
විවාහයට සුදුසුම කෙනා එයා කියලා හිතුණොත් දෙපාරක් නොහිතා බඳිනවා
මගේ සංගීත ජීවිතේ සාර්ථක වෙන්න එක හේතුවක් පූජනී
කලාවට ඕපපාතිකයෙක් නොවුණු පියාගේ ජනප්‍රියත්වය භාවිත කර කලාවට නොපැමිණි ඔහු ගයාන් ගුණවර්ධන. නිවේදකයෙක්, ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් හැටියටත් කා අතරත් ජනප්‍රිය ගයාන් මේ වෙද්දී සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර ඔහු පූජනි භාග්‍යා එක්ක විවාහ වෙලා කියලත් ආරංචියි. මේ හැම දෙයක් ගැන ම කතා කරන්න අපි රසඳුන කතාබහකට ඔහුව එකතු කර ගත්තා
ගයාන් දැන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා නේද රෝඩ්ස් කියලා. ඒක ටෙලි නාට්‍යයකින් කොපි කළ නමක් කියන්නේ ඇත්තද..?
පාර දිගේ කියන නාට්‍යයේ මමයි, සචින් හා ඉදුවර වීදි ගායකයෝ විදිහට රඟපාන්නේ. ඒ නාට්‍යයත් ඒ චරිත තුන එකතුවෙන් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගන්න කොටසක් තියෙනවා. නාට්‍යයේ අපි තුන් දෙනා එකට ඉන්න නිසා මම හිතුවා අපි එකතු වෙලා ඇත්ත ජීවිතේ සංගීත කණ්ඩායමක් කළොත් හොඳයි නේද කියලා . ඉදුවර කියන්නේ සද්ධා සූරියබණ්ඩාර මහත්තයාගේ පුතා. සද්ධා අංකල්ට යෝජනාව කියලා නමක් ඉල්ලුවා. එතකොට අංකල් තමයි කිව්වේ රෝඩ්ස් කියන නම දාන්න නාට්‍ය සීන් ටිකක් තියෙනවා ඒකට මම නම දැම්මෙත් රෝඩ්ස් කියලා. ඒක හොඳයි කිව්වා. ඒ විදිහට තමයි අපි නම ගත්තේ.
සංගීත කණ්ඩායම එක්ක ප්‍රසංග පවත්වාගෙන යනවද..?
ඔව්. දැනටමත් වෙඩින්වලට හා ඉවෙන්ට්ස්වලට කතා කරනවා. ඉල්ලුම හොඳයි. විදෙස් සංචාර කිහිපයක් පවත්වන්න ආරාධනා කිහිපයක් ලැබුණා. ලංකාව වටේ වගේම ලෝකේ වටේ යන්නත් අදහසක් තියෙනවා.
තාත්තයි පුතයි ප්‍රසංග මාලාව අතර මඟ නතර කරාද..?
තාත්තයි පුතයි ප්‍රසංගයකට සංගීතය සැපයුවේ රෝඩ්ස් සංගීත කණ්ඩායම. මුල්ම එක තිබ්බේ අනුරාධපුර. නැවත පවත්වන්න ඕන. ඒත් මේ දවස්වල තාත්තා ඉන්නේ ටිකක් අසනිපයෙන් රෝහල්ගත වෙලා. ඒ නිසා ඒක ටික කාලයක් නතර කරා. නමුත් අපේ රෝඩ්ස් කණ්ඩායම සමාජ ගත කරන්න ඕන නිසා කොන්ටම් මේනියා කියලා සංගීත සංදර්ශන මාලාවක් තියෙනවා . පළමු එක තියෙන්නේ දෙසැම්බර් 4, වෙනිදා. යූත් එකේ. ඒකට වස්ති හා ඇන්ඩ්‍රියා, උද්දික ප්‍රේමරත්න, පියත් රාජපක්ෂ හා දනිත් ශ්‍රී ගීත ගායනා කරනවා. මේ වැඩසටහන නිවේදනය කරන්නේ පාර දිගේ නාට්‍යයේ කුසල් මධුරංග. එයා මෙවර ජනප්‍රියම නළුවා වුණා බංඩාගේ චරිතය නිසා. මේකත් හොඳ වැඩක් වෙයි කියලා විශ්වාස කරනවා.
ගයාන් ගායනයට විතරක් කොටු නොවි අංශ කිහිපයකින්ම දක්ෂතා දක්වන එක ගැන මාපියන් මොකද කියන්නේ ..?
තාත්තා නම් කොහොමත් සතුටුයි. මොකද මේ ගමනට මම එයාගේ උදව් හෝ එයාව පාවිච්චි නොකර මේ තරම් දුරක් ආවට. තාත්තා නිතරම කිව්වේ මගේ කොපියක් නොවී ඔයා ඔයාගේ ගමන යන්න කියලා. අම්මට සංගීත දැනුම නැහැ. නමුත් සතුටු වෙනවා. මගේ එකම අක්කා දැන් ඉන්නේ විදෙස්ගත වෙලා . එයත් සතුටු වෙනවා. දැන් අම්මවයි තාත්තාවයි බලාගන්නේ මම හම්බ කරන මුදල්වලින් නිසා. අක්කා විදෙස්ගත වුණේ මම අම්මවයි තාත්තාවයි බලාගන්නම් එයාට යන්න කියලා කිව්ව නිසා. ඉතිං හැමෝම සතුටුවෙනවා මගේම පාරක මම ගමන් කරන එකට.
රංගනයට සමු දෙනවා කියන්නේ ඇත්තද..?
ඔව්. හරි විදිහට මුදල් ලැබෙන්නේ නැහැ කැප වුණාට. ඒ නිසා පාර දිගේ නාට්‍ය ඉවර වුණාට පස්සේ රංගනයට ටික කාලයක් සමු දෙනවා. 2025 වර්ෂය වනතුරු. ඒ අතර තුර සංගීත වැඩ කරනවා. ගීත කිහිපයක් එළියට දාන්නත් අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම ආසයි චිත්‍රපටයකට පසුබිම් ගායනය කරන්න තාත්තා වගේ. තවම ආරාධනා නම් ලැබිලා නැහැ
පූජනී භාග්‍යා එක්ක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ ඇත්තද..?
ඒ කතාව තමයි හැමෝම හිතන්නේ. අපි දෙන්නා බ්‍රයිඩ්ල් ෂූට් දෙක තුනක් කරා. ඒ නිසා හැමෝම හිතනවා අපි විවාහ වෙලා කියලා. තවම අපි විවාහ වෙලා නැහැ .
දෙන්නා එතකොට කවදාද විවාහ වෙන්නේ, පූජනී ලේළී කර ගන්න ගයාන්ගේ තාත්තා කැමති ද..?
විවාහ වෙන්න තවම තීරණය කරලා නැහැ. තීරණය කරපු දවසට බලමු.
එතකොට දැන් එයානේ පෙම්වතිය, ඇයි ඒ ගැන කෙලින් කතා කරන්නේ නැත්තේ..?
2019 අවුරුද්දේ තමයි අපි අදුර ගන්නේ. මගේ හුස්මක් තරමට ගීතය ට්‍රෙන්ඩිං වුණා. මගේ සංගීත ජීවිතේ සාර්ථක වෙන්න එක හේතුවක් පූජනී භාග්‍යා කියන්නේ. ශම්මි මල්ලිත් එහෙමයි. ඒ දෙන්නා මගේ වම් අතයි දකුණු අතයි කිව්වොත් හරි.
සංගීත ජීවීතේ සාර්ථක වුණා වගේ පූජනී නිසා ඔයාගේ ජීවීතේම සාර්ථක වෙයි නේ..?
ඔව් ජීවිතේම සාර්ථක වෙයි. හැමදේකටම උදව් කරන්නේ පූජනී දුක, සැප, වැටීම්, හැමදේම ළඟම මෙච්චර කල් හිටියේ පූජනී තමයි. විවාහයට සුදුසුම කෙනා එයා කියලා හිතුණොත් දෙපාරක් නොහිතා බඳිනවා. ඒත් විවාහයට තව කල් තියෙනවා . එදාට බලමු.