රහයට අනිවාර්යෙන් සහභාගි වූ අයකු වූයේ මගේ පියාය. තවත් පුද්ගලයෙක් නම් ඒමන් කාරියකරවන ය. ඒමන් කවදත් ගෞරවයෙන් කීවේ තමන් උපන්නේ ජේසුස් වහන්සේ උපන් දෙසැම්බර් 25 වැනි දවසේමය. ඒමන්ගේ අයියා සිළුමිණ හිටපු කර්තෘ ඩි.එෆ්. කාරියකරවනය. ඒ නත්තල් සාදයට එක්වූ සෙසු පුද්ගලයන් අතර රාජ්‍ය ලේඛනාගාරයේ නුවරඑළියේ හේමපාල සහ බිරිය රිමා හේමපාල සහ සෝමසිරි කස්තුරි ආරච්චි ද වූහ. නත්තල් සාදයේදි ජයකොඩි පියතුමාගේ හඬින්ම මිමිණු ගීත අදත් සවනේ දෝංකාර දෙන්නාක් මෙනි. 

රෑ තරු බබළනවා 
මල් පිපිලා වාගේ 
එළියෙන් නැහැවෙනවා  
මල් වැහැලා වාගේ  
රැව් පිළි රැව් දෙනවා 
ගීත නාද වාගේ//

බිලිඳකු හිනැහෙනවා 
මුහුදක රැලි වාගේ...

ජයකොඩි පියතුමා කිව්වේ මගේ නත්තල දුගියා බත් කන දාය කියාය. අදත් ක්‍රිස්තු භක්තිකයන් බත් කන්නට සල්ලි නැතත් ජේසුස් වහන්සේ හට හිතේ ඇති ආදරය ගෞරවය ප්‍රණාමය භෞතිකව පෙන්වන්නේ නත්තල් සැරසිලි හෙවත් 'ක්‍රිස්මස් ඩෙකරේෂන්'වලිනි.

අසූව දශකය මැද සිට අනුව දශකය මුල දක්වා පැරණි පත්තර පරීක්ෂා කරන විට පෙනී යන්නේ නත්තල් සීයා නත්තල් සේල්වල නත්තල් බඩු විකුණන 'සෙල්ස් රෙප්' කෙනකු වී ඇති බවය. අරක්කු දැන්වීම්වල පවා නත්තල් සීයා යොදාගත් අවස්ථා ඇත. කොහොමත් නත්තල් මාසයට කියන්නේ 'බෝතල් මාසය' කියයා. නමුත් කතෝලිකයන්ට ඇතුළු ආගමික සංවිධාන තම විරෝධතාව දැක්වීමෙන් පසු නත්තල් සීයා 'සේල්ස් රෙප්' තනතුරෙන් මුදා ගැණින.

ක්‍රිස්තියානි කටයුතු භාර ඇමැති ලෙස ජෝශප් මයිකල් පෙරේරා සිටි යුගයේ මුලින්ම මුළු කොළඹ නත්තලට සැරසුවේ වතිකානුව ද පරදවමිනි. නත්තල් සැරසිලිවලට පෙර නත්තල සිහිගන්වමින් කරළියට එන්නේ නත්තල් වයින් සහ නත්තල් කේක් ය. වරක් සුරාබදු කොමසාරිස්වරයා පවසා සිටියේ නත්තල් වයින් සෑදීම සුරාබදු ආඥා පනත කඩවීමක් බවය. එහෙත් පසුගිය අඟහරුවාද ලේක්හවුසියේ පැවති වැඩමුළුවකදි නීතිඥ ජගත් ලියනාරච්චි පවසා සිටියේ සුරාබදු ආඥාපනත අධිරාජ්‍යවාදීන් සකස් කළේ බදු එකතු කිරීමට විනා කසිප්පු හෝ නීති විරෝධි මත්පැන් අත්අඩංගුවට ගැනීමට නොවන බවය.

නත්තල් වයින් කෙසේ වෙතත් නත්තල් කේක් ගැන සොයන්නට අප මුලින්ම ගියේ පරණ මාළු මාර්කට්ටුව අසල කේක් බඩු විකුණන කොළඹ මර්මස්ථානයටය. එහි ප්‍රධාන අලෙවි සැලේ කළමණාකරු අප සමඟ කතාවට එක් වූයේ නත්තල් කේක් හදන්නට බඩු ගන්නට ගෘහණියන් පොරකද්දීය. ඊට යාබවදව ඇති කේක් බඩු කඩවල පවා ජනතාව පිරී ඉතිරී පේමන්ට් එකේ පවා රැදෙනු දැකගත හැකි විය.

ක්‍රිස්මස් කේක් ගැන ලතීෆියා කේක් බඩු කඩේ අධිපති රෆික් කිව්වේ අමුතුම කතාවකි.

"කේක් හැමදාම හදන කෑමක් ඒත් ක්‍රිස්මස් කේක් විශේෂයි. මේ සැරේ බඩු මිල වැඩි වුණා කියල ක්‍රිස්මස් කේක් හැදිල්ල මිනිස්සු නැවැත්තුවේ නැහැ. කේක් බඩු පොඩ්ඩ පොඩ්ඩ අරන් ගිහිල්ල තමන්ට පුළුවන් විදිහට ක්‍රිස්මස් කේක් හදනවා."

පිටකොටුවේ හරස් වීදිවලින් ගමන ආරම්භ කළ අපි සොයා ගියේ නත්තල් සැරසිලි අලෙවියේ නියුතු වෙළෙන්දන්ය. දෙවැනි හරස් වීදියේ පළමු නත්තල් සැරසිලි කඩයේ අලෙවිකරු වූයේ රම්සි ය.

"තාම මාකට් එක හිට් වුණේ නැහැ (උණුසුම්) බොස්. තාම කට්ටිය ක්‍රිස්මස් අයිටම්වල ගාන අහනවා විතරයි." රම්සිගේ කඩයේ ප්‍රධාන වශයෙන් තිබුණේ දිලිසෙන පාට පාට බෝල හා තරු ය.

"ගිය සැරේ රුපියල් 80 ට තිබ්බ මේ කැරෝල් බොලේ මේ සැරේ රුපියල් 200යි." රම්සි අපට කීවේ කම්මුලේ අත තබාගෙනය. 

පයින්ම ගිය අපේ ගමන අන්තිමට නතර වුයේ පරණ මාළු මාකට් එක ළඟිනි. එහි සිටි තරුණයා තොටළඟ සිට පැමිණි ඉරුෂික ය.

"ගිය පාර නත්තල් ගස් කපල ගෙනල්ල වික්කේ 4,000ට. ඒවා එන්නේ ක්‍රිස්මස් ළංවෙලා කියාගන්න බැරි නිසා මේ පාර ඕඩර් කරන්න ගියා ට්‍රාන්ස්පෝට් එක්ක නත්තල් ගහක් විකුණන්න වෙන්නේ 25,000කට විතර. මේ සැරේ ක්‍රිස්මස් බඩු ගෙනාවා ලක්ෂ 15ක්. කොහොම හරි මේ බඩු ටික විකුණාගන්නම වෙනවා. ඉතුරු වුණොත් ඉතින් පොලියට සල්ලි ගත්ත එකටත් පාඩුයි."

ඉන්පසු අප පිවිසුණේ නත්තල් සැරසිලිවලට නම් දැරූ චයිනා වීදියට ය. මුල සිට අගටම දෙවරක් සෝදිසි කර බැලුවත් එක කඩයක්වත් නත්තල් සුභපැතුම් තිබුණේ නැත. වෙනදාට චීනයෙන් ගෙනා කාඩ් එක විවෘත කළ විට ජින්ගල බෙල් නමින් වාදනය වෙමින් තිබෙන පත්තුවෙන ලයිට් ඇති කාඩ්පත් එක් තැනක විය. එකක මිල රුපියල් 1,500 කි. වෙනදාට මේ කාඩ් එකක් තොග මිල රුපියල් 125කි. කාඩ්වලට නම් දැරූ මැලිබන් වීදියේවත් නත්තල් සුභ පැතුම් පත් දකින්නට තිබුණේ නැත.

"දැන් කවුද ක්‍රිස්මස් කාඩ් අරින්නේ. ඉන්ටනෙට් එකෙන් ක්‍රිස්මස් අයිටම් එකක් ඩවුන්ලෝඩ් කරලා ඕනේ කෙනාට ඊමේල් කළා, එච්චරයි."

එහෙම කිව්වේ සුප්‍රකට සුභ පැතුම් වෙළෙඳ සලෙක හිමියෙකි. නමින් චයිනා වීදිය වුවද මෙම වෙළෙඳ සැල්වල අලෙවි කටයුතුවල නියුතු එක චීනෙක්වත් නැත. එහි මුලින්ම ඇති වෙළෙඳ සැල චතුරායි ස්ටෝර්ස් ය. එහි කළමනාකරු එච්. රාජරත්නම් ය.

"පොඩි ළමයි එනවා ක්‍රිස්මස් බඩු ගන්න. ගාන අහල අම්මලා තාත්තලා පුදුම වෙනවා. ළමයි ආසාවෙන් බලන් ඉන්නකොට අපිටත් දුකයි. පොඩි දෙයක් නම් නිකන් දෙනවා. මේ ගොඩක් බඩු ගිය සැරේ ඉතුරු වෙච්චා. මේ සැරේ චීනෙන් ඉන්දියාවෙන් බඩු ආවා අඩුයි."

චයිනා වීදියේ කඩ අතර සැරිසරද්දී නත්තල් සැරසිලි මිලදී ගන්නට පැමිණි තරුණ පියතුමකු දැක ගත හැකි විය. බළන්ගොඩ සිට පැමිණි පියතුමාගේ නම ජුනියස් ෂැඩ්රුක් ය.

"අපි මේ සැරේ නත්තලට නත්තල් ගහ හදන්නේ යුස් කරපු වතුර බොතල්වලින්. බල්බ් දැම්මාම හරිම විසිතුරු දර්ශනයක්. මේ මුදල් අතින් කාටත් අමාරු කාලයක් හින්දා පල්ලිය තීරණය කළා ඩෙකරේෂන් කරන සල්ලිවලින් පාසල් ළමයින්ට වතුර බෝතලයයි කෑම පෙට්ටියයි අරන් දෙන්න. පල්ලිය වටේ විතරක් ටිකක් සරසන්න බඩු ගත්තේ නැත්නම් ක්‍රිස්මස් ඇඟට දැනෙන්නේ නෑ වගේ නේද?"

මේ නත්තල් සැරසිලි අලෙවියේ නියුතු බොහෝ පිරිස් නිරීක්ෂණයේදී අපට පෙනී ගියේ බහුතරයක් මුස්ලිම් ජාතිකයන් බවය. ඒ අතරින් මොහොමඩ් ඉෆ්රා අලෙවි කරමින් සිටියේ ඔහුගේ භාෂාවෙන්ම සැන්ට කිට්ය. ඒ කියන්නේ අර නත්තල් සීයා අඳින ඇඳුම හා තොප්පිය.

"මේ සැන්ට කිට් ගිය සැරේ ගත්තේ තොග රුපියල් 55ට වගේ දැන් තොග මිලම රුපියල් 1,950 ත් වගේ වෙනවා. ගත්තට පස්සේ සමහර කිට් ඩැමේජ් වුණාට රිටන් කරන්න බෑ. ඒ නිසා දැන් සැන්ටා කිට් එකක් විකුණන්නේ රුපියල් 3500 - 4000 අතර ගාණකට. කැප් එක වෙනම ගන්න ඕන.

මේ නත්තල් සැරසිලි ගැන කතා කරපු උදවිය අතරින් මේ ආනයනික නත්තල් සැරසිලිවල මිලට වී ඇති වින්නැහිය නියම ලෙස විග්‍රහ කළේ චයිනා විදියේ රිෆාස් හා රිස්වාන් ය.

"මේ ක්‍රිස්මස් ඩෙකරේෂන් ඔක්කෝම ඉම්පෝටඩ්. ඉස්සර චයිනා යුවාන් එක තිබුණේ 27-37 අතර. ඒත් දැන් 65-70 වට වැඩිවෙලා. ඉන්දියන් රුපියල තිබුණේ 2.17, දැන් 4.60 ක් වෙනවා. ඒ වුණාට චීනේ යුවාන් දෙකට අවුරුද්දකට කලින් තිබුණ ක්‍රිස්මස් අයිටම් එක තාමත් ඒ ගාණමයි. ජාතියක් වශයෙන් අපි පස්සට ගිහිල්ලා තියෙන්නේ."

මේ ක්‍රිස්මස් අයිටම් ආනයනය තහනම් නම් ගේන්නේ කොහොමද? අපේ ප්‍රශ්නය එය විය.

"මේ ඔක්කෝම හැන්ඩ් ලොඩ් (ගුවන් යානයේ අතින් ගේන්නේ) කිලෝ එකකට තුන්දාහක් ඩියුටි ගහනවා. අඩි අට නත්තල් ගහක් කිලෝ හතරක් බරයි. එතකොට ගහට ඩියුටිය විතරක් රුපියල් 12,000යි. ප්ලේන් එකේ ගේන්න දෙන්නේ කිලෝ 30ක් විතරයි. ඉතින් මේ බඩු ගණන් යන්නැතුව තියේද? ක්‍රිස්මස් ළංවෙන කොට මේ බඩු තවත් ඩිමාන්ඩ් වෙනවා. ක්‍රිස්මස් කට ගාවට ආවම කොම්පැණි කාරයෝ කීය කිව්වත් ක්‍රිස්මස් අයිටම් ගන්නවා, ඔෆිස් සරසන්න. "

පිටකොටුවේ නත්තල් සැරසිලි ඇති තැන් අතර සැරිසරද්දී මුළු පිටකොටුවට ඇහෙන්නට ලවුස්පීකර් බැඳ ප්‍රචාරය කළේ නත්තලේ බැති ගීතවලට වඩා පොලිස් නිවේදන ය.

"කරුණාකර ඔබේ බඩු මුදල් පසුම්බි ආරක්ෂා කර ගන්න. ගැට කපන්නන්ගෙන් පරිස්සම් වන්න. හදිස්සියකදී අමතන්න මෙන්න පොලිස් අංකය. නැත්නම් ළඟම සිටින පොලිස් නිලධාරියාට දැනුම් දෙන්න."

නිවේදනය අසා අප ළඟ සිටි පොලිස් නිලධාරියකුගෙන් නත්තල් සැරසිලි කඩවල පොරකන මිනිස්සු ගැන ඇසුවෙමි.

"කොච්චර ගණන් වුණත් මිනිස්සු ගෙදර සරසන්න පොඩි ක්‍රිස්මස් අයිටම් එකක් හරි ගන්නවා. ගොඩක් අය එන්නේ පොඩි දරුවෙක් එක්ක. කොරෝනා නිසා ගිය සැරෙත් නත්තල සැමරුවේ අඩුවෙන්. ඒ නිසා වෙන්නැති මේ තරම් සෙනඟ"

වෙසක් කියූ විට අපට මතකයට එන්නේ මුස්ලිම් භක්තිකයකු වූ මොහිදින්බේග්ගේ ගීතයක් ය. චයිනා විදියේ සැරිසරන විට අසන්නට ලැබුණු ගීතයක් තවමත් සවනත ගිගුම් දෙයි.

"පුළුන් වගේ සුදු රැවුල දිගයි 
මේ එන්නේ නත්තල් සීයයි 
රබන් ගසයි ගෙඡ්ඡි ද සොලවයි 
මේ එන්නේ නත්තල් සීයයි"

මේ ගීතයේ රචකයා ප්‍රසිද්ධ බෞද්ධයකුට වඩා රංගන ශිල්පියකු හා නිවේදකයකු වශයෙනි. ඔහු උපාලි අත්තනායක ය. නත්තල් සැරසිලි චීන ආක්‍රමණය දැකීමෙන් පසු අවසානයට අපට මතකයට ආවේ දැන් චීනයෙන් ගෙන ඒමට ඉතිරිව ඇත්තේ නත්තල් ගීත පමණක් බවය.

ඡායාරූප - ශාන් රූපස්සර

Comments