
රටතොට සිදු වන තොරතුරු දැන ගැනීමට දවසේ පුවත්පත කියවන්නට ගැමියෝ රංචු ගැසී උදෑසනින්ම ගමේ කඩපිලට රැස්වූ යුගය අයිති දශක කිහිපයකට එහා අතීතයකටය. එයින් කලකට පසු පුවත්පත පරයා ගුවන්විදුලියත් රූපවාහිනි මාධ්‍යයත් ඉදිරියට ආවද මේ වන විට ඒ සියල්ල පරයමින් සමාජ මාධ්‍ය පුද්ගල ජීවිතයේ ගැඹුරටම කිඳා බැස ඇත. අතීතයේදී පත්තර කන්තෝරුවල සිදු කෙරුණු ජනමාධ්‍ය ක්‍රියාවලිය මේ වන විට පුද්ගල කේන්ද්‍රීය ජනමාධ්‍ය භාවිත දක්වා විකාශනය වී ඇත. ඒ තුළ සෑම පුරවැසියකුම ජනමාධ්‍යකරුවගේ භූමිකාවට අඩු වැඩි වශයෙන් පරිවර්තනය වී ඇති බැවින් තොරතුරු දැනගැනීම හා ප්‍රකාශ කිරීමේ ජනමාධ්‍ය සතු කාර්යභාරය වඩාත් සංකීර්ණ වී තිබේ.
ගුණාත්මක ජනමාධ්‍යවේදයක් සඳහා වෘත්තීයකරණය ඉක්මවා ගිය වාත්තීය භාවයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව විද්වත් පිළිගැනීමයි. ඒ, මනා පුහුණුවකින් සහ හැකියාවකින් යුත් සදාචාර සම්පන්න සහ දක්ෂ මාධ්‍යෙව්දීන්ගේ අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා අවශ්‍ය වී තිබෙන නිසාය. එවැනි 'මාධ්‍ය ශ්‍රම බළකායක් ' බිහි කිරීම සඳහා ජනමාධ්‍ය වෘත්තියකරණය ඇති කරන විධිමත් මාධ්‍ය අධ්‍යයන ආයතන අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදනය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කර ඇති ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ 1973 දී කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රථම වරට එය ආරම්භ කර ඇති බවයි. එදාමෙදාතුර කැලණිය විශ්වවිද්‍යාලයට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ජනමාධ්‍යවේදය පිළිබඳ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි වශයෙන් පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනු ලැබුවත් ඒ මඟින් නිසි ප්‍රමිතියෙන් යුතු වෘත්තිය භාවයෙන් යුතු මාධ්‍යවේදීන් කොපමණ සංඛ්‍යාවක් බිහි වී ඇත්ද යන්න විමසිය යුතු පැනයකි.
ශ්‍රී ලංකාවේ පත්තර කලාව හා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය අතර ඇත්තේ නොබිඳෙන සබැඳියාවකි. සියවසකට ආසන්න අභිමානවත් ඉතිහාසයක් හිමි ලේක්හවුස් ආයතනය ඉකුත් දා නූතනත්වය කරා
![]() |
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ අධ්‍යක්ෂ සහ ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් |
පියමනින වගකීම් සහගත මාධ්‍ය කලාවේ උරුමක්කරුවකු ලෙස තවත් වැදගත් පියවරක් සටහන් කරනු ලැබිණ. ඒ මෙරට මාධ්‍ය කර්මාන්තයේ වටිනාකම ඉහළ නැංවීම සඳහා නිසි ගුණාංගවලින් සන්නද්ධ වූ සුදුසුකම් සැපිරූ මාධ්‍ය ශ්‍රම බළකායක් ගොඩනැඟීම සඳහා ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආරම්භ කිරීමය.
"සියවසකට ආසන්න දීර්ඝ ඉතිහාසය තුළ පත්තර මහගෙදර ලෙස ලේක්හවුස් ආයතනය අපටම ආවේණික සම්ප්‍රදායන් බිහි කරමින් මේ දක්වා ඉටු කර ඇත්තේත් ඉදිරියටත් ඉටු කරනු ඇත්තේත් අනුපමේය සේවාවක්. එහෙත් තොරතුරු තාක්ෂණ විප්ලවය සහ නව ආර්ථික අර්බුද සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයටම අභියෝගයක් වී ඇති මෙවැනි අවදියකදී සම්ප්‍රදායික ජනමාධ්‍ය ව්‍යූහය පරිවර්තනය කිරීමට සහ එමඟින් ජනමාධ්‍ය ආයතන අතර පෙරමුණ ගැනීමට කැපවී කටයුතු කළ යුතුව තිබෙනවා.ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආරම්භ වූයේ එහි එක් පියවරක් ලෙසටයි. ඒ ලේක්හවුස් ආයතනය ආරම්භ කොට වසර සියයකට ආසන්න අවස්ථාවකදීයි. මම හිතනවා එයම මෙහි සාර්ථකත්වයට හේතුවක් වෙයි කියලා. එයට හේතුව සියවසකට ආසන්න කාලයක් මාධ්‍ය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම්, පළපුරුද්ද සහ ජනතා විශ්වාසය සමඟයි අප මේ කාර්ය සැලසුම් කළේ. ඒ වගේම ප්‍රායෝගිකත්වයට වැඩි නැඹුරුවක් ඇති මාධ්‍ය පාඨමාලා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම මාධ්‍ය ඇකඩමිය ලෙස ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය හැඳින්විය හැකියි."ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය පිළිබඳ අදහස් දක්වමින් එසේ පැවසුවේ එහි අධ්‍යක්ෂ සහ ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ය.
විශ්වවිද්‍යාල හා විවිධ ආයතන මට්ටමින් මාධ්‍ය පාඨමාලා රැසක් පැවැත්වෙන පසුබිමක ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියෙන් මාධ්‍ය පිළිබඳ ඉගෙන ගන්නට එන පිරිසට ලැබෙන සුවිශේෂි අවස්ථා ගැන ද අපි ඔහු විමසිමු. "අනෙකුත් ආයතන සහ අපේ ආයතනය අතර ඇති මූලික වෙනස්කම න්‍යායාත්මක දැනුම සමඟ ප්‍රයෝගික අංශය කෙරෙහි වැඩි නැඹුරුතාවක් ලබා දීමයි. පුවත්පතකට ලිපියක් සම්පාදනය කරන අවස්ථාවේ සිට පුවත්පත මුද්‍රණය වෙන අවස්ථාව දක්වා සියලුම අංශ කෙරෙහි මනා ප්‍රයෝගික දැනුමක් සිසුන්ට ලැබෙනවා. ඒ වගේම අපේ ආයතනයෙන් පුවත්පත් කිහිපයක්ම ප්‍රකාශයට පත්වන නිසා පාඨමාලාව අවසන් වන විටම මේ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේ අවස්ථාවත් ඔවුන්ට සලසා දිය හැකියි. නමුත් එය තීරණය වන්නේ සිසුන්ගේ දක්ෂතාව මත බවත් කිව යුතුයි. "
![]() |
ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා පැවති ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ සමාරම්භක උත්සවයේ අවස්ථාවක් |
ඕනෑම පාඨමාලාවක ශක්තිමත් පදනම වන්නේ විෂය නිර්දේශයයි. ජනමාධ්‍ය පිළිබඳ මූලික අවබෝධය, ජනමාධ්‍ය සාක්ෂරතාව(මුද්‍රිත මාධ්‍ය) මාධ්‍ය න්‍යාය සහ ආචාර්ධර්ම, පුවත්පත් අලෙවි උපායමාර්ග සහ පාඨක ආකර්ෂණය සහ ප්‍රායෝගික පුහුණුව සහ ව්‍යවහාරික ක්‍රියාකාරකම් යන මූලික මාතෘකාවලට ඇතුළත් අනු මාතෘකා රාශියක් යටතේ මෙහි විෂය නිර්දේශය පෙළගස්වා ඇත. මේ පාඨමාලා පුවත්පත් මාධ්‍යයට පමණක් ලඝු කර නැති අතර මුද්‍රිත, විද්‍යුත් සහ නවමාධ්‍ය යටතේ ද ඉගැන්වීම් සිදු කෙරේ. පාඨමාලා කාලය මාස 10ක් වන අතර ඉගැන්වීම් සිදු වන්නේ ඉරිදා දිනවලදී බැවින් පාසල් හැර ගිය මේ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන්නන්, අංකුර මාධ්‍යෙව්දීන්, මාධ්‍ය උපදේශකවරුන් සහ ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අදාළව තම වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීමට හෝ ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මේ සඳහා සහභාගි විය හැකිය. පැවරුම්, ව්‍යාපෘති, වාචික පරීක්ෂණ, ශිෂ්‍යයන් විසින් කරනු ලබන ඉදිරිපත් කිරීම්වලින් ශිෂ්‍ය කාර්ය සාධන ඇගැයීම සිදු වන අතර ප්‍රායෝගික පුවත්පත් කලාවේ මූලධර්ම, ප්‍රවෘත්ති හා ගවේෂණාත්මක වාර්තාකරණයේ සුවිශේෂිතා, විශේෂාංග රචනය සහ තීරු ලිපි කලාව, පාරිසරික පුවත්පත් කලාව, ක්‍රීඩා වාර්තාකරණයේ හතර මායිම්, ආපදා වාර්තාකරණය සහ ජනමාධ්‍ය ආචාරධර්ම මේ පාඨමාලාවෙන් ආවරණය කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි.
"මේ සඳහා අප තෝරා ගෙන ඇත්තේ ඉතා පළපුරුදු දක්ෂ ආචාර්ය මණ්ඩලයක්. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ කථිකාචාර්යවරුන් ඇතුළු විද්වතුන් සහ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් ඊට ඇතුළත්. ඒ වගේම ලේක්හවුස් ආයතනය සතු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වය ද අපට ලැබෙනවා. ඒ සියල්ල තුළින් මාධ්‍ය ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුකූලව වඩාත් ප්‍රයෝගික විෂය මාලාක් ඔස්සේ දේශීය හා විදේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා වෙළෙඳපොළට ගැළපෙන, කාර්යක්ෂම, මනා පුහුණුවකින් සහ හැකියාවකින් යුතු පිරිසක් බිහි කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. පුවත්පත් කලාව පමණක් නොව ඉදිරියේදී ගුවන්විදුලි,රූපවාහිනී හා ඩිජිටල් මාධ්‍ය කලාවත් ජායාරූප මාධ්‍ය කලාවත් මෙහි ඉගැන්වීමට නියමිතයි."
මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් කීවේය. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය පවත්වාගෙන යන්නේ නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ පහසුකම් සහිත අධ්‍යයන ශාලාවකය.දක්ෂ, ගුණාත්මක මාධ්‍ය බළකායක් බිහි කිරීම සඳහා ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය සමඟ අත්වැල් බැඳගෙන සිටින දක්ෂ දේශකයන් අතර ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන්, මාධ්‍යෙව්දීන්, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම ප්‍රවීණ සාහිත්‍යවේදීන් ද වේ.
" සාමාන්‍ය මාධ්‍යකරුවාට වගේම පුරවැසියාට ද මාධ්‍ය අවබෝධය අවශ්‍යයි. ඒ නිසා කවුරුන් විසින් මාධ්‍ය ඉගැන්වීම ආරම්භ කළත් එය වැදගත් ලෙස සැලකිය හැකියි. ලේක්හවුස් වැනි ඓතිහාසික ආයතනයක එය ඉගැන්වීම ආරම්භ කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් න්‍යායික දැනුමට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසා තිබෙනවා. ඉපැරණි ආයතනයක් ලෙස වෙනත් ආයතනයක නැති තරම් සම්පත් ප්‍රමාණයක් එහි තිබෙනවා. ඒ සියල්ලම පාඨමාලාව හදාරන්නන්ට ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකියි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ කුමන අරමුණකින් කුමන දර්ශනයකින් උගන්වනවාද යන කරුණයි. අපි දකිනවා බොහෝ ආයතනවල මෙවැනි ඉගැන්වීම් අසාර්ථකයි හෝ ප්‍රමාණවත් සාර්ථක භාවයක් නැහැ. අද ඇතැම් මාධ්‍යකරුවන් පෙනී සිටින්නේ ව්‍යාපාරික සමාජයේ වුවමනාවෙන් වෙනුවෙන් පෙනී සිටින්නන්. සමාජය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරුවන් අඩුයි. ඒ නිසා පුළුල් අවබෝධයකින් මෙම අධ්‍යයන කටයුතු සිදුවීම වැදගත්"
![]() |
වමේ සිට - ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පළමු පාඨමාලාවට අයත් සඳලි නවෝද්‍යා, චතුරි ලක්ෂිකා, තිසර හෙට්ටිආරච්චි, නෙත්මි රත්නායක සහ මධුෂාන් විජේතුංග |
මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මහාචාර්ය ආරියරත්න ඇතුගල ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය පිළිබඳ අදහස් දක්වමින් එසේ පැවසීය. ප්‍රවීණ ලේඛක, සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංග පැවසුවේ, නූතන ලෝකයේ මිනිසාට මාධ්‍ය සංස්කෘතියෙන් තොරව ජීවත් විය නොහැකි තත්ත්වයක් තුළ මාධ්‍ය හැදැරීමේ ඇති මූලික වටිනාකම වන්නේ ජීවිතය අවුල් කර නොගෙන එය වටහා ගනිමින් සමබරව ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් ලබාගත හැකි බවයි.
"ඒ හැරුණු විට මාධ්‍ය සම්බන්ධ වෘත්තිකයකු මේ පාඨමාලාව හදාරනවා නම් එහි විශාල ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ විෂයානුබද්ධ දැනුම සහිත ආචාර්ය මණ්ඩලයක් සහිත ලේක්හවුස් මීඩියා ඇකඩමිය තුළින් එකම තැනකදී අංශ ගණනාවක් පිළිබඳ දැනුම ලබාගත හැකියි. අවශ්‍ය අයකුට තමන්ගේ රුචිකත්වය සහ දක්ෂතාව මත වඩාත් ප්‍රිය කරන අංශයක් වෘත්තිය මට්ටම දක්වා ඉදිරියට ගෙන යා හැකියි.මම හිතන්නේ එය ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය තුළින් ලැබෙන විශේෂ අවස්ථාවක්" ඔහු වැඩිදුරටත් එසේ ද පැවසීය.ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ කතුවරයා ලෙස කලක් කටයුතු කළ ප්‍රවීණ පුවත්පත්කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සඳහන් කළේ ලේක්හවුස් ආයතනය මෙවැනි මාධ්‍ය ඇකඩමියක් ආරම්භ කිරීම ඉතා කාලෝචිත පියවරක් බවයි. දෙස් විදෙස් නම රැන්දූ දක්ෂ මාධ්‍යවේදීන්, පුවත්පත් කලාවේදීන් රැසක් බිහි කර ඇති ලේක්හවුස් ආයතනය අනාගතය වෙනුවෙන් දක්ෂ, නිර්මාණශීලී ගුණාත්මක මාධ්‍ය වෘත්තියවේදීන් බිහි කිරීම සඳහා ගනු ලබන මේ උත්සාහය ද හෙතෙම විශේෂයෙන් ඇගයීය.
මේ වන විට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් තිබෙන අතර, සිසු සිසුවියන් දැඩි උද්‍යෝගයෙන් ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ආකාරය නිරීක්ෂණය විය. විශේෂයෙන් සිසු කණ්ඩායමේ පොදු අදහස මෙය ඔවුන්ට ඉතා අලුත්, විශේෂ අත්දැකීමක් බවය. මාධ්‍ය පාඨමාලා පවත්වාගෙන යන ආයතන රාශියක් තිබියදී මේ සඳහා ලේක්හවුස් ආයතනයම තෝරා ගැනීමට මූලික හේතුව පත්තර මහගෙදර ලෙස ලේක්හවුස් ආයතනය සියවසකට ආසන්න කාලයක් දිනා ගෙන ඇති ජනතා විශ්වාසය සහ කීර්ති නාමයයි.
"මෙහෙම පාඨමාලාවක් ලේක්හවුස් ආයතනයෙන් ආරම්භ කරනවා කියලා දැනගන්න ලැබුණාම ගොඩක් සතුටු වුණා. මේ ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. මේ කාලය තුළ අත්දැකීම් රාශියක් දැනුම් සම්භාරයක් ලබාගන්න අවස්ථාව සැලසුණා."ඒ පාණදුර සිට පැමිණෙන සඳලි නවෝද්‍යා(20) ගේ අදහස්ය. චතුරි ලක්ෂිකා(23) රුවන්වැල්ලේ සිට මේ පාඨමාලාවට සහභාගි වෙන යුවතියකි. උස්සපෙළ විභාගයෙන් පසු රැකියාවක නිරත වෙමින් සිටින ඇය ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට ඇතුළත් වන්නේ ලේඛනය සඳහා තිබෙන අසීමිත ආශාව සහ උනන්දුව නිසාමය.
"ලියන්න තිබෙන කැමැත්ත නිසාමයි මම මේ පාඨමාලාව හදාරන්න පටන් ගත්තේ. මෙච්චරකල් ආශාවට ලිව්වට දැන් තමයි නියම විදිහට ලියන්න ඉගෙන ගත්තේ කියලා මට හිතෙනවා. නිවැරැදිව වචන භාවිතය, අක්ෂර වින්‍යාසය වගේම භාෂාව ගැනත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම දැනුමට බොහෝ දේවල් එකතු කරගත්තා. වඩාත්ම වැදගත් අවස්ථාව තමයි ප්‍රයෝගික ක්‍රියාකාරකම්. ඒ තුළින් අපි නොහිතන විදිහට අප තුළ තිබෙන දක්ෂතා ඉස්මතු කර ගැනීමට ආචාර්ය මණ්ඩලය කටයුතු කරනවා. සති කිහිපයකට කලින් අපි ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවති චිත්‍ර ප්‍රදර්ශයනයක් සඳහා සහභාගි වුණා. ඒ වගේ අවස්ථා අපිට ගොඩක් වටිනවා. කවදාවත් දැක නොතිබුණු ප්‍රවීණ කලාකරුවන් හඳුනා ගැනීමටත් මේ තුළින් අවස්ථාව ලැබුනා."
තිසර හෙට්ටිආරච්චි(49) හැවිරිදි විද්‍යා ගුරුවරයෙකි. ඔහු ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට ඇතුළත් වන්නේ සහජයෙන් ලැබූ ලේඛන කුසලතාව ඔප් නංවා ගැනීමේ අරමුණිනි.
"මාධ්‍ය ක්ෂේත්‍රයට මගේ විශේෂ ඇල්මක් තිබෙනවා. එය විධිමත්ම ඉගෙන ගැනීම ඒ වෘත්තියේ යෙදෙන අයට වගේම සාමාන්‍ය පුරවැසියාටත් වැදගත් බව මගේ විශ්වාසයයි. විශේෂයෙන් මාධ්‍ය කියන්නේ ජීවිතයට නිසි මඟපෙන්වීමක් ලැබෙන විෂයක්. මම මේ පාඨමාලාව හදාරන්නේ ඒ අදහසින්."
නෙත්මි රත්නායක(23) නවකයකු ලෙස මාධ්‍ය සම්බන්ධ කටයුතුවල නියැළී සිටින යුවතියකි. ලේඛනයට මෙන්ම සංගීතයට ද දක්ෂ ඇය ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට ඇතුළත් වී ඇත්තේ තම වෘත්තීය ජීවිතයට මනා පදනමක් අපේක්ෂාවෙනි.
"තවම කෙටි කාලයක් වුණත් ලොකු දෙයක් මම මේ තුළින් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් ඉගැන්වීමට පැමිණෙන ආචාර්ය මණ්ඩලය ඉතාම දක්ෂ ප්‍රවීණයන්. ඔවුන් සමඟ කතාබහ කිරීමට ලැබීමත් ලොකු භාග්‍යයක්. විෂය කරුණුවලින් වගේම ඔවුන්ගේ අත්දැකීම්වලින් පවා අප වැනි ආධුනිකයන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. "
ඇය පැවසුවේ සුබවාදී බලාපොරොත්තු සහිතවය. මධුෂාන් විජේතුංග(30) සංවර්ධන නිලධාරියකු ලෙස රැකියාවේ නිරත වෙමින් මේ පාඨමාලාව හදාරන්නෙකි. මාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇති සහජ හැකියාව සහ දැඩි කැමැත්ත නිසාම මේ පාඨමාලාව හැදෑරීමට තීරණය කළ බව ඔහු පැවසීය. ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක මාධ්‍ය සම්බන්ධ පාඨමාලා හැදෑරීම රටේ තරුණ පරපුරට ඵලදායී වන්නේ කෙසේද යන්න පිළිබඳ අප ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ගෙන් විමසිමු.
" කුමන ආර්ථික ප්‍රශ්න, අර්බුද තිබුණත් එක් දෙයක් පැහැදිලිව කිව හැකියි. මාධ්‍ය ක්ෂේත්‍රය හෝ වෙනත් ක්ෂේත්‍රයක් වේවා ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ මනා දැනුමක්, පළපුරුද්දක් සහිත වෘත්තිකයන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා තිබෙනවා. මේ අර්බුදකාරී තත්ත්වය තුළ තරුණ පරපුර වෙනත් රටවලට යෑමේ ප්‍රවණතාව ද වැඩි වෙමින් තිබෙනවා. අද ලෝකය පුරා වෘත්තියක් ලෙස මාධ්‍යයට හොඳ රැකියා අවස්ථා තිබෙනවා. අපේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ දැනුම දියුණු කරගෙන ජනමාධ්‍ය වෘත්තියක් ලෙස කරගෙන යෑමට අවස්ථාව ලබා දීම සඳහායි ලේක්හවුස් ආයතනයේ සභාපති අනුෂ පැල්පිට ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්පූර්ණ ආශිර්වාදය, මඟපෙන්වීම ඇතිව මේ අධ්‍යයන ආයතනය ආරම්භ කළේ. දැනට පාඨමාලා සිංහල බසින් පැවැත්වුණත් අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ලබා දෙනවා. අපේ පරමාර්ථය මේ තුළින් මේ රට තුළ පමණක් වැඩ කරන මාධ්‍යෙව්දීන් බිහි කිරීම නෙවෙයි, ලෝකයේ රැකියා වෙළෙඳපොළට, විශ්ව සමාජයට ගැළපෙන වෘත්තිකයන් බිහිකිරීමයි. ඉදිරියේදී ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලාව පැවැත්වීමටත් පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමටත් අවසානයේ මෙය දෙස් විදෙස් දරුවන්ට මාධ්‍ය පිළිබඳ උගන්වන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමත් අපේ අපේක්ෂාවයි."
රටක පාලනයෙහි ප්‍රබල උපස්ථම්භකයක, මෙහෙයුම්කරුවකු වන ජනමාධ්‍යවේදීයා වෘත්තීය භාවයෙන් බලාත්මක කිරිම නිවැරැදි ආණ්ඩුකරණයකට ද මහෝපකාරී වේ. එවැනි පසුබිමක් තුළ ලේක්හවුස් ආයනය විසින් ආරම්භ කළ මාධ්‍ය ඇකඩමිය යහපත් මාධ්‍ය බළකායක් බිහි කිරීම සඳහා පෙරගමන් කරුවා වීමට පසුබිම සකසනවා පමණක් නොව එය ජාතික වගකීමක් ඉටු කිරීමක් ද වැනිය.
ඡායාරූප- සමන්ත වීරසිරි/ සුලෝචන ගමගේ