මේක ආදරෙයි කියලා පටන් ගත්ත ආදර කතාවක් නොවෙයි | Page 2 | සිළුමිණ

මේක ආදරෙයි කියලා පටන් ගත්ත ආදර කතාවක් නොවෙයි

ඒක මගේ ජීවිතේ ගත්ත දරුණුම තීරණයක්

මම මගේ භාව, දක්ෂතා, හැඟීම් අදහන කෙනෙක්

බාබු කියන චරිතයේ අමාරුකම තේරුම් ගන්න නම් ඔයාලත් එක ඇහැක් බාගෙට වහගෙන පඩි පෙළක් බැහැල බලන්න

කෝකිල පවන් යන සැබෑ නම අමතක වන තරමටම නාඩගම්කාරයෝ හි මනමාලන් ප්‍රේක්ෂක සිත් තදින් වෙළාගෙන අවසන්. රැල්ල වෙරළට ආදරෙයි හි බාබු කියන්නෙත් ඊටත් එහා ගිය රංගනයක්. ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කළ චරිත නිරූපණයක යෙදුණු ඔහු ළමා නළුවකු ලෙස ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර විය. අද කතාබහ ඔහු සමඟයි.

කෝකිල පවන් අමතක වෙන තරමටම මනමාලන් සහ බාබු ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කළා නේද?

“ඇත්තටම ඔව්. නාඩගම්කාරයෝ හි හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා. මනමාලන්ට ලැබෙන්නේ පුදුමාකාර ආදරයක්. දවසකට 50 දෙනෙක් හමු වුණොත් 40 ක්ම කතා කරන්නේ මාලන් කියලා. නාඩගම්කාරයෝ මේ වෙද්දි අවසන් වෙලා තිබුණත් තව අවුරුදු 75ක්වත් ප්‍රේක්ෂකයන් එක්ක ජීවත් වේවි කියලා මට හිතෙනවා. එහි තිරපිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාරටත්, නිෂ්පාදක චාමර සමරවික්‍රම වගේම අඛිල සපුමල් අයියා නිසා හඳුනාගත් එහි අධ්‍යක්ෂ නාඩගම්කාරයෝ හි කොඳු නාරටිය වන් ජයප්‍රකාශ් සිවගුරුනාදන් නම් සොඳුරු ආඥාදායකයාටත් ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

ඒ වගේම බාබු කියන්නේ මගේ ජීවිතේට හමුවුණු ලොකුම අභියෝගය. මෙච්චර කාලෙකට හැම චරිතයක්ම මං කළේ ඇස් දෙක ඇරගෙන. ඒත් බාබු එක්ක මට නිතරම ඉන්න වුණේ අඩවන් දෑසින්. ඇත්තටම සියලු දෙනාටම මං කියනවා මේ ලිපිය කියවන්න කියලා. මනුස්සයෙක්ට ඇහැක් බාගෙට වහගෙන එක දිගට ඉන්න හරිම අමාරුයි. බාබු කියන චරිතයේ තියෙන ඇත්ත අමාරුකම තේරුම් ගන්න නම් ඔයාලත් එක ඇහැක් බාගෙට වහගෙන පඩි පෙළක් බැහැල බලන්න. එතකොට ඇත්තටම තේරෙයි, එක ඇහැක් බාගෙට වහගෙන වාහන පදින්නෙ, ගහගන්නෙ, ඇවිදින්නෙ, බෝට්ටු එළවන්නෙ, මුහුද හා ගැටෙන්නෙ කොහොමද කියලා. මේ හැමදේම අස්සෙ දෙබස්, පොසිෂන් මතක තියාගෙන, වාහන පදිනව විතරක් නෙවෙයි, කැමරාවට හරි දුර, හරි තැන, හරි ලයිට් එළියට අපි ඒ වාහන ගෙනැල්ල නතර කරන්න ඕන. මොකද රංගන කාර්ය ඇතුළේ තාක්ෂණික කටයුත්තකුත් තියෙනවා. ඒකත් පැත්තකින් තියමුකො. සාමාන්‍යයෙන් ෂොට් එකකදි අනිවාර්ය‍යෙන්ම විනාඩියකට වඩා ගන්නවනේ. මේ ආලෝක ධාරාවක් විනාඩියකට වඩා එක ඇහැකට ගන්නකොට ඒ ඇහැට කොච්චර බලපෑමක් ඇති ද කියලා හිතන්න. අපිට ඇස් 2ක් දීලා තියෙන්නේ දෙකට බෙදාගෙන සමබර වෙන්නනේ. කොටින්ම ඇහැක් බාගෙට වහන්නෙ නැතුව බාබුට දෙබස් කියවෙන්නෙත් නැති තරම්. මං යම් කැපකිරීමක් කළා. ඇත්තටම මේක කැපකිරීමක් ද කියල හිතෙන තරමටම මට ප්‍රේක්ෂක ආදරය ලැබුණා. මම මගේ භාවයන්, දක්ෂතා, හැඟීම් අදහන කෙනෙක්. මට පෙරළා ලැබෙන ආදරයට ඉතාම ආදරය කරන, හිස නමන, දණ ගහන කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති මගේ ස්වරූප මිනිස්සු බාරගන්නේ.‍”

 

ඔබ හදිසියේම ලොකු වෙනසකට භාජනය වෙලා. ඇයි ඔබේ අනන්‍යතාව විදියට තිබුණු කොණ්ඩය කපන්න තීරණය කළේ?

“රැල්ල වෙරළට ආදරෙයි සහ ශක්ති එකේ චරිතවල නිමාවත් එක්කම මං තීරණය කළා මගේ ආදරණීය කොණ්ඩෙ කපනව කියලා. ඒක මගේ ජීවිතේ ගත්ත දරුණුම තීරණයක්. ඇත්තටම මං පෞද්ගලිකව කැමැත්තෙන් වවාගෙන හිටපු කොණ්ඩයක් නෙමෙයි. ඒක මං ගොඩනඟපු, මමම ආදරේ කරපු චරිත නිසා තියාගෙන හිටපු කොණ්ඩයක්. ඉතින් මං හිතුවා ටිකක් වෙනසකට භාජනය වෙන්න. ගොඩක් දෙනෙක් මගේ මේ පාට කරපු, අවුල් කරපු, ගැට ගහගෙන හිටපු කොණ්ඩෙට ගොඩක් ආදරේ කළා. මං ඒ ආදරේද කැපුවෙ කියලා වෙලාවකට හිතිල හිත රිදුණ තැන් තිබුණා.”

බාබු, ශිවා කියන්නේ හරිම ආදරණීය දඩබ්බර මිතුරන්. රූගත කිරීම්වලදී අමතක නොවන අත්දැකීම් ඕනතරම් ඇති නේද?

“ඇක්ෂන්, කට් තුළ ජීවත් වන රංගන ශිල්පියෙක් විදියට මාත් පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන කෙනකුගේ ලේ මගේ අතින් හෙල්ලුණා කියන්නේ, ඒක මගේ ජීවිතේ අමතක කරන්න බැරිම දෙයක්. රැල්ල වෙරළට ආදරෙයිහි තේමා ගීතය ෂූට් කරද්දී එක තැනක තියෙනවා මං බෝට්ටුවේ ඉඳන් එළියට පනින, රන්දික(ශිවා) එළියෙ ඉඳන් බෝට්ටුවට පනින දර්ශනයක්. අපිට විධානය ලැබුණා. එතනදි අපේ පනින උස ප්‍රමාණයන්වල පරතරය ටිකක් වෙනස් වුණා. මගේ දණ හිස රන්දිකගේ ඔළුවෙ වැදිලා නළල පැළුණා. ඒක මගේ ජීවිතේ ආපස්සට ගන්න බැරි දෙයක්. ඒ වගේම මගේ ජීවිතේට හොඳ පාඩමක්.

ඔබේ සොඳුරු ආදරය අද ඔබේ ළඟ. ඇය හමු වුණ හැටි කියලම කතාබහ අවසන් කරමු

මට ඇය මුලින්ම හමුවෙන්නේ මීට අවුරුදු 6කට විතර කලින් ටෙලි නාට්‍යයක් රූගත කරන අතරතුර. ඇය නිමාලී දිල්ශානි. ඒත් එදා ඉඳන් නෙවෙයි අපි ආදරෙන් බැඳෙන්නේ. මීට අවුරුදු 3කට විතර කලින් එක දවසක් අපි දෙන්නා කෙටි පණිවිඩ සංවාදයක යෙදෙනවා. ඒකෙ අවසානය අපි දෙන්නා ගෝල්ෆේස් එක දක්වා අරන් යනවා. එයා සෑහෙන්න මුහුදට ආදරේ කරන කෙනෙක්. මම නොසෑහෙන්න මුහුදට ආදරේ කරන කෙනෙක්. . එදා අපි ගොඩක් කතා කළා. එදා එහෙම පටන් ගත්ත කතාව අද වෙනකලුත් අපි කතා කරනවා. අද එයා මගේ බිරිය වෙලා අවුරුදු 2කුත් වෙනවා. ඇත්තටම මේක ආදරෙයි කියලා පටන් ගත්ත ආදර කතාවක් නෙවෙයි.”

Comments