පාරම්පරික වෙදකමෙන් සියලු රෝග සුව කරන හෝමාගම වෙද හාමිනේ | සිළුමිණ

පාරම්පරික වෙදකමෙන් සියලු රෝග සුව කරන හෝමාගම වෙද හාමිනේ

  • ආතරයිටිස් හා අක්මා රෝගවලට වැඩි ප්‍රසිද්ධියක් උසුලයි
  • ආතරයිටිස් රෝග 166ම සනීප කරන එකම වෛද්‍යවරිය
  • බයිපාස් නොකර ඕනෑම හෘද රෝගියකු සුව පත් කළ හැකියි
  • පොතු කබර රෝගය හා සමේ රෝග සඳහා නැවත කිසිදු වෛද්‍යවරයකු ළඟට නොයන ලෙස නිට්ටාවට සුව කළ හැකිය
  • අක්මාවේ තෙල් තැන්පත් වී ඇති රෝගීන් මාස තුනකින් සම්පූර්ණයෙන් සුව කරනවා

වර අප ඉසිවර අරණ තුළින් හඳුන්වා දෙන්නේ පුලතිසි පරපුරෙන් පැවත එන නවගමුවේ පාරම්පරික හෙළ වෙද පරපුර ගැනය. එම හෙළ වෙද පරපුරේ මේ දක්වා පරම්පරා තුනක් වෛද්‍යවරියන් තිදෙනකු විසින් නියෝජනය කිරීම විශේෂය. නවගමුව වෙද පරපුරේ අට වැන්නා වන අපගේ කතා නායිකාව හෙළ වෙදකමේ මහිමයෙන් හෘදයාබාධ, ඇදුම, පීනස, දියවැඩියාව, පිළිකාව, අංශබාගය, ආතරයිටිස්‌, අක්මා රෝග, පොතු කබර රෝගය වැනි බෝ නොවන රෝග සහ සියලුම සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරයි. එන්ගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, යූක්රේනය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, සෞදි අරාබිය, කුවෙට්, බහරේන්,දොහකටාර්, ඩුබායි, අබුඩාබි, සයිප්‍රස් ආදී රටවල් දහඅටක පමණ ඉතා ප්‍රසිද්ධ ඇය, හෙළ වෛද්‍යාචාර්ය චාන්දනී වික්‍රමාරච්චි ය. පසුගිය වසරේ දී (2021) ඇයට ඉන්දියාවෙන් ආචාර්ය උපාධියක් පවා ප්‍රදානය කෙරුණේ ඇය සතු විස්මිත ප්‍රතිකාර නිසාමය. ඉසිවර අරණේ අපි ඇය සොයා හෝමාගම අතුරුගිරිය පාරේ නගර සීමා මාවතේ පිහිටි සිද්ධාධී වෙදමැදුරට ගොඩ විමු.

ව්‍යාපාරික සේපාලිස් අප්පුහාමිට සහ කරුණාවති හපුආරච්චිට දාව තලංගම උඩවත්ත ග්‍රාමයේදී මෙලොව එළිය දුටු ඇයගේ වේලපත් කඩය කියැවූ මිත්තණිය වූ නවගමුවේ හෙලේනා පෙරේරා වෙදහාමිනේ, තම වෙද පරපුරේ මීළඟ පුරුක ඇය බව සැක හැර දැනගත්තාය. “ඕන් අපේ වෙද පරම්පරාව ලෝකෙට අරන් යන්න කෙලි පොඩිත්තියක් හම්බවෙලා, මං මේ කෙලීට මං දන්න හැමදේම කියලා දෙනවා.” යැයි ඕ බිලිඳිය දෝතට ගනිමින් කිවාය. චිත්‍රා චාන්දනී ලෙස ඇයට නම් තැබූ ඕ තොමෝ එතැන් පටන් චාන්දනීට මුලකුරු කියැවීමේ සිට සියලු ශාස්ත්‍රයන් ඉගැන්වීමේ කාර්ය ඇය අතට ගත්තාය. බහ තෝරන වියේ සිට ඇය මිමිණුවේ මිත්තණියගේ ඉගැන්නුම්ය. වයස අවුරුදු පහ සම්පූර්ණ වන විට කුඩා චාන්දනී ඖෂධ පැළෑටි හොඳින් හැඳින්නාය. ඒවායේ නම් පමණක් නොව ඖෂධීය ගුණය ද චාන්දනීට කටපාඩම් විය. මිත්තණිය බෙහෙත් හදන, තෙල් හිඳින ආකාරය ඇය බලා සිටියේ ඉතාමත් ආසාවෙනි. කොටින්ම ඇගේ දවසම ගෙවුණේ මිත්තණියගේ වෙද අසපුවේය.

මාලබේ රාහුල විද්‍යාලයට(වර්තමානයේ රාහුල බාලිකා මහා විද්‍යාලය) ඇතුළත් වූ චාන්දනී, හෝඩිය පන්තියේ සිට 8 වසර දක්වා එහි අධ්‍යාපනයේ නිරත වූවාය. ඒ අතරතුර මිත්තණිය ඇසුරේ වැඩෙමින් මනා ලෙස වෙදකම ප්‍රගුණ කළාය. අට වසරේදී රාහුල විද්‍යාලයට සමු දුන් ඕ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබුවාය. 1979 වසරේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට ඉදිරිපත් වූ ඇයට එක් ලකුණකින් විශ්වවිද්‍යාල වරම් අහිමි විය. විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත්තද ඇය එහි නොයැවීමට ඒ වනවිටත් සේපාලිස් අප්පුහාමි තීරණය කර තිබුණි. ඒ ඒ වනවිට රට තුළ පැවති දේශපාලන තත්ත්වය හේතුවෙනි.

චාන්දනී කෙමෙන් වැඩිවියට පත්වන විට මිත්තණිය කළුරිය කළෙන් ඈ වෙදකමින් ඈත් වීමට තීරණය කළාය. ඇයගේ අත පතා ඩී.පී වික්‍රමාරච්චි මංගල යෝජනාවක් ගෙන ආවේ ඒ කාලයේදීය. ඔහු සමඟ අතිනතගත් චාන්දනී හෝමාගම පදිංචියට පැමිණියාය. විවාහයෙන් ඇය දියණියන් තිදෙනකු ලබුවාය. අසල්වැසි ඇතැම් දෙනා ඇය සොයා විත් බෙහෙත් හේත් ආදිය විමසනු දුටු ඩී.පී වික්‍රමාරච්චි “ ඇයි මැණිකේ, ඔච්චර හොඳ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයක් දැනගෙන නිකන් ඉන්නේ? මං උදවු කරන්නම්, ඔයා වෙදකම පටන්ගන්න, දුවලත් උදවු කරාවි.” යැයි කියමින් බිරිය උනන්දු කළාය. ලෝකයක් වටින මේ වෙද හාමිනේ පූර්ණකාලීන වෙදකමට සම්ප්‍රාප්ත වන්නේ ඒ අනුවය. ඇය ඒ ගැන පැවසුවේ මෙවැන්නකි.

“මට මේ තැන හදල දීලා මට මේ තත්ත්වයට එන්න උදවු කළේ එයා. ඇත්තටම ඔහු හොඳ ස්වාමි පුරුෂයෙක්, මිනිසුන් අතර දෙවියෙක්. පස්සේ මං නාවින්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෙදකම පිළිබඳ විභාගය සමත් වෙලා වෛද්‍ය සහතිකය ලබාගත්තා. ඒ අනුව නවගමුවේ පාරම්පරික වෙදකම ඉදිරියට කරගෙන යන්න මට අවස්ථාව හිමි වුණා.

අපේ හෙළ වෙදකම ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි අන්දමේ ඖෂධ සංයෝගවලින් පරිපූර්ණ වෛද්‍ය ක්‍රමයක්. මගේ ආච්චි අම්මා ගොඩක්ම දක්ෂ පිළිකා රෝගයට ප්‍රතිකාර කරන්න. ඒ හැකියාව මටත් ලැබුණා. විශේෂයෙන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා ආදී පිළිකා විශේෂයි. මේ වෙද්දී පිළිකා රෝගීන් දසදහසක් පමණ දෙනා මා සුවපත් කර තිබෙනවා. පිළිකා රෝහලෙන් දවසින් දෙකෙන් මිය යනව බව නිශ්චිතව ප්‍රකාශ කළ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන අවුරුදු පහක් හයක් හොඳින් ජීවත් වී තිබෙනවා. එවැනි රෝගියෙක් නිට්ටාවට සුව කළ නොහැකි වුණත් ඔවුන්ගේ ආයු කාලය දික්කර දෙන්න මට හැකියාව තිබෙනවා. මේ හැරෙන්නට හෘද රෝගීන්, විශේෂයෙන් බයිපාස් රෝගීන්, කොලෙස්ටරෝල් අධිකතාවයෙන් පෙළෙන රෝගීන්, ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් බඩේ තුවාල ඇති වූ රෝගීන්, ෆැටි ලිවර් යනුවෙන් හඳුන්වන අක්මාවේ තෙල් තැන්පත් වූ රෝගීන් මා පූර්ණ ලෙස මාස තුනක් ඇතුළත සුව කරනවා. බටහිර වෙදකමින් ජීවත් කරවන්න බැහැ මාසෙන් දෙකෙන් මැරෙනවා කියූ අක්මාවේ සිරෝසීස් හැදුණු රෝගීන් මා ප්‍රතිකාර කර වසර පහ හය ජීවත් කර තිබෙනවා.”

සිද්ධාධී වෛද්‍ය මධ්‍යස්ථානයට වැඩියෙන්ම ප්‍රතිකාර ගන්න එන්නේ ඇවිදින්න බැරි ආතරයිටිස් රෝගීන්, අක්මා රෝගීන්, සිරෝසිස් රෝගීන් සහ දියවැඩියා රෝගීන්. ගොඩක් අය හොඳ කරන්න බැහැ කියන ඕනෑම ආතරයිටිස් රෝගියක් මම සනීප කරනවා. ආතරයිටිස් රෝගයේ දරුණුම අවස්ථාව රුමටෙයිඩ් ආතරයිටිස් මේ රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ජානවලින් වැලඳෙනවා. ඒ වගේම ඩෙංගු, චිකන්ගුන්‍යා වැනි ශරීරගත රෝග වැලඳුණු අයටත් ආතරයිටිස් රෝගය හැදෙනවා. ඒ නිසා තාමත් බටහිර වෛද්‍යවරුන්ට රුමෙටොයිඩ් ආතරයිටිස් වැලඳෙන හේතුව නිවැරදිව සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ අය කියන්නේ ප්‍රතිශක්තීකරණය ඇඟටම පහර දීමෙන් ඇති වන රෝග තත්ත්වයක් කියලයි. ආතරයිටිස් කියන්නේ එක වර්ගයක් නෙමෙයි. ඔස්ටියෝ ආතරයිටිස්, ඔස්ටියෝ පොරොසිස්,ඔස්ටියෝ පීනියා, සොයිට්ක්,ආතරයිටිස් ආදී දරුණු ආතරයිටිස් රෝග තිබෙනවා. ඒවා නිවැරදිව හඳුනා ගෙන නිවැරදිම ප්‍රතිකාරය කළ යුතුයි. ඒවගේම මේ රෝගීන් නිවැරදි පරීක්ෂණයක් මඟින් සන්ධි රෝගීන් ද ආතරයිටිස් රෝගීන් ද කියා වෙන් කර හඳුනා ගත යුතුයි. හැම හන්දි අමාරුවක් තියෙන රෝගියකුටම ආතරයිටිස් කිව්වොත් එහි වැරැද්දක් තිබෙනවා. සමහර රෝගීන් ඉන්නවා ගොඩක් ඇවිදීම නිසා කොන්දෙ ඇද වුණු රෝගීන්, ඒ වගේම දිගුකාලීනව එකම ඉරියවුවෙන් වැඩ කිරීම නිසා හෝ බර ඉසිලීම නිසා දණිස් ගෙවිච්ච අය අපි ගාවට එනවා. ඒ අයට තියෙන්නේ දණිස් ගෙවීමක් මිසක් ආතරයිටිස් නෙමෙයි. ඒ නිසා රෝගී තත්ත්වය කුමක්ද කියා සැක හැර දැනගත යුතුයි. ඒ සඳහා සම්පූර්ණ ලේ පරික්ෂාවක්, සී.ආර්.පී, රුමෙටොයිඩ් පරීක්ෂණය, ඊ.එස්.ආර් යන පරීක්ෂණ මඟින් එය සැක හැර දැනගත හැකියි. සමහර විට ඒ හතරම සාමාන්‍යවෙලා ඇවිද ගන්න බැරි රෝගීන් මං ළඟට ඇවිත් තිබෙනවා. එයාට ආතරයිටිස් නැහැ. නමුත් වෙනත් හන්ධි වාත රෝගයක් තිබෙනවා. එවැනි සන්ධි රෝගීන් වගේම ආතරයිටිස් රෝග 166ටම ප්‍රතිකාර කර සුව කිරීමේ හැකියාවක් අපේ වෙදකමට තිබෙනවා.

ඒ වගේම සාමාන්‍ය‍ෙයන් හෘදයාබාධයක් වැලඳුණු රෝගීන් එන්ජෝයිග්‍රෑම් රිපොට් එකක් හරි ඊ.සී.ජී එකක් අරන් අපි ළඟට එනවා. එහෙම නැතුව කෙනෙක් අපිට ඇවිත් කිව්වොත් මට හරි අමාරුයි මගේ පපුව කැක්කුමයි කියලා, අපි එයාගේ රෝග ලක්ෂණ බලලා නාඩි අල්ල බැලුවම අපට තේරෙනවා එයා හදවත් රෝගියෙක්ද? වෙනත් රෝගයක්ද තියෙන්නේ කියලා. හදවත් රෝගියෙකු නම් හදවතේ නාලයක එක බාධාවක් හරි තියෙනව නම් එයාට ඇවිදින්න බැහැ, අත දිගේ වේදනාවක් එනවා,පපුව කැක්කුමයි, පපුව දනවා, කොන්ද කැක්කුමයි, අධික වෙහෙසයි, පපුවේ මහන්සියක් එනවා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් එයාට හෘදයාබාධයක් වැලඳීමේ පෙර නිමිති පහළ වෙලා. එහෙම අවස්ථාවක වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකර ගැනීමෙන් රෝගය පහසුවෙන් සුව කර ගත හැකියි. ඒ වගේම ලිපිඩ පරීක්ෂණයක් මඟින් එල්.ඩී.එල් අගය වැඩි නම් එම පුද්ගලයා අවදානම් මට්ටමක සිටින බව හඳුන ගන්න පුළුවන්. එවිට එයාගේ ලේවල මේදය ඉවත් කරලා නාලවල බාධාවක් තියෙනව නම් ඒවා දියවෙලා යන්න ප්‍රතිකාර ලබා දෙනවා.

මීට අමතරව සමේ රෝග, අංශ බාගය, පීනස, ඇදුම හා සියලු කාන්තා රෝග මෙන්ම මතක ශක්තිය නැතිව ගිය අයට යළි මතකය ලබාදීමට මගේ ප්‍රතිකාරවලින් පුළුවන් ඒ වගේම නැවත බෙහෙත් නොබී ඉන්න දියවැඩියා රෝගය සුව කර දෙන්න මට පුළුවන්."

බොහොමයක් ලෙඩ රෝග සඳහා බලපාන්නේ අප එදිනෙදා ගන්නා ආහාරපානය. ඒ පිළිබඳව ඇය පවසන්නේ මෙවන් අදහසකි. “දැන් මිනිස්සු ගත කරන්නේ අතීතයේ නොදියුණු යුගයේ ජීවත් වුණු අය ගෙවපු ජීවිත නෙමෙයි. මුළුමනින්ම වෙනස් ජීවිත. එදා හිටපු මිනිස්සු කෑවේ තමන්ගේම වටපිටාවෙන් සොයා ගත්ත එළවළු, පලා වර්ග, වෙල් මාළු, පලතුරු, කුරහන්, මෙනේරි, මූං, උඳු, කොල්ලු, රුලං වගේ ධාන්‍ය වර්ග. බිව්වේ ඉරමුසු, බෙලිමල්, රණවරා, කොළ කැඳ වගේ දේවල්. භෝග වගාවේදී ඇති වන රෝග මැසි උවදුරුවලට යොදා ගත්තේ කොහොඹ, කංසා ආදියෙන් සාදා ගත් කෘමිනාශක සහ වල් නාශක. ඒ වගේම ඔවුන් කුඹුක්, කොහොඹ ආදී ශාක වැඩුණු වැව්, ගංගා, ළිං ආශ්‍රිතව ස්නානය කළා. දෙහි, උළු හාල්, ගොඩපර හා නානු ආදියෙන් හිස පිරිසුදු කර ගත්තා. හිස් හොරි කියල ලෙඩක් කොණ්ඩෙ යනවා කියල ලෙඩක් ඔවුන්ට තිබුණේ නැහැ. සඳුන්, කොකුම් පොතු යුෂ වගේ ආලේපන මිසක් රසායනික ආලේපන වර්ග කිසිවක් භාවිත කළේ නැහැ. සරල ජීවන රටාව නිසා මානසික ආතතියක් ඔවුන්ට තිබුණේ නැහැ. හැම කෙනෙක්ම හොඳින් ශරීරය වෙහෙසා වැඩ කළා. මේ නිසා ඔවුන් නිරෝගී වුණා. රෝගී වුණේ කලාතුරකින්. නමුත් අද එහෙම නෙමෙයි. කන්න තියෙන හැමදේම වස විෂ. මේ රෝග බොහොමයකට මුල් වෙලා තියෙන්නේ අපි ගන්න ආහාරපාන වර්ගයි.

නවගමුවේ පාරම්පරික හෙළ වෙදකම සඳහා යොදා ගන්නා ඖෂධ කිසිවක් වෙනත් අය නිෂ්පාදනය කළ ඖෂධ නෙමෙයි. ඒවා අපිම නිෂ්පාදනය කරන ඖෂධ. ඒ නිසා මේවා ඖෂධ වෙළෙඳ සැල් මඟින් ලබා ගත නොහැකියි. කොවිඩ් කාලයේ මට ගැටලුවක් වුණේ ඖෂධ සැකසීමට ගන්නා බෙහෙත් ද්‍රව්‍ය සපයා ගැනීමයි. රටේ පවතින තත්ත්වයත් එක්ක බෙහෙත් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා.

අත්පිට මුදල් දී මේ තරම් විශාල ඖෂධ ප්‍රමාණ ගන්න හැකියාවක් අපට නැහැ. ඉන්දියාව, චීනය වැනි රටවලින් අප විශාල වශයෙන් අානයනය කළ බෙහෙත් බඩු ඩොලර් හිඟයත් එක්ක ගෙන්වීම අපහසු වී තිබෙනවා. නමුත් වත්මන් තත්ත්වය තුළ ඖෂධවල මිල ඉහළ දැමීමත් කළ හැකි දෙයක් නොවේ.

අප කල්තියා ඖෂධ රැස් කර ගත් නිසා තව වසරක් යනතුරු ප්‍රතිකාර සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තිබෙනවා. පසුගිය සමයේ ඇති වූ ගෑස් අර්බුදයත් සමඟ විශාල වශයෙන් කසාය සකස් කර බෝතල් කිරීම කළ නොහැකි තත්ත්වයක් ඇති වුණා. එනිසා රෝගියාට කසාය බොතල් ලබා දීම වෙනුවට අදාළ ඖෂධ කුඩු කර පැකට් කර රෝගියාට ලබාදී නිවෙසේදී කසාය සකස් කර ගැනීමට සැලැස්සුවා. එය ඉතා සාර්ථක වුණා. එමඟින් ඉතාම සුළු මුදලකට ඖෂධ ලබා දීමටත් හැකි වුණා. මෙවැනි කාලයක එය රෝගීන්ට ලොකු සහනයක් වී ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පේනවා. ”

නවගමුවේ පාරම්පරික වෙද පරම්පරාවේ නවවැනි පුරුක ඇගේ වැඩිමල් දියණිය පියුමි වික්‍රමාරච්චිය. ඇය ද මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියකි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි ඇය ගැන පැවසුවේ මෙවැන්නකි.

“මං දැනටමත් රටට, ලෝකයට මේ වෙදකම ගෙනියන්න කෙනෙක් දායාද කරල ඉවරයි. මගේ ලොකු දුව පියුමි මම වගේම දක්ෂ වෛද්‍යවරියක්. මගෙන් පස්සේ දවසක මේ පුටුවේ ඉඳගන්නේ ඇයයි.”

සිකුරාදා සහ පෝය දින හැර අනෙක් සෑම දිනකම හෝමාගම අතුරුගිරිය පාරේ නගර සීමා මාවතේ අංක 345 දරන ස්ථානයේ පිහිටි සිද්ධාධී වෙද මැදුරේදී ඔබටත් හෙළ වෛද්‍යාචාර්ය චාන්දනී වික්‍රමාරච්චි හමුවී ප්‍රතිකාර ලබා ගත හැකිය.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

රසික කොටුදුරගේ

Comments