
රටක දේශපාලන සංස්කෘතිය තුළ විවිධ වෙනස්කම් සිදු වීම අරුමයක් නොවේ. එහෙත් ඒ වෙනස්කම් වැදගත් වන්නේ එයින් සමාජයටත් මහජනතාවටත් යහපතක් සිදු වන්නේ නම් පමණි. 2022 මැයි 09 වැනිදා මෙරට දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කළ දිනයකි. පැවති ආණ්ඩුව නියෝජනය කළ මහජන නියෝජිතයන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් එදා රට පුරා හමා ගිය ඒ ප්රචණ්ඩ මාරුතයට ගොදුරු වූහ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් ද ඒ අත්දැකීමට මුහුණ දුන්නේය. මේ, ඒ පිළිබඳ ඔහුගේ මතක ආවර්ජනයයි.
"එදා මැයි 9 වැනිදා උදෑසනින්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මමත් බිරියත් දරුවන් දෙදෙනාත් කොළඹ ආවා. ඒ වැඩ ටික අවසන් වෙද්දි හවස් වුණා. ඒ වෙද්දි රටේ කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබුණු නිසා අපි හතර දෙනා එදා කොළඹ නැවතුනා. හවස් වෙද්දි මට ආරංචි වුණා වාරියපොල නගරයේ විශාල උද්ඝෝෂණයක් පැවැත්වෙනවා කියලා. එතැනට රැස් වුණු කණ්ඩායමක් අපේ ගෙදරටත් පහර දෙන්න යන්න සැලසුම් කරනවා කියලාත් මට දැනගන්න ලැබුණා. ඒ කණ්ඩායමේ හිටිය එක් පිරිසක් කතා වෙලා තියෙනවා, ඒ ගෙදරට යන්න ඕනේ නැහැ, එයා එහෙම වැරදි කරන කෙනෙක් නෙවෙයි කියලා . ඒ නිසා ඔවුන් මගේ ගෙදරට නොගිහින් නතර වෙලා තිබුණා. නමුත් ඉතිරි පිරිස නගරයේ ඉඳන් කෑ කෝ ගහමින් අපේ ගෙදරට ඇවිත් තිබුණා. ඒ පිරිස පුද්ගලයන් 40-50කින් යුතු කණ්ඩායමක්. වාරියපොල නගරයේ ඉඳලා අපේ ගෙදරට කිලෝ මීටර 4ක පමණ දුරක් පයින් යන්න ඕනේ. පාරේ ඉඳලා අපේ ගෙදරට මීටර් 50ක් විතර ඇතුළට එන්න ඕනේ. පිරිසක් පාර ළඟ නතරවෙද්දි අනිත් කණ්ඩායම අපේ ගේ දිහාට ඇවිත්. පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටින කාන්තාවක් තමයි මුලින්ම ජනේලවලට ගහලා විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම වයස අවුරුදු 26-17-18 වයසේ තරුණයොත් ඒ අතරේ ඉඳලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තවත් පුද්ගලයෙක් පොලිසියේ ස්ථානාධිපති මහත්මයාගේ කමිස කොලර් එකෙන් අල්ලලා එයාටත් ගහන්න හදලා තියෙනවා. පිරිසක් අපේ ගෙදර ඉස්සරහ දොර කඩලා ඇතුළට යද්දි තවත් පිරිසක් කුස්සියේ දොර කඩාගෙන ඇතුළට ඇවිත්. "
එතැනින් එහාට එහි දිග හැරුණු දර්ශන පෙළ ක්‍රියාදාම චිත්‍රපටකට සමානය. රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙස තුළ යකා නටන්නට වූ පිරිස එහි වූ බඩුබාහිරාදියට ඔවුන් ගෙනා පොලු මුගුරු, කැතිවලින් පහර දෙමින් ඒවා විනාශ කරන්නට වූහ. ඉන් නොනැවතුනු මැර පිරිස ඔවුන් රැගෙන විත් තිබූ පෙට්‍ර්ල් දමා නිවෙස ගිනි තබන්නට විය. එපමණක් නොව ගිනි ගන්නා නිවෙස අසලට වී විශාලා රතිඤ්ඤාවැල් සහ අහස් කූරු පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නඟන්නට ද වූහ. ඔවුන්ගේ පළිගැනීම එයින් අවසන් වූයේ නැත. ගෙවත්තේ සිටුවා තිබූ පොහොර දමා පොල් අතුවලින් වසා තිබූ පොල් පැළ ගස්වලට පවා ගිනි තබන්නට තරම් ඔවුහු සැහැසි වූහ. වී ගෝනි ගබඩා කර තිබූ කාමරය මෙන්ම ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නා අත්ට්‍රැක්ටර් දෙකක් සහ මෝටර් සයිකලයත් ප්‍රචණ්ඩකාරීන්ගේ ගිනි බිල්ලට හසු වී තිබිණ. ගමේ මන්ත්‍රීවරයාගේ, රාජ්‍ය ඇමැතිවරයාගේ දේපළට සිදු වන ඒ විනාශය දැක දැකත් නිහඬව සිටින්නට ගම්වැසියන්ට සිදු වූයේ මැරයන් ඔවුන්ට ඒ අසලටත් ළංවීමට ඉඩ නොදී තර්ජනය කර බිය වද්දා ඔවුන් පලවා හැරිය නිසාය. මැර කණ්ඩායම ඒ මහා විනාශය සිදු කරද්දී ඔවුන් සමඟ පැමිණියත් ඒ විනාශයට හවුල් නොවී නිවෙසට එන පාර අසලට වී නිහඬව එදෙස බලා සිටි තවත් පිරිසක් ද වූහ. "අපි ආවේ මේ ගේ ගිනි තියන්න නෙවෙයි" එසේ කියමින් ඔවුන් කම්පා වූ බව ද අසන්නට ලැබිණ. එහෙත් මේ සිදුවීමේ ඇති වඩාත් ඛේදනීය බව එය නොවේ. මැරයන් නිවෙසට ගිනි තබා විනාශ කරද්දී පොලිසිය ඔහේ බලාගෙන සිටීමය. ඒ පිළිබඳ රාජ්‍ය ඇමති ඩී. බී. හේරත් මෙසේ කීවේය.
" වාරියපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා යටතේ දෙසීයක පමණ නිලධාරින් කණ්ඩායමක් ඉන්නවා. වාරියපොල ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා මමයි. මේ සිදුවීම් පෙළ මෙහෙම වෙද්දි වාරියපොල නගරයේ සිට කිලෝමීටර් 4ක් දුර පයින් ඇවිදගෙන මේ මැර කණ්ඩායම මගේ ගෙදරට ඇවිත් මේ විනාශය කරනකම් ස්ථානාධිපති මහත්මයා නිකම් බලාගෙන හිටියා. අඩුමගානේ නිලධාරින් 100ක්වත් එතැනට දාලා මේ සිද්ධිය වළක්වන්න කටයුතු කරන්න එතුමාට බැරි වුණා. ඒ වෙනුවට ඔහු කළේ දහයකට අඩු පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් ජිප් එකේ නංවගෙන ගිහින් මගේ ගෙදරට මීටර් 200ක් විතර මෙහායින් කැලෑ පාරක ජිප් එක නවත්තලා අර නිලධාරින්ගේ තුවක්කු ටික අරගෙන ජිප් එකට දාලා ඒක එතැන හංඟලා නිරායුධව තමයි මගේ ගෙදරට ගියේ. මැර කණ්ඩායමක් මර්දනය කරන්න නිරායුද නිලධාරීන්ට පුළුවන්ද? ගමේ අය එද්දි ගේ සෑහෙන්න පිච්චිලා ඉවරයි. ඒත් ඔවුන් ගිනි ගනිමින් තිබුණු වී කාමරේට වතුර ගහලා ගින්න නිවපු හින්දා වී ගෝනිවලින් බාගයක් විතර බේරගන්න පුළුවන් වෙලා තිබුණා. ඒ කාමරේ ඉරපු ලී ගොඩකුත් තිබුණා. ඒ සේරම සම්පූර්ණයෙන්ම පිච්චිලා තිබුණා. ඒ වගේම අපිට ආයේ කවදාවත් සල්ලි දීලාවත් ගන්න බැරි ගොඩක් දේවල් ගිනිගත් ගේ ඇතුළේ තිබුණා. උසස් අධ්‍යාපනයේ නිරත මගේ දරුවෝ දෙන්නගේ පොත්පත් සියල්ලම විනාශයි. කාලයක් ගුරුවරියක් විදිහට සේවය කළ මගේ බිරියට අයිති පොත්පත්, සහතික පත් වගේම අපේ පවුලේ මතක සටහන් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අළු වුණා. "
රාජ්‍ය ඇමැතිවරයා කම්පා වන්නේ සිය පෞද්ගලික දේපළ විනාශ වීමටත් වඩා එකී කුරිරු ක්‍රියාව සිදු කළ මිනිසුන්ගේ ආකල්ප ගැනය.
"මිනිස්සු දේශපාලඥයන්ට කරපු ලොකුම චෝදනාව හොරකම් කරපු මහජන මුදල්වලින් ගෙවල් හැදුවා කියලා. නමුත් මම ඒ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න කාලේ ඉඳලම මගේ වත්කම් බැරම් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. අදටත් අපේ වත්කම් බැරකම් එක්ක අපේ දේපළ බොහොම නිරවුල්ව පැහැදිලිව ගළපගන්න පුළුවන්. මම කවදාවත් මහජන මුදල් හොරකම් කරලා නැහැ. මීට අවුරුදු 15කට විතර පෙර මම මේ ගේ හදන්න පටන් ගත්තේ මගේ ළඟ තිබුණු වෑන් රථය විකුණලයි. මගේ බිරියත් ඒ වෙද්දි ගුරු සේවයේ හිටපු නිසා රාජ්‍ය සේවා ණය ලක්ෂ 12ක් අරගෙන ගේ හදන්න වියදම් කළා. ඒ විදිහට ටික ටික හදාගෙන ගේ පදිංචි වුණේ. එහෙම පදිංචි වෙලත් තවත් අවුරුදු හත අටක් ගියා සම්පූර්ණයෙන් වැඩ නිම කරගන්න. එහෙම හදලා සම්පූර්ණයෙන් වැඩ අවසන් කරලා තිබුණ නිවෙසට තමයි ගිනි තිබ්බේ. ගේ විතරක් නෙවෙයි මගේ කාර්යාලයත් එහි තිබුණු පාර්ලිමේන්තුවෙන් දීපු උපකරණ, වටිනා ලිපි ගොනු ඒ සියල්ලම එදා ගින්නෙන් විනාශ වුණා. "
අටලෝ දහම අනුව ජීවිතයේ බොහෝ දේ සිදුවන බව විශ්වාස කළ ද ප්රජාතන්ත්රවාදයට ගරු කරන මහජන නියෝජිතයකු ලෙස මේ සිදුවීම රාජ්‍ය ඇමැති ඩී. බී. ගේ සිත කම්පාවට පත්කර ඇත.
"මැතිවරණ ජයග්‍රහණ ලැබූ කිසිම අවස්ථාවක මම විරුද්ධ පාර්ශ්වයේ කිසිම කෙනකුට හානියක්, විපතක් කරලා නැහැ. මන්ත්‍රී තනතුර කිසිම මිනිහකුට හිරිහැරයක් වෙන විදිහට පාවිච්චි කරලා නැහැ. මගේ ගෙදරට එන කෙනකුට අඩුම ගානේ තේ කෝප්පයක් හරි දීලා පිටත් කරන එක මගේ බිරියගේ පුරුද්දක්. ඒ විදිහට බොහොම සරලව සාධාරණවයි අපි ජීවත් වුණේ. එහෙම ජීවත් වුණු අපිටත් දේශපාලන ක්‍රියාවලිය තුළ මෙහෙම වෙනවා නම් ඒක
![]() |
ගිනි තබා විනාශ කළ අත්ට්‍රැක්ටරය |
බරපතළ ප්‍රශ්නයක්. දේශපාලන අරමුණක් වෙනුවෙන් මගේ ගෙට ගිනි තිබ්බ ද එහෙමත් නැත්තම් වෙන හේතුවක් නිසා ඒක කළා ද කියන එක මට ප්‍රශ්නයක්. මෙහෙම ගිනි තියන්න කිසිම පදනමක්, හේතුවක් නැහැ. අපි පාරම්පරිකව ගොවිතැන්බත් කරගෙන ජීවත් වුණු මිනිස්සු. මන්ත්රීකම්, ඇමැතිකම් දැරුවට අදටත් මම කුඹුරේ, වත්තෙපිටියේ ගොවිතැන එක්ක ජීවත් වෙන්නේ. මේ කන්නෙටත් මම වගා කළා. ගොවිතැනින් වගේම ඉඩකඩම්වලින් ආදායම් ලැබෙනවා. එදා ඉඳලම එකතු කරගත් ආර්ථිකයක් අපිට තිබුණා. අදටත් මම ඒ ගිනි තියපු මිනිස්සුන්ගෙන් අහන්නේ මගේ ගෙදරට ගිනි තියලා අපේ දේපළ විනාශ කළේ ඇයි කියලා.
මගේ ජීවිත කාලයටම මෙවැනි සිදු වීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. මිනිස්සු මරණ, ගිනි තියන මේ දේශපාලන සංස්කෘතිය ගැන අපි ගැඹුරින් සිතිය යුතුයි. පිරිසක් චෝදනා කරනවා රටේ පාලක පක්ෂය හොරු කියලා. එහෙම නම් හොරු අල්ලන්න ඕන. 1971,1988,1989 කාලවල මේ රටේ මිනිස්සු සෑහෙන පිරිසක් මැරුණා. තරුණ දරුවෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය වුණා. ඒ කාලේ තිබුණු ආණ්ඩුව සහ තරුණ කණ්ඩායම් යන දෙපාර්ශ්වයම එකිනෙකා මරා ගත්තා. ඒ අවස්ථාවලදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය විදිහට අපි බොහොම බයෙන් ජීවත් වුණේ. ආයෙමත් මේ රට යන්නේ ඒ අඳුරු අතීතයටද කියලා හිතෙනවා. මිනිස්සු මරන, හොරකම් කරන, සමාජය විකෘති කරන මිනිස්සුන්ට ද මේ රට, රටේ අනාගතය බාර දෙන්න ඕනේ කියලා හිතද්දි ලොකු කනගාටුවක් දැනෙනවා. අපේ ගෙවල් දොරවල් විනාශ කරපු එක කනගාටුවක් තමයි. ඒ වගේම මට තියෙන අනිත් කනගාටුව මේ රටේ අනාගතය නිර්මාණය කරන්න ඡන්දදායකයා රට බාර දෙන්නේ කාටද? එහෙම පිරිසක් මේ රටේ ඉන්නව ද? ඔවුන් හඳුනා ගන්න තරම් ජනතාව බුද්ධිමත් ද කියන ප්‍රශ්න අපි ඉදිරියේ තිබෙනවා. මේ දක්වා රටේ පැවති බෙදුම්වාදය, දේශපාලන අරගල, වෘත්තීය ක්‍රියාමාර්ග, තරුණ අරගල තුළින් රට ගමන් කළේ කුමන පැත්තටද කියන කාරණාව පදනම් කරගෙන ඒ අත්දැකීම් භාවිත කරලා ආණ්ඩු හැදිය යුතු පිරිස තෝරා ගන්න ඔවුන් ඡන්දපොළට යයි ද කියන ප්රශ්නය මට තිබෙනවා. මැතිවරණ වේදිකාවලදි හැම අපේක්ෂකයම කියන්නේ තමන් නිර්දෝෂයි කියලා. නමුත් ඡන්දදායකයන් ඒ මිත්‍යාවලට සහ ප්රබන්ධවලට රැවටෙන්නේ නැතුව ඔවුන්ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි. හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් තොරව සාධාරණ විදිහට මහජන දේපළ කළමනාකරණය කරමින් රට ගොඩනඟන පිරිසක් තෝරා ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුයි. එහෙම වුණොත් අනාගතයේදී හොඳ රටක් බිහි වෙයි. නැත්නම් අපේ දරුවන්ට හොඳ රටක් හදලා දුන්නා කියලා සතුටු වෙන්න අපි කාටත් බැරිවෙයි කියලා මට හිතෙනවා."
රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් එසේ පැවසුවේ යහපත් සමාජයක් බිහි කිරීම සඳහා මහජනතාව සතු වගකීම ද අවධාරණය කරමිනි. වාරියපොල වැල්ලෑගල උපන් ඩී.බී, වැල්ලෑගල සාරානන්ද විද්‍යාලයේ සහ වාරියපොල සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ (වත්මන් සුමංගල ජාතික පාසල) ආදි ශිෂ්‍යයෙකි. ගොවිතැන ජීවිකාව කරගත් පවුලක උපන් ඔහු ද කුඩා කළ සිට ගොවිතැනට, කෘෂිකර්මාන්තයට ඇලුම් කළේය.
"ඒ කාලෙත් දේශපාලන ක්‍රියාවලිය අපේ වැඩිදුර අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයටත් හරස් වුණා. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් පසු පවුලේ ව්‍යාපාරික කටයුතුවලට යොමු වුණා. මම පරම්පරාවෙන් දේශපාලනයට ආව කෙනෙක් නෙවෙයි. ව්‍යාපාරික කටයුතුවල යෙදිලා දේශපාලන ක්‍රියාවලිය තුළින් මහජනතාව අතරට ගිහින් දිනාගත් ජනතා ප්‍රසාදය සහ විශ්වාසය තුළයි මට මේ අවස්ථාව හිමි වුණේ. මගේ දේශපාලන ගමන ඒ විදිහේ කැපවීමකින් ආ ගමනක්."
ඔහු පැවසුවේ සිය දේශපාලන ගමන් මඟ සිහිපත් කරමිනි. 1991 වසරේදී වාරියපොල ප්‍රාදේශීය සභාවට තෝරා පත් වන ඩී. බී. හේරත් විපක්ෂ නායක ලෙස ද පත්විය. 1993දී වයඹ පළාත් සභාවට තේරී පත්වන හෙතෙම යළිත් වරක් 2006දී වාරියපොල ප්‍රාදේශීය සභාවට තරග කර තේරී පත් වී එහි සභාපතිවරයා ලෙස පත්විය. අනතුරුව වයඹ පළාත් සභාවට තේරී පත්ව එහි කෘෂිකර්ම ඇමැති පදවියත් සෞඛ්‍ය ඇමැති ධුරයත් දරමින් විශිෂ්ට ජනතා සේවයක නිරත විය.
"මනුස්සයකුට තියා කුරා කුහුඹුවකුටවත් හානියක් නොකරපු මට මැයි 9 වැනිදා සිද්ධිය නිසා ඉන්න ගෙයක්දොරක් නැති වුණා. අපිට ඉන්න දැන් ගෙයක් නැහැ. මමත් බිරියත් ඉන්නේ කොළඹ නිල නිවාසයේ. උසස් අධ්‍යාපනය ලබන දුවයි පුතයි ඉන්නේ බෝඩිම්වල. අපි හතරදෙනා එකට එක මේසෙකට වාඩි වෙලා කෑම ටිකක් කන්න පුළුවන් වෙන දවසක් ගැන හිතාගන්න බැහැ. ඒ සිදුවීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වුණා. මේ සිදුවීම නිසා ලොකු කනගාටුක්, වේදනාවක් අපේ හිත්වල තියෙනවා. ආදරයෙන් සතුටින් ජීවත් වුණු අපේ පවුලට සිද්ධ වුණු දේ මට මම වගේම බිරියටත් දරුවන්ටත් විශාල මානසික පීඩාවක්. මේ සිදුවීම නිසා මගේ හිතේ වේදනාවක් කලකිරීමක් තිබෙනවා. ඒත් රටේ ප්‍රශ්න එක්ක බලද්දි මේක එක සිදුවීමක් විතරයි, ඒ නිසා මේ සිදුවීම එක්ක මම රටේ ප්‍රශ්න ලඝු කොට හිතන්නේ නැහැ. මට ඡන්දය දීපු ජනතාව මගේ ගේ ගිනි තියන්න ආවේ නැහැනේ. ඒ නිසා දේශපාලන වශයෙන් මගෙන් මේ රටට විය යුතු යුතුකම් සහ වගකීම් අනිවාර්යයෙන්ම මම ඉටු කරනවා. සුළු පිරිසක් ප්රජාතන්ත්ර විරෝධීව හැසිරුණාට මේ රටේ අති විශාල පිරිසක් මේ රට යහපත් තැනකට යනවා දකින්න කැමතියි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කළ යුතු යමක් තිබෙනවා නම් මම ඒ දේ කරන්න ලෑස්තියි. ඒ වගේම දේශපාලන ක්‍රියාවලිය තුළ හැමදාම තනතුරු දරන්න, ඡන්දේ ඉල්ලන්න ඕනේ කියන මානසිකත්වයක් මා තුළ නැහැ. ඕනෑම වෙලාවක මේ තනතුරු අතහරින්න මම සූදානම්. ඒවා අහිමි වීම දරාගන්න බැරි තරම් මානසික ගැටලුවක් මට නැහැ. "