
හිතුවක්කාර වුණු යෙනුකි තැන්පත් කරන්නේ බාබුගේ ආදරය
චරිතවලට අනුව මට ආදරවන්තියගෙ චරිත කරන්න සිදු වුණා
එකිනෙකට වෙනස් භූමිකා තුනක් ඔස්සේ එකම දිනක ඔබ හමුවට එන ඇය තවමත් පාසල් වියේ පසුවන ළා බාල යුවතියක්. වයසට වඩා මුහුකුරා ගිය රංගන හැකියාවක් ඇති ඇය මේ වනවිට බොහෝ ජනප්‍රිය චරිතයක්. ඇය නම් දසුනි
සෙනෙත්මා ය.
දසුනි කිව්වට නොදන්න ඕනම කෙනෙක් යෙනුකී කිව්වම දන්නවා නේද කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ඔව්. ගොඩක් අය දැන් කතා කරන්නේ යෙනුකි කියලා. හිරු නාලිකාවේ විකාශය වන අරුණ ජයවර්ධනගේ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ බාබුගේ පෙම්වතිය. පණ වගේ තිබුණු යාළුකමත් නැති කරගෙන හිතුවක්කාර වුණු යෙනුකි තැන්පත් කරන්නේ බාබුගේ ආදරය. හොඳ නරක දෙපැත්තම මුසු වුණු චරිතයක්. ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලැබෙන චරිතයක්.
නාලිකා තුනක එකිනෙකට වෙනස් චරිත තුනකින් ප්‍රේක්ෂකයා හමුවට එන ඔබ ගොඩක්ම කාර්යබහුල චරිතයක් වෙලා නේද?
රැල්ල වෙරළට ආදරෙයි සහ නීල පබළු ගොඩක් ජනප්‍රිය වුණු ටෙලි නාට්‍ය දෙකක්. යෙනුකි වගේම නීල පබළු හි අමායාත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳගත්තා. මහවිරු පණ්ඩු නාට්‍යයේ භූමි කුමරියගේ චරිතයත් වෙනස්ම අත්දැකීමක්. මේ දවස්වල ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන ප්‍රදීප් ධර්මදාසගේ දිව්‍යාදරී කියන්නේ අනෙක් ඒවට වඩා ටිකක් වෙනස් නාට්‍යයක්. ඒත් මට ඒක ගොඩක් සමීප අත්දැකීමක්. මෙතෙක් මට ලැබුණේ මගේ වයසට වඩා මුහුකුරා ගිය චරිත. මේක මගේම වයසේ පසුවන ටීනේජර් කියන වයස් කාණ්ඩය ඉලක්ක කරගෙන හදපු නිර්මාණයක්. මේ නිර්මාණයේ දී මං මගේම හැඟීම්වලට පණ දෙනව වගේ හැඟීමක් දැනුණේ.
දසුනි තාමත් පාසල් වියේ පසුවන ළා බාල යුවතියක්. පොඩි වයසෙදිම කොහොමද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?
මං කලාව කියන එක අඳුන ගන්නේ වයස අවුරුදු තුනහමාරක් වගේ කුඩා අවධියේදී. ඒ දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ සීසන් 4 තරගයේ දී. අවසන් 5 දෙනා අතරට එන්න හැකියාව ලැබුණත් හදිසියේ වුණු අනතුරක් නිසා තරගයෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඊට පස්සේ සීසන් 5ට දෙරණෙන්ම මට ආරාධනා කළා. එහිදීත් අවසන් 5 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ පුංචි කුස්සිය, පුංචි සත්සර වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. සමනල සිරස වැඩසටහනත් ඉදිරිපත් කළා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා කලාවෙන් ඈත් වෙන්න වුණා. තාත්තගේ කැමැත්තට සුපර් ඩාන්සර් වැඩසටහනට ඉදිරිපත් වුණේ ඊටත් පස්සේ. ඒක තමයි මට රංගනයට ආසාවක් ඇති කළේ. මේ ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න ටිකක් අමාරුයි. ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා.
ඔබ මේ වනවිට සිනමාව පැත්තටත් යොමු වෙලා කියලා ආරංචියි. කොහොමද ඒ අත්දැකීම?
මේ වෙද්දි චිත්‍රපට තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. තවමත් ඒවා තිරගත වුණේ නැහැ. රයිඩර්, විලන් වගේම සනත් ගුණතිලකයන්ගේ බඹසර දැහැන මට ලොකු අභියෝගයක් වුණු චිත්‍රපටියක්. ඒකෙ ගැමි බිරියකගේ චරිතයක්. චීත්ත ගවුම් ඇඳගෙන, කොණ්ඩ ගෙඩියක් ගහගෙන, ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. පිටිසර ගමක ගෙදරක අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නෙ. ඒ දෙන්නා පිට ගමකින් බිරියන් දෙන්නෙක් ගේනවා. ඒ එක බිරියක් තමයි මම. හරිම සතුටින් ඉන්න ඒ පුංචි පවුලට නගරෙන් ආපු ආගන්තුකයෙක් නිසා ඇති වන ගැටලුකාරී තත්ත්වය තමයි මේ කතාව හරහා ගෙන එන්නේ. ඒ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. ඒත් සනත් සර් මට ඒ චරිතය ගොඩනඟාගන්න ගොඩක් උදවු කළා. ඔහු මට මුලින්ම හමු වුණේ රජිත හිරාන්ගේ රයිඩර් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේදිත් ඔහු මාව ෆලෝ කරලා තිබුණා. ඒ දවස්වල තමයි මේකට ආරාධනා ලැබුණේ. කලින් ඉඳලම ඔහු මාව දැනුම්වත් කළා. ගැමි කාන්තාවක් කොහොමද මිරිස් ගලේ මිරිස් අඹරන්නේ, වංගෙඩියෙන් කොටන්නේ, ඒ විතරක් නොවෙයි කොණ්ඩ ගෙඩිය ගහන්නේ කියලා. අම්මගෙන් අහගෙන, පොත්පත් කියවලා, චිත්‍රපටි බලලා දැනුම්වත් වෙන්න කිව්වා. චිත්‍රපටි තුනේම මට ලැබුණෙ ප්‍රධාන චරිත.
දසුනි තවමත් ළා බාල තරුණියක්. ටෙලි නාට්‍යවල ඔබට ලැබුණෙම ආදරවන්තියගෙ චරිතය. ඒ අත්දැකීම දැනුණෙ කොහොම ද?
දැන් මගේ වයස අවුරුදු දහ අටයි. බොහෝ අය දන්නෙ නැහැ මං මෙච්චර පොඩියි කියලා. ඒත් මට රඟපාන්න ලැබුණ චරිතවලට අනුව ආදරවන්තියගෙ චරිත කරන්න සිදු වුණා. ඒ කොහොම වුණත් මට තාමත් ආදරය ගැන අත්දැකීම් නැහැ.