ලැප්ටොප් චාජරය පිපිරී දිවියට සමුදුන් ඉඳුවර | සිළුමිණ

ලැප්ටොප් චාජරය පිපිරී දිවියට සමුදුන් ඉඳුවර

සෙනාෂ් ඉඳුවර සහ පුපුරා ගිය ලැප්ටොප් චාජරය

- මේ සිද්ධිය හැම දෙනාටම පාඩමක්
- අම්බලන්ගොඩ ගාමිණි මහ විදුහලේ නව වන වසරේ දක්ෂ සිසුවෙක්

වුපියන්ට තම ලෙයින් මසින් මෙලොවට බිහි කරන දරුවා තරම් සම්පතක් මේ ලෝකයේ තවත් නැත. දරුවකු සිය කුස පිළිසිඳ ගත් දා සිට ඒ මව කන බොන දෙය පමණක් නොව යන එන ගමන බිමන මෙන්ම කරන කියන වැඩ කටයුතු පවා කරන්නේ කුස තුළ සිටින දරුවාට කිසිම කරදරයක් උපද්‍රවයක් නොවන පරිද්දෙනි. දරුවා මවු කුසෙන් මෙලොවට බිහි කළ දා සිටම තම ලෙය කිරට හරවා දෙමින් සහ පෝෂණය කරමින් රැක බලාගන්නේත් ලොකු මහත් කරගන්නේත් සිය දෑසට වඩා දරුවාට ආදරය සෙනෙහස දක්වමිනි. ඒ අන් කිසිවක් නිසා නොව මවුපියන් හට තම ලෙයින් මසින් උපන් දරුවා තරම් වස්තුවක් මේ ලොව තවත් නොමැති නිසාය.

මේ ලෝකයේ වෙසෙන සියලුම මවුපියන් මෙලෙස යැයි කිසිවකුටත් පැවැසිය නොහැකිය. ඒ සිය කුසෙන් උපන් දරුවන් ආදරයෙන් සෙනෙහසින් රැකබලා නොගෙන බලු පැටවුන්, බළල් පැටවුන් මෙන් අතහැර දමා යන හෝ ඔවුන්ගේ ජීවිත හානි කර දමන මවුවරු පියවරුද ඉඳහිට හෝ අප අතර සිටින බව අමතක කළ නොහැකිය.

කෙසේ නමුත් සිය පණ මෙන් තම දරුවන්ට ආදරය සෙනෙහස දක්වන මවකට පියෙකුට සිය දෑස් ඉදිරිපිටම තම දරුවකු ජීවිතය හැර යනවානම් එය කෙසේ ඉවසා සිටින්නේදැයි කිසිවකුටත් සිතා ගත නොහැකිය. මේ අනුවේදනීය කතාවෙන් කියවෙන්නේ එවැනි කතාවකි.

අම්බලන්ගොඩ, බටපොළ ඉඳිකැටිය, බෙන්වල පාරේ, අංක 350/1 නි‍ෙවසේ පදිංචි 48 හැවිරිදි රුවන් ප්‍රසාද් වන්නිආරච්චි වෘත්තියෙන් පින්තාරුකරුවකු ලෙස රැකියාව කළේය. ඔහුගේ බිරිය ඉන්දිකා විජේවර්ධන යහපත් ගෘහිණියක් ලෙස ගෙදර දොර වැඩ කටයුතු කරමින් කාලය ගත කළාය. මේ දෙපළට දරුවන් දෙදෙනෙකි. ඒ දියණියක සහ පුතෙකි.

ඉගෙනීමට දස්කම් දැක්වූ දහනව හැවිරිදි වැඩිමහල් දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටී.

බාල දරුවා 2008 අගෝස්තු මස 20 වෙනි දින ‍ෙමලොව එළිදුටු දැනට දාහතර හැවිරිදි වියේ පසුවන සෙනාෂ් ඉඳුවර වන්නිආරච්චි පුතුය. ඔහු අම්බලන්ගොඩ ගාමිණි විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

ඉගෙනීමට දස්කම් දැක්වූ ඉඳුවර පරිගණකය කෙරෙහිද මහත් ඇල්මක් දැක්වූවේය. පාසල අවසන්ව නි‍ෙවසට පැමිණෙන මේ දරුවා කා බී පොතපත වැඩකටයුතු කිරීමට අමතරව පරිගණකය පරිහරණය කරන්නටද උනන්දුවක් දැක්වූවේය. ඉඳුවරගේ පරිගණකයේ චාජරය නොමැති වූ නිසා ඔහු පාසල් මිතුරෙකුගෙන් චාජරයක් ඉල්ලාගෙන පැමිණියේ එදින පාසල අවසන්ව ගෙදර එන ගමන්ය. ඒ ඉකුත් 16 වැනි බදාදාය.

නි‍ෙවසේ සිට දිනපතා බසයක නැඟී පාසල් යන එන ඉඳුවර ඉකුත් බදාදා දහවල් පාසල අවසන්ව නි‍ෙවසට පැමිණියේය. දහවලට කා බී මඳ වේලාවකට පසුව සිය මව සමඟ නිවස අසල වූ ළිඳට ගොස් නාගත් ඉඳුවර ඇඟ පිසදා ගත් තෙත තුවාය ඇඳගෙනම නිවසට පැමිණියේය. මව ඒ වන විටත් ළිඳ ළඟ රෙදි සෝදමින් සිටියාය.

නි‍ෙවස තුළට පැමිණි ඉඳුවර පරිගණකය ක්‍රියාත්මක කළේය. එය ක්‍රියාත්මක වී සුළු මොහොතකින් යළි අක්‍රිය වී ගියේය. පරිගණකයට සම්බන්ධ කරගත් මිතුරාගෙන් ඉල්ලාගෙන ආ චාජරයේ කිසියම් දෝෂයක් නිසා එසේ වන්නට ඇතැයි සිතූ ඉඳුවර එම කොටස ගලවා පරීක්ෂා කරමින් සිටියදී සිදු වූයේ සිහිනෙන්වත් නොසිතූ දෙයකි.

විදුලි බලය විසන්ධි වී තිබී එක්වරම විදුලිය යළි සක්‍රිය වීමත් සමඟ බිත්තියේ තිබූ ස්විචයට සවිකර තිබූ වයරය දිගේ ගලා ආ විදුලිය ශරීරගත වීම නිසා ඉඳුවර සිටි තැනම බිම පතිත විය. බිම හිඳගෙන පරිගණකය උකුළ මත තබාගෙන සිටි ඉඳුවරට විදුලිසැර වැදීමත් සමඟ බිම පතිත වෙද්දී ඒ උපකරණ ඔහුගේ ළය මත තිබිණි.

ළිඳ ළඟ සිට නි‍ෙවසට ආ මව දුටු දසුනින් භිරාන්ත වූවාය. ඇය කෑමොර දුන්නාය. අසල්වාසින් ද කැඳවාගෙන ඉඳුවර පොල්වත්ත රෝහලට රැගෙන ගිය අතර එතැනින් බළපිටිය මූලික රෝහලට රැගෙන යනු ලැබූහ. වෛද්‍යවරු වහාම මේ දරුවාට ප්‍රතිකාර කරනු ලැබීය. වෛද්‍යවරු කොතෙක් උත්සාහාගත්තද ඉඳුවරගේ ජීවිතය බේරාගන්නට ඒ කිසිවකුටත් නොහැකි විය. තම දෑස මෙන් රැකගත් ඉඳුවර සිය පියාගේත් මවගේත් සියලු අපේක්ෂාවන් බිඳ දමමින් ජීවිතයෙන් සදහටම සමු ගත්තේ සියල්ලන්ගේම හදවත් කම්පාවෙන් කඩා වැටෙද්දීය.

අම්බලන්ගොඩ විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූ අතර නි‍ෙවසට විදුලිය සැපයීමේ කිසිම දෝෂයක් තිබී නැතැයි ඉන් තහවුරු වී ඇත.

මවුපියන් ඥාතීන් ඇතුළු අවට ගම්වාසින්ගේ සෝ සුසුම් මැද සෙනාෂ් ඉඳුවර ඉකුත් සෙනසුරාදා සවස ඉඳිකැටිය පවුලේ සොහොන් බිමේ දී සියල්ලන්ගෙන්ම සමුගෙන මිහිකත තුරුලේ සැතපුණේය.

මෙය මවුපියන් මෙන්ම දරුවන්ද පාඩමකට ගත යුතුය.

අද පාසල් යන වයසේ පමණක් නොව කිරි බොන වයසේ දරුවන් පවා ජංගම දුරකතනයටත්, පරිගණකයටත් ඇබ්බැහි වී ඇත්තේ කන බොන දෙයටත් වඩා ගිජු ලෙසය.

මවුපියන් මේවා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු අතර දරුවන් පාවිච්චි කරන විදුලි උපකරණ ගැන මෙන්ම අනෙකුත් මෙවලම් ගැනද මීට වඩා අවධානය යොමු කළ යුතුය.

අයි.එම්.වී.චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය සමූහ

Comments