ලංකාවේ ක්‍රිකට්වලට වින කරන ආගම්වාදී මාෆියාවේ ඇතුළු පැත්ත | Page 2 | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට්වලට වින කරන ආගම්වාදී මාෆියාවේ ඇතුළු පැත්ත

යෝධ බූවල්ලකු මෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය ගිල ගන්නා එක්තරා ආගමික නිකායක් පිළිබඳ යළි කතාබහට ලක් වෙමින් තිබේ. ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට නම් එම ආගම් නිකායේ භක්තිකයකු විය යුතු බවට මීට වසර ගණනාවකට පෙර මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැතිර ගිය අද්භූත කතා පුවත යළි කරළියට පැමිණ තිබේ. පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමෙන් ඉවත් කිරීමත්, ඔහුට අත්හිටවූ තරග තහනමක් පැනැවීමත් සිදු වූයේ එම ආගමික සංවිධානයේ බලපෑම මත බවට ද තොරතුරු පැතිරෙමින් තිබේ. මේ පළ වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වැලඳුණු ‘බෝන් එගේන්‘ පිළිකාවේ සැබෑ තතු අනාවරණය කිරීමට ‘සිළුමිණ‘ ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.

ඕනෑම පුද්ගලයකුට ඕනෑම ආගමක් ඇදහීමට ඇති අයිතියට සහ නිදහසට ගරු කළ යුතු වූව ද, එම ආගම හෝ ඇදහීම තවත් කෙනකුගේ වෘත්තීයට හෝ අනාගතයට බලපෑම් කිරීම සඳහා යම්කිසි පිරිසක් හෝ පුද්ගලයකු විසින් අනිසි ලෙස භාවිත කරනු ලබන්නේ නම් ඊට විරුද්ධ වීමට ද ඕනෑම අයකුට අයිතිය තිබේ. එහෙත් චාමිකගේ සිදුවීමෙන් පෙනෙන්නේ ‘බෝන් අගේන්‘ යනු ඒ අයිතිය පවා උදුරා ගැනීමට තරම් ප්‍රබල ආගමික සංවිධානයක් බවය. එය සිදු වූයේ ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව බවටත් ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. චාමිකගේ විනය පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් චාමික කරුණාරත්න කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් ලිඛිතව කරුණු විමසන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබූ මොහොතේදී බවට මේ වන විටත් විවිධ පුවත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වන පුවත් මඟින් ද, ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයන්ගෙන් ද තොරතුරුවලින්ද පෙන්වා දී තිබේ.

අවසන් වරට ඔස්ට්‍රේලියාව සමඟ පැවැති එක්දින තරගයේදි ලකුණු 75ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූ මේ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීම දෙස් විදෙස් ක්‍රිකට් වාර්තාවලින් පවා කරුණු පෙන්වා දී තිබුණේ එය විමතියට කරුණක් බව සඳහන් කරමිනි. එම සිදුවීම පාර්ලිමේන්තුව දක්වා දුර දිග ගිය අතර, පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී දැඩි අවධානයට ලක් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් කිසි ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට ඔහු එකඟ නොවීම නිසා බවටත් රාවයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ප්‍රකාශ කර තිබිණි.

චාමික කරුණාරත්න යනු බෞද්ධ දර්ශනය අදහන ක්‍රීඩකයකු බව ප්‍රකටය. ඔහු මෑතකදී සිය පෞද්ගලික මුදලින් බලපිටියේ එක්තරා පන්සලක දාන ශාලාවක් ඉදිකර දුන් බවට ද වාර්තා වේ. බෞද්ධ දර්ශනයට නැඹුරු වූ එවැනි ක්‍රීඩකයන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝන් අගේන් නිකායට බැඳෙන ලෙස බලපෑම් සිදුවන බවත්, එසේ නොවන්නේ නම් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට යම්කිසි බලවේග ක්‍රියාත්මක වන බවටත් ආන්දෝලයට තුඩු දෙන පුවත් මේ වනවිට සමාජයේ පැතිර තිබේ.

චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල විනය කමිටුවක් පත් කර තිබූ මොහොතකදී බව සැබෑය. එහෙත් ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම සහ එම විනය පරීක්ෂණය අතර කිසිදු සම්බන්ධතාවක් නැති බව පසුගියදා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඔහු කියා සිටියේ චාමික කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවේ විනය හේතු මත නිසා නොව ඔහු දස්කම් නොදැක්වීම නිසා බවය. ඇරත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම විය යුත්තේ හොඳම කණ්ඩායම තේරීම බවත්, ක්‍රීඩකයාගේ විනය සම්බන්ධව යම්කිසි චෝදනාවක් තිබේ නම් ඊට පියවර ගැනීම ක්‍රිකට් පරිපාලනය සතු කාර්යභාරයක් බවත් පසුගියදා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද ප්‍රකාශ කර තිබිණි. ක්‍රීඩකයකුගේ විනය සම්බන්ධව ගැටලුවක් තිබේ නම් ඒ සඳහා පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව අර්ජුන රණතුංගගේ අදහසය. එහෙත් එය සිදුවිය යුත්තේ නිවැරදි ක්‍රමවේදය යටතේ බව ඔහු අවධාරණය කළේය. ඔහු ප්‍රකාශ කරන්නේ එක්දින තරගවල දස්කම් දක්වා ඇති බැවින් චාමික කණ්ඩායමට තෝරා ගැනීමට පියවර ගත යුතුව තිබූ බවය. එබැවින් චාමිකගේ විනය සම්බන්ධ ගැටලුව පිළිබඳ පරීක්ෂණය සිදු කළ ආකාරය පිළිගත නොහැකි බව අර්ජුනගේ අදහස වී තිබේ.

එය සැබෑය. චාමිකට එරෙහි විනය පරීක්ෂණය සිදු වූයේ ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසුව බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. විනය පරීක්ෂණයට පෙනී සිටින ලෙස අදාළ පාර්ශ්වයෙන් ඔහුට දැනුම් දී ඇත්තේ ද එම පරීක්ෂණයට පැයකට පමණ පෙර බවට ද කරුණු වාර්තා වේ. ඒ වනවිට කණ්ඩායමෙන් ඉවත් කර තිබූ බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත T-10 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට චාමික බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන්ට ලබා දෙන විරුද්ධත්වයක් නැති බවට වන සහතිකය (No Objection Letter) ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු පසු වූ බවත් කියැවේ. චාමිකට විනය පරික්ෂණයට මුහුණ දීමට සිදු වී ඇත්තේ ඒ අතරතුරදීය. ඒ වනවිට ඔහු අබුඩාබි තරගාවලිය සඳහා පිටත්වීමට සූදානමින් සිටි බවත්, විනය පරීක්ෂණයට පෙනී සිටියේ ගුවන් තොටුපොළට යෑමට මොහොතකට පෙර බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

චාමිකගේ විනය පරීක්ෂණයේ වාර්තා වන තොරතුරුවලට අනුව විනය කමිටුව ඔහුගෙන් විමසා ඇත්තේ කරුණු දෙකක් අරභයාය. ඉන් පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ කැසිනෝ ශාලාවකදී ඇති කරගත් බව කියන ගැටුමක් සම්බන්ධවය. සැබැවින්ම චාමික ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනකු එදින රාත්‍රී ආහාරය සඳහා ගොස් ඇත්තේ කැසිනෝ ශාලාවක් පිහිටි හෝටලයක අවන්හලකට බවත්, එහි කැසිනෝ ශාලාව පිහිටා ඇත්තේ එ් හෝටලයේ ඉහළ මාලයේ බවත් ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එහිදී කිසිදු ගැටුමක් සිදු වූ බවට වාර්තා නොවීය. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මඟින් පවා එවැනි සිදු වීමක් පිළිබඳ වාර්තා නොකිරීමෙන් එය තහවුරු වේ. යම්කිසි ශ්‍රී ලාංකිකයන් පිරිසක් චාමික ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් සම්බන්ධව බහින් බස් වීමක් සිදුවී ඇතැයිද, එය ඒ මොහොතේදීම සමථයකට පත් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා විය. ඒ අනුව එම ස්ථානයේදී බහින්බස් වීමක් සිදු වූ බව විනය කමිටුව හමුවේ චාමික පිළිගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

දෙවැනි කරුණ චාමික කරුණාරත්න සිය හෝටල් කාමරය තුළ දී බුදු පහනක් දැල්වීමය. විනය කමිටුව හමුවේ චාමික එය පිළිගෙන ඇති අතර, එසේ බුදු පහන දැල්වීම හේතුවෙන් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට ඩොලර් දහසක දඩයක් ද පැනවූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

බොහෝ විදෙස් හෝටලවල ආරක්ෂක විධිවිධානවලට අනුව කාමර තුළ ගිනි දැල්වීම එම හෝටලයේ නීතිරීති උල්ලංඝනය කිරීමක් බැවින් එවැනි පැමිණිල්ලක් මත කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කිරීම වෙනම කාරණාවකි. එහෙත් විනය කමිටුව හමුවේ ඊට පිළිතුරු බැඳීමට තරම් එය බරපතළ වරදක් වන්නේ කෙසේදැයි යන්න විමතියට කරුණකි. ඒ අනුව ඔහු සියලු චෝදනා පිළිගත් බව කියමින් දැඩි ලෙස අවවාද කිරීමට සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතයට බලනොපාන ආකාරයෙන් දඬුවමක් කරන ලෙසත් නිර්දේශ සහිතව විනය කමිටුව ක්‍රිකට් ආයතනයට වාර්තාවක් ලබා දී ඇති අතර, ක්‍රිකට් විධායක කමිටුව ඒ අනුව එම තහනම පැනැවීමට තීරණය කළ බව චාමිකගේ තහනම සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින්ම නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් විය.

අවසානයේදී එදින රාත්‍රී අබුඩාබි බලා යෑමට ගුවන්ගත වීමට නියමිතව සිටි චාමිකට ක්‍රිකට් ආයතනයේ ලිපිය ලැබී ඇත්තේ ගුවන් යානයට ගොඩවීමට පැයකට පමණ පෙර බව වාර්තා වේ. ඔහු එදින පස්වරු 6.00ට ගුවන් තොටුපොළට යෑමට නියමිතව සිටි බවත්, ක්‍රිකට් ආයතනයේ ලිපිය ඔහුට ලැබී ඇත්තේ පස්වරු 5.ට බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ ලිපිය ලැබූ සැණින් ඔහු කටුනායක ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

චාමික කරුණාරත්න කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතුව ඔහු බෝන් අගේන් ආගමික නිකායට බැඳීම ප්‍රතික්ෂේප කරමින් එම නිකාය විවේචනය කිරීම නම් එය ඉතා කනගාටුදායක සිදුවීමකි. එමෙන්ම එය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මන්ද අතීතයේ මෙවැනි අන්තවාදී ආගමික නිකායන් හෝ වෙනත් ඇදැහිලි කිසිවකින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල වූ බවක් අසන්නට නොලැබුණු බැවිනි. එකල කොළඹ රාජකීය, සාන්ත තෝමස්, සාන්ත පීතර සහ සාන්ත ජෝශප් වැනි කතෝලික පාසල්වලින් දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රුමේෂ් රත්නායක ඇතුළු කතෝලික ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් වූ අතර, පසුකාලීනව අර්ජුන රණතුංග, රොෂාන් මහනාම, අසංක ගුරුසිංහ වැනි ආනන්ද - නාලන්ද බෞද්ධ පාසල්වලින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් වූහ. ශ්‍රීධරන් ජෙගනාදන්, මුත්තයියා මුරලිදරන් වැනි දමිල හින්දු ආගම අදහන ක්‍රීඩකයන් ද, උවෙයිස් කර්නයින්, මුම්ටාස් යූසුෆ් වැනි ඉස්ලාම් දහම අදහන ක්‍රීඩකයන් ද, ජාතික කණ්ඩායමේ සෙසු ආගමික ක්‍රීඩකයන් සමඟ එකාවන්ව එකමුතුව ක්‍රීඩා කළහ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ එකමුතුභාවය අභියෝගයකට ලක් කරමින් ‘බෝන් අගේන්‘ උන්මාදය ව්‍යාප්ත වූයේ මෑත ඉතිහාසයේදීය. කතෝලික දහමට සම්බන්ධ වූ නිකායක් වූවද, සම්ප්‍රදායික කතෝලික දහමෙන් හාත්පසින්ම වෙනස් ‘බෝන් අගේන්‘ මෙරට ව්‍යාප්ත වූයේ ඉහළ පැළැන්තියේ ධනවත් පවුල්වලට බව ඉතිහාස තොරතුරුවල සඳහන් වේ.

එවකට ආන්දෝලනයට තුඩු දුන් ක්‍රිකට් ඒජන්ත චාලි ඔස්ටින් හරහා බෝන් අගේන් උන්මාදය ක්‍රිකට් කණ්ඩායමට වැලඳුණු බවට කරුණු වාර්තා වූවද, බෝන් අගේන් නිකායට ක්‍රිකට් ක්‍රීඩකයන් ඇද ගත් ප්‍රධාන පුද්ගලයා ලෙස හඳුන්වනු ලබන්නේ කොළඹ සුප්‍රකට කතෝලික පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කඩුලු රකින වමත් පිතිකරු ජෙරොම් ප්‍රනාන්දුය. හෙතෙම වර්තමානයේ ඔහු විසින්ම ඔහු හඳුන්වා ගන්නේ අනාගත වක්තෘ (ප්‍රොෆට්) වරයා ලෙසිනි. එවකට රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකු පාස්ටර් කෙනකු වූයේ කෙසේදැයි යන්න මේ ලිපියට අදාළ නැත. මීගමුව කේන්ද්‍ර කරගත් බැතිමතුන් දහස් ගණනකට සහභාගි විය හැකි තරම් අතිවිශාල ගොඩනැගිල්ලක් ඉදි කොට එහි පූජා පවත්වමින් සිටින දිවැසිවරයා ලෙස ඔහුගේ අනුගාමිකයන් අතර ගෞරවයට පාස්ටර්ගේ හාස්කම්, ඉන්ද්‍රජාල වැඩකටයුතු, අනාගත පේන කියැවීම් මේ ලිපියට අදාළ නැත. එහෙත් ජාතික කණ්ඩායමට එක්වීමට බෝන් අගේන් නිකායට බැඳිය යුතු වීම තරම් මතවාදයක් ගොඩනැඟීමටත්, ඒ හරහා රටක් ලෙස ජාත්‍යන්තරයේ පෙනී සිටිමින් මව්බිමට කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩකයන් බිලි බා ගැනීමටත් තරම් ඔහුගේ ආගමික කටයුතු ප්‍රබල නම් එය ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් නොව ජනාධිපතිවරයාගෙත් දැඩි අවධානය යොමු විය යුතු කාරණාවකි.

මේ වනවිට පාස්ටර් ජෙරොම්ගේ දේව පුත්‍රයා බවට පත්වී සිටින්නේ භානුක රාජපක්ෂය. ඔහු මෙන්ම ඔහුගේ බිරියත් දැන් බෝන් අගේන් නිකායේ සාමාජිකයෝ වෙති. එය භානුකගේ සහ ඔහුගේ බිරියගේ ආගමික අයිතියක් බැවින් ඊට අභියෝග කිරීම හෝ එය විවේනය කිරීම තරම් නොවේ. එහෙත් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ගෙනදීමට භානුක සමත් වූයේ බෝන් අගේන් නිකායට පින්සිදු වන්නට බව පාස්ටර් ජෙරොම් ප්‍රකාශ කරන්නේ නම් එය හාස්‍යජනක කාරණාවකි. අනික තනිකරම අවිද්‍යාව මත පදනම්ව සිදු කෙරෙන එවැනි ප්‍රකාශ හුදු ප්‍රලාපයන් පමණි. එවැනි ප්‍රකාශ තුළින් පාස්ටර් ජෙරොම්ගේ අපේක්ෂාව තවදුරටත් රටේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් බිලි බා ගැනීම නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගෙම පිහිටය.

එක අතකට භානුකලා වැනි ක්‍රීඩකයන් මේ අවිද්‍යාව පසුපස යෑමට ජාතික පිලේ හිටපු ඇතැම් ක්‍රීඩකයන් ද වගකිව යුතුය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරු යුගලයක් ද, ඔවුන්ගේ බිරින්දෑවරුන් ද බෝන් අගේන් සාමාජිකයන් බව කියැවේ. පසුගිය කාලයේ මෙරටින් බිහි වූ දක්ෂ කඩුලු රකින පිතිකරුවකු දික්කසාද වීමෙන් පසු ඔහුගේ බිරිය බෝන් අගේන් නිකායට බඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ එම පිතිකරු යුගලයේ එක් අයකුගේ හිටපු බිරිය බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට අමතරව මෑත කාලයේ හිටපු තවත් ක්‍රීඩකයන් රැසක් ද බෝන් අගේන් සාමාජිකයන් බව වාර්තා වේ. ප්‍රවීණ විස්තර විචාරකයකු ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනකු ද, හිටපු පුහුණුකරුවන් කිහිපදෙනකු ද, ජාතික ක්‍රිකට් සංචිතයේ වර්තමානයේ සිටින තවත් පුහුණුකරුවන් කිහිපදෙනකු ද පාස්ටර් ජෙරොම්ගේ නිත්‍ය සාමාජිකයන් බවට තහවුරු වී තිබේ. භානුකලා වැනි ක්‍රීඩකයන් ද, ජාතික කණ්ඩායමට සේන්දු වීමට අපේක්ෂාවෙන් පසුවන සෙසු ක්‍රීඩකයන් ද බෝන් අගේන් පසුපස යෑමට ඒවා ද බලපාන්නට ඇත. බෞද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව කතෝලික ක්‍රිකට් ක්‍රීඩකයන් ද බෝන් අගේන් නිකායට බඳවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බව කියැවේ. මේ බලපෑමට හසු නොවන කතෝලික ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව ද අදෘශමාන බලවේග ක්‍රියාත්මක වන බව පෙනේ.

පසුගිය කාලයේදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කරනු ලැබූ හෙළිදරව්වකින් බෝන් අගේන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත රටටම වින කරන ආගමික උන්මාදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවට සමාජයේ දැඩි විශ්වාසයක් පැතිර යමින් තිබේ. පසුගිය වසරේ පෙබරවාරියේ කාදිනල් හිමිපාණන් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ පාස්ටර්ලා යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා කණ්ඩායම් තැනින් තැන වරින් වර බිහි වී රටේ ප්‍රවීණයන්, කෘතහස්ත කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන් ආදි පිරිස් ඉලක්ක කරමින් සංවිධානාත්මක යම් ක්‍රියා පිළිවෙතක් සිදු කරමින් සිටින බවය. මේ සම්බන්ධව කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කරමින් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ රෝමානු කතෝලික සභාවට ඊනියා පාස්ටර්ලාගේ ක්‍රියාකාරකම් සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවය. එමෙන්ම කලින් කල හතු පිපෙන්නාක් මෙන් මතු වෙන පාස්ටර්ලා යැයි කියා ගන්නා අය පවත්වා ගෙන යන සංවිධාන, රැස්වන ස්ථාන, ඔවුන්ගේ නියෝජිතයන් නිල පුහුණුවක් ලැබූ හෝ වගකීමකින් හෝ ප්‍රමිතියකින් යුතු පිරිසක් බව නොපෙනෙන බවත්, සියුම් ව හා සූක්ෂම ලෙස ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත්ම පිළිගන්නට බැරි ප්‍රයෝගකාරී විජ්ජාකාරී මෙන්ම ජනතාව නොමඟ යවන සුලු ක්‍රම භාවිත කරමින් ආගමික ශිෂ්ටාචාරයත් හෑල්ලු කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළහ. පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් සිදු කරන මෙවැනි අන්තවාදී වැඩ කටයුතු හෙළා දකින බවත්, ජනතාව මුළා කරන මෙවැනි වැඩ කටයුතු සිදුවීම ඉතා බරපතළ තත්ත්වයක් බවත්, එය ආගමික නිදහසට සහ ආගමික සමගියට බාධාවක් වනු ඇති බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වින කරන ආගමික උන්මාදය හෙවත් ඊනියා පාස්ටර්ලාගේ වැඩ කටයුතු අරභයා ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි සියලු ජනතාව අවදියෙන් පසුවිය යුතු බවට හොඳම නිදසුන එය නොවේද?

ආගමික උන්මාදයෙන් ක්‍රීඩකයන්ට සිදු කරන අශෝභන හිරිහැරවළක්වන්න 
- අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමි

‘සිළුමිණ‘ට විශේෂ ප්‍රකාශයක් කරමින් නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ අවධාරණය කළේ මෙවැනි උමතුවෙන් පෙළෙන පුද්ගලයන් ඉවත් නොකිරීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට නොහැකි බවය.

‘දීර්ඝ ඉතිහාසයක් තුළ බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආදී සියලු ආගමිකයන් සහයෝගයෙන් ජීවත් වුණු මෙරට ඔවුනොවුන් තමන්ගේ ආගම අදහාගෙන තමන්ගේ අනන්‍යතා ආරක්ෂා කරගෙන කටයුතු කරන තාක් කිසිම ජාතියක ගැටලුවක් ඇති වෙන්නේ නෑ. නමුත් මේ අන්තවාදී ව්‍යාපාර තමයි මේ රටේ දිගින් දිගටම ගැටලු හැදුවේ. මෑත කාලයේ අපට තියෙන ලොකුම තර්ජනය තමයි මේ බෝන් අගේන් කියන ආගමික සංවිධානය මේ රටේ විවිධ ක්ෂේත්‍ර හරහා ඉතාම ම්ලේච්ඡ විදිහට ආගම ව්‍යාප්ත කරන වැඩ පිළිවෙළක් යනවා මෙච්චර විද්‍යාත්මක ලෝකයේ‘

එළියේ ඩිජිටල් පෙනුණට ඇතුළෙන් ඇනලොග් මිනිස්සු ඉන්නෙ 
- අමාත්‍ය මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී කියයි

‘අතීතයේදී මේ භූමිය හැදින්වූයේ දෙවියන්ගේ පාරාදීසය කියලා. හැබැයි අර ක්‍රිකටර්ස්ලාගේ වයිෆ්ලා කියන දෙයියන්ගේ වගේ නම් නෙමෙයි. මැච් දිනවන, වැසි වස්සන දෙවියන්ගේ නෙමෙයි. දැන් ක්‍රිකට් ටීම් එකේ බුදු පහන පත්තු කළොත් එළියේ, හැබැයි දෙයියන්ට ඕනෑ විදියට, ෆාස්ටර්ලට ඕනෑ විදියට වැඩේ කළොත් ටීම් එකේ ඇතුළේ. ඒ වගේ ඒවා තියෙනවා කියලත් අපට ආරංචියි. මේ අය මොන ආගමේ වුණත් එළියේ ඩිජිටල් පෙනුණට, ඇතුළෙන් ඇනලොග් මිනිස්සු ටිකක් තමයි මේ වැඩ කරන්නේ.

කුමන ආගමක් මෙවැනි දෙයක් කළත් වැරදියි
- කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

බලෙන් මූලධර්මවාදයකට ගන්නවා නම් ඒක හරිම වැරදි ක්‍රියාවක්. ආගම් අතර බේද ඇතිවෙලා යම් යම් කෝලාහල තත්ත්වයන් පවා පසුගිය කාලේ ඇති වුණා. මේ වගේ කටයුත්තක කුමන ආගමක් නිරත වුවත් ඒක වැරදි බව කිව යුතුමයි. අපිට තොරතුරු ලැබිලා තියෙනවා, මේ ක්‍රීඩා කණ්ඩායම්වලත් මේ මූලධර්මවාදී කල්ලිවලට සම්බන්ධ අය ඉන්නවා, ඒ හරහා අනික් ක්‍රීඩකයන් අගතියට පත් වෙනවා කියලා. ඒ නිසා ඒ අයට අගතියක් වෙන බවක් අපට පේනවා.

Comments