මගේ ජීවිතේ වෙනස් කළේ මාස තුනක් තිස්සේ සිපර් තේරුව එක | සිළුමිණ

මගේ ජීවිතේ වෙනස් කළේ මාස තුනක් තිස්සේ සිපර් තේරුව එක

  • Aitken Spence (Garments) Ltd හි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලුෂාන් පෙරේරා
  • මට විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තිබුණෙ නෑ
  • උසස් පෙළ ප්‍රතිඵල එන්න කලින් මං රස්සාවක් කළා
  • අතරමැදියන් නැති ගනුදෙනුව මම සියයට 428කින් වැඩි කළා

වැවිලිකරුවකු වීමට සිහින දුටු ඔහු නවතින්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ය. දේශීය මෙන්ම විදේශීය සන්නාම හා ගනුදෙනු කරන හේ මේ වන විට ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක ඇඟලුම් ප්‍රවර්ධනයේ ලා බලපෑම් කරන නිල තනතුරක හිමිකරුවෙකි. නමින් ලුෂාන් පෙරේරා වෙන ඔහු මේ වනවිට Aitken Spence (Garments)Ltd හි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරියා වෙයි. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වන ලුෂාන්, සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ හදාරන ඔහු කැනඩාවේ රෝයල් රෝඩ්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු වේ. එමෙන්ම ලුෂාන් ඇඟලුම් සම්බන්ධ කාර්මික හා අධ්‍යයන ඩිප්ලෝමාධාරියෙකි. මහන්සි වී වැඩ කිරීම ජීවන විලාසය හා අරමුණ කරගත් ඔහු සිය ජීවිතයේ සාර්ථකත්වයේ රහස වටිනාකම් රැක ගනිමින් සිය අරමුණුවලට ළඟා වීම බැව් මේ සංලාපය ඔස්සේ අවධාරණය කරයි. අදටත් රග්බි ලෝක කුසලාන තරගාවලිය බැලීමට ලොව ඕනෑ ම රටකට යන්නට තරම් රග්බි ලෝලියෙක් වන ලුෂාන් සිය ජීවන මංතලාවේ ගමන් මඟ ගැන කරන ලද සංලාපයක සංක්ෂිප්තයයි මේ.

 සම්පූර්ණ නම

කසදෝරුගේ ලුෂාන් ලිස්සංක පෙරේරා

 උපන්නේ

කොළඹ. දැනට පදිංචිය කැස්බෑව

 උපන්දිනය

1978 ජුලි 27 වැනිදා

 අම්මා තාත්තා රැකියා කළාද?

මොනවද ඔවුන්ගේ නම්

අම්මාගේ නම චිත්‍රා, ඇය ගෘහිනියක්. තාත්තා විල්සන් පෙරේරා, ඔහු Walkers and Sons ආයතනයේ කාර්මික නිලධාරියෙක්. මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා, ඇගේ නම අනුෂා.

 පාසල් අධ්‍යාපනය ලබන්නේ

මම එක වසරේ ඉඳන් කොළඹ කේරි විද්‍යාලයට ගියේ.

 කොහොමද පාසල් කාලෙ ගෙවෙන්නෙ. බාහිර වැඩ එහෙම කළාද?

මම ඉගෙන ගන්නවට වඩා කළේ බාහිර වැඩ. කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයෙක්ගෙ ඉඳන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දක්වා ම කටයුතු කළා. ඊට අමතරව මම සාහිත්‍ය සංගම් ඇතුළු බොහෝ සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වැඩ කළා. ඒ වගේම පිහිනුම් කණ්ඩායමේ නායකයත් මම. රගර් කණ්ඩායමේ දීප්තිමත් ක්‍රීඩකයෙක් මම. කණ්ඩායම් නායකයා විදියටත් මම කටයුතු කළා. විශාල ජයග්‍රහණ රාශියක් මම නායකයා වෙලා ඉද්දි අපි පාසලට අත්කර දුන්නා. පාසල නියෝජනය කරමින් අපි විදෙස් රටවල් තුනකටත් ගියා. ඒ හොංකොං, තායිලන්තය හා සිංගප්පූරුවට. පාසලෙන් ඉවත් වුණාට පස්සෙත් මම රගර් ක්‍රීඩා කළා.

 මේ බාහිර වැඩ කන්දරාවත් එක්ක කොහොමද උසස් පෙළ කර ගත්තේ

මම වාණිජ අංශයෙන් උසස් පෙළ කළේ. එක්වරයි පෙනී හිටියෙ. විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තිබුණෙ නෑ. කොහොමත් ඒ බාහිර වැඩ කන්දරාවත් එක්ක මට එච්චර පාසල් වැඩවලට මූලිකත්වය දෙන්න බැරි වුණා. මම ඒ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නෑ. අද මම මේ තත්ත්වෙ ඉන්නෙ ඒ දේවල් කළ නිසා.

 උසස් පෙළට සමුදුන්න ගමන් විශ්වවිද්‍යාලෙ නොගිය ඔබට එකපාර රැකියාවකට යන්න හිතුණෙ ඇයි?

ඒකට හේතුවක් තිබුණා. කේරි විදුහල පෞද්ගලික පාසලක්. මුළු පාසල් කාලෙම පාසලට මුදල් ගෙවුවෙ ගෙදරින්. මට උවමනා වුණා ගෙදරින් කිසිම මුදලක් නොගෙන උසස් පෙළෙන් පස්සෙවත් මගේ හයියෙන් නැඟීටින්න. ඒනිසා මම සෙවන් ටු සෙවන් කියන රෙස්ටුරන්ට් එකේ අමතර රැකියාවක් කළා. මට ඒකෙන් පොඩි ගාණක් ලැබුණා, මගේ වැඩ කරගන්න. මම එතැන මාස තුන හතරක් වැඩ කළා.

 සෙවන් ටු සෙවන් එකෙන් සමුඅරන් ඊළඟ නැවතුම කොතැනද?

මට ඇත්තට ම උසස්පෙළ ප්‍රතිඵල එන්නත් කලින් මට ජාත්‍යන්තර ආයතනයක් වුණු ඩෙල්මේජ් ෂිපින් එකේ රැකියාවක් ලැබුණා ෂිපින් අංශයට අදාළව. මම කළමනාකාර පුහුණුවන්නෙක් ලෙස තමයි බැඳුණෙ. මාස තුනක් විතරයි මම එතැන හිටියෙ. හැබැයි ඒකෙ මම එකතැන ඉඳන් කරන වැඩක් කළේ. මට ඕන වුණේ ටිකක් දුවලා පැනලා වැඩක් කරන්න.

 කොහොමද ඇඟලුම් ක්ෂේත්‍රයට එන්නෙ

ඒක වුණේ පත්තරේ දැන්වීමකට මම අයදුම්පතක් දැමීමෙන්. යූනියන් පෙදෙසේ තිබුණු රෙඩිවෙයාර් ඉන්ඩස්්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් ආතතනයේ පුහුණු අලෙවිකරුවකු ලෙස මට ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පසු රැකියාව ලැබුණා. ඒක තමයි ඇඟලුම් ක්ෂේත්‍රයේ මගේ පළමු රැකියාව.

 මේ අතරෙ ඔබ අධ්‍යාපන කටයුතු කොහොමද කරගෙන යන්නෙ

මම කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා කිහිපයක් කළා, රත්මලානෙ CITI එකේ. ඒ අතරෙ මම මොරටුව විශ්වවිද්‍යාලෙ පාඨමාලාවකුත් කළා. මම ඒ වෙනකොටත් කළ රැකියාවෙන් ලැබෙන මුදලෙන් ගණනක් සීට්ටුවකට දාලා ඒකෙන් ලැබුණු මුදලින්

ෆීනික්ස් කොලේජ් ටෙක්ස්ටයිල් ටෙක්නොලොජි ඩිප්ලෝමා එක කළා. අපි තමයි පළමු කණ්ඩායම. මට ඒ කාලෙම තේරෙනවා මම යන්න ඕන පාර මේක කියලා.

 ඒ කියන්නෙ ඔබ ඔබේ වෘත්තීය විලාසිතාව හඳුනා ගන්නවා

ඔව්, ඇත්තටම. ඒ වගේම කළමනාකාර පුහුණුවන්නෙක් විදියට බැඳුණු මම මාස තුනේ පුහුණුව දවස් 21න් ඉවර කරනවා. මම ඒකෙන් පාස් වෙනවා. මගේ පළමු කාර්යය විදියට මට ලැබෙන්නෙ අමුතුම වැඩක්. එයාලගෙ වෙයාර් හවුස් එක ඇතුළෙ සිපර් මිලියන හතකට අටකට එහා තිබුණා. ඒක ඇතුළෙ හුස්ම ගන්නවත් අමාරුයි, එක ලයිට් එකයි, එක ෆෑන් එකයි තිබුණෙ. එක කම්කරුවෙක් හා ලිපිකරුවෙක් මට දුන්නා. මාස තුනක් ඒ ශාලාවේ ඉඳගෙන මට තිබුණෙ සිපර් තෝරන එක. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒක මම මාස තුනක් එක දිගට කළා. මම කළමනාකාරීත්වයට ඕන විදියට මේ දේ හරියට කරලා දුන්නා. ඒ අභියෝගය මම ගත්තා.

 ඔබේ විෂය වෙන්නෙ ඇඳුම් පැලඳුම්. ඊට අදාළව වැඩිදුරටත් හදාරනවද?

මම විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. සති අන්තයේ මම දේශනවලට සහභාගී වුණා. රැකියාවත් ඒ අතරෙ දිගටම කරගෙන ගියා. ඒ අතරෙ මම බ්‍රැන්ඩික්ස් ආයතනයට බැඳුණා. එතන මම අවුරුදු 2ක් හිටියා. ඊට පස්සෙ මම නෙක්ස්ට් ආයතනයට එකතු වුණා. ඒක ලෝකයේ ඇඟලුම් සම්බන්ධ හොඳම ආයතනයක්. අවුරුදු 5ක් විතර හොඳ පුහුණුවක් ලැබුණා මට ඒකෙන්. ඇඟලුම් ක්ෂේත්‍රයේ මුල, මැද සහ අග පුරුක් කොහොමද එකතු වෙන්නෙ කියන එක ගැන මට හොඳ අවබෝධයක් ලැබුණෙ එතැනින්. විලාසිතාවක් හැදෙන තැන දක්වා සියල්ල මම තේරුම් ගන්නෙ එතැනින්.

 එතැනින් පස්සෙ ඔබ සම්බන්ධ වෙන්නෙ කුමන ආයතනයට ද?

Melbourne Washing Plant Pvt Ltd කියන ආයතනයට මම සම්බන්ධ වෙනවා. ඒක EAM Maliban සමූහයට අයත් ආයතනයක්. ඒකෙදි මම සම්බන්ධ වෙන්නෙ Industrial Washing අංශයට. ඒ කියන්නෙ නිමි ඇඳුම්වල අගය වැඩි කරන ක්‍රියාදාමයක්. එතැන මම අවුරුදු 3ක් වැඩ කරලා රැකියාවක් සඳහා බංග්ලාදේශයේ චිතගොන්වලට යනවා. ඒ හයිඩ්‍රාමනි ආයතනයේ කොටසක් වෙන Regency Garments Ltd කියන ආයතනයට. එතනදි මට අභියෝගයක් ලැබෙනවා, අතරමැදියන් නැතිව ගනුදෙනුකරුවන් එක්ක කෙළින්ම ගනුදෙනු කරන්නෙ කොහොමද කියන එක. මම අවුරුදු 9ක් ඒ ආයතනයේ සේවය කරනවා. වර්ධනය සියයට හාරසිය විසි අටකට මම වැඩි කරනවා. සාමාන්‍යාධිකාරී (අලෙවි) තනතුර දරමින් සිටියදී තමයි ඒ ආයතනයෙන් ඉවත් වෙන්නෙ. මම ඒ අතරෙ බංග්ලාදේශ් ඩකාවල ග්‍රීන්ෆීල්ඩ් ව්‍යාපෘතියක් වුණු ප්‍රගති ඇපරල් බංග්ලාදේශ ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි හා අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරනවා. ඒ වෙනකොට මට අවුරුදු 38 යි. මම එවකට ඒ ආයතනයේ ළාබාලතම විධායක නිලධාරියා. බිංදුවේ ඉඳන් මම පටන් ගත්තෙ. අවුරුදු 3ක් යන කොට අපි ඩොලර් මිලියන 60ක ආදායමක් ලබන ආයතනයක් බවට පත් වුණා.

 මේ සියල්ල සාර්ථක ව කරමින් ඉන්න ඔබ එක්වර ලංකාවට එන්න තීරණය කරනවා. මොකද්ද හේතුව?

2021 මම ලංකාවට ආවෙ ඇත්තට ම පවුල ගැන හිතලා. කොරෝනා වසංගතයත් ආවා. අපේ ආයතනයේ ගොඩක් ලංකාවෙ අය වැඩ කළා. එ් අයට ඒ වගේ අවදානම් අවස්ථාවක කළ යුතු සියල්ල සම්පාදනය කරලා තමයි මම ආවෙ. මොකද මගේ බිරිය, දරුවො හිටියෙ ලංකාවෙ. මට මගේ පවුලෙ අය එක්ක ඉන්න ඕන වුණා. මගේ චූටි දුවට එතකොට අවුරුද්දයි.

 ආයෙත් රැකියාවකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ඔබට ලැබෙනවාද? නැත්නම් සොයා ගන්නවාද?

ඇත්තටම මට ආරාධනයක් ලැබිලා තිබුණා Aitken Spence (Garments)Ltd ආයතනයෙන්. මට ආරාධනය ලැබුණේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරියා විදියට. මම මේ ටික කාලයක් ඇතුළත විශාල වෙනසක් කරමින් ඉන්නෙ. මේකත් පරිසර හිතකාමි ආයතනයක්. කොටස් 4ක් ඔස්සේ සිය සාධනය අත්කර ගන්නා ආයතනයක්. වර්ධනය, මානව සම්පත, ඵලදායිතාව, ශාක හා මිනිසුන් කියන අංශ දියුණු කරගනිමින් ඉන්න ආයතනයක්. මේ ආයතනය තමන්ගෙ අභිමානය රැක ගනිමින් ගුණාත්මක දේ නිෂ්පාදනය කරමින් තමන්ගේ පාරිභෝගිකයාට සේවය කරන ආයතනයක්. අවුරුදු 40ක ඇඟලුම් ක්ෂේත්‍රයේ අභිමානවත් නමක් Aitken Spence (Garments) ආයතනයට තියෙනවා.

 වාණිජමය විෂයයන් කරන ඔබ ඇඟලුම් වැනි විෂයයක් තෝරා ගැනීමට හේතු සාධක මොනවද?

මට ඇත්තටම ආශාව තිබුණෙ වැවිලිකරුවෙක් වෙන්න. මම හරි ආසයි වවන්න. මම අදටත් ඒක විනෝදාංශයක් වශයෙන් කරමින් ඉන්නෙ. මම සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක එකතු කෙනෙක්. මට හොඳට සන්නිවේදනය කරන්න පුළුවන්. මිනිසුන්ගෙ අවශ්‍යතා මට තේරෙනවා. අපි ජාතීන් ගොඩක් එක්ක වැඩ කරනවා. එක එක ජාතීන් හිතන පතන විදිය වෙනස්. අපේ තියෙන අවශ්‍යතාව එතනට ගෙන යෑම සහ ඒක සන්නිවේදනය කරන්නෙ කොහොමද කියන දේ මට හොඳට වැටහෙනවා. ඒකයි මට ඇඟලුම් ක්ෂේත්‍රය හොඳට අල්ලලා ගියේ.

 තමන්ගෙ සේවකයන් එක්ක කරන ගනුදෙනුව කොහොමද?

මම හරි ඩිමාන්ඩින් බොස් කෙනෙක්. මට හැමදේම පිළිවෙළට ඕන. අපි දෙයක් කරනවා නම් හරියට කරන්න ඕන. නැතිනම් නොකර ඉන්න ඕන. බාගෙට කරන දේවලට මම කැමැති නෑ. මගේ තියෙන ලොකුම ශක්තිය මගේ කණ්ඩායම ශක්තිමත් කරන එක. මම විතරක් නොවෙයි, මගේ යටතේ ඉන්න සියලු අය දැනුම, අත්දැකීම්, සංවිධානාත්මක බවෙන් දියුණු වෙන්න ඕන. පිට තැනකින් ගේනවට වඩා ඉන්න අය වර්ධනය කර ගන්නයි මම කැමැති. බැරිම නම් විතරක් ඒ අවශ්‍යතාව අනුව ඒ දේට විතරක් ගන්න ඕන. මේ පදනම් තමයි මම විශ්වාස කරන්නෙ. මේවට කැමැති පිරිසක් වගේම අකමැති පිරිසකුත් ඉන්න පුළුවන්. හැබැයි මගේ අරමුණ එකයි. ඒ තමයි ආයතනය දියුණු කිරීම. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ වැඩ කරන පොඩිම කෙනාගේ සිට ඔවුන්ගේ අභිවෘද්ධි සාධනය. කොහොමත් මෙහෙම වැඩ කරද්දි වැඩ කරන්න බැරි අය හැලෙනවා.

 මොකද්ද ඔබේ සාර්ථකත්වයේ රහස

අංක එක තමයි මහන්සි වී වැඩ කිරීම. වාසනාව තියෙන්න ඕන. නමුත් මහන්සියෙන් වැඩ කිරීම සහ ඉලක්කයකට වැඩ කිරීම කියන එක තමයි ප්‍රධානම. එහෙම වුණාම මිනිස්සුත් අපි එක්ක වැඩ කරන්න කැමැතියි.

 කාටහරි ඔබේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශ මොනවාද?

මම පටන් ගත්තේ ප්ලේන්ටියක් බීලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා පුහුණු කළමනාකරුවෙක් විදියට පත්වීමක් ලබාගෙන. ඊට පස්සෙ මම මාස තුනක් තිස්සෙ සිපර්ස් තේරුවා. මම එදා ඒක අත්හැරියා නම් අද මෙතනට එන්න බෑ. අපි සාමාන්‍යයෙන් වංසෙ කබල් ගානවා. හැබැයි අපි අතින් වෙන්න ඕන දේ කරන්නෙ නෑ.

 අනාගත පරම්පරාව වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නෙ?

තමන්ගෙ වටිනාකම් කියන ඒවා රකින්න ඕන. අපි කොච්චර දියුණු වුණත් වැඩක් නෑ, අපේ වටිනාකම් නැති වෙලා නම්. අද වුණත් අපිට උගන්වපු ගුරුවරයෙක් හමු වුණොත් තැන අදාළ නෑ වඳිනවා. තමන් කොයිතරම් උඩට ගියත් වටිනාකම් නැති කරගන්න එපා කියන දේ මම කියන්නම ඕන. ඒ වටිනාකම් අපට මුලින්ම අපේ ගෙදරින් කියලා දුන්නා. ඒවගේම බම්බලපිටිය වජිරාරාම අපේ දහම් පාසලේ මඩිහේ පඤ්ඤාසිහ හාමුදුරුවෝ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො සිහිපත් කරන්න ඕන. පාසල ගත්තත් එහෙමයි. ඒ දේවලින් ගත් වටිනාකම් තමයි අපි ඉහළට ඔසවා තැබුවේ. මොනවා තිබුණත් වැඩක් නැහැ අපි ජීවිතේ වටිනාකම් රකින්නේ නැත්නම්.

 කවුද ඔබේ ජීවන සහකාරිය

ඇය මට හමුවෙන්නේ බංග්ලාදේශයේදී. ඇය ඉන්දීවරී. අපි විවාහ වෙන්නේ 2010 අගෝස්තු 21 වැනිදා. මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව රිතාරා, ඇයට අවුරුදු 11යි. ඇය මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. පොඩි දුව යෙනාරා, ඇයට තවම අවුරුදු තුනහමාරයි.

 සාමාන්‍යයෙන් පොත් කියවන්න කැමැතිද?

මම කැමැති විෂයානුබද්ධ පොත් කියවන්න. ගොඩක් වෙලාවට මම අන්තර්ජාලයෙන් විවිධ විෂයයන් ගැන, ආයතන ගැන ආදිය කියවනවා.

 චිත්‍රපට බලන්න කැමැතිද? නැත්නම් තවමත් අත්හරින්නෙ නැතිව රගර් මැච් බලනවද?

අනිවාර්යයෙන් මම රගර් මැච් නම් බලනවා. ලෝක කුසලාන රගර් ක්‍රීඩාවලිය බලන්න මම ඒ තරගාවලිය තියෙන රටකට හරි යනවා. ඒවගේම චිත්‍රපටත් බලනවා.

 පොඩි කාලෙ ඉඳන් වැවිලිකරුවෙක් වෙන්න තිබුණු ආශාවට මොකද වුණේ?

මම තාමත් ආසයි ඒකට. ඉඩ ලැබෙන හැම වෙලාවකම මම කරන්නෙ ඒක. දැන් මම කාබනික වගාවක් කරනවා. ඒක පටන් ගත්තෙ 2018දී. මට නුවර ගොවිපළක් තියෙනවා.

 සංචාරය කරන්න කැමැති කොහේද?

වැඩිපුර ඇවිදිලා තියෙන්නෙ පිටරටවල. ලංකාවෙ නම් මුහුදු වෙරළට, කැලෑවට, යාල, විල්පත්තු අභයභූමිවලට යන්න කැමැතියි. නැඟෙනහිර පැත්තෙ ඇවිදින්න ගොඩක් කැමැතියි.

 බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

මම ඉන්නෙ ඇපරල් ක්ෂේත්‍රයේනෙ. ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ බ්‍රෑන්ඩඩ් තමයි.

 ජීවිතේ හැරිලා බලද්දි පසුතැවෙන තැන් තියෙනවාද?

අපි සමහර වෙලාවට කරන වැඩවලින් අත්දැකීම් ගන්නවා. ඒකෙන් බලලා හදා ගන්නවා ඇරෙන්න, නැවත එවැනි වැරැද්දක් නොවෙන්න උත්සාහ කිරීම හැරෙන්න ලොකුවට පසුතැවෙන දේවල් ජීවිතේ නෑ. අත්දැකීම් එක්ක බලද්දි මේක මේ විදියට වුණා නම් ගොඩක් හොඳයි කියලා හිතුණු අවස්ථා නම් තියෙනවා.

සුමුදු චතුරාණී ජයවර්ධන

 

Comments