පම්පෝරියෙන් හෙළි වූ බොරැල්ලේ අබිරහස් මිනීමැරුම | සිළුමිණ

පම්පෝරියෙන් හෙළි වූ බොරැල්ලේ අබිරහස් මිනීමැරුම

 

කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයට අයත් බොරැල්ල පොලිසිය කොළඹ නගරයේ දෛනික රාජකාරි බහුලම පොලිස් ස්ථානයකි. මත්කුඩු ජාවාරම්කාරයන්, පාතාල අපරාධකාරයන් මෙන්ම කුලී ඝාතකයන් බහුල ප්‍රදේශයක් ලෙසද බොරැල්ල පොලිස් වසම අතීතයේ සිට ප්‍රකටය. එහෙත් වර්තමානයේ එම තත්ත්වයේ යම්කිසි වෙනසක් දක්නට තිබෙන ආකාරයකි.

බොරැල්ල පොලිසියේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්. රන්ජන සමරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න ඇතුළු නිලධාරි කණ්ඩායමක් පසුගිය 13 වැනිදා බොරැල්ල, සහස්පුර මහල් නිවාසවලට ගමන් කරන මාර්ගයේ ‘හල්ගහකුඹුරේදී‘ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේ ලද තොරතුරක් මතය. ඒ 2019 වසරේ පෙබරවාරි 22 වැනිදා බොරැල්ල, සීවලි පටුමඟේ නිවෙසක සිටි විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ ඝාතනයට සැක පිටයි.

මීට වසර තුනකට පමණ පෙරදී සිදුවූ එම ඝාතනයේ සුලමුල මෙන්ම සැකකරු කොටුකර ගත් ආකාරයද බොරැල්ල පොලිසියෙන් වාර්තා වන්නේ මෙලෙසිනි.

දිනය 2019 වසරේ පෙබරවාරි 22 වැනිදාය. එවකට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගොඩමුන්නය. හෙතෙම වර්තමානයේ ත්‍රිකුණාමලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස රාජකාරි කරයි. එවකට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළේ වත්මනෙහි කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙහි සේවය කරන උපපොලිස් පරීක්ෂක එල්. ආර්. වීරතුංගය. 2019 වසරේ පෙබරවාරි 22 වැනිදා හරියටම දහවල් 2.02ට මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන ඇමැතුමක් බොරැල්ල පොලිසියට යොමු කෙරිණි.

“සර්... සීවලි පටුමගේ අංක 130 ගෙදර පදිංචිවෙලා ඉන්න ‘ලාල් මහත්තයා‘ ලේ පෙරාගෙන ගේ ඇතුළේ වැටිලා ඉන්නවා... කවුරුහරි පිහියෙන් ඇනලා වගේ... දොරත් ඇරලා දාලා තියෙන්නේ...“ යැයි එම පණිවුඩයෙන් සැල කැරිණි.

එම 119 හදිසි දුරකතන ඇමැතුම දී තිබුණේ ලාල්ගේ නිවෙස ඉදිරිපිට පිහිටි නිවෙසේ වාසය කරන කාන්තාවක විසිනි. එම කාන්තාව නිවෙස ඉදිරිපිටට පැමිණ සිටිද්දී ලාල්ගේ නිවෙසේ දොර විවෘත කර තිබුණත් කිසිවකු හෝ පෙනෙන්නට නොසිටි හෙයින් ඇය විපරම් කර බලද්දී ලාල් ලේ පෙරාගෙන වැටී සිටින ආකාරය දැක තිබුණාය. අනතුරුව ඇය ක්ෂණයෙන් ඇමැතුමක් ගන්නේ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයටයි.

බොරැල්ල පොලිසියට ලද ඇමැතුමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ එවක බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගොඩමුන්නගේ මෙහෙයවීමෙන් එවක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එල්. ආර්. වීරතුංග සැරයන් 14704 ආර්. එම්. එස්. ඩී. හේරත්, කොස්තාපල්වරුන් වන 72025 කුමාර, 66079 දිසානායක යන නිලධාරින් සමඟ ලාල් ඝාතනය කර තිබූ අදාළ නිවෙස කරා ගියහ.

පොලිස් නිලධාරින් නිවෙසට යන විට ලාල් නිවෙස තුළ මුළුතැන්ගේ ශීතකරණය අසල වැටී සිටියේ ලේ විලකය. ඒ වන විටද ඔහු මෙලොව හැර ගොස් සිටියේය. පොලිස් නිලධාරින් පරීක්ෂා කර බැලුවේ නිවෙසේ සෙසු පුද්ගලයන් කොහිද යන්නයි. එහිදී පොලිසියට සැල වූයේ ලාල් තනිව නිවෙසේ සිටියදී ඔහුගේ බිරිය සහ දූදරුවන් වන්දනා ගමනක් ගොස් ඇති බවයි.

එලෙස නිවෙස තුළම ඝාතනය කැර සිටියේ 62 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ලාල්ය. ඔහු යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ බලලත් නිලධාරියෙකි. ඝාතනය වන විට හෙතෙම විශ්‍රාම සුවයෙන් පසු වූයේය. ලාල්ට දරුවන් දෙදෙනෙකි. පුතු නාවික හමුදාවේ නිලධාරියෙකි. දියණියද විවාහ වී සිටියේ යුද හමුදා විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සමඟිනි.

කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ලාල් ඝාතනය කරන්නට ඇති බවට සැක කැරිණි. ඔහුගේ සිරුර පිළිබඳ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එවක බොරැල්ල පොලිස් වසම බාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ලාල්ගේ සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩබ්ලිව්. ඒ. ටී. ලක්මාලි පරීක්ෂාවට ලක්කළාය.

අනතුරුව මළසිරුර කොළඹ ජාතික රෝහල කරා යොමු කෙරුණේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. ඒ අතරේ ඝාතනය සිදුවූ ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් (සොකෝ) ඇඟිලි සලකුණු නිලධාරින් මෙන්ම පොලිස් නිල සුනඛ පරීක්ෂාවක්ද සිදු කෙරිණි. සොකෝ නිලධාරින් සිදු කළ සියුම් විමර්ශනවලදී ලාල්ගේ සිරුර අවට තිබී රුධිර සාම්පල් 5ක් සොයා ගැනිණි. ඊට අමතරව නිවෙසේ නාන කාමරයේ තිබි ලාල් පැලඳ සිටි රන් මාලයේ ‘ගාංචුව‘ද සොයා ගැනිමට සොකෝ නිලධාරින්ට හැකි විය. අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඩබ්ලිව්. ඒ. ටී. ලක්මාලි සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ ලාල්ට සිදු කළ ඇනුම් තුවාල හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිරය ගමන් කිරීම නිසා ඔහුගේ මරණය සිදු වි ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වි තිබුණේ ලාල්ගේ මුළු ශරීරය පුරා පිහි පහර විස්සකට අධික සංඛ්‍යාවක් තිබූ බවයි.

ඒ සමඟම තීන්දු කෙරුණේ ලාල්ගේ මරණය ඝාතනයක් බවටයි. පසුව ලාල්ගේ අබිරහස් ඝාතනය පිළිබඳව බොරැල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කළේය. එහිදී සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි දීමට ඉදිරිපත් වුවත් පසුව ඔවුන් දෙදෙනා පොලිසියට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර තිබුණේ ඝාතකයන්ට බියෙනි.

එසේම ලාල්ගේ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ ලාල් ගෙල බැඳ සිටි රන් මාලය සොරාගෙන ගොස් ඇති බවයි. ඒ අනුව පොලිසිය සැක කරන්නට වූයේ ලාල් ඝාතනය කරන්නට ඇත්තේ නිවෙසට පැන දේපළ සොරා ගන්නට ආ පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් බවටයි.

බොරැල්ල පොලිසියේ විමර්ශන එලෙස සිදු වෙද්දී කාලයද කෙමෙන් ගෙවී ගියේය.

අනතුරුව කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීමෙන් මේ අබිරහස් ඝාතනයේ විමර්ශනද ඉබි ගමනේ සිදු විය. ඒ අතරේ බොරැල්ල පොලිසියේ ප්‍රධාන නිලධාරින් ද ස්ථාන මාරු ලැබ ගොස් සිටියේය. පසුව ලාල්ගේ ඝාතනය පිළිබඳ කිසිම හෝඩුවාවක් නොමැතිව කාලයක් ගත විය. එහෙත් බොරැල්ල පොලිසියේ නිලධරයෝ අපරාධකාරයන් පිළිබඳ නිතර ඇස ගසාගෙන සිටියහ.

මීට සති කීපයකට පෙර දිනෙක බොරැල්ල හල්ගහකුඹුර, බේස්ලයින් මාවතේ පදිංචි 32 හැවිරිදි චලන බුද්ධික තිසේරා නමැත්තා මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියේය. ඔහු කට මැත දොඩවන්නෙක් වන අතර ලියාපදිංචි අපරාධකරුවෙක් හෙවත් අයිආර්සී කාරයෙකි. එසේම දැඩි සේ මත්ද්‍රව්‍යවලට ලොල් වූවෙකි. අවිවාහක පුද්ගලයකු වන චලන බුද්ධිකගේ බාල සහෝදරයාද ඉකුත් දා ත්‍රිරෝද රථ සොරකමකට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. චලන මෙන්ම සහෝදරයාද ප්‍රදේශයේ නම ගිය සොරුන්ය.

චලන පසුගිය දිනෙක මිතුරන් පිරිසක් සමඟ මෙසේ ‘සෙට්‘ වූයේ බොරැල්ල ටීවිස්ස වත්තේ කිසියම් තැනකදීය. පිරිස මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් සප්පායම් වෙමින් ආගිය තොරතුරු කතා කරමින් පසු වූවේය. එදින සුපුරුදු ලෙස චලන පම්පෝරියක් ඇද බාන්නට වූයේය.

“අඩෝ උඹලා දන්නෙ නෑනේ... මං මෙහෙම හිටියට හොඳ වැඩකාරයෙක්... මං ගහපු ‘ගේමක්‘ තාම කාටවත් අල්ලගන්න බැරිවුණා...“ යැයි පවසමින් බුද්ධික එසේ ‘පම්පෝරි‘ ගසන්නට වූයේ මීට කලකට පෙර එනම් 2019 පෙබරවාරි මස 22 වැනිදා සිදුකළ ඝාතනයක් ගැනය. ඒ අනුව ඔහු තම හිතමිතුරන් සමඟ එදින සිදුකළ ඝාතනයේ සියලු තතු අග සිට මුලටම දිග හැරියේ උජාරුවෙන් මෙනි.

එහෙත් බුද්ධිකට වැරදුණේ ඒ පම්පෝරියයි.

“අඩෝ බුද්ධිකයා... උඹ මාර වැඩකාරයෙක්නේ... කාටවත්ව බැරි වුණානේ උඹව අල්ලගන්න...“

මිතුරාද බුද්ධිකව ‘අප්‘ කළේ එලෙස පවසමිනි. එලෙස බුද්ධික සිදුකළ පම්පෝරියෙන් පසක් වන්නේ අපරාධයක් කළහොත් කිසිදා වසන්ව සිටිය නොහැකි බවයි.

ඉකුත් දිනෙක බොරැල්ල පොලිසියේ දෛනික රාජකාරි අරඹමින් නිලධාරින් රාජකාරි බහුලව සිටි මොහොතකි. බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිරෝෂන් සොයා පැමිණියේ ඔහුගේ විශ්වාසවන්ත ඔත්තුකරුවෙකි. ඔහු අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඇමැතීය.

“සර්... පොඩි ඉනෆොමේෂන් එකක් හම්බ වුණා... හැබැයි පොඩ්ඩක් හොර රහසේ... සීක්‍රට්ව තමයි කියන්න ඕන...“ යැයි ඔහු කීය. ඒ අනුව තොරතුරුකරුගෙන් හොර රහසේ එම තොරතුර ලබා ගැනීමට අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

“සර්... මේක නියම ඉනෆොමේෂන් එකක්... මේක අද ඊයේ වෙච්ච එකක් නෙවෙයි... 2019 අවුරුද්දෙ වෙච්ච මර්ඩර් එකක්... ඒකේ ඇකිවුස්ලා අල්ලලා නෑ... සිද්ධිය වෙලා තියෙන්නේ 2019 පෙබරවාරි 22 වැනිදා සීවලී පාරේ ගෙදරක... ඒ ගෙදර හිටපු හමුදාවේ මෑන් කෙනෙක් මරලා තියෙන්නේ... ඒ මර්ඩර් එකට කවුරුත්ම තාම අහුවෙලා නෑ...“ ඔත්තුකරු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කීවේය.

“මොකද්ද මේ ගැන ලැබුණු ඉනෆොමේෂන් එක...“ උපපොලිස් පරීක්ෂක නිරෝෂ් විමසීය.

“ඔය මර්ඩර් එක කරපු එකා මේ ළඟදි ලොකු පම්පෝරියක් ගැහුවා තැනකදි... අපේ යාළුවෝ ටිකක් එක්ක... ඌ හිතාගෙන ඉන්නේ එකා කරපු ගේමට පොලිසියට අහුවුණේ නැති එක මහ වීර වැඩක් කියලා...ඒ මර්ඩර් එකේදි උගේ කකුලකුත් හොඳටම තුවාල වෙලා තියෙනවා... සර්...“ ඔත්තුකරු එලෙස කීවේය.

අනතුරුව එම තොරතුරුකරු පම්පෝරිය ගැසූ පුද්ගලයාගේ නම්-ගම් ඇතුළු සියලු තතු උපපොලිස් පරීක්ෂක නිරෝෂ් ඉදිරියේ හෙළි කළේය.

එම ඔත්තුකරුවාගෙන් ලද තොරතුර පිළිබඳ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ දැනුම්වත් කළේය. ඒ අතරේ එම ඝාතනය සිදුවන විටද බොරැල්ල පොලිසියේ රාජකාරි කරමින් එදින එම විමර්ශනවලට එක්වූ නිලධාරියෙක් වන 14704 සැරයන් ආර්. එම්. එස්. ඩී. හේරත් තවමත් බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කරමින් සිටී. එය විමර්ශන නිලධාරින්ට මහත් රුකුලක් වූයේ ඉදිරි විමර්ශන සඳහා එම ඝාතනයේ විමර්ශන පිළිබඳ අගමුල දන්නා නිලධාරියකු පොලිසිය තුළ සිටි හෙයිනි.

මේ තොරතුර පිළිබඳව සැණින් ක්‍රියාත්මක වෙමින් පසුගිය 13 වැනිදා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිරෝෂ් සහ සැරයන් 14704 හේරත් සහ කොස්තාපල් 49091 නිරෝෂන් යන නිලධාරින් ගමන් කළේ එම ‘පම්පෝරිය‘ ගැසූ චලන බුද්ධික තිසේරා නමැති අදාළ සැකකරු සොයාගෙනය. එහිදි බොරැල්ල, සහස්පුර මහල් නිවාසවලට ගමන් කරන මාර්ගයේ හල්ගහකුඹුරේදි මාර්ගය අසල සිටියදී චලන අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ එදින දහවල් කාලයේය.

බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙන ආ චලන බුද්ධිකගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.

“අනේ සර්... මං වැඳලා කියන්නම්... ඔය කියන මර්ඩර් එක මම කළේ නෑ සර්...“ ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ කීවේ බියේ ගැහෙමිනි.

චලන පොලිස් නිලධාරින්ට එසේ කීවද ඔත්තුකරුගේ හෙළිදරව්වට අනුව චලන එදින ‘පම්පෝරිය‘ ගසා තිබුණේ අදාළ ඝාතනයේ දින වකවානුද නිශ්චිත ලෙසටම සඳහන් කරමිනි. ඒ නිසාම ඔහුට නීතියෙන් ලේසියෙන්ම ගැලවී යා නොහැකිය.

“හරි... එහෙනම් අපි බලමු ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරලා... එදා මර්ඩර් එක වෙච්ච තැනින් සොයාගත් රුධිර සාම්පල් තමුන්ගේ ලේ සාම්පල් එක්ක ගැළපෙනවද කියලා...“ යැයි විමර්ශන නිලධරයෝ චලනට පැවැසූහ.

ප්‍රදේශයේ නම ගිය අයිආර්සී කාරයෙක් වන චලන බුද්ධිකගේ රුධිර සාම්පල් ගෙන ලාල්ගේ මළසිරුර තිබූ ස්ථානයේ විමර්ශන සිදුකළ සොකෝ නිලධාරින් සොයාගත් රුධිර සාම්පල් පහ සමඟ සැසඳීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂාවක් කිරීමට බොරැල්ල පොලිස් නිලධරයෝ අධිකරණයෙන් අවසර පැතූහ.

ඒ අනුව මේ වන විට එම ඩීඑන්ඒ පරීක්ෂාව සඳහා රුධිර සාම්පල් යොමුකොට ඇත. එහිදී ලාල්ගේ ඝාතනයේ නියම ඝාතකයා චලන බුද්ධිකද යන්න ඉදිරියේදි තිර ලෙසටම දැනගත හැකිය. අලුත්කඩේ අංක 2 අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර චලන බුද්ධික රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. ඒ අනුව සැකකාර චලන මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ පසු වේ.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ගයාන් හසන්ත මාරපනගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධනගේ අධීක්ෂණයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්. රංජන සමරසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න, සැරයන් 14704 හේරත් සහ කොස්තාපල් 49091 නිරෝෂන් යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

Comments