
ඉන්දියාවේ දිල්ලි අගනුවරින් පැමිණි දූෂිත වායුව බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය හරහා පසුගිය සති අන්තය වන විට ලංකාවට දැඩි බලපැම් එල්ල කළේ ජන ජීවිතයට පවා දැඩි බලපෑම් එල්ල කරමිනි. මේ අයහපත් වායු දූෂණයෙන් කොළඹ ඇතුළු ලංකාවේ බොහෝ පළාත්වල ජනතාවට දැඩි සෞඛ්‍ය තර්ජන එල්ල කරන්නට සමත් වූවා පමණක් නොව, ලංකාවේ සියලු පාසල් වසා දමා සිසුන්ව නිවෙසට කොටු කරන්නටද අවසානයේ බලධාරීන්ට සිදු විය. රට පුරා වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පසුගිය සති අන්තයේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ අංශය සඳහන් කළේ වායු නිරීක්ෂණ මාන දත්තයන්ට අනුවය. එහෙත් පසුගිය සිකුරාදා දිනය වන විට මේ තත්ත්වය කෙමෙන් කෙමෙන් පහ වී යන ලකුණු මතු වූ බව සඳහන් වූයේ ද ඔවුන්ගේ වායු නිරීක්ෂණ මාන දත්තයන්ට අනුවය.
දිල්ලි අගනුවර සිදු වූ වායූ දුෂණය ලංකාවට මීට පෙර ද බලපෑම් එල්ල කරන්නට සමත් වූවකි. ඉන්දියාවේ සෑම වසරකටම ඔවුන්ගේ අස්වනු නෙළීමෙන් පසු සිය වගා බිම් සකස් කිරීමේදී මෙවැනි වායූ දූෂණයන් සිදු වුවද එයින් මෙවැනි ආකාරයේ බලපෑමක් මීට පෙර එල්ල වූයේ 2019 වසරේ නොවැම්බර් මාසයේදීය. පරිසර හා වායූ සම්බන්ධ විශේෂඥයන් සඳහන් කරන්නේ එයින් මෙතරම් දැඩිව බලපෑමක් සිදු නොවූ බවය. උතුරු ඉන්දියාවේ වගා බිම්වල අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වූ පසු අස්වැන්න ගිනි තැබීම මීට ප්‍රධාන හේතුව වුවත් ඉන්දියාවේ දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිට වූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය තවත් උග්‍රවී තිබේ.
දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනා ගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමක බව මතයයි. නමුත් දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කොළඹ නගරයේ ද දක්නට ලැබුණේ දිල්ලි හා සමාන තත්ත්වයකි.
“ මෙය ඉන්දියාවේ ප්‍රශ්නයක් නිසා අපට ඇති වූ බලපෑමක්. පසුගිය දිනවල බෙංගාල බොක්කේ ඇති වූ අවපීඩන තත්ත්වය මත ඇතිවූ වායු කැලඹීම නිසා සුළඟත් සමඟ මේ වායූ අපේ රටට පැමිණියා. මෙහි ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ මේ වාතයේ ඇති parriculate matter නමින් හඳුන්වන වායු අංශු. මේ අංශුවල pm2.5 හා pm 10 වශයෙන් දෙවර්ගයක් තියෙනවා. මේ අතරින් pm2.5 වඩාත් අනතුරුදායකයි. මේවා පෙණහලු හරහා රුධිරයට ගමන් කර හෘදය වස්තුවේ ප්‍රශ්න, රුධිර සංසරණයේ ප්‍රශ්න ඇති විය හැකියි. මේ හේතුවෙන් අංශු දෙවර්ගයම අපේ වායු ගෝලයේ ඉහළ ගියා. මේවා අවම කිරීමට තමයි රජ්‍යයන් විවිධ සම්මුතිවලට එළඹිය යුත්තේ. වයෝවෘද්ධ අය, ගර්භිණී මවුවරුන් කුඩා දරුවන්, හෘදය රෝගීන්, ආසාත්මිකතා ඇති අය නිවෙසට වී සිටීම හෝ මුඛ වැස්මක් පැළදීම සිදු කළ යුතුයි. “ ඒ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහය.
මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය නීතිඥ සංජය රත්නායක පවසන්නේ මාලේ සම්මුතිය වැනි සම්මුතීන් තිබුණ ද මෙවැනි අවස්ථාවකදි ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඒවා ප්‍රමාණවත් නොවන බවයි.
“ පසුගිය දිනවල අවලම්භිත අංශු වැඩි වුණා. එහි අගය 200 ට වඩා ඉහළ ගිහින් අනතුරුදායක තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් මේ වන විට එහි අගය 100 දක්වා අඩු වෙලා තියෙනවා. මේ වන විට ස්වසන ආබාධ ඇති අයට මේ තත්ත්වය තවමත් නරකයි. මේ තත්ත්වය දින දෙක තුනක් ඇතුළත පහව යයි කියලා අපි අපේක්ෂා කරනවා. පරිසරයේ බලපෑම ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසු වෙනවා. ලංකාවේ සියලුම ප්‍රදේශවලට මේ තත්ත්වය එක හා සමානව බලපෑම් කරන බව අපිට පෙනී යනවා. ඉන්දියාවේ අස්වනු නෙළීමෙන් පසු මෙවැනි වායු දූෂණයන් සෑම වසරකම සිදු වෙනවා. අපටත් එහි යම් බලපෑමක් සැම වසරකම පවතිනවා. නමුත් මේ වසරේ මේ තත්ත්වය ඇතිවුණේ මැන්ඩවුස් සුළි කුණාටුව නිසයි. කොහොම වුණත් මේ තත්ත්වයේදි ඉන්දියාවට පවා කරන්න දෙයක් නැහැ. නමුත් ඉදිරියේදි ඔවුන් මේ පිළිබඳ සැලකිලිමත් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. පසුගිය සිකුරාදා වන විට සුළි කුණාටුව යළිත් දකුණු ඉන්දියාව දෙසට හැරුණා. නමුත් ඊට වඩා මේ තත්ත්වය යහපත් වීමට බලපෑවේ පැවැති වැස්සයි “ඒ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය නීතීඥ සංජය රත්නායකය. පසුගිය දිනවල පැවැති අධික ශීතමය කාලගුණයද මේ හා සබැඳි වූවක් බව බලධාරීන්ගේ අදහසයි. දූවිලි අංශු නිසා සූර්ය තාපය පොළොවට පතිත වීම අඩු වීම, මෙන්ම පැවැති මැන්ඩවුස් සුළි කුණාටුවද ඊට හේතු වී ඇත.
“ මෙය දේශසීමාවන් අතර සිදු වන වායු දූෂණයක්. මේ වන විට පැවැති මාරාන්තික තත්ත්වය පහව යමින් තියෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා වන විට පැවැතුණේ මාරාන්තික තත්ත්වයක්. සුළං ප්‍රවාහය නිසා මෙය දකුණට හැමුවා. ඉන්දියාවේ පහළ ප්‍රදේශවලට, ලංකාවේ උතුරු ප්‍රදේශවලට මෙන්ම බස්නාහිරට දැඩි බලපෑම් ඇති වුණා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන දත්තයන්ට අනුව මේ වන විට මෙය පහව යමින් පවතිනවා. වායු ගෝලයේ මේ අංශු වැඩි වීම නිසා විනිවිද බවත් තිබුණේ නැහැ. මේ තත්ත්වයෙන් බලපෑම් වැඩි වන්නේ ගර්භිණී, වයසක මෙන්ම විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන අයටයි. මේ අංශුවල pm2.5 ක් තියෙනවා කියන්නේ ඒවා ස්වසන මාර්ගය හරහා රුධිරයට එකතු වීමයි. මේ නිසා අධික මහන්සි වී කරන වැඩි අඩු කළ යුතු වෙනවා. ශාරීරික ව්‍යායාම් නොකළ යුතුයි. ඒ වගේම සංවෘත ස්ථානයක රැඳී සිටිය යුතු වෙනවා. “ඒ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂිකා අප්සරා මෙන්ඩිස්ය. මේ වායුවෙන් බේරිමට මුඛ වැසුම් ද ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි.
මේ තත්ත්වය දැඩිව වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වූ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ මැන්ඩවුස් සුළි කුණාටුව ද ජන ජීවිතයට බොහෝ බලපෑම් සිදු කර අහවරය.
ඡායාරූප- රුක්මල් ගමගේ