ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන තුරු එකතු කළ පසු අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි. ඒ අනුව ඔබේ ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය, අංක 7 නම් මේ එයින් හෙළිවෙන ඔබේ චරිත ලක්ෂණයි.
නමට හිමි අංකය අංක 7 නම් ඔබ ඉතාමත් බුද්ධිමත් තර්කානුකූලව හිතන පුද්ගලයෙකි. ඉතා යහපත් ගතිගුණ සහ සංවේදී හදවතක් ඔබ සතු වෙයි. අන් අයගේ දුකේදී ඉතා ඉක්මනින් කම්පාවට පත් වෙයි. දාර්ශනික ගති ලක්ෂණ ද ඔබට ඇත. විශේෂයෙන් වෘත්තීමය වශයෙන් නීතිඥයන්, දේශකයන්, ප්‍රසිද්ධ පූජකවරු ආදීන් මෙන්ම තාක්ෂණික ශිල්පීන් මෙන්ම බොහෝ උපාධිධාරීන් ද මෙම නාම අංකයට හිමිකම් කියයි.
ඔබට අන් අයගේ සිතිවිලි හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. පහසුවෙන් අන් අය අවබෝධ කරගන්නා ඔබ ඔවුන්ට ඕන දේ අවශ්‍ය ආකාරයෙන් ඉටු කර දීමට ද ඉදිරිපත් වෙයි. එමෙන්ම වහා වැටහෙන සුලු නුවණක් ඇති ඔබ අධ්‍යාපන අතින් ද ඉහළ දස්කම් දක්වයි. ඔබ රහස් රැකීමට ද ඉතාම දක්ෂ අයෙකි. ඔබේ සිතේ තිබෙන දේවල් ඔබ පහසුවෙන් අන් අයට හෙළි නොකරයි. කුමන කලබලකාරී අවස්ථාවක වුවද ඔබට සන්සුන් මනසකින් කටයුතු කිරීමේ හැකියාව ඇත. ඉක්මනින් කලබලයට පත් නොවන ගැඹුරු මනසක් ඇති ඔබ ඕනම දෙයක් විනිවිද දැකීමේ හැකියාවෙන් යුක්තය.
ඔබට සෑම දෙයක් පිළිබඳම කුතුහලයක් ඇත. යම් දෙයක සත්‍ය සොයා ගන්නා තුරු ඒ පිළිබඳ හැදෑරීමට ඔබ ආසා කරයි. එමෙන්ම නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙන ගැනීමට ඔබ තුළ උනන්දුවක් ඇත. විශ්ලේෂණාත්මක මනසක් ඇති ඔබ ජීවිතයේ සැඟවුණු බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට දක්ෂ වෙයි.
අන් අයට උපදේශනය සැපයීමට හා අවවාද උපදෙස් දීමට ඔබ ඉතාම දක්ෂ කමක් දක්වයි. අනිත් අයගේ ප්‍රශ්නවලදී මැදිහත්කරුවකු වන ඔබ ඒ අයට අවශ්‍ය මඟපෙන්වීම ද කරයි. එහෙත් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ බොහෝ විට ඔබ අන් අයගේ විවේචනයට සහ උපහාසයට ලක් වීමේ වැඩි අවදානමක් පැවතීමයි.
කළ හොඳ පසුපසින් පැමිණිය හැකි බව නිතර මතක තබා ගැනීම නුවණට හුරු වෙයි. කෙසේ නමුත් ඔබට මානසික අතින් හොඳ දියුණුවක් ලැබීමේ හැකියාව ඇත. සාර්ථකත්වය අතින් ජීවිතයේ ඉදිරියට යෑමේ හැකියාව ඔබ සතු වෙයි.
භාවිතා කරන නමට අනුව ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය සොයා ගන්නේ මෙසේය. පළමුව ඔබ භාවිත කරන නම කොළයක සටහන් කර ගන්න. ඉන්පසු මෙහි ඇති වගුවේ දැක්වෙන පරිදි ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් ලැබෙන තුරු එකතු කරගන්න. අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි.
නාම අංක 8 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය