ශ්‍රී ලංකාවම මඟුල් ගෙයක් කර එකම දිනයේ මංගල සීනු හැඬ වුණු අපේ ක්‍රිකට් තරු | සිළුමිණ

ශ්‍රී ලංකාවම මඟුල් ගෙයක් කර එකම දිනයේ මංගල සීනු හැඬ වුණු අපේ ක්‍රිකට් තරු

ය ඇසූ දුටුවන් මන පිනවන මංගල්‍යයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මංගල සිරියෙන් පිරී ගොස් තිබිණි. තරගාවලියක් අතර අපේ සුපිරි තරු තුනක් එකම දිනයක සිය ජීවිත ඉනිම ඇරඹූහ. පැතුම් නිශ්ශංක, කසුන් රාජිත සහ චරිත් අසලංක පසුගිය 28 වැනිදා යුග දිවියට පිවිසුණහ. ක්‍රීඩකයෙක් රටක් වෙනුවෙන් කරන මානුෂික කැප කිරීමේ ප්‍රමාණය තේරුම් කළ අවස්ථාවක් එහි සිත්තම් වී තිබිණි.

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් පිලේ ආරම්භක පන්දු යවන්නා වූ කසුන් රාජිත එදින සිය බිරින්දෑ සමඟ එක් වහලක් යටට එද්දී පැතුම් නිශ්ශංක හා චරිත් අසලංක තමන්ගේ පෙම්වතියන් සමඟ විවාහ ගිවිස ගත්හ.

නමුත් මේ බිරින්දෑවරුන් නිවෙස්වල සිටියදී එදින රාත්‍රියේම මේ තිදෙනාම යළි පල්ලෙකැලේට ආවේ රට වෙනුවෙන් තමන්ගේ ජාතික වගකීම ඉටු කරන්නටය. ඔවුන් අබියස තිබුණේ ජාතියේ අභිමානය බේරා ගැනීම පිළිබඳ තරගයකි. විස්සයි 20 ආසියානු ශූරයන් ලෙස පෙරහර පවත්වා ගර්වයෙන් යුතුව කැන්දා ගෙන පැමිණි කණ්ඩායම සිය රටත තුළ පැවැත්වෙන ප්‍රථම අන්තර්ජාතික තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය හමුවේ තරගාවලි පරාජයක අවදානමට මුහුණ දී සිටියහ.

මේ මනමාලයන් තුන්දෙනා ශ්‍රී ලංකාවම මඟුල් ගෙයක් කළේය. පැතුම් විශිෂ්ට ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්නේය. කසුන් කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වී ඇෆ්ගන් කඩුළු 03ක් බිඳ හෙළුවේය. චරිත් කිසිදාක අමතක නොවන පිතිකරණයක නිරත වෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ 19 හැවිරිදි පුංචි කොල්ලා වූ දුනිත් වෙල්ලාලගේත් මෙහෙයවාගෙනය. තරගයේ වීරයා චරිත්ය.

වාර්තාවන පරිදි චරිත් යනු මහා ආදරවන්තයෙකි. ලස්සන ආදර කතාවක් හිමි දුලබ පෙම්වතෙකි. චරිත්ගේ අත ගත්තේ කාවින්දිකාය. කාවින්දිකා චරිත්ට හමුවන බව කියන්නෙ අවුරුදු 10කට පෙරය. නව යෞවනය ආරම්භ වූ අවස්ථාවේ දී ය. එතකොට චරිත් කවුරුවත් නොවේ. ක්‍රීඩාවේ විසේ පෙන්නූ නොඋස් ළපටි තරුණයෙකි. බොහෝ බාධක මැද අසීමිත අභියෝග ජයගෙන පැමිණි ඒ ළපටි තරුණයා අවුරුදු 10කින් පසු අද රටේ වීරයෙක් වූ ක්‍රිකට් තරුවකි. එහෙත් අවුරුදු 10කට පෙර ඔහුගේ ජීවිතයට එක් වූ ආදරය අදත් එලෙසමය. චරිත්ගේ ප්‍රිය බිරිය ලෙස පසුගිය 28දා අබිසෙස් ලැබුවේ කාවින්දිකා ය.

කවුරුත් නොදන්නවාට අපේ වේග පන්දු වීරයා වූ කසුන් රාජිතත් මේ කාලයේ තරුණයන් අතර හමුවන විරල පෙම්වතෙකි. රටේ යෞවනයේ ආකර්ෂණීය වීරයෙක් බවට පත් වී සිටින කසුන් සිය පෙම්වතිය ඉදිරියේ ආදරණීය පෙම්වතෙකි. දැන් ඔහුගේ ප්‍රිය බිරිය චමත්ති පෙරේරාය. චමත්ති සමඟ ඔහු අතිනත ගන්නේ පුරා හත් වසරක ප්‍රේමයකින් අනතුරුවය.

ඔබ ඇසිය යුතු ඒ මියුරු කතාව චමත්ති අපිට කීවාය. ඇය ඒ වනවිට සිය නැඟණිය සහ මවුපියන් සමඟ කඳානේ පදිංචිව සිටියාය. කසුන්ට චමත්ති හමුවන විට ඇය පෞද්ගලික බැංකුවක රැකියාව කරමින් සිටි තරුණියකි.

“අවුරුදු හතක ප්‍රේමයක්... “ චමත්ති සිනාසෙමින් කතා කළාය. එයා ගැන ඒ වෙනකොට මම දැනගෙන හිටියෙ නෑ... එයා මගෙ ගැන යාළුවකුගේ ෆේස්බුක් ගිණුමෙ හිටපු කෙනෙක්. වරක් මාව එෆ්.බී එකේ දැකලා කසුන් මගෙ යාළුවගෙන් අහලා. එහෙම අහලා මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවලා තිබුණා.“

“ මම ඇක්සෙප්ට් කළේ ඔහු කවුද කියලා මගෙ යාළුවගෙන් අහලා. ක්‍රිකටර් කෙනෙක් කිව්වා. ඒ වෙනකොට එයා අන්තර් සමාජ මට්ටමින් ක්‍රීඩා කරමින් හිටියෙ. යාළුවෙක් විදිහට දැන හඳුනගෙන ටික කාලයක් යද්දි එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. මම කිව්වා ගෙදරට ඇවිත් කතා කරන්න කියලා. කසුන් දවස් දෙකකින් පස්සෙ ගෙදර ඇවිත් අම්මලා තාත්තලා එක්ක කතා කළා. කසුන්ගෙ අම්මා තාත්තටත් කිව්වා.“

“ඇත්තටම ඔහුට ආදරය හිතෙනම කාරණාව ඔහු හරිම ඍජුයි. කියන දේ කරනවා. ඒ වගේම කසුන් එක්ක ජීවිතය පුදුමාකාර පහසුයි. කිසිම පීඩනයක් නෑ. අවබෝධයක් සහිත කෙනෙක්. ඔහු හැදුණු පවුල් පසුබිම ඇතුළෙ ඔහු දැඩිව පවුලට බැඳුණ කෙනෙක්. ඔහුගේ ජීවිතයේ ප්‍රධානම අංගය වුණේ පවුල. අපි දෙන්නා ආදරවන්තයො වෙලා අවුරුදු හතක් ගත කළාද කියලා දැනුණෙත් නැති තරමට ජීවිතය නැවුම් සහ පහසුයි.“

චමත්ති කතා කරන්නී පිරී ඉතිරෙන තෘප්තියකිනි.

කසුන් රාජිත ඉපදෙන්නේ මාතරය. ඔහුගේ මව අධ්‍යාපන අධ්‍යක්ෂවරියකි. තාත්තා ග්‍රාම නිලධාරීවරයෙක් ලෙස සේවය කළේය. අයියා සහ නැඟණිය උපාධිධාරීන්ය. සම්මත අධ්‍යාපන රටාවත තුළ ඉහළ ශක්‍යතා සහිතව ගමනක් යෑමට හැකියාව තිබූ කසුන් රාජිත විශ්වාසයෙන් යුතුව ක්‍රිකට් තෝරා ගත්තේය. ඔහු අද ලංකාවේ බලාපොරොත්තු සහගත වේගපන්දු තරුවය.

“ රාජිත පාසල් තුනක අධ්‍යාපනය ලබා තියනවා. දම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයෙ ප්‍රාථමික අධ්‍යාපනය. තෙලිජ්ජවිල සෙන්ට්‍රල් සාමාන්‍ය පෙළ දක්වා.. එ්ලෙවල් වලට ශාන්ත සර්වේසස් විද්‍යාලයට ගිහින් තියනවා. එයා මට කිව්වා ඉස්කෝලෙදී ගුරුවරු අධ්‍යාපනයෙන් යන්න තියන ඉලක්ක ගැන කියනකොට ඔහු හිතුවේ මම කවද හරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා කියලා... ඒ ඉලක්කය ඔහු ලබා ගත්තෙ ඉතාම දැඩි කැපකිරීමක් කරලා. “

“ එයා දැන් තරුවක්නෙ, විශාල ආකර්ෂණයක් ඔහු වටේ ගොඩනැඟිලා තියනවා. තිගැස්මක් නැද්ද?“

චමත්ති සිනාසුණාය.

“ ඇත්තටමයි කියන්නෙ. බයක් දැනිලා නෑ. එයා වෙනස්ම කෙනෙක්. එයාගෙ ප්‍රමුඛත්වය පවුල. දැඩිව සමාජශීලී කෙනෙක් නෙමෙයි කසුන්. කසුන්ගෙ අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිතය වුණත් පුදුමාකාර ලස්සනයි. ඒ අවබෝධය, බෙදා ගැනීම, සෙනෙහස දිහා බලන්න ආසයි. ඇත්තටම ඒ ජීවිත හුරුව මම කසුන්ගෙන් දකිනවා.“

“ ජීවිතේ එක පියවරක් සම්පූර්ණ කරගත්තා. මේ අවුරුදු හත ඇතුළෙ මම එයාව ළඟින්ම දැක්කා. මේ තැනට එන්න කසුන් ගොඩාක් මහන්සි වුණා. ගොඩක් කැපකිරීම් කළා. සමහර වෙලාවට සියලු අනාගත සැලසුම් බිඳ වැටුණා. මම දැක්ක ඒ වෙලාවෙ ඔහු ඒකට මුහුණ දුන්න විදිහ. ඔහු හැම දේම ගත්තෙ ධනාත්මක විදිහට. ඔහු ජීවිතේ ලස්සනට ගොඩනඟා ගත් නිසා තමයි මටත් ලස්සන ජීවිතයක් ලැබුණෙ.“ චමත්ති කියන්නීය.

කසුන්ගෙන් චමත්ති ගැන ඇසුවෙමි.

“ මුලින්ම කතා කරලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක්ක දැම්මට පස්සෙ චමත්ති ඇක්සෙප්ට් කළේවත් නෑ. එහෙම මාස හයක් විතර ගියාට පස්සෙ තමයි මම චමත්තිට විවාහ යෝජනාව ගෙනාවෙ. “

දෙනෝදාහක් තරුණියන් අතර චමත්ති කසුන්ට විශේෂ වූයේ කුමක් නිසාදැයි ඔහු කෙටියෙන් කීවේය. “ හරිම සැලසුම් සහගතයි හැම වැඩක්ම. ඒ වගේම කියන්න තියන දේ කෙළින්ම කියනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ වගේම මට විශාල සහයෝගයක් එයාගෙන් ලැබෙන්නෙ. චමත්ති එක්ක ජීවිතේ හරිම පහසුයි. මෙයයි අම්මයි, තාත්තයි හින්දා තමයි ඇත්තටම මම මේ තරම් දුරක් ආවෙ“. ඔවුන්ගේ මංගල උත්සවය මාස තුනකින් සැලසුම් කළ එකකි. එහෙත් එය හරිම අපූරුවට ගෙත්තම් වී තිබිණි. මේ අපූරු පෙම් යුවළට සමු දෙන්නට පෙර එකම දෙයක් ඇසුවෙමි. පහුගිය අවුරුදු හත ඇතුළෙ අමතකම නොවන සිද්ධියක් මතක් කරන්න පුළුවන් ද?

“අම්මෝ... ගොඩක් තියනවා. “

“ මෙයා ඉස්සර වෙලාම විස්සයි 20 සංචිතයට තේරුණ දවසට කලින් දවසේ ලංකාවෙ තිබ්බ විස්සයි 20 ටූනමන්ට් එකක ෆයිනල් එකට මෙයාගෙ කණ්ඩායම තිබ්බා. අම්මි තාත්ති එක්ක මමත් ගියා ඒක බලන්න. ඒක ඉවර වෙලා ගෙදර ආවා.

එතකොටත් මෙයා පහුවදා යන්න ඇඳුම් අස්කරන් නෑ. මැච් එකට යන්න ඕන නිසා එයා නැවතිලා හිටියෙ ටොරින්ටන්වල. ඇඳුමක් ගැන අපි දෙන්න අතර පොඩි කතාවක් ඇති වුණා. ඊට පස්සෙ එයා මට කතා කළා. කේන්ති ගිය පාර මම කතා කළේ නෑ. දැන් ටිකකින් මෙයා සද්දයක් නෑ. මං බැලුවා මේ මොකද කියලා. කසුන් එහෙම නෙමෙයි. ඊට පස්සෙ මම දිගටම මෙයාට ගන්නවා. ෆෝන් එක උස්සන්නෙ නෑ. මට මාර බයයි. නින්ද යන්නෙත් නෑ. පාන්දර එකට විතර කසුන්ගෙන් කෝල් එකක් ආවා.

“ එයා මට කියනවා චමත්ති ගේට් එක අරින්න කියලා. “ දෙයියනේ, හිත නොහොඳින් මැච් එකට යන්න බෑ කියලා මහ රෑ ක්‍රිකට් බෝඩ් එකේ ඉඳන් මාව බලලා යන්න ගෙදර ඇවිත්. “ “ මං එක්ක කතා කරලා ආපහු පාන්දරම ගියා. එයා ඒ මැච් එකේ මෑන් ඔෆ් ද මැච් වුණා...“ චමත්ති කීවාය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහා වෘක්ෂය වී නිහඬ සටන්කාර තරුණයා වී සිටින්නේ පැතුම් නිශ්ශංකය. ජීවිතයේ අනේකවිධ දුක් ගැහැට මහ මෙරක් සේ දරාගෙන පීඩිත පන්තියේ මවුපියන් ලබා දුන් අසීමිත ශක්තිය පමණක් සහිතව නිහඬව පිත්තෙන් කතා කළ පැතුම් නිශ්ශංක මේ රටේ තාරුණ්‍යයට සපයන ආදර්ශයකි.

ඔහුගේ විවාහ පිළිබඳ පුවත දැඩි ආකර්ෂණයක් උපදවනු ලැබුවේ එබැවිනි. විසි හතර හැවිරිදි පැතුම්ගේ අත ගත්තේ ඔහුගේ පෙම්වතිය වූ එෂානිය.

Comments