පිටතින් බලලා, බාහිර ඔපේට ආදරේ කරන්න එපා | Page 2 | සිළුමිණ

පිටතින් බලලා, බාහිර ඔපේට ආදරේ කරන්න එපා

කොහේ හරි ලියවිලා තියෙන්න ඇති මං රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වෙයි කියලා

නිවේදන කලාවත් අමුතුම කලාවකි. ප්‍රේක්ෂක සිතට ළෙන්ගතුව ආමන්ත්‍රණය කළ හැකි හොඳම කලාවත් එයයි. නිවේදකයකු ලෙස ප්‍රේක්ෂක සිතට ළෙන්ගතුව ආමන්ත්‍රණය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු තම ස්ථාවරත්වය වඩාත් තහවුරු කරගත්තේ රංගන ශිල්පියකු ලෙසිනි. මේ දිනවල හිරු නාලිකාවේ ජනප්‍රියම අංගය වන කොපි චැට් වැඩසටහන වෙනස්ම ආරකින් ඔබ වෙත ගෙන එන ඔහු කාවිංග පෙරේරායි.

 

කාවිංග මේ දවස්වල වෙනත් වැඩකට අතගැහුව කියලා ආරංචියි. කලා ක්ෂේත්‍රය එපා වෙලා වද්ද?

“ඕනම තැනක රස්සාවක් කරද්දි එපා වෙනවා. ඒත් මට කලාව නම් කවදාවත් එපා වෙන්නෙ නෑ. ඒකෙන් තමයි මට ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න ලැබුණේ. මේ යාළුකම් ඔක්කොම ලැබුණෙ ඒ නිසා. මං හරි ආදරෙයි මේ කලාවට.

මං පිළිවෙළට ඉන්න කැමති මනුස්සයෙක්. ඒ වගේම වාහනවලට ගොඩාක් ආස කරන කෙනෙක්. ඉතින් මං සර්විස් ස්ටේෂන් එකක් පටන් ගත්තා. ඒ කියන්නේ කාර් වොෂ් කරන හොඳම එකක්. මං එක්ක වැඩ කරපු කිහිප දෙනෙකුත් එක්ක පොඩියට පටන් ගත්තා. කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් මේක.”

 

කාවිංග කියන රංගන ශිල්පියා ද නිවේදකයා ද මුලින්ම මේ ක්ෂේත්‍රය ස්පර්ශ කරන්නේ.

“මුලින්ම මං නිවේදකයෙක් විදියට තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ මැක්ස් ටීවී එකේ. මම ඉගෙන ගත්තේ වෙන විෂයක්. එයාර් ක්‍රාප්ට් ඉංජිනියරින්වලට ගොඩක් ආසාවෙන් මං ඒ පිළිබඳ අධ්‍යයනය කළා. ඒත් කොහේ හරි ලියවිලා තියෙන්න ඇති මං රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වෙලා ලංකාවේ මෙහෙම තැනක ඉන්නවා කියලා.

චමුදිත සමරවික්‍රම සහ ජනක රාමනායක තමයි මුලින්ම මාව දැකලා මැක්ස් ටීවී එකට සම්බන්ධ කරගත්තේ. එතනින් ටෙලිවිෂන් ගැන ඉගෙන ගත්තා. මගේ මුල්ම රංගන ගුරුවරු දෙන්න වුණේ එච්. ඒ. පෙරේරා සර් සහ මහේන්ද්‍ර පෙරේරා සර්. ‘අපි අපි වගේ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තුළින් තමයි මං රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ පටන් ගැන්ම අද දක්වා හෙමින් ආවා. විශාල ප්‍රමාණයක් නොවුණත් කරපු නිර්මාණ ටික ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. 2015, 2016,2017 වසර තුන පිට පිටම සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා සම්මානයට පාත්‍ර වෙන්න වාසනාව හිමිවුණෙත් ඒ නිසා. අනික් කැටගරිවලටත් නොමිනේට් වුණා. සඳුන් රාජකරුණාගේ උතුම් පැතුම් ගොඩක් ජනප්‍රිය වුණු කතාවක්. රංගන ශිල්පියකුගේ ජීවිතේ අන්තිම සතුට තියෙන්නේ එතනනේ. මට ලොකු ආසාවක් තිබුණා ලංකාවෙන් එළියට ගිහිල්ලා රංගනය ගැන හදාරන්න. නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියට සම්බන්ධ වෙලා පාඨමාලාවක් හදාරන්න ලැබීමෙන් එයත් ඉටුවුණා. කාවිංග පෙරේරා රඟපාන්නෑ කියලත් කතාවක් යනවා. එහෙම දෙයක් නෑ. වැඩ අනුව කාලය කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණ සඳහා දායක වෙනවා.”

 

කොපි චැට් වැඩසටහන ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණු කාලෙක තමයි ඔබට එය මෙහෙයවන්න අවස්ථාව ලැබුණේ. වෙනස් ආරකට ගෙනියන්න බයක් හිතුණෙ නැද්ද?

“කොපි චැට් වැඩසටහන කරන්න කියද්දිම මටත් ලොකු අභියෝගයක් වුණා කොහොමද මේක කරන්නෙ කියලා. ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම මං එක්ක යාළුයි. ඒ නිසා එයාලගෙ නෑදෑයෝ, යාළුවො මට කෝල් කරලා විස්තර ලබාදුන්නා. ආර්ටිස් කෙනෙක් කියන්නේ ඉමේජ් එකක්. ඉතින් ඒ ඉමේජ් එකට ඩැමේජ් එකක් නොවන විදියට මේ ප්‍රෝගෑම් එක කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. හැමෝටම කියලා ආත්ම ගරුත්වයක්, පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ලැබෙන තොරතුරු මං මගේ නිෂ්පාදක චතුර සහ අමල් එක්ක කතා කරලා ආර්ටිස්ට ඩැමේජ් එකක් නොවන විදියට ඩිලිවර් කරනවා. ආර්ටිස් කෙනෙක් විදියට කාගෙවත් ප්‍රතිරූපයට හානියක් නොවන විදියට මේ වැඩසටහන කරන්නයි මට ඕන වුණේ. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං විශ්වාස කරන දෙයක් තමයි ඕපදූපවලට වඩා රසවත් තැන් තියෙනවා මිනිස්සුන්ගේ කතා කරන්න. එන ආර්ටිස්ල සතුටින් යනවා. මං වෙනස් කන්ටෙන් එකක් ක්‍රියේට් කළා. මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මගේ නිර්මාණය තුළ මම සාර්ථකයි.”

 

ආදරය කියන සුන්දර හැඟීම ඔබට දැනෙන හැටිත් කියලම කතාව අවසන් කරමු

“අපිට කෙනෙක් ආදරය කරනව නම් අපිව බලාගන්නවා නම් එයා වෙනුවෙන් අපිත් කාලය වෙන්කරන්න ඕන. මොකද කාලය කියන එක අපිට ආයිම ගන්න බෑ. කවදහරි අනේ මට එයා වෙනුවෙන් කාලය වෙන්කරගන්න බැරි වුණානේ කියන තැනට හිත හදාගන්නෙ නැතුව ජීවිතේ මොන දේ තිබ්බත් තමුන්ට ආදරය කරන කෙනා වෙනුවෙන් කාලය වෙන් කරන එක වඩා වටිනවා. මං අලුත් පරම්පරාවට කියන්නේ පිටතින් බලලා, බාහිර දේවල්වලට ආදරේ කරන්න එපා. ඒවා හම්බ කරගන්න පුළුවන්. ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක දෙන්න. ආදරේට ඒක මාර වටිනවා.”

Comments