
ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම, තිඹිරිගෙය පාසලය. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වොලිබෝල්, දැල්පන්දු සහ පිහිනුම් ක්‍රීඩාවන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙහි ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උලෙළ අතර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන වාර්ෂික ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඇගයීමේ සම්මාන උලෙළට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.
සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කළ 44 වැනි ‘ඔබ්සර්වර් - මොබිටෙල්’ සම්මාන රාත්‍රියේදී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ සාන්ත ජෝසප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ සහ වසරේ ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විශ්මි ගුණරත්න සම්මාන දිනා ගත්හ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මාන රාත්‍රියේදී ප්‍රධාන ආරාධිතයා වූ අරවින්ද ද සිල්වා අතින් දුනිත් වෙල්ලාලගේ සම්මානය හිමි කර ගත් අතර, වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය විශ්මි ගුණරත්න හිමි කර ගත්තාය.
ගෞරවනීය ආරාධිතයා ලෙස මේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට, එස්එල්ටී මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙකී අවස්ථාවට එක් වුහ.
වාණිජ පරමාර්ථ මුල් කරගත් සමාජ ක්‍රියාකාරකම් වැඩි ලාංකේය භූමිය මත ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උලෙළ යනු මෙරට අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් කරළිගත කිරීමේ සද්කාර්යයක් බව නොරහසකි.
අපොස උසස් පෙළ කරන දරුවන් 9000ක ගෙන් විතර, 1000ක් විතර පිරිසක් තමයි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නේ. මේ ටික දෙනා ආරක්ෂා කර ගෙන ඉදිරියට යන්න අප උත්සාහ ගන්න ඕනෑ. මේ කාර්යය ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මේ සඳහා දරුවන් ගේ මානසිකත්වය, ක්‍රීඩාව කෙරෙහි විශ්වාස වගේම අඛණ්ඩව රැක ගන්නා වැඩ පිළිවෙළකට අත ගහන්න ඕනෑ. මේ දේවල් අඛණ්ව පැවැතුණොත් විතරයි මොවුන් දිගින් දිගට ම ක්‍රීඩාවත් එක්ක රැඳිලා ඉන්නේ. 44වැනි වාර්ෂික ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඇගැයීමේ සම්මාන උලෙළේ ආරාධිතයා ලෙස එක්වු මෙරට බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා පැවැසිය.
ජාතික තලයට සේන්දු වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගයන මෙරට ප්‍රමුඛතම ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උලෙළ’ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවති ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළට මෙවර මොබිටෙල් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය හිමි වූයේ අඛණ්ඩව 15 වැනි වරටය.
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව මෙකී සම්මාන උලෙළම තමාගේ කරගත් දුනිත් වෙල්ලාලගේ, වසරේ හොඳම පන්දු යවන්නා, වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ ජනප්‍රියම ක්‍රීඩකයා යන සම්මාන හතරම එක මිටකට ගොනු කරගනිමින් ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උලෙළේ වර්ණවත්ම ක්‍රීඩකයා විය. බාලිකා අංශයෙන් විශ්මි ගුණරත්ත හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දෝතට තුරුළු කර ගනිද්දි, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ තුෂාදි කෞෂල්‍යා ජනප්‍රියම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කර ගත්තාය.
ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ඉතිහාසයේ පළමුවරට දෙවැනි කාණ්ඩයේ පාසල් ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටම පාසල් ක්‍රීඩකයා සම්මානය තිස් නව වැනි සම්මාන උලෙළේ හිමි කර ගැනීමට සමත් වූයේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රන්සිකයි. පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නිරන්තරයෙන් පෝෂණය කරන පාසල සුපිරිම නොවන බව සනාථ කළේ නිපුන් රන්සිකයි. ඒ 2017 දීය.
රන්ජන් මඩුගල්ලේ මෙකි සම්මාන උලෙළේ සුවිශේෂි තරුව වන්නේ, පළමු සන්ඩේ ඔබ්සර්වර් සම්මාන උලෙළේ වසරේ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්ය. දැනට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 207, එක්දින තරග 383 ක සහ විස්සයි 20 තරග 136ක තරග තීරක වරයා ලෙස සමස්ත තරග 726 ක කටයුතු කරමින් නොමැකෙන සටහනක් ද අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයට එක් කර තිබේ. සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට විසිනව වන වියේදී සමු දුන් රන්ජන් ලාංකේය ටෙස්ට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගයේදී මුල් ඉනිමේදී අගනා අර්ධ ශතකයක් ද රැස් කර ගැනීමට සමත් විය.
1988 දී හතර වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ රන්ජන් එක්දින නායකයන් අතර පස් වැනියා වෙමින් තරග 13කදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරටු කරගෙන පිටියට පිවිස තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවිය පෝෂණය කරගත් රන්ජන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් පළමු ඔබ්සර්වර් ක්‍රිකට් ක්‍රීඩකයා කිරුළ හිමිකර ගැනීමට සමත්විය.
වසරේ හොඳම පාසල් බාලිකා කණ්ඩායම අනුශූරතාව නුගේගොඩ අනුලා විද්‍යාලයත්, වසරේ හොඳම පාසල් බාලිකා කණ්ඩායම ශූරතාව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයත්, වසරේ නැඟී එන කණ්ඩායම ලෙස ජාතික සම්මානය මෙතෝදිස්ත උසස් විදුහලත්, හොඳම පාසල් කණ්ඩායම ජාතික සම්මාන අනුශූරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත්, හොඳම පාසල් කණ්ඩායම ජාතික සම්මාන සමස්ත ලංකා ශාන්ත ජෝශප් විද්‍යාලයත්, ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව අනුශූරතාව මොරටුව වේල්ස් කුමරිය විද්‍යාලයේ මනුදි නානායක්කාරත්, ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තුෂාදි කෞෂල්‍යාත්, ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාව, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රුසන්ද ගමගේත්, ඔබ්සර්වර් - මොබිටෙල් 2022 වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා - කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ සම්මානයට පාත්‍ර වූහ.
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යම් අළු ගසා දමා හිස ඔසවන මොහොතක මෙකී සම්මාන උලෙළ ක්‍රිකට් අංකුරවලට වේදිකාවක් බවට පත්ව තිබේ. මෙකී කරළියට ගොඩවන අංකුර ක්‍රීඩකයන්ට ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළ සිහිනයක් නොව, යථාර්ථයක් වනු නොඅනුමානය.
ඡායාරූප - රුක්මල් ගමගේ, චින්තක කුමාරසිංහ සහ සුලෝචන ගමගේ