
වසර 92ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියදා කටාර් දේශයේදී ආරම්භ වූ 22 වැනි තරගාවලිය මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. තරගාවලිය ආරම්භයේ සිටම රසවත් සිදුවීම්, විමතිය දනවන පරාජයන් මෙන්ම තවත් එකී මෙකී නොකී කතා රැසකි.
සමාරම්භක උලෙළට එක් වූ පාද අහිමි අරාබි තරුණයා
මැදපෙරදිග අරාබි දේශයටම ආවේණික වූ විවිධ සංස්කෘතික අංග සහිතව කටාර් දේශයේ අල් බයිට් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කළ විසිහැවිරිදි තරුණයකු පිළිබඳ ලොව පුරා වැඩි කතාබහට ලක් විය. මේ වන විටත් ඔහු ලොව පුරා අතිශය ජනප්‍රිය චරිතයකි. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ රසිකයන්ගේ සංඛ්‍යාව දැන් මිලියනය ද පසු කර තිබේ.
කශේරුකාවේ පහළ කොටස වර්ධනය නොවීමේ දුර්ලභ ආබාධයක් සහිත (caudal regression syndrome) කටාර් ජාතික මේ තරුණයා ගානිම් අල් මුෆ්ටාය. ඔහු මෙවර කටාර් රාජ්‍ය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විශේෂ තානාපති තනතුරකට පත් කර තිබිණි.
සමාරම්භක උලෙළේදී අරාබියට ආවේණික ඇඳුමෙන් සැරසුණු ගානිම් එම අවස්ථාවට සහභාගී වූ ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට අමෙරිකානු නළු මෝගන් ෆ්‍රීමන්, ලෝක පොප් ගී ක්ෂේත්‍රයට ආසියානු ලකුණ සටහන් කළ දකුණු කොරියාවේ බීටීඑස් ගායක කණ්ඩායමේ සාමාජික ජං කුක්, කටාර් හි ජනප්‍රිය ගායක ගායිකාවන් වන ෆහඩ් අල් කුබෙයිසි සහ ඩානා අල් ෆර්දාන් සමඟ වේදිකාව මතට ගොඩ වූයේය.
කටාර් දේශය නියෝජනය කරමින් පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන ගානිම් පිහිනුමට සහ පාපන්දු ක්‍රීඩාවට උපන් හපනෙකි. හෙතෙම කඳු නැඟීමට ද දක්ෂයෙකි. ගල්ෆ් කලාපයේ උසම කඳුවැටිය ලෙස සැලකෙන ජබේල් ෂම්ස් කන්ද තරණය කරමින් සිය දස්කම් මුවහත් කරගත් ගානිම් එවරස්ට් කන්ද තරණය කිරීමේ ආශාවෙන් පසුවෙයි.
සමාරම්භක තරගය පරාජිත පළමු සත්කාරක රට
ඉක්වදෝරයේ ප්‍රවීණ ක්‍රීඩක එනර් වැලෙන්සියාගේ විශිෂ්ට ගෝල ද්විත්වය හේතුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ගෝල 2-0කින් ජය ගැනීමට ඉක්වදෝර කණ්ඩායම සමත්වීමත් සමඟම ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සමාරම්භක තරගයෙන් පරාජය වූ පළමු සත්කාරක රට බවට කටාර් රාජ්‍යය පත් විය.
අල් බයිට් ක්‍රීඩාංගණයේදී 67,372ක ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා මැදින් ආරම්භ වූ මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ගෝලය එල්ල කිරීමේ සහ මුල්ම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමේ වාර්තා දෙකම අත්කර ගැනීමට ඉක්වදෝරයේ 33 හැවිරිදි වැලෙන්සියා සමත් විය.
තරගයේ තුන්වැනි මිනිත්තුවේදීම ඔහු ප්‍රතිවාදී කණ්ඩායමේ දැල අසලදී හිසින් එල්ල කරමින් ගෝලයක් වාර්තා කළ ද, පසුව එය විනිසුරුවරයා විසින් නිශ්ප්‍රභා කරනු ලැබුවේ ඒ වන විට වැලෙන්සියා ‘ඕෆ් සයිඩ්‘ ස්ථානයේ සිටි බව තහවුරු වීමෙනි. කෙසේ වෙතත් සිය කණ්ඩායමේ බලාපොරොත්තු සුන් නොකළ හෙතෙම 16 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම ඔසවා තැබූ අතර, එය ඕනෑම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක පළමු තරගයේ පළමු ගෝලය දඬුවම් පහරකින් වාර්තා වූ පළමු අවස්ථාව ද විය.
ඉන් නොනැවතුණු වැලෙන්සියා සිය කණ්ඩායමේ වීරයා බවට පත් වෙමින් 31 වැනි මිනිත්තුවේදී එල්ල කළ අගනා ගෝලයෙන් ඉක්වදෝරයේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළ ගියේය. පළමු භාගය නිමාවට පත් වූයේ ගෝල 2-0කින් ඉක්වදෝරය පෙරමුණේ තබමිනි. දෙවැනි භාගයේදී දෙපිලටම ගෝල රහිත කාලසීමාවක් බවට පත් වූයේ ඉක්වදෝරයට මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය අත්කර දෙමිනි.
ජාතික ගීත නොගැයූ ඉරාන ක්‍රීඩකයෝ
එංගලන්තය සහ ඉරානය අතර තරගයට පෙර දෙරටේ ජාතික ගී වාදනය වූ අවස්ථාවේදී ඉරාන ක්‍රීඩකයන් නිහඬව සිටීම ආන්දෝලනයට තුඩු දුන්නේය. ඉරාන ක්‍රීඩකයන් එම තීරණය ගෙන ඇත්තේ මේ වන විටත් ඉරානයේ රජයට එරෙහිව එරට ජනතාව සිදු කරන දැවැන්ත විරෝධතාවට සහාය දැක්වීමටය. එම විරෝධතා ආරම්භ වූයේ මීට මාස කිහිපයකට පෙර ඉරාන පොලිසිය විසින් හිස් ආවරණය නොපැලඳීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණියක සිර මැදිරිය තුළදී ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.
‘මේ ජාත්‍යන්තර තරග ඉසව්වේදී අපි අපේ ජනතාව වෙනුවෙන් සහයෝගය දක්වන බව ලෝකයට කියනවා‘ තරගයට පෙර ඉරාන පිලේ නායක එහ්සාන් හජ්සාෆි වාර්තකරුවන්ට එසේ ප්‍රකාශ කළ අතර, සිය ක්‍රීඩකයන්ට ඒ සඳහා පූර්ණ අයිතිය ඇති බව කණ්ඩායමේ කළමනාකරු ද සඳහන් කළේය.
මේ තරගයේදී ගෝල වර්ෂාවකින් ඉරානය අන්දමන්ද කළ එංගලන්ත ක්‍රීඩකයෝ ගෝල 6-2ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
වසර 64 කට පසු වේල්සය ලෝක කුසලානයට
වේල්සය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගත්තේ වසර 64කට පසුවය. පළමු හා අවසන් වරට ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වූයේ 1958 වසරේ ස්වීඩනයේ පැවැති තරගාවලියටය. එම තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගිය වේල්සය එහිදී බ්‍රසීලය හමුවේ පරාජයට පත් වූ අතර, ශූරතාව දිනා ගනු ලැබුවේ බ්‍රසීල කණ්ඩායමය.
ඉතිහාසයේ දෙවැනි වතාවට පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන වේල්සය ගෝල 1-1කින් අමෙරිකාව සමඟ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත්තේ නායක ගැරත් බේල්ගේ දඬුවම් පහර මඟිනි.
අමෙරිකාවට ගෝලයක් ගෙන දුන් ලයිබීරියාවේ ජනපති පුත්‍රයා
වේල්සයට එරෙහිව පැවති අමෙරිකාවේ පළමු තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ දෙපිලටම සැමරීමට සිදුවීම් ඉතිරි කරමිනි. වේල්සය වසර 64කට පසු තරගාවලියට එක්වීම සමරද්දී අමෙරිකාව වෙනුවෙන් එකම ගෝලය 36 වැනි මිනිත්තුවේදී රැස් කිරීමේ ගෞරවය දිනූ තිමොති වේ අසමසම වාර්තා දෙකකට හිමිකම් කියමින් වාර්තා පොතට එක් විය.
හෙතෙම ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ ගෝලයක් වාර්තා කළ පළමු හා එකම ජනපති පුත්‍රයා ලෙසත්, වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස ෆිෆා සම්මානලාභි ක්‍රීඩකයකුගේ පුත්‍රයකු එවැනි දස්කමක් පෑ පළමු අවස්ථාව ලෙසත් එය වාර්තා පොතට ඇතුළත් විය.
තිමොතිගේ පියා ලයිබීරියාවේ වත්මන් ජනාධිපති ජෝර්ජ් වේ ය. හෙතෙම හිටපු විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකි. ජෝර්ජ්ගේ බිරිය ජැමෙයිකානු ජාතික ක්ලාර්ට දාව තිමොති නිව්යෝක් නුවරදී උපන්නේ අමෙරිකාවේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදීය. ජෝර්ජ් වේ 1995 වසරේ ලෝක පාපන්දු ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය.
ආජන්ටිනාව පරදවමින් සෞදි අරාබිය
පාපන්දුවෙන් කළ විස්මිත පෙරළිය
දහසක් බලාපොරොත්තු පොදි බැඳ කටාර් දේශයට පැමිණි ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා පිල සෞදි අරාබිය හමුවේ ලැබූ ගෝල් 2-1ක ලජ්ජා සහගත පරාජය විචාරකයන් හඳුන්වන්නේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ විශාලතම පෙරළිය ලෙසටය.
දෙවතාවක් පාපන්දු ලෝක ශූරයන් වූ ආජන්ටිනාව වැනි ප්‍රබලතම කණ්ඩායමක් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබිය වෙතින් එතරම් දරුණු පරාජයක් අත්විඳීම තවමත් විචාරකයන්ගේ නළල් තල රැලි ගැන්වෙන සිදුවීමකි.
මෙසීගේ දඬුවම් පහරකින් වේලාසනින්ම 1-0කින් පෙරමුණ ගැනීමට ආජන්ටිනාව සමත්වූවත්, දෙවැනි භාගයේදී මිනිත්තු 5ක් ඇතුළත සෞදි ක්‍රීඩකයෝ ගෝල දෙකක්ම එල්ල කළහ. එය තරගය උඩුයටිකුරු කළ අතර, ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ හදවත් ගැස්ම වැඩි කළ සිදුවීමක් ද විය.
තරගයෙන් පසු එදින රාත්‍රිය සෞදි අරාබියට එකම සැණකෙළියක් විය. කටාර් දේශයේ සිටින සෞදි වැසියනුත්, ක්‍රීඩාංගණයේ සිට ආපසු යමින් සිටි සෞදි ජාතිකයනුත් එකට එක්වී වීදි පුරා ජයග්‍රහණය සැමරූ අතර, පසුදින සෞදි අරාබියට ජාතික නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජු කටයුතු කළේය.
ක්‍රීඩකයෝ ජර්මනිය පරදවද්දී ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගණය සුද්ධ කරති
විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝල 2-1කින් ජර්මනිය පරාජය කිරීමට ජපාන ක්‍රීඩකයන් සමත් වෙද්දී ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතිවිශාල ජපාන ක්‍රීඩාලෝලීන් පිරිස ජය සැමරුවේ තරගයෙන් පසු ක්‍රීඩාංගණය පිරිසුදු කිරිමෙන් පසුවය.
තරගය අතරතුර ක්‍රීඩාලෝලීන් විසින් ඉතිරි කළ ආහාර සහ හිස් බීම බෝතල්, පානීය ජල බෝතල් ඇතුළු කුණු කසළ විශාල ප්‍රමාණයක් මුළු ක්‍රීඩාංගණය වටා ගොස් පිරිසුදු කරමින් ඒවා එක් ස්ථානයකට ගොඩ ගසමින් ජපාන ක්‍රීඩාලෝලීන් විසින් කරනු ලැබූ කාර්යභාරය ජාත්‍යන්තර අවධානයට ලක් විය.