උකු­වෙල මිනිස් අව­යව ජාවා­රමේ ඇත්ත නැත්ත | සිළුමිණ

උකු­වෙල මිනිස් අව­යව ජාවා­රමේ ඇත්ත නැත්ත

මාතලේ උකුවෙල නගරයේ තැබෑරුම් දෙකක් ඉදිරිපිට දවසේ වැඩි කාලයක් රැස්ව සිටින පිරිසක් ගැන මාතලේ දිස්ත්‍රික්කයේ ම ජනතාව අතර කතා බහකට ලක්ව පවතී.

 

නතාවගේ මතය බවට පත්ව ඇත්තේ ඔවුන් කිසි වැඩක් කර ගැනීමට නොහැකි බව පවසා යාචකයන් ලෙස තැබෑරුමට එන අයගෙන් මත් වතුර ටිකක් ඉල්ලාගෙන පානය කරන බවකි. තවත් පිරිසක් ඔවුන් හඳුන්වනු ලබන්නේ ඇවිදින මළකඳන් ලෙසය. තවත් පිරිසක් කියා සිටින්නේ පෙරේත සොට් එක ගහන කණ්ඩායමක් ලෙසය. තවත් පිරිසක් මෙම කණ්ඩායම හඳුන්වන්නේ වකුගඩු ටීම් එක ලෙසිනි.

මෙම සමාජ ව්‍යසනය පිළිබඳව ඉතා සූක්ෂම ලෙස ගවේෂණයක නිරත වූ අපට හෙළිදරව් කර ගැනීමට හැකි වූයේ වෙනත් කතා පුවතකි. එනම් මෙම ජනතාව දුප්පත්කම කරපින්නා ගෙන ඉපදීම නිසා තම ශරීරයේ කොටස් අලෙවිකොට අවසානයේ දී වේදනාව දරාගත නොහැකිව ඖෂධ වෙනුවට මත් වතුරවලට හුරු වී ඇති බවකි. තමන්ට මුදල් හදල් නැති තැන කාගෙන් හෝ ඉල්ලා ගෙන තැබෑරුම ළඟ දවස ගෙවීම මොවුන්ගේ පුරුද්දකි. ඔවුන්ගේ පවුල් වල දරුවන්, බිරින්දෑවරුන් තැන තැන දහදුක් විඳිනු ලබන්නේ ආහාර පාන පදිංචි ස්ථාන පවා අහිමි වී ජීවත්වීමට නොහැකිව සිය දිවි පවා හානිකර ගන්නා තත්ත්වයකය.

උකුවෙල ප්‍රදේශයේ මෙම මහා විනාසයට, අපරාධයට ලක්ව ඇති මුළු ගණන කිසිවෙකුත් නොදනී. වකුගඩුව අලෙවිකොට ජීවත් වන පිරිස් ඕනෑ තරම් රහසිගතව උකුවෙල වතු ආශ්‍රිතව ජීවත් වෙයි. මාතලේ හිතවත් මාධ්‍යවේදියකු වූ විරාජ් අබේසිරි සහ තවත් පිරිසක් සමඟ උකුවෙල ප්‍රදේශයේ සැරිසැරූ අපට මෙවැනි ජීවිත අවදානම නොතකා ශරීර අවයව අලෙවි කොට යළි ජීවිතය සමාජයෙන් යදින පුද්ගලයන් රැසක් හමු විණි.

ඉන් කීප දෙනෙකු කිසිදු බියක් සැකක් නොමැතිව තම ජීවිත කතාව සහ අත්දැකීම් විස්තර කරන්නට ඉදිරිපත් වූහ. තවත් කොටසක් අත්විඳි ක්‍රියාවලිය හෙළි කිරීමට අකැමැත්ත ප්‍රකාශ කරන්නට වූයේ ඔවුන් නිවෙස්වලට පවා හොර රහසේ තම දරු පවුල රැකීමට එක් වකුගඩුවක් ජාවාරම්කරුවන්ට අලෙවිකොට ඇති නිසාවෙනි.

ශරීරයේ අවයව අලෙවිකරණ ජාවාරමේ බරපතළම තත්ත්වයක් මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ.

එනම් උකුවෙල ප්‍රදේශයේ වතු ජනතාවගේ වකුගඩු මිලදී ගැනීමේ තත්ත්වය නිසා බහුතරයක් දෙනා මේ වන විට වකුගඩු මුදලට අලෙවිකොට රෝගීන් බවට පත්ව දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති.

ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් වතු තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස් වල අඩු ආදායම්ලාභී ඉතා දිළිඳු ජනතාව තෝරා ගෙන එක වකුගඩුවක් රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලකට මිලදී ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

පවතින ආර්ථික දුෂ්කරතාව නිසා වතු ජනතාව තම වකුගඩුව අලෙවි කිරීම සිදු කරන බවත් ජීවිතය පවතින තුරු එම අය සඳහා විවිධ උදව් උපකාර කරන බවට පොරොන්දු වුවද අවසානයේ වකුගඩුව ගලවා ගැනීමෙන් පසු තැරැව්කරු විශාල මුදලක් ලබාගෙන ඉතිරි මුදල කොටස් වශයෙන් හෝ ලබා දී ඉන් පසුව එකී පුද්ගලයා ගැන කිසිත් සොයා නොබලන බව වකුගඩු අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ වන විට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ජනතාව අතරෙන් සියයකට අධික පිරිසක් වකුගඩු අලෙවි කර තිබේ. ඇතැම් අය රැකියාවක් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වී ඔවුන්ගේ පවුල් වල විවිධ ගැටලු පැන නැඟී සිය දිවි හානිකර ගැනීමේ තත්ත්වයට පවා මුහුණ දී ඇතැයි වකුගඩු අලෙවි කළ පවුල්වල සාමාජිකයෝ මෙන්ම අලෙවි කළ පිරිස් පෙන්වා දෙති.

වසන්ත ජයසිංහ  බඩ කපා ඇති අයුරු

එමෙන්ම ඔවුන්ගේ පවුල් අතර මත ගැටුම් ඇතිවෙන බවත් තමන් දුරදිග නොබලා ගත් ක්‍රියාමාර්ග නිසා ජීවිතයේ ඇවිදින මළ කඳන් බවට පත්ව දිනකට එක වේලක් හෝ ආහාර සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ඔවුහු පවසති. ආර්ථික දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා වකුගඩුවක් අලෙවි කළ ද තමන් ජීවත් වූ තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයකට පත්ව තිබෙන්නේ වකුගඩුව ගැලවීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යන අධික වියදම නිසා බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකිව ජීවිතයත් මරණයත් අතර සටනක සිටින වකුගඩු අලෙවි කළ ජනතාව ද තම බරපතළ තත්ත්වය පිළිබඳව පෙන්වා දෙන්නට ඉදිරිපත් විය.

උකුවෙල ප්‍රදේශයේ මෙම වකුගඩු ජාවාරම ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වේ. එහෙත් එය ඉතා රහසිගතව ක්‍රියාත්මක වන අතර වකුගඩු ලබා දුන් බහුතර කාන්තාවන් සහ පිරිමින් තමන්ට සිදු වූ හානිය සඟවා ගෙන සිටීමට වගබලා ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

වකුගඩු අලෙවි කළ පුද්ගලයන් සොයා අප උකුවෙල ප්‍රදේශයේ වතු ආශ්‍රිත ගම්මාන කිහිපයක ගමන් කිරීමේදී එහි බොහෝ දෙනා තම වකුගඩුව අලෙවි කළ බව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කළ අතර ඔවුන්ට සිදුව ඇති හානිය පිළිබඳව කතා කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

උකුවෙල නගර මධ්‍යයේ නිතර නිතර දකින තැබෑරුම් ළඟ රැඳී සිටින වසන්ත ජයසිංහ තම අත්දැකීම විස්තර කළේ මෙසේය.

"මම ලී මඩුවක වැඩ කළේ. ඒ දවස්වල හොඳට බර ඉස්සුවා; මම අරක්කු සිගරට් බීපු කෙනෙක් නෙවෙයි. දරුවො දෙන්නත් හදාගෙන පුංචි කටු මැටි පැලක අපි ජීවත් වුණා. දරුවෝ ලොකු වෙනකොට එයාලට වැසිකිළියක් නෑ; ඉන්න ගෙයක් නෑ; අඩුම තරමේ නිදාගන්න ඇඳක්වත් තිබුණෙ නැහැ. හම්බ කරන ටික කෑමවලට ඉවරවුණා. මගේ බිරියට මීමැස්මොරේ තියෙනවා; එයා හැම තිස්සෙම වැටෙනවා. දවසක් ළිප ළඟ වැටිලා පිච්චිලා හිටියා. දරුවෝ හදන්නත් බිරියට ප්‍රතිකාර කරන්නත් මට සිද්ධ වුණා."

"මේ අතරේ තමයි "නානා'' ඇවිල්ල කිව්වෙ මේ ජීවිතෙන් ගොඩයන්න පහසු මඟක් තියෙනවා; වකුගඩුව විකුණන්න පුළුවන් ලක්ෂ හතරකට පහකට කියලා. මම එකවරම කැමතියි. වුණා. මොකද මගේ අවශ්‍යතාව තිබුණේ දරුවන්ට වැසිකිළියක් හදලා දෙන්න, නිවෙසක් හදලා දෙන්න.''

''අතරමැදිකරු මාව කෙනකුට සම්බන්ධ කළා. ඒ අය මුලින් රුපියල් විසිදාහක මුදලක් දීලා වෛද්‍ය පරීක්ෂණ ඔක්කොම කළා. මාව කොළඹ එක්ක ගෙන ගියා රෝහලකට. පස්සේ ඒ අය ඔපරේශන් එකක් කරලා මාව වාට්ටුවට ගෙනත් දැම්මා. මම අමාරු වෙලා දවස් 14ක් ඒකේ හිටියා. පස්සේ මට රුපියල් ලක්ෂ 4ක මුදලක් දුන්නා. තැරැව්කරුට රුපියල් ලක්ෂයක් දුන්නා කියලා තමයි ආරංචි වුණේ. ඊට පස්සේ ඒ අය කිව්වා ජීවිත කාලයම අපිව රැක බලා ගන්නම් කියලා.''

වකුගඩුව ලබාදී අසාධ්‍ය සිටින විජේසිංහ හා ඔහුගේ බිරිද

''වාට්ටුවෙන් එළියට ඇවිල්ලා ගෙදර ආවා. නැවත තුවාල මැහුම් කපන්න යන වෙලාවෙවත් වකුගඩු ගත්ත අය දකින්න හිටියේ නෑ. එදා ඉඳලා අද දක්වාම මම විඳින දුක වේදනාව කියලා නිම කරන්න බැහැ. ගෙදර අඩුපාඩු එමට. ගත්ත මුදල නැවත බෙහෙත් කරන්න වියදම් වුණා. දැන් මට බර වැඩක් කරගන්න බැහැ. ජීවත් වෙන්නේ මරණය ඉල්ල ඉල්ලා. වේදනාව නිම කර ගන්න මත්පැන් බොන්න පුරුදු වුණා. දැන් මට ඒක නවත්ත ගන්නත් බෑ. සල්ලි නැති නිසා තැබෑරුම් ළඟට ගිහිල්ලා කාගෙන් හරි ඉල්ල ගෙන බොන එක තමයි දවස පුරාම කරන්නේ. ඒවගේම බිරිය දරුවෝ එක්ක වෙනම ජීවත් වෙන්න ගත්තා. ඒ අයගේ ජීවිතත් විනාශ වුණා. මෝඩකමට බෙහෙත් නෑ කියන එක දැන් තමයි තේරෙන්නේ. මගේ බිරිය එපා කියද්දි තමයි මම වකුගඩුව දුන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක. අවසානයේ දී සිද්ධ වුණේ වකුගඩුවත් නැතිව ජීවිතයත් නැතිව මුළු පවුලම විසිරිලා විනාශ වෙලා ගිය එක.''

උකුවෙල ප්‍රදේශයේ වකුගඩුව අලෙවි කළ පුද්ගලයකු ගේ බිරිය වන 'එන්. මහදේශක්ති ' සිය අත්දැකීම් මෙසේ විස්තර කළා ය.

''අපි ගොඩක් දුප්පත්. අපේ උකුවෙල වත්තේ විතරක් නෙවෙයි මේ අවට බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ කුලී වැඩක් කරගෙන. පහුගිය කාලේ විතරක් නෙවෙයි මේ වන විටත් උකුවෙල ප්‍රදේශයේම බොහෝ දෙනෙක් වකුගඩු දීලා ගෙවල් හැදුවා; වැසිකිළි හැදුවා; විවිධ විදිහට මුදල් වියදම් කළා. මේක වත්ත පුරාම පැතිර ගියා. උකුවෙල පැත්තේ ඉන්න කීප දෙනෙක් තැරැව්කරුවන් හැටියට දුප්පත් මිනිස්සු හොයාගෙන ගෙවල් ගානෙ යනවා. වකුගඩු විකුණන අය හොයන්න. මුදල් වල අගය, වකුගඩුව විකුණපු වහාම ලැබෙන දේ ගැන එයාල කියලා දෙනවා. අපේ ගෙදර සින්න වෙලා තිබුණා. සින්න වෙන්න තිබුණට පස්සේ අපේ මහත්තයට තැරැව්කාරයා කියලා තිබුණා ලක්ෂ 4 ක මුදලක් දෙන්නම් වකුගඩුව දෙන්න කියලා. මෙයා කැමති වුණා. මමත් කැමති වෙලා අත්සන් කළා. වකුගඩුව දීලා ආවා; ලක්ෂ හතරකුත් හම්බවුණා. ඒකෙන් පුංචි කාමරයක් හැදුවා. ඉතිරි ඒවා සියල්ලම මහත්තයට නැවත ප්‍රතිකාරවලට වියදම් කර කරන්න වුණා. අදටත් වකුගඩුව ගත්තේ කවුද, කොහෙද ඒ අය ඉන්නේ කියලා දන්නේ නැහැ. අද අපිට එක වේලක්වත් කන්න නැහැ. කොස් ගෙඩියක් තම්බලා කන වෙලාවල් අනන්තයි. දැන් මහත්තයා එන වෙලාවෙත් අපිට දවල්ට කන්න මෙලෝ දෙයක් තිබුණෙ නැහැ. කොස් ගෙඩියක් කප කපා තමයි හිටියෙ. දරුවන්ට උගන්නන්න විදිහක් නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ. අඩුම තරමේ ගෙදර වැසිකිළියවත් නෑ. අවසානයේදී අපට සිද්ධවෙලා තියෙන්නේ නැවත ඉඩම රුපියල් පනස් දහසකට සින්න වෙන්න යන එක විතරයි.''

එම් .තිරිච් චෙල්වම්

වකුගඩු මුදලට අලෙවි කළ උකුවෙල ප්‍රදේශයේ එම්. තිරිච්චේල්වම්ගෙන් තමන් විඳින දුක ගැන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරද්දී ඇස් දෙකෙන් කඳුළු කඩා හැළෙන්නට විය. මඳ වේලාවක් වෙනතක බලා සිටි ඔහු දිග හුස්මක් හෙළා අත් දෙකෙන් දෑස පිසදා තමන්ගේ අත්දැකීම් විස්තර කරන්නට විය.

''මගේ බිරිය ගින්නකට අහුවෙලා පිළිස්සිලා හිටියේ. පුංචි දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙයාට දරුවන්ට කිරි ටිකවත් දෙන්න බැහැ. ඇඟ පිච්චිලා මම පිටි කිරි දීලා තමයි හදන්නේ. දවසේ වැඩ කරන මුදල මදි ප්‍රතිකාරවලටයි දරුවන්ට වියදම් කරන්නයි. පස්සේ මම අපි ඉන්න ඉඩමයි ගේයි පොඩි ගාණකට උගසට තියලා තිබුණ. මේක රුපියල් පනස් දහසකට සින්න වෙන්න ගියා. මම කල්පනා කළා. උන්හිටි තැන් අහිමි වෙන තත්ත්වයට පත්වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ තමයි වකුගඩු ගන්න උකුවෙල නානා මට කතා කළේ.

මැරෙනකම් උදව් කරයි; තවත් වකුගඩු දීපු නාම ලේඛනයක් පෙන්වලා ඒ අය සතුටෙන් මුදල් හම්බ කරගෙන අද ජීවත් වෙනවා කියලා පැහැදිලි කරලා දුන්නා. අපේ බිරියට කියලා මම එකපයින්ම කැමැති වුණා; ලක්ෂ හතරක මුදලක් හම්බවෙන නිසා.

වාහනයක් ඇවිල්ලා මාව කොළඹ එක්ක ගෙන ගියා. පරීක්ෂණ කටයුතු සිද්ධ කළා. රෝහලට අරන් ගිහින් සැත්කම කරලා මගේ වකුගඩුව අරගෙන තිබුණා. ඒ වෙලාවෙම බිරියගේ නමට රුපියල් ලක්ෂ හතරක මුදල් ගෙව්වා කියලා මාව දැනුම්වත් කළා. රෝහලේ ටිකට් කැපුවට පස්සේ වකුගඩුව ගත්ත මහත්තුරුන්ගේ පුත්තු මාව පිටකොටුවේ බෝධිය ළඟට ගෙනත් දැම්මා තුවාල පිටින්ම. එන්න තියා හිතාගන්නවත් බැහැ. මම පුදුම වේදනාවකින් හිටියේ. එයාලා වාහනෙන් මාව දාලා යන්න ගියා. මම බස් එකේ නැගලා මාතලේට ආවා. ආපු දවසෙ ඉඳල වේදනාව නිමා කරගන්න බැරි වුණා. මාස ගණනාවක් යනකොට වකුගඩුව ගන්න කපපු තැන තුවාල වෙලා පැසවලා සැරව ගලන්න ගත්තා. නෝනට දීලා තිබුණු රුපියල් ලක්ෂ හතරෙන් බාගයක්ම තුවාල හොඳ කරගන්න වියදම් කළා. තාමත් යටි බඩ කැක්කුම අල්ලනවා; මොනවද කියලා තේරෙන්නේ නෑ, ඇවිදගන්න බෑ බරක් උස්සන්න බෑ; හයියෙන් හුස්ම ගන්න බෑ; බෙහෙත් ගන්න නැවතත් අපි ඉඩමයි ගේයි රුපියල් 50,000කට උගස් තියලා තියෙන්නෙ. ඒකත් දැන් සින්න වෙන්න යනවා. අවසානයේදී මට සිද්ධ වුණේ උකුවෙල මිනිස්සු ගොඩකටම සිද්ධවෙච්ච දේම තමයි. වකුගඩු දුන්නා කියලා ගමේ මිනිස්සු දැන් අපි දිහා බලන්නෙත් නපුරු විදිහට තැරැව්කාරයෝ නෑ; වකුගඩුව ගත්ත මිනිස්සු නෑ. අවසානයේදී අපි අසරණ වෙලා ඉන්නේ."

වකුගඩුව විකුණා දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන උකුවෙල ප්‍රදේශයේ එන්. එම්. විජේසිරි අප සමඟ කියා සිටියේ තමන් මේ වන විට දැඩි ආබාධයට ලක්ව සිටින බවය. තමන් සහ බිරිය දරුවා ඇතුළු පිරිස ජීවත් කරවීම සඳහාත් පුණ්‍ය කර්මයක් කරගැනීම සඳහාත් තමන් මුදලට වකුගඩුව ලබාදීමට කැමති වූ බව ය.

එහෙත් මෙතරම් දෙයක් ඇතිවේ යැයි නොසිතූ බවත් වකුගඩුව ලබාගත් අය ජීවිත කාලයම තමන්ව සහ පවුලේ අය රැකගන්නා බවට පොරොන්දු වෙද්දී පුදුමාකාර සතුටක් දැනුණ බව සඳහන් කළේ එක දිගට කතා කරගැනීමට හෝ නොහැකිව ය. විජේසිරිගේ නිවසේ බඩු මුට්ටුවලට වඩා වැඩියෙන් ගොඩගසා ඇත්තේ ඔහු බොන බෙහෙත්වල ඉතිරි කොටස්ය. නිසි අවබෝධයක් නැති බිරිය මේ වන විට දැඩි හිසේ කැක්කුමකට ලක්ව මානසික පීඩනයකට පත්ව සිටින බව ඇය අප සමඟ සඳහන් කළාය.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුවන මිනිස් අවයව ජාවාරම ජයටම රහසිගතව වසර ගණනාවක සිට සිදුවන බවත් කිසිදු රාජ්‍ය නිලධාරියකු වගකිව යුතු අයෙකු සොයා බැලීමක් සිදු නොවන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වකුගඩු හෝ ශරීරයේ අවයව පරිත්‍යාග කිරීම් සඳහා නීති පද්ධතියක් පවතී. එහෙත් කිසිදු සොයා බැලීමකින් තොරව අවයව අලෙවි කිරීම ජාවාරමක් ලෙස වතු ආශ්‍රිත ජනතාව ගිලගෙන හමාරය.

මේ මොහොත වනවිටත් තැරැව්කරුවෝ වතු ආශ්‍රිත දුප්පතුන් සොයා වකුගඩු ගැලවීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බව උකුවෙල ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. අපට මේ ගමන සඳහා මඟ පෙන්වීම් කළ නම කීමට අකමැති තරුණයා කියා සිටියේ තම පවුලේ පුද්ගලයන් දෙදෙනකු වකුගඩු ජාවාරමට හසුවී මේ වනවිට එක් අයකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව ය. අනෙක් කෙනා ද කිසිදු බර වැඩක් කර ගැනීමට නොහැකිව පවුල් ආරවුල්වලට පමණක් තුඩු දී මත් වතුරට ඇබ්බැහි වූවන් බවට පත්වී ඇති බවය.

උකුවෙල ප්‍රදේශයේ සෑම ගම්මානයකම දිළිඳු වතු ජනතාවගේ පිරිමි අය මෙන්ම කාන්තාවන් ද වකුගඩු අලෙවියට ගොදුරු වූවන් බවත්, තැරැව්කරුවන් පවුල් පිටින් සතුටින් මාළිගාවල රැඳී සිටින බවත් එහෙත් කිසිදු හව්හරණක් නැතිව කෙනකු ජීවත් කරවීම සඳහා තම වකුගඩුව ලබා දුන් මිනිසුන් ඇවිදින මළකඳන් බවට පත්ව දවසින් දවස ජීවිතය යදින මිනිසුන් බවට පත්වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වකුගඩු අංශයේ වෛද්‍ය මහේෂ් මහවත්තගෙන් වකුගඩු බද්ධය සඳහා වකුගඩු ලබාගන්නා ක්‍රමවේදය පිළිබඳව අප විමසීමක් කළෙමු.

"වකුගඩු රෝගීන්ගේ පරීක්ෂණ අනුව බද්ධ කරලා තව දුරටත් ජීවත් කරවන්න හැකියාව ඇති රෝගීන්ට වකුගඩු බද්ධය සදහා අනුමත කරනවා. ඒ අය පවුලේ ඥාතීන්ගෙන් හෝ හිතවතුන්ගෙන් වකුගඩුවක් සොයාගන්න ඕන. ඔවුන්ට වකුගඩුව ලබා දෙන්න කැමති අයගේ ලියකියවිලි වෛද්‍යවරුන්ට බාර දුන්නහම ඒ අයගේ සභාවක් තියනවා. ඒ සභාවේ දී ගන්න පිරිස සහ දෙන පිරිස හඳුනාගැනීම සිදු කරනවා. ඉන් පස්සේ තමයි වකුගඩු පරීක්ෂණ සියල්ල සිදු කරලා සැත්කමට දින ලබා දෙන්නේ. හැබැයි වකුගඩු අලෙවි කිරීම ජාවාරම් කිරීම ආදී කටයුතු වෛද්‍යවරුන් හැටියට අනුමත කරන්නේ නැහැ. අපි ඉතා සාධාරණව ජීවිත දෙකම බේරගන්න ක්‍රමයට තමයි මේ දේ සිදු කරන්නේ. එනිසා විවිධ වැරදි මාර්ගවල ගමන් කරන්න එපා; එවැනි දෙයක් තියෙනවා‍ෙනම් රජයේ රෝහලකට ඇවිල්ලා වකුගඩු අංශයේ ඉහළ වෛද්‍ය්වරුන් හමුවෙන්න කියලයි අපි මහජනතාවට දැනුම් දෙන්නේ."

 

Comments