වඳ වන කුරුලු නාමාවලියේ ඉදිරියෙන්ම කුරුල්ලෝ 19ක් | Page 2 | සිළුමිණ

වඳ වන කුරුලු නාමාවලියේ ඉදිරියෙන්ම කුරුල්ලෝ 19ක්

- ලංකාවේ පක්ෂි විශේෂ 522 අතරින් 81ක් වඳවීමේ තර්ජනයට
- රතු දත්ත ලැයිස්තුවක් සැකසුණත් පක්ෂීන් ආරක්ෂා කිරීමක් සිදුවන්නේ නැහැ
- කුරුලු අනාගතය ගැන තොරතුරු පවසන රතු දත්ත පොත

ශ්‍රී ලංකාව අනෙකුත් නිවර්තන කලාපීය දූපත්වලට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත රටකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ජීවීන් වර්ග අතරින් පක්ෂීහු වඩාත් ආකර්ෂණීය සත්ත්ව විශේෂයක් වන්නේය. ලංකාවේ පක්ෂි විශේෂ 522ක් දැකිය හැකි අතර, එය ගෝත්‍ර 23 ක්, කුල 89ක් හා ඝන 266ක් වශයෙන් වර්ග කළ හැකිය . මින් විශේෂ 244 ක්ම ශ්‍රී ලංකාව තුළ අභිජනන ගහන දරන අතර, විශේෂ 34ක් ශ්‍රී ලංකාවට පමණක් අාවේණික වේ. පර්යටනය සිදුකරන පක්ෂීන්, පර්යටනය කරමින් අභිජනනයේ යෙදෙන පක්ෂින්, ලංකාවෙම අභිජනනය කරන ලංකාවට ආවේණික පක්ෂීන් හා ලංකාවේ අභිජනනය කරන එහෙත් ලංකාවටම සීමා නොවූ පක්ෂීන් ලෙස පක්ෂීහු කොටස් හතරක් යටතේ වර්ග කළ හැකිය. 

IUCN රතු දත්ත ලැයිස්තුව ලෝකයේ ජෛව විවිධත්වයේ පැවැත්ම පිළිබඳව තීරණාත්මක දර්ශකයකි. එය හුදෙක්ම ජීවී විශේෂ සටහන් කෙරෙන ලැයිස්තුවක් නොව, ඒ එක් එක් විශේෂයන්ගේ පැවැත්ම, ව්‍යාප්තිය, චර්යා රටාව, ඔවුන්ට අවශ්‍ය පාරිසරික තත්ත්වය වාර්තා කෙරෙන හා ඔවුන් සංරක්ෂණය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් කරා යොමු කරවන ප්‍රබලම මෙවලමකි. 1948 දී ආරම්භ වූ සොබාදහම සුරැකීමේ ජාත්‍යන්තර සංගමය (The International Union for Conservation of Nature-IUCN) විසින් 1964 දී රතු දත්ත පොත (Red List හෙවත් Red Data Book)ආරම්භ කළේ ගෝලීය වශයෙන් ජීවීන්ගේ සංරක්ෂණ තත්ත්වය පිළිබඳව වඩාත්ම නිවැරදි තොරතුරු වාර්තා කෙරෙන ලේඛනයක් වශයෙනි.

රතු දත්ත ලැයිස්තුව සකස් කිරීම ගෝලීය සහ දේශීය මට්ටම් යන දෙකෙහිම සිදු කරනු ලැබේ. මෙම IUCN රතු දත්ත වර්ගීකරණ පදනම් කර ගනිමින් පසුගියදා එහි නවතම වාර්තාව එළිදැක්වීමට පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයට හැකිවිය. එම රතු දත්තයන්ට අනුව ලංකාවේ සාඩම්බරයක් වූ මෙරට කුරුලු විශේෂ අතරින් දැඩි ලෙස තර්ජිත, තර්ජිත හා අවදානම් කුරුලු ගහන දිනෙන් දින වැඩි වන්නට පටන් ගෙන ඇත. කුරුල්ලන් පිළිබඳ මෑතකදී සිදු කරන ලද එම ජාතික තක්සේරුව ජාතික පක්ෂි විශේෂඥ මණ්ඩලයක උපදෙස් මත සිදු වූ අතර, කලින් වූ දත්ත යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවට ආවේණික සහ දේශීය පක්ෂි විශේෂවල වත්මන් තත්ත්වය තීරණය කිරීම සිදු විය.

මෙම තක්සේරුවේදී පක්ෂි විශේෂ 244ක් අධ්‍යනයට ලක්වූ අතර, එයින් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව සොයා ගන්නා ලදී. මේ අතරින් දැඩි ලෙස තර්ජනයට ලක්වූ (Critically Endangered )19 දෙනෙක් හඳුනා ගත් අතර, තර්ජනයට ලක්වූ (Endangered) පක්ෂි විශේෂ 48 ක් හඳුනා ගෙන ඇත. මේ විශේෂ අතරින් අවදානම් (Vulnerable)පක්ෂි විශේෂ 14ක් හා තවත් විශේෂ 31ක් තර්ජනයට ලක්වීමට ආසන්න බව සොයාගෙන ඇත. වලංගු වාර්තා නොමැතිකම සහ සත්‍යාපනය කළ අභිජනන වාර්තා නොමැතිකම හේතුවෙන්, Blue-eared Kingfisher (Alcedo meninting) සහ Glossy Ibis (Plegadis falcinellus) විශේෂ දෙක දත්ත ඌනතා කාණ්ඩයට ඇතුළත් කරන ලදි. ඉතිරි විශේෂ 130 අවදානමකින් තොර (Least Concern) ලෙස ලැයිස්තු ගත කර ඇත.

පක්ෂීන් සම්බන්ධව සිදු කරන ලද රතු දත්ත වාර්තාවන්ට අනුව පසුගිය කාලාන්තරය පුරාම වඳ වී ගිය හෝ ස්වාභාවික පරිසරයෙන් වඳවී ගිය සත්ත්ව කාණ්ඩ දක්නට ලැබුණේ නැත. නමුත් දැඩි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කලින් හැඳින්වූ විශේෂ 19 න් විශේෂ 14ක සංක්‍රමණික ගහනයක් සහිත ශ්‍රී ලංකාව තුළ අභිජනනය සිදු කරන පක්ෂීන් වන අතර, රතු ලැයිස්තු කාණ්ඩය සඳහා අදාළ වන්නේ අභිජනන ගහනය පමණි. තවද මෙම විශේෂ 14න් විශේෂ 11 ක අභිජනන ගහනය පෝක් සමුද්‍ර බොක්ක වෙරළබඩ කලාපයට සීමා වේ. එසේම මෙම විශේෂ 11න් අටක් අභිජනනය සිදු කරන්නේ ආදම්ගේ පාලම සමුද්‍ර ජාතික උද්‍යානයේ පමණි. එසේම නිල්පෙඳ බින්ගුහරයාගේ අභිජනන ගහනය ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයට සීමා වේ. සංක්‍රමණික ගහනයක් සහිත ශ්‍රී ලංකාව තුළ අභිජනනය සිදු කරන පක්ෂීන් 32 දෙනාගෙන් 23 (75%) තර්ජනයට ලක්ව ඇත.

වත්මන් රතු ලැයිස්තු තක්සේරුවේ එක් තීරණාත්මක සොයා ගැනීමක් වන්නේ ආවේණික විශේෂ 34න් 20ක් (59%) තර්ජනයට ලක්ව ඇති බවයි. අවසාන තක්සේරුව හා සසඳන විට, විශේෂ 34 න් 24 ක රතු ලැයිස්තු තත්ත්වය නොවෙනස්ව පවතින අතර, ඉතිරි විශේෂ 10 හි තත්ත්වය තව දුරටත් හායනයට ලක්ව ඇත.

“ලංකාවේ ප්‍රධාන පක්ෂී විශේෂ ප්‍රභේද 4 ක් යටතේ වර්ග කළ හැකියි. ඒ වගේම පක්ෂී විශේෂ 522 ක් පමණ අපේ රටේදි දැකිය හැකියි. ලංකාවේ ඇති කුරුලු විශේෂ අතරින් භාගයක් පමණ ඇත්තේ පර්යටන පක්ෂීන්. මොවුන් එක රටකට පමණක් සීමා වී නැහැ. නමුත් ඔවුන් අපේ පරිසරයේ අභිජනනය කරන්නේ නැහැ. ශීත කාලය ගත කිරීමට පමණයි ඔවුන් ලංකාවට පැමිණෙන්නේ. නමුත් අභිජනනය කරන පර්යටන පක්ෂීන් සීමිත ප්‍රමාණයක්ද අපේ රටේ දැකිය හැකියි.

ලංකාවේම අභිජනය කරන ලංකාවට පමණක් ආවේණික පක්ෂීන් තවත් ප්‍රභේදයක්. ලංකාවෙම අභිජනනය කළත් ලංකාවටම ආවේණික නොවන පක්ෂීන්ද සිටිනවා. මේ පක්ෂීන් 244ක් රතු දත්ත පරීක්ෂාවේදී අපේ අධ්‍යයනයන්ට ලක් වූ අතර ඒ පිරිස ලංකාවේ අභිජනනය කරන පක්ෂීන් පමණයි. මන්ද මේ පරීක්ෂාවේදී අපට වැදගත් මෙහි ජීවත් වන අභිජනන ගහන පමණයි. උදාහරණ නිල් පෙඳ බින්ගුහරයා නම් පක්ෂියාගේ අභිජනන ගහනය ඉන්නේ පානම ප්‍රදේශයේ පමණයි. නමුත් ලංකාව පුරාම මේ පක්ෂීන්ගේ පර්යටන ගහන පවතිනවා. ලංකාවේ දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්ෂි විශේෂ 19න් 14 ක්ම අභිජනනය කරන පර්යටන ගහනයි. ආවේණික පක්ෂීන් කිසිවක් දැඩි ලෙස තර්ජනයට ලක්වී නැහැ. නමුත් ආවේණික පක්ෂීන් 34න් 20 ක්ම තර්ජනයට ලක් වී ඇති බව අවබෝධ වුණා. ලංකාවේ කුරුලු විශේෂ තර්ජනයට ලක්වීමට වාසස්ථාන අහිමි වීම, ස්වාභාවික පරිසර පද්ධති විනාශ වීම, ජනාවාස, ජලාශ, සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලංකාවෙ භූමියෙන් 40% ක් වෙන් වෙනවා. බොහෝමයක් කුරුලු විශේෂ ස්වභාවික වාසස්ථාන අහිමි වීමෙන් ගහනය අඩුවී ගොස් ඒ කුරුලු විශේෂ ලංකවෙන් තුරන් වෙනවා. මීට අමතරව වායු, ජල දූෂණය වැනි හේතු නිසා පරිසර පද්ධතියේ තිබිය යුතු ගුණාංශ අහිමි වීමෙන්, පරිසර පද්ධති කෘත්‍රිමව වෙනස් කිරීමෙන් කුරුලු ගහන අඩු වීමට බලපානවා. ලුණුගම්වෙහෙර ව්‍යාපෘතිය හේතුවෙන් කිවුල් දිය කලපු මිරිදිය කලපු බවට පත්වුණා. මේ නිසා ආහාර දාම පද්ධති පවා වෙනස් වීමෙන් කුරුලු ගහන අඩු වුණා. පාරවල් සෑදීම, අධිවේගි රැහැන් ඇඳීම වැනි රේඛීය සංවර්ධන ව්‍යාපෘති හරහා පරිසරය දෙකඩ වීම හෙවත් වාසස්ථාන කැබැලි කිරීමෙන් කුරුලු ගහන අඩු වීමට බලපෑවා. පරිසරයේ සම්පත් අධිපරිහරණය හේතුවෙන්ද කුරුලු ගහන අඩුවීමට හේතු වුණා. දඩයම් කිරීම, පක්ෂීන්ගේ පිහාටු ගැනීම, ආහාරයට ගැනීම මෙන්ම විදේශයන්ට විකිණීම් වැනි පරිහරණ හේතු නිසා ඉතා ඉක්මනින් කුරුලු විශේෂ වඳ වීමට ලක්විය හැකියි. දේශගුණික වෙනස්කම් නිසාද කුරුලු වාසස්ථාන අඩු වැඩි විය හැකියි. ....“ඒ මෙම රතු දත්ත සැකසීමේ කමිටුවේ මහාචාර්ය දේවක වීරකෝන්ය. රතු දත්ත ලැයිස්තුව අපේ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවක් හා සමානය. රෝගයක් සෑදීමේ සම්භාවිතාව එයින් නිරූපණය වන්නා සේම කුරුල්ලන් ඇතුළු සත්ත්ව විශේෂ හා ශාක විශේෂවල පැවැත්ම වඳ වී යාමේ සම්භාවිතාව නිරීක්ෂණය කිරීමට මේ රතු දත්ත වාර්තාව සමත් වන්නේය. නමුත් පරීක්ෂණ වාර්තාවකින් රෝගය හඳුනා ගත්තත් එයට නිසි ප්‍රතිකාර ලබා නොදෙන්නේ නම් සිදු වන්නේ රෝගය උත්සන්න වීමක් පමණි. නමුත් මෙසේ රතු දත්ත ලැයිස්තුවෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේවිද? පරිසරවේදීන් දක්වන්නේ මෙවන් අදහසකි.

“ ලංකාවේ කුරුලු විශේෂ 500කට වඩා ඉන්නවා. මේ අතර සංක්‍රමණික කුරුලු විශේෂ දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ළඟදිත් එවැනි දෙදෙනෙක් වාර්තා වුණා. අපේ රටේ රතු දත්ත පොත වරින් වර සකස් කෙරෙනවා. ඒ අනුව 2007, 2012 හා 2021 වසරවල කුරුල්ලන් පිළිබඳ රතු දත්ත සැකසීමක් සිදු ක‍ළා. මෙහි පර්මාර්ථය සත්ව කාණ්ඩයක වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීම. මෙහි ප්‍රතිඵල අනුව අවදානමට, දැඩි ලෙස තර්ජිත, වද වීමට පාත්‍ර වූ හා තර්ජනයට ලක් නොවූ අය ඉන්නවා. මේ වර්ග කිරීමේ පර්මාර්ථය විය යුත්තේ ඉදිරියේදී සිදුවන අපේ සංරක්ෂණ, සංවර්ධන හා භෞතික සැලසුම්වලට යොදා ගැනීමයි. නමුත් අප ඒ අරමුණින් රතු දත්ත පොතින් ගත යුතු දේ ගත්තද කියා කල්පනා කළ යුතුයි. ලංකාවේ වැඩිම අවදානමක් ඇති වඳවි යන පක්ෂීන් ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.

අපි මෙහිදි ප්‍රමුඛතාව දිය යුත්තේ වඳවී යන සතුන්ට. නමුත් අප එවන් ප්‍රමුඛතාවක් ලබා දී නැහැ. එම නිසා මේ රතු දත්ත පොත සකස් කිරීමේ ඵලය කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. අමාත්‍යාංශය මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට මැදිහත් විය යුතුයි. විෂය විද්‍යාඥයන්ගේ එකතුවෙන් මේ සතුන්ගේ අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි.

අතිශය ප්‍රමුඛතාව දිය යුතු පක්ෂීන් අපේ රටේ ඕන තරම් ඉන්නවා. මගේ ඉල්ලීම මෙවැනි තර්ජිත කුරුලු විශේෂ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි. ඒ සඳහා මේ රතු දත්ත පොත භාවිත කළ යුතුයි. ....“ ජ්‍යේෂ්ඨ පරිසර නිතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධනය.

වත්මන් සහ පෙර කුරුලු රතු ලැයිස්තු ඇගයීම් අනුව පෙන්නුම් කරන ප්‍රවණතා අසතුටුදායකය.

ආසන්න වශයෙන් වසර 15ක පමණ කාලයක් තුළ බොහෝ පක්ෂි විශේෂ අප අතරින් තුරන්ව ගොස් ඇත. සැලසුම් සහගත ලෙස සංරක්ෂණය කිරීමට රතු දත්ත සකස් විය යුතුය. එමඟින් තර්ජන හඳුනා ගැනීමටත් ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීමටත් හැකියාව ලැබිය යුතුය. එය මුලින් සඳහන් කළාක් මෙන් රෝග විනිශ්චය මෙවලමකි.

“ රතු දත්ත සැකසීම ආරම්භ කළේ ලෝක සංරක්ෂණ සංගමය විසින්. ඒ ජීවින් සංරක්ෂණය කිරීමේ අරමුණින්. මේ වන විට රතු දත්ත ලේඛන ශාක හා සත්ත්ව යන දෙකොට්ඨාශයටම සකස් කෙරෙනවා. නමුත් විදේශයන්හි පරිසර පද්ධති සඳහාද රතු දත්ත ලේඛන සකස් වෙනවා.

අපේ පරිසර පද්ධති සඳහා රතු දත්ත ලේඛණ සකස් කිරීම තවමත් මූලික අදියරේදි සිදු වන්නේ. මීට පෙර අවසන් රතු දත්ත ලේඛණ සකස් වුණේ 2012 වසරේදි සියල්ලම එකම පොතක සටහන් කිරීමෙන්.

මෙම රතු දත්ත ලේඛන සකස් වීමේදී තර්ජනයට ලක්වූ සතුන් හඳුනා ගැනීමක් සිදු කරනවා. එසේම ඒවා වළක්වා ගැනීමේ ක්‍රමවේද සකස් කෙරෙනවා. පරිසර ඇගැයිම් වාර්තා සකස් කිරීමේදි මේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අප මේ තොරතුරු යොදා ගන්නවා. පසුගිය කාලයේ තර්ජනයට ලක්වූ සතුන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතින බව පැහැදිලි වූ කරුණක්. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත්තත් නොවැළැක්විය හැකි හේතු සාධක ඊට බලපෑවා. පොදුවේ ගත් කල මිනිසුන්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් හේතුවෙන් රතු දත්ත පොතේ තර්ජිත සතුන්ගේ ලේඛනය දික් වීමක් සිදුවෙනවා.“ ඒ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ආර්. එච්. එම්. පී අබේකෝන්ය. කුරුල්ලෝ වනාහි ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අනිවාර්ය අංගයකි. ඒ ජනප්‍රවාද, සංගීතය සහ සාහිත්‍යය හරහා ඔවුන් අපේ කලාව තුළ දක්නට ලැබෙන බැවිනි.

එසේම සංචාරක පක්ෂීන්ට එදත් අදත් ලංකාව හොඳ නිජබිමක් වී ඇත්තේය. සංචාරක කර්මාන්තයෙහිලා ජෛව විවිධත්වය මෙන්ම පක්ෂි සංරක්ෂණය වැදගත්ම සාධකයක් වී ඇත්තේය. මෙවන් කරුණු කාරණා මත රතු දත්ත පොත හරහා හෝ පක්ෂි විශේෂ රැක ගැන්මට ක්‍රියා කිරීම කළ යුතුය.




Comments