නවගමුවේ නිවෙසක ඇඳේ කොට්ටය ඇතුළෙන් මතු වූ නා රජු ඇල්ලු මෙහෙයුම | සිළුමිණ

නවගමුවේ නිවෙසක ඇඳේ කොට්ටය ඇතුළෙන් මතු වූ නා රජු ඇල්ලු මෙහෙයුම

දිනය පසුගිය 26 වැනි සඳුදාය. කඩුවෙල, නවගමුව, ඉහළ බෝමිරියේ නිවෙසකින් හබරකඩ පිහිටි භාසුරුගේ දුරකතන අංකයට ඇමතුමක් ලැබෙන්නේ නන්නාදුන දුරකතන අංකයකිනි. භාසුරු ප්‍රභාෂ්වරට තමන්ගේ දුරකතනයට නිරන්තරයෙන් ලැබෙන්නේ එවන් වූ නන්නාදුනන දුරකතන ඇමැතුම්ය. ඔහුට එය අරුමයක් වූයේ නැත. ඒ සියල්ල මුදල් අබිබවා කිසිවකුටත් පහසුවෙන් කළ නොහැකි අරුම පුදුම අසරණ වූ බැගෑපත් ඉල්ලීම්ය.

“ඔයා භාසුරු නේද? අපි ඔයාගේ දුරකතන අංකය සොයා ගත්තේ ෆේස්බුක් එකින්. අනේ අපිට ලොකු කරදරයක් වෙලා. ගෙදර ඇඳ උඩ නයෙක්........“ කාන්තාවකගේ එම ඇමතුම එදා භාසුරුට ලැබෙන විට රාත්‍රි 10 පසුවී දවසේ කටයුතු අහවර කරන මොහොතේය. ‘ නිවසේ නයෙක්, ගෙදර පොළඟෙක්’ භාසුරුට මෙවන් දුරකතන ඇමැතුම් අරුමයක් නොවීය. ලද සැණින් රැයක් දවාලක් නැතිව පිහිට වන්නට ද ඔහු සූදානම්ය. සුපුරුදු පරිදි මෙදින තොරතුරු දුන් කාන්තාවක ගෙන් භාසුරු විමසුවේ කාට හෝ කරදරයක් වී ඇද්ද යන්න පමණි. නමුත් වාසනාවකට ඇඳ මතට ආ මේ නයා කාටවත් හිරිහැරයක් කර නොතිබිණි.

“අනේ නැහැ. නයා කාමරයේ ඇඳ උඩම ඉන්නවා. පුළුවන් නම් ඉක්මනට එන්න. පාර අහගන්න මේ දුරකතන අංකයට කතා කරන්න...“ කාන්තාව තැති ගැන්මෙන් පවසමින් භාසුරුට දුරකතන අංකයක් ලබා දුන්නේ හැකි ඉක්මනින් නයා ඉවත් කිරීමේ කාර්යය භාසුරුට පවරමිනි.

සර්පයන් ඇල්ලීමේ අති දක්ෂයකු වූ භාසුරු කිසිදු සර්පයකුට බය නැත. භාසුරුගේ හැකියාව ඉදිරියේ ඒ නයි පවා මෙල්ල වෙති. භාසුරු ප්‍රභාෂ්වර පදිංචිව සිටින්නේ හබරකඩ සමූපාකාර මාවතේය. සමුපාකාර මාවතේ සිට නයා සිටි නිවසට යෑමට කිලෝ මීටර් 5-6 ක දුරක් භාසුරුට යෑමට සිදුවේ. මෙවන් අවස්ථාවක භාසුරු සිය සහයට එක්වන ත්‍රීරෝද රථයට නඟින්නේ නයා ඇල්ලීමේ හුක් එක, දමාගෙන ඒමට බෝතලයක් හා කූඩයක්ද රැගෙනය.

නවගමුව ඉහළ බෝමිරියේ පිහිටි මෙම නිවෙසේ හිමිකරු පදිංචිය කොළඹය. එහෙත් මේ නිවසේ පදිංචිව සිට ඇත්තේ ඔහුගේ වැඩිහිටියන් පමණි. මෙදින ඔහු තම නවගමුවේ පිහිටි නිවෙසට පැමිණෙන්නේ අත්‍යවශ්‍ය කරුණකටය. එදින රාත්‍රී ඔහු නිදා ගැනීමට කාමරයට ගොස් ඇත්තේ රාත්‍රී 10 ට පමණය. කිසිදු අමුත්තක් නොවූයෙන් කාමරයේ වූ විදුලි පහන් නිවා දමමින් නිවෙසේ හිමිකරු ඇඳට ගොස් සිය එක් කොට්ටයක් ඇඟට තුරුළු කරමින් නිදන්නට සැරසෙන විට කොට්ටය යටින් ඔහුට දැනුණේ වෙනදා නොවූ විරූ අමුත්තකි.

“මේ ගේ හොඳට පිරිසුදු තනි තට්ටුවේ ගෙයක්. වැඩිහිටියන් පමණයි මේ ගෙදර ඉදලා තියෙන්නේ. නිවසේ හිමිකරුගේ කාමරය දින කිහිපයක් වහලා තිබිලා තියෙන්නේ . මෙයා රෑ නිදියන්න එයාගේ කාමරයට ගිහින් ලයිට් එකත් නිවලා ඇඳට ගිහින්. කොට්ටයක් තුරු කරගෙන නිදාගන්න හදනකොට ඇඟ යටින් යමක් ඇදෙනවා වගේ දැනිලා තියෙනවා. පස්සේ සැකයට එයා ඇඳෙන් නැගිටලා ලයිට් එක දාලා. එතකොට බෙඩ්ශීට් එක යට හිටපු නයා ටිකෙන් ටික ඇඳ උඩට ඇවිත්. පස්සේ බය වෙලා කෑගහලා. කොහොම හරි මේ වෙලාවේ මගේ නොම්බරේ ඒ අය ගාව තිබිලා තියෙනවා“

භාසුරු අදාළ නිවෙසට යන විටත් අසල්වාසීන් විශාල පිරිසක් නිවෙසට එක්වී ඈත සිට අවධානයෙන් සිටියේ යහනේ සිටි නයා දෙසය. එහෙත් සර්පයා භාසුරු යන විටත් ඇඳ මතමය. එය නිවැසියන්ගේ වාසනාවක් විය.

“මම යනකොටත් නයා ඇඳ උඩට වෙලා ගෙදර අයට පෙණය පුප්ප ගෙන හිටියා. ගෙදර අය හිතා ගෙන හිටියේ ඌ දුර්වල නයෙක් කියලා. නමුත් මේ නයා අපිට හමුවන විශාලම නයෙක් නොවුණත්, අඩි තුනහාමාරක් පමණ දිග අවුරුදු 2-3 ක් වයසැති වැඩුණු නයෙක්. සාමාන්‍යයෙන් නයෙක් මේ විදියට ටික වෙලාවක් එක තැන ඉන්නවා. මම නයා අල්ලන්න ගියහම ඌ යන්න හැදුවා. පස්සේ හුක් එක පාවිච්චි කරලා නයා අල්ලලා බෝතලයකට දාලා ගෙදර ගෙනාවා“

භාසුරුට නයි ඇල්ලීම සරල භාෂාවෙන්ම කියතහොත් සිම්පල් වැඩක්ය. කොතරම් හැඩි දැඩි අයකු වුවත් නයකු සර්පයකු දුටු විට අඩියක් පස්සට තැබුවත් මේ තරුණයා සර්පයන් හමුවේ අඩියක් පස්සට තියන්නේ නැත. භාසුරු ප්‍රභාෂ්වර බොහෝ දෙනෙක් හඳුන්නනේ ඔහුගේ බස්නාහිර පළාත තුළ හදිසි අවස්ථාවකදි නයෙකු අල්ලන්නට ඇවැසි කෙනකුට විමසන්නට ඇති සිය ෆෙස්බුක් පිටුව හරහාය. එය එතරම්ම ජනප්‍රිය ය. යහනේ සිටි මේ නාගයා පිළිබඳ පසුවදා භාසුරු සිය ෆෙස්බුක් පිටුවේ ඡායාරූප සමඟ පළ කරන්නේ තවත් අයගේ දැන ගැනීමට උපදෙස් ද සමඟිනි. පසුවදා භාසුරුට දුරකතන ඇමැතුම් සිය ගණනකි. මෙසේ සමහරු භාසුරුට කතා කරන්නේ එහි සඳහන් දුරකතන අංකයේ සත්‍යතාව තහවුරු කර ගන්නටය. ඒ හදිසියක් වුවහොත් අමතන්නට පෙර සිටම සූදානම් වීමටය. භාසුරුගේ සේවය එතරම්ම වටින්නේ කිසිවකුත් මෙවන් භාරදූර කාර්යයකට අත නොගසන බැවිනි.

විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා අංශයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ අවසන් වසර සිසුවකු වන භාසුරු මේ කර්තව්‍යයේ නියැළෙන්නේ අද ඊයේ සිට නොවේ. එය භාසුරුගේ විනෝදයක් පමණක් නොවේ. සර්පයන් ඇල්ලීම සේවයක් හා සත්ත්ව ආරක්ෂාව වෙනුවෙන් ද වන බව ඔහු පවසන්නේය. රේණුකා ශ්‍යමලි හා රත්නමලල දිසානායකගේ එකම දරුවා වන භාසුරුගේ මේ කටයුත්තට දෙමවුපියන් ආශිර්වාද නොකළත් ඔවුන් කිසිවක් නොකියා ඊට සහය ලබා දෙන්නේ සර්පයන් ආරක්ෂා කිරීමේ කාර්‍යයයේදී භාසුරුගෙන් වන සේවය නිසාය.

භාසුරුගේ නිවෙස සර්ප විමානයක් බව කිව යුතුය. ඒ භාසුරු විසින් විවිධ අයට හිරුහැර වන ලෙස නිවසට පැමිණි සර්පයන් අල්ලා තම නිවෙසේ ඔවුන්ට රැකවරණය ලබා දෙන බැවිනි. විශ්වාස කළ නොහැකි භාසුරුගේ මේ කටයුත්තට නිවැසියන් අසල්වැසියන් හුරුවී ඇත්තේය. භාසුරුගේ නිවෙසේ උඩ තට්ටුව වෙන්වී ඇත්තේ රැකවරණය අපේක්ෂිත මේ සතුන් වෙනුවෙනි.

“සමහරු සර්පයන් අල්ලන්න ගිහින් ඒ සත්තු කොහාට හරි අතහරිනවා. මම එහෙම කරන්නේ නැහැ. මේ සර්පයන් නිදහස් කරන්නේ අභය භූමියකට. එහෙම ගෙනියන්නේ සර්පයෝ යම් ප්‍රමාණයක් එකතු කරගෙන එකවරයි. එතකම් මේ සර්පයෝ ගෙනත් ගෙදර උඩ තට්ටුවේ තියෙන කාමරයට දානවා. ඊට පස්සේ උදේ හවස මේ සර්පයන්ට කෑම දෙනවා. මම තාමත් ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයේ ගිහින් හවසට ගෙදර ආවහම කරන්නේ මේ සර්පයන්ට කැම වතුර දීම. අසනිපයක් තිබුණොත් බෙහෙත් පවා දෙනවා......“ භාසුරු පවසන්නේය.

නවගමුවේ යහනේ වූ නයා මේ වන විට භාසුරුගේ නිවෙසේ ආරක්ෂාව යටතේ පසුවන්නේය. භාසුරුගේ නිවසේ වූ කාමරය ඌගේ තාවකාලින නිවහන වී ඇත්තේ තවත් පිරිසක් එක්කර අභය භූමියකට මුදා හරින තෙක්ය. වතාවක් සිරුරේ ගෙඩි එකොළහක් තිබුණු නයෙකුව භාසුරු නිදහස් කළේ ගෙඩි සියල්ල ඉවත් කර නයාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවය.

“පුතා පසුගිය සැප්තැම්බර් මාසයේ නයෙක් දෂ්ට කර ගොඩක් අසනීප වුණා. කකුලේ විශාල කොටසක් කපා ඉවත් කරන්න සිදු වුණා. මේ නිසා සැප්තැම්බර් මාසයේ සිට පුතා මේ දේවල් කිරීම නවත්තලා සිටියේ. මේක එයාගේ ආසාව. ඒ වගේම සර්පයන්ට එයා හරිම හිතවත්. සතෙක් මරන්නවත් දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ ගිහින් ඇවිත් මගෙන් කුකුල් මස්, බිත්තර ඉල්ලගෙන සර්පයින්ට කන්න දෙනවා. නමුත් අපිට පුතා ගැන විශාල බයක් තියෙනවා. ඒ එයාගේ ආරක්ෂාව ගැන. අපි හැම වෙලාවෙම කිව්වේ ඔයා ආරක්ෂා වෙලා මේ දේවල් කරන්න කියලා. නමුත් පසුගිය සඳුදා නවගමුවෙන් කෝල් එකක් ආවේ මේ නයා ඇඳ උඩ ඉන්නවා කියලා. අනේ කොහොම හරි එන්න කියලා. ඒ අය බය වෙලා හිටියේ. කෙනෙක් කරදරයකට පත්වුණ වෙලාවක්. පුතා දෙපාරක් නොසිතා ඒ අයටත් ආරක්ෂා වීමට උපදෙස් දීලා සර්පයා අල්ල ගෙන එන්න ගියා. එයා මේ දේ කරන්නේ තනියම. මේ වගේ වැඩකට ගියහම ඒ ගෙවල්වල කිසිවකුගෙන්වත් ලොකු සහයක් අපේක්ෂා කරන්න අමාරුයි. මොකද හැමෝම සර්පයන්ට බයයි. ...“ඒ භාසුරුගේ මවය.

අනුන්ට පිහිට වන්නට ගිය භාසුරු පසුගිය සැප්තැම්බර් මාසයේ සර්ප දෂ්ඨයකට ලක්වන්නේ දෙවැනි වතාවටය. මේ අවස්ථා දෙකෙහිම ඔහු අනූනමයයි දශම නමයයි නමයෙන් දිවි බේරුණා යැයි කිවහොත් නිවැරදිය.

“සැප්තැම්බර් 21 වැනිදා කඩවතින් කෝල් එකක් ආවා, කුකුළු කූඩුවක නයෙක් ඉන්නවා කියලා. මම ගිහින් බලද්දි වහලේ ෂීට් එක යට නයි ජෝඩුවක්. එතන ඉඩක් තිබුණේ නැහැ. ගන්න ලේසි වුණෙත් නැහැ. ඒත් තනියම නයි දෙන්නවම අත් දෙකින් අල්ලලා එළියට ඇඳලා ගත්තා. ඒක හරිම අමාරු කටයුත්තක් වුණා. මේ නයි දෙන්නව බෝතල් දෙකකට දාන්න හදද්දි එක නයෙක් මගේ කකුල හපා කෑවා. පස්සේ හෝමාගම රෝහලට ඇතුළත් වුණා. ශල්‍යකර්මයක් සිදු කළා. කකුලේ කොටසක් ඉවත් කළා. මේ නිසා සෑහෙන කාලයක් මේ සර්පයෝ අල්ලන්න බැරි වුණා“ භාසුරු පවසන්නේය.

ලංකාවේ සර්ප විශේෂ 109 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් ගොඩබිම සිටින විශේෂ 6 ක් උග්‍ර විෂ සර්ප ලෙස වෙන්කර ඇත. මෙම සර්පයන්ගෙන් සිදුවන දෂ්ටන හේතුවෙන් ජීවිත තර්ජන පවා වාර්තා වී ඇත. ලෝකයේ සර්ප විශේෂ 4,000 ක් පමණ වාර්තා වී ඇති අතර නාගයා අයත් වන්නේ Elapidae පවුලටය. මෙම පවුලේ සර්ප විශේෂ 390 ක් පමණ ඇත්තේය. Naja නම් ගණයට අයිති සර්ප විශේෂ 33 ක් පමණ වාර්තා වී ඇත්තේය. ලංකාවෙන් වාර්තා වන නයි මේ වර්ගයට අයත්ය.

“මේ උග්‍ර විෂ සර්පයා කාටවත් කිසිදු හිරිහැරයක් නොකිරීම වාසනාවක්. ගෙදර කෙනා මේ උග්‍ර විෂ සහිත සර්පයාගෙන් බේරීමට වාසනාවක් තිබිලා තියෙනවා. මේ නිවෙසේ ඇතු‍ෙළ ගොඩාක් පිරිසුදුයි. ඒ නිසා නයා නිවෙසට ආපු විදිය පවා සොයා ගන්න බැරි වුණා. ගෙදර අයටත් පුදුමයි. සමහර විට ගේ ඇතුළෙම දවස් ගණනක් සිටියා වෙන්න පුළුවන්. සමහර විට මීයෝ, ගෙම්බෝ පස්සේ මේ සතුන් එනවා. නැතිනම් වතුර ගලිවලින් එන අවස්ථා තියෙනවා. කොහොම වුණත් අවධානයෙන් සිටිය යුතු වෙනවා. එහෙම අවධානයෙන් සිටියොත් මේ සතුන්ගෙන් බේරෙන්න පුළුවන්. යම් විදියකින් නිවසට සර්පයෙක් ආවොත් මරන්න එපා. ඒ සතාටත් ජිවත් වීමට මහ පොළොවේ අයිතියක් ඇති නිසා හොඳම දේ තමන්ට ආසන්නයේ සිටින කෙනකුට ඇමතුමක් දී ඒ සතා නිරුපද්‍රිතව ඉවත් කිරීමයි.

‘සර්පයින් සුරකිමු‘ බ්ලෝග් අඩවිය බිහිවී ඇත්තේ ඒ වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් බේරාගැනීමේ හා මෙරට සර්ප සම්පත රැකගැනීමේ අරමුණ පෙරදැරිව letsprotectsnakes.blogspot.com නමින් බ්ලොග් අඩවියක දිවයින පුරා විසිරී ඇත්තේ සර්ප ආරක්ෂකයන්ගේ දුරකථන අංක සහිත නාමාවලියක් ඇතුළත්වය. තමන්ගේ ජීවිත පවා අවදානමේ යොදමින් මීට කැපවූ සර්ප ආරක්ෂකයන් මෙම වෑයමේ ප්‍රධාන කොටස් කරුවෝ වෙති. මෙම වෙබ් අඩවියේ නිර්මාණකරු වෙබ් අඩවි සංවර්ධන නිලධාරී ඉමේෂ පෙරේරාය. ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂා වීමට හා අපේ රටට උරුම ඉතා වටිනා සත්ත්ව සම්පතක් වන සර්පයන්ගේ ජීවිත සුරක්ෂිත වීමට මෙම වෙබ් අඩවිය සුළු හෝ දායකත්වයක් ලබා ගන්නට ඔබට හැකිය.

ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ්ගේ ප්‍රධානත්වයෙන් හා නොමිලයේ සකස් කර දුන් මලික් පෙරේරාගේ මූලිකත්වයෙන් ‘සර්පයින් සුරකිමු‘ බ්ලාග් අඩවියක් බිහිවී ඇත්තේ ඒ වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් බේරාගැනීමේ හා මෙරට සර්ප සම්පත රැකගැනීමේ අරමුණ පෙරදැරිව letsprotectsnakes.blogspot.com නමින් බ්ලොග් අඩවියක දිවයින පුරා විසිරී ඇත්තේ සර්ප ආරක්ෂකයින්ගේ දුරකථන අංක සහිත නාමාවලියක් ඇතුලත්වය. තමන්ගේ ජීවිත පවා අවදානමේ යොදමින් මීට කැපවූ සර්ප ආරක්ෂකයින් මෙම වෑයමේ ප්‍රධාන කොටස් කරුවෝ වෙති. මෙම වෙබ්අඩවියේ නිර්මාණකරු වෙබ් අඩවි සංවර්ධන නිලධාරී ඉමේෂ පෙරේරාය.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

 

Comments