
ඒ ගෑනු කෙනා එක්ක කැනඩාවේ ජීවත් වෙන්න එන්න කිවුවා.
ඒ කාලේ මට බස් එකේ යන්න සල්ලි තිබ්බේ නැහැ , එයා තමයි මට වියදම් කළේ
මම ගායකයෙක් වුණේ මගේ වයිෆ්ගේ ආශීර්වාදය නිසයි
දි මංක වෙල්ලාලගේ කියූ සැණින්ම කාගෙත් මතකයට එන්නේ විරහ ගීත එහෙම නැතිනම් අඬන ගී ගයන ගායකයෙක් කියලා. නමුත් ඔහුට ඕනෑම පරාසයක ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා. ප්‍රසංග වේදිකාවේ නිතරම දකින ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික තොරතුරු කතා කරන්න රසදුන අපි හිතුවා. ඒ නිසාම මේ කතාබහට ඔහුව මේ විදිහට එකතු කරගත්තා.
කවුරුත් කියන්නේ ඔබට අඬන ගී ගයන දිමංක කියලා නේද ..?
එහෙම කියන අයත් ඉන්නවා. ඒ වගේම මට වෙන ඕනෑම ශෛලියකට ගයන්න පුළුවන් කියලා විශ්වාස කරන අයත් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදි වෙනස්ම වැඩ ටිකක් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම කොන්සට් එකක් කරන්නත් ප්ලෑන් කරලා තියෙනවා.
දිමංක විරහා ගීත වැඩිපුර ගයන්නේ ඉල්ලුමටද..?
ඇත්තටම මම ආසයි විරහ ගීත ගයන්න. ආසාවට තමයි කියන්නේ. නමුත් වැඩි ඉල්ලුමත් ඒවට තමයි. ඒ වගේම මට වෙන ආරක ගීත කියන්න කියලා ඉල්ලීම් කරන රසිකයන් ඉන්නවා.
සංගීත ප්‍රසංගවලට ආරාධනා තවම නොඅඩුව ලැබෙනවා නේද ..?
එදා වගේම අදටත් ආරාධනා ලැබෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ ඒ නිසා. රසිකයින්ට පිං සිද්ධ වෙන්න කිවුවොත් හරි. ළඟදි ඔස්ට්‍රේලියා ටුවර් එකකට ගියා. ලබන අවුරුද්දේ එංගලන්ත ටුවර් එකකට ආරාධනා ආවා. දකුණු කොරියා, ඩුබායි වගේ නම් ගොඩක් ෂෝවලට ආරාධනා ලැබෙනවා.
ඉස්සර බස් එකේවත් යන්න අතේ සල්ලි නොතිබ්බ දිමංක නොහිතපු විදිහට සැපසම්පත් භුක්ති විඳිනවා කියලා හිතෙද්දි දැන් මොකද හිතන්නේ ..?
හරිම සතුටුයි. ඒක නිහතමානී සතුටක්. ඉස්සර හිටියට වඩා දැන් සැපට ඉන්නවා. අවශ්‍ය සියල්ල සපුරාගන්න මුදල් තියෙනවා. නමුත් මුල අමතක කරලා නැහැ. පුළුවන් විදිහට නැති බැරි කෙනකුට උදවු කරනවා. ඇත්තටම කිවුවොත් මට බස් එකේ වත් ඉස්සර යන්න සල්ලි නොතිබ්බ දවස් තිබ්බා.
එතකොට ඔබට මූල්‍ය පැත්තෙන් උදවු කරේ පෙම්වතිය නේද, බස් එකේ ඇති වුණු ප්‍රේමය ගැන ලස්සන මතකයක් ඇති..?
ඔව්. එයාගේ නම චින්තියා සීන්ස්. එයා බර්ගර් ජාතික කෙනෙක්. එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් එයා නැටුම් ප්‍රැක්ටිස් යන්න මම ගිය බස් එකට නැග්ගේ. ඒ වෙලාවේ තමයි මට එයාට හිත යන්නේ. එයා ආවේ යාළුවෙක් එක්ක. එයා බැස්ස තැන මතක තියාගෙන එයා ආයේ එනකල් පැය දෙකක් මම බලාගෙන හිටියා. එයා අදටත් එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි හරි නිහඬ කෙනෙක්. ඉතිං එයා පස්සෙන් ගිහිං මම කතා කරා. ටිකට් එකේ තමයි මගේ නම්බර් එක ලියලා දුන්නේ. නම්බර් එක මතකයේ තිබ්බෙත් නැහැ. මතක් කර කර ලියලා දුන්නා.
ඇයගෙන් ඇමතුමක් ආවද..?
ඔව්. එයාගේ ආච්චිගේ ෆෝන් එකෙන් එයා කතා කරා. එයාගේ පවුලේ කෙල්ලො ගොඩක්. ඒ නිසා එයාගේ ගෙදරින් කැමැති වුණේ නැහැ මම එනවා යනවට. අපි ආදරේ කරනවා කියලා දන්නේ නැහැ යාළුවෝ කියලා කිවුවේ. ආච්චි කිවුවා යාළුවෝ වුණාට කමක් නැහැ වෙන සම්බන්ධකම් බැහැ කියලා. අනිත් එක මම රැවුල් වවලා කොණ්ඩේ වවලා කරාබු දාලා නියම රස්තියාදුකාර පෙනුමෙන් හිටියේ. ඒකට කොහොමත් කැමැති නැහැ. අන්තිමට අපි 2014 විවාහ වුණා. 2010 අපි ආදරේ කරන්න පටන් ගන්නේ.
ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි විවාහ වෙන්නේ. එයා තමයි මට බස් එකේ යන්නත් සල්ලි දුන්නේ. මම මානසිකව වැටිලා ඉද්දි මම අඬනවා. එයත් මාත් එක්ක අඬනවා. එයා නිසා තමයි අද මම යම් තැනක ඉන්නවා නම් ඉන්නේ. එයාට පිංසිද්ධ වෙන්න කිවුවොත් හරි.
මාව මගේ ගායක හීනෙට ගෙනාවේ එයා. සතපහක් අතේ නැති කාලේ එයා මට ආදරේ කළේ අවංකව. දැන් අපිට පොඩි දුවක් ඉන්නවා. එනාලියා, වයස අවුරුදු තුනයි මාස අටයි. අපි තුන් දෙනා සතුටින් ජීවත් වෙනවා.
ඔබේ පළමු නිර්මාණය අතිශය ජනප්‍රිය වෙනවා, ඒත් එක්කම ඔබ විවාහ වෙන්නේ. නමුත් ඔබ විවාහකයෙක් කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ
කරන්නේ මෑතකදී ..?
මම ලොකුවට පවුලේ ෆොටෝස් ෆේස්බුක් දැම්මේ නැහැ . අවුරුදු කිහිපයකට කලින් ෆොටෝස් දැම්මා. එහෙම නොකර හිටියේ අවිවාහකයි කියලා පෙන්නන්නවත්, ජනප්‍රියත්වය අඩු වෙයි කියලා නෙමෙයි. 2013 සිංදුව රිලිස් කරලා 2014 අපි විවාහ වුණා. ඊට පස්සේ තමයි ගොඩක් මම ගැන කතා කළේ. මට වැඩ ආවේ. මම ගායකයෙක් වුණේ මගේ වයිෆ්ගේ ආශිර්වාදය නිසයි. ඒ නිසා එයාව මට හංගගෙන ජීවත් වෙන්න වුවමනාවක් නැහැ
ජනප්‍රිය තරුවක් වුණාම ජනප්‍රියත්වයට මුදලට තරුණ අය රැවටෙනවා, ඒ වගේ බිරිය ඉද්දි ආදර කතාවල පැටලිලා නැද්ද ..?
අපි හිතමු මගේ බිරිය මට කලින් මිය ගියා කියලා. ඒත් මම වෙන කෙනකුට ආදරේ කරන්නේ නැහැ විවාහ වෙන්නේ නැහැ. එයා මට හොඳ බිරියක් මම හරිම මුරණ්ඩු චරිතයක් මාත් එක්ක කිසිම කෙනකුට ජීවත් වෙන්න බැහැ. එයාට විතරයි පුළුවන් දශමයක් හරි මාව කන්ට්‍රෝල් කරන්න මම හැදුණා නම් හැදුණේ එයා නිසා. ඒතරම් මාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි. හිතෙන දේ කරනවා. හිතුණු හිතුණු දේ කරා. පුදුම ඉවසීමක් ඇයට තියෙන්නේ . සියල්ල නිහඬව විඳ දරාගත්තා. මම වැරැදි වැඩ කරපු කෙනෙක්. දැන දැනම වැරැදි කරා. එයාව රිදෙව්වා. දැන් හිතෙනවා එහෙම කරේ අපරාදේ කියලා. එහෙම නොකර ඉන්න තිබ්බා කියලා.
කොයි මොහොතක වත් ඈ උරන වෙලා රණ්ඩු කරලා නැද්ද ..?
වැරැදි කරපු මම තමයි වැරැදි වහ ගන්න රණ්ඩු කරේ. ඇය නිහඬව බලාගෙන හිටියා විතරයි.
හිතුමතේ ගෙවපු ජීවිතේ සුන්දර විදිහට දකිද්දී විවාහ ජීවිතේ එපා වුණේ නැද්ද ..?
විවාහ ජීවිතේ එපා වෙන විදිහට එයා ජීවත් වෙලා නැහැ අද වෙනකල්. මම ආසයි ඇයත් එක්ක ජීවත් වෙන්න. ඇය තරම් මට වෙන ගැහැනියක් වටින්නේ නැහැ. ආදරේ කරන්නෙත් නැහැ. එහෙම කරන්නත් බැහැ.
දිමංක විවාහකයෙක් කියලා දැනගෙනත් ආදරේ ප්‍රකාශ කරන අය ඉන්නවද..?
ඉන්නවා. ටික දවසකට කලින් කැනඩාවේ ඉන්න කෙනෙක් කෝල් කරා. මම හිතන්නේ එයා හිතලා තියෙනවා මම සෙපරේට් කියලා. බිරිඳගෙන් ඈත් වෙලා ඉන්නේ කියලා. එයා මට වියදම් කරන්නම් කිව්වා කැනඩා එන්න කිවුවා. ටික කාලයක් හරි එයා එක්ක ජීවත් වෙන්න කිවුවා. මට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම යෝජනා කරන අය ඉන්නවා. ඒ මොන හේතුවක් නිසා ද කියන්න දන්නේ නැහැ.
දිමංක වෙල්ලාලගේ කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් ද, පෙට්ටි කඩේකින් කාලා පයින් ඇවිදලා ඕන කෙනකුගේ කරට අත දාලා කතා කරන්න පුළුවන් චරිතයක් ද..?
මම ලෝක සංචාර කරලා හොඳම හෝටල්වලින් කාපු බීපූ කෙනෙක්. ඒ වගේම පෙට්ටි කඩයක් ළඟ නතර වෙලා කෑමක් කාලා ප්ලේන්ටියක් බොන්න හිතුණොත් චරිතය මේන්ටේන් කරගෙන ඉන්නෙ නැහැ. ගිහිං කාලා එනවා. ළඟදි දවසක එහෙම පෙට්ටි කඩයක් ළඟ නතර වෙලා සුප් එකක් බිව්වා. ඒ කඩේ අක්කා ඇහුවා මල්ලි ඔයා දිමංක නේද ඔයා වගේ කෙනෙක් මේ කඩේට ආව එක කොච්චර ලොකු දෙයක්ද කියලා.
එතැන හිටපු පිරිමි ළමයෙක් රෝස් පාන් ගෙනත් සුප් එක්ක කන්න මට දුන්නා. මම කෑවා. මම එහෙම කෙනෙක්. ගොඩක් අය මට බණිනවා.
එහෙම එපා මෙහෙම ඉන්න කියලා. මට ඕන නිදහසේ ජීවත් වෙන්න. සුපිරි ජීවිත මේන්ටේන් කරන අය සරල ජීවිතේ රස දන්නේ නැහැ . මට එහෙම වෙන්න ඕන නැහැ.
දිමංක ට එහෙම නම් ගම, අම්මා, තාත්තා, අමතක වෙලත් නැතුව ඇති, මේ කතාව අවසන් කරන්න කලින් ඒ ගැන ත් කියමු..?
මාතර කියන්නේ අමතක කරන්න බැරි තැනක්. මගේ බිරිය මුණගැහෙන්නේ එහේදි.
ඒ වගේම මගේ අම්මා තාත්තාට පිං දෙන්න ඕන මාව මේ ලෝකෙට බිහි කරාට. එයාලා බිහි කරපු නිසයි මම මෙහෙම ඉන්නේ. එයාලා කොලඹ නතර වෙන්න එන්නේ නැහැ. ගමේ ජීවිතේ සැපයි කියලා ගමේම ඉන්නවා. ඒ නිසා නිතරම මම මාතර යනවා එයාලා බලන්න . මම හැදුණු වැඩුණු ජීවත් වුණු විදිහ මට මතකයි. ඒවා කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ.