
පස් කන්දට යට වූ වැදූ අම්මාත් එක්කුස උපන් සහෝදරියනුත් දිවි නොතකා බේරා ගත් සුදුහුම්පොළ සුබෝධාගේ අනුවේදනීය කතාව
වැස්ස නිමාවන පාටක් නැත. ඒ මේ අත ඇඹරෙන රූස්ස තුරුයාය ප්රචණ්ඩ සුළඟෙන් බිමට පාත්වීමට ආසන්නය. හිඩැස් වූ උළු අතරින් පෙරෙන ගොම්මන් අඳුර කුඩා නිවෙසම වසාගෙන තිබුණි. කුඩා ජනේලයෙන් අනවසරයෙන් එබෙන හිරිකඩ දළු නිරුවත් බිම පතිත වී බිඳෙයි. ඒ හිරිකඩින් තෙතබරියම් වූ බිම බර අඩි තබමින් සුබෝධා කාමරයට පැමිණියාය.
කුඩා කාමරය මේ මොහොත වන විටත් කිරිකැටි සිනා හඬින් පිරී තිබුණි. පෙරදා නිමා නොකළ පාසලේ වැඩ කටයුතු නිමා කිරීමට කාමරයට පැමිණි සුබෝධා අම්මා සහ නැඟණියන් දෙදෙනා සමඟ එක්වූවාය. ඇඳෙහි ඒ මේ අත පනිමින් ඇඹරෙමින් සිටි පුංචි නංගී සමඟ කෙටි වේලාවක් ගත කළ සුබෝධා අම්මා අසලට වී මඳක් සෙනෙහස පෑවාය.
වැස්ස තවත් චණ්ඩ වූ අතර සුළඟද තවත් ප්රචණ්ඩ වී තිබුණි. කාමරයේ සෙනෙහස මැද කාලය ගෙවූ දැරිවියන් තිදෙනාට සහ අම්මාට අවට පරිසරය පිළිබඳ නිනව්වක් වූයේ නැත.
මහ වැස්ස නිමවන පාටක් පේන තෙක්මානයේ නැත. සුබෝධා වරින් වර කුඩා ජනෙල් කවුළුවෙන් අහස දෙස බැලුවාය. කුඩා කානු සැකසී කඳු ඉහත්තාවෙන් වත්ත දෙසට ජලය ගලා යමින් තිබුණි. වත්ත කෙළවර දැන් ගංගාවක සිරි ගෙන තිබේ.
එකවරම බිත්ති කණ්ඩිය දෙස බැලූ සුබෝධාට දැකගන්නට ලැබුණේ බිත්තියේ සිහින් ඉරිතැළුමකි.
ඉන්පසුව සිහින් ජල පහරක් බිත්තිය දිගේ පහළට රූටන අයුරු සුබෝධා දුටුවාය. දෑස් දල්වා අවධානයෙන්ම ඒ දෙස බලා සිටි සුබෝධාට නිවෙසින් පිටත යමක් සිදුවන බව ඉවෙන් මෙන් දැනුණාය. එක් ක්ෂණයකින් ඇඳ තිබූ ස්ථානයේ බිත්තිය ඉරිතැළී ගියේය. එතැන් පටන් මේ කතාන්දරය කියන්නට දන්නේ අපේ කතාවේ නායිකාව මෙන්ම වීරවරියද වන සුබෝධාය. මේ ඒ වීර කතාවයි.
පස් කන්දකට සහ ගඩොල් ගොඩකට යටවූ තමාගේ නංගිලා දෙදෙනා සහ ආදරණීය අම්මා තනිව බේරාගත් මේ දියණිය ඒ බිහිසුණු කතාන්දරය සිළුමිණට කියන්නේ ඉතා සංවේදීවමය. එමෙන්ම ඈ පිළිබඳ අභිමානයක් ඒ කුඩා හිතේ පිරී ඇති සැටියකි.
“එදා හොඳටම වැස්ස දවසක්. අපි හතරදෙනා සාමාන්‍ය විදියට ගෙදරට වෙලා සතුටින් හිටියා. අපේ ජීවිතේ හැමදාම ගතවෙන්නෙ ඒ විදියට. මගේ අප්පච්චි වැඩ කරන්නේ නගර සභාවෙ. එයා ඒ වෙලාවෙ වැඩට ගිහින් හිටියේ. වෙලාව හවස හයට විතර ඇති. කළුවරත් වැටෙමින් තිබුණා. අපි නිදාගන්න ඇඳයි මගේ පොත් මේසෙයි තිබුණේ එකම කාමරේ. අම්මයි නංගිලා දෙන්නයි ඇඳට වෙලා සීතලේ තුරුලු වෙලා හිටියේ. මම පොත් මේසේ පාඩම් කරමින් ඉඳල කාමරෙන් එළියට ගියා. පොඩ්ඩක් වට පිට බලල මම කාමරේට එනකොට ඇඳ ළඟ බිත්තියේ වතුර පාරක් එනව මම දැක්කා. අනෙක් පැත්තට හැරිල හිටිය නිසා අම්මවත් ලොකු නංගිවත් ඒක දැක්කෙ නෑ. ලොකු නංගිගේ වයස අවුරුදු දහයයි. එයාට යමක් තේරුණාට පොඩි නංගීට මොනවත්ම තේරෙන්නෙ නෑ. එයාට අවුරුදු පහයි.
මම දැක්කා එකපාරටම බිත්තිය ඉරි තළනවා. කල්පනා කරන්න පොඩ්ඩක්වත් වෙලාව ඉතුරු වෙලා තිබුණෙ නෑ. මං ලොකු නංගිගේ අත් දෙකෙන් ඇදල කාමරෙන් එළියට දැම්මා. ඒත් එක්කම බිත්තිය කඩාගෙන පස් කන්ද ගේ ඇතුළට ආවා.
ඒ බියකරු මොහොත මතක් කරන විට ඇගේ දෑසට කඳුළක් එක්වෙයි.
“මං ලොකු නංගී කාමරෙන් එළියට දාල එද්දීම මගේ ඇස් ඉස්සරහම අම්මයි චූටි නංගියි පස් කන්දට පණ පිටින්ම යට වුණා. මං කෑගැහුවා. ඒත් මේ මහ වැස්ස අස්සේ කාටවත් ඇහුණෙ නෑ. මට මොනව වුණත් අම්මයි චූටියි බේරගන්නවා කියල මං හිතුවා. ඇත්තටම මට ලොකු ශක්තියක් හිතට ආවා. අම්මගේ කොණ්ඩෙ පොඩ්ඩක් පේන්න තිබුණා. කාමරේ බිත්තිය සම්පූර්ණයෙන්ම ගැලවෙමින් තිබුණේ. මං අම්මව හොයනකොට එකපාරටම ලොකු ගලක් ඇවිත් මගේ අත උඩට වැටුණා. අම්මව මට අතෑරුණා. මට මොනව වුණත් අම්මවයි චූටිවයි බේරගන්නව කියල මං ආයේ පස් ගොඩ පීරුවා. ආයෙමත් අම්මගේ ඔළුව මට අහුවුණා. මම ගල් එක එක අයින් කරල අම්මව පස් ගොඩෙන් එළියට ගත්තා. ඒ වෙනකොටත් නංගිව පේන්න හිටියෙ නෑ.මගේ නංගී පස් ගොඩට යට වෙනවා මං ඇස් දෙකෙන් දැක්කා. ඒත් නංගි පේන්න හිටියෙම නෑ.
ඈ නැවතත් සංවේදී වෙයි. මේ මොහොත අත්දුටුවකුට හැර ඔබට මට මේ බිහිසුණු අත්දැකීම පිළිබඳ නිශ්චිත හැඟීමක් නොඑන්න හැකි නමුත් ඈ නැවත නැවතත් වචනයක් පාසා ඒ බිය හිත තුළ මෙනෙහි කරයි.
මං ගල් ගොඩ ඇතුළෙ නංගිව හෙව්වා. ඇඳ බිමටම සමතලා වෙලා තිබුණු නිසා එයා හිටිය තැනකවත් සලකුණු තිබුණෙ නෑ. අම්මත් හිටියෙ අමාරුවෙන්. මං නංගි හිටිය කියල හිතපු තැන ගල් ගොඩ පීරුවා. ගල් පස් අයින් කරනකොට නංගිගේ අතක් මට අහුවුණා. ඒක දිගේ ගිහිං මං නංගිවත් පස් ගොඩෙන් එළියට ගත්තා. නංගිගේ කකුල් තුවාල වෙලා තිබුණෙ හොඳටම. පැය භාගයක්, විනාඩි විස්සක් වගේ ඇතුළත තමයි මේ හැමදේම වුණේ. ඇත්තටම මේක හීනයක් වගේ. තවමත් මං කල්පනා කරනවා මං කොහොමද මේක කළේ කියල. ඒ වෙලාවේ කෙනෙක් හොයන්න ගියා නම් නංගීගේ හුස්ම හිරවෙන්න තිබුණා. ඒ වෙලාවෙ වැස්ස නිසා මං කෑගැහුවත් කාටවත් ඇහෙන්නෙ නෑ කියල මට තේරුණා. මං මගේ උපරිම ශක්තියෙන් පස් කන්ද අයින් කරන මෙහෙයුම පටන් ගත්තා.
සුබෝධා නැවතත් කැඩී බිඳී බිමටම සමතලා වූ ඔවුන්ගේ කාමරය දෙස බලයි. දැන් සිනාවෙන් ඉතිරී ගිය කාමරය වෙනුවට ඇත්තේ එකම පස් ගොඩකි. සුබෝධාගේ මේසය ඇගේ සියලු පොත් සමඟම පස් කන්ද බිලිගෙන වසා තිබේ. දැන් මේ පවුලටම ඉන්න හිටින්නට තැනක් නැත. අම්මාගේ සහ නැඟණියන් දෙදෙනාගේ ජීවිතය බේරාගත් නොනිමි සතුට අතර සුබෝධා ඒ ගැන පවසන්නේ වාවාගනු බැරි තරම් දුකෙනි.
“අපිට දැන් ඉන්න තැනක් නෑ. මගේ පොත්පත් ඔක්කොම මේ බිත්තියට යටවුණා. කවුරුහරි අපට ඉන්න තැනක් ගැන බලාපොරොත්තුවක් දෙනව නම් ඒක විතරයි අපට ඕන.
ඈ හඬමින් කියයි. රෝහල්ගතව සිටි අම්මාත් නංගීත් ඇතුළුව මේ පවුල අද වන විට ජීවත් වන්නේ මිත්තණියගේ නිවෙසේයි. වෙනදා ඇසුණු සතුටු සිනා වෙනුවට අද මේ නිවෙසේ ඇසෙන්නේ හැඬුමකි. දිරිය දියණී සුබෝධා ජීවත් වෙන්නේ මහනුවර සුන්දර හන්තානට යාබද සුදුහුම්පොළ ගම්මානයේය. ඇයගේ පියා වන ජානක නගරසභාවේ සේවකයෙකි. මේ දිරිය දියණිය ගැන ඔහුටද වචනයක් කියන්නට ඇතුවා සේය.
“මං වැඩ ඉවරවෙලා ගෙදරට ආවේ හතයි කාලට විතර.ඒ වෙද්දී මේ සේරම වෙලා ඉවරයි.මගේ දූ...
ඔහුද සංවේදී වෙන්නේ දුවගේ හිසට අත තබා ගනිමිනි.
එයා අපේ පවුලම බේරා ගත්ත වීරවරියක්. ඒ වෙලාවෙ කරගන්න කියල කිසිම දෙයක් නෑ. දූ ඒ තීරණය ගත්තේ නැත්නම් අද...
ඉන් ඔබ්බට කතා කළ යුතු නොවේ. දැන් ඒ සියලු දෙනා අප ඉදිරිපිට ජීවමානව සිටී. සුබෝධා සෙව්වන්දි නමැති අපේ කතාන්දරයේ වීරවරිය මේ වන විට ලුම්බිණි විද්‍යාලයේ එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය වියැති දැරියකි. දෙවැනි නැඟණිය තාරුකා පස්වැනි වසරේ ඉගෙනුම ලබන අතර චූටි නංගී දෙව්මි පෙර පාසල් සිඟිත්තියකි.
මේ බිහිසුණු සිදුවීමට මුහුණ දුන් අම්මා දර්ශනීට තවමත් ඒ මොහොත පිළිබඳ නිශ්චිත මතකයක් නැත.
“එක පාරටම මගේ ඇඟ යට වෙනවා දැනුණා. චූටි දුව හිටියේ මගේ ළඟමයි. එයාගෙ අත මගේ අතින් ඇතෑරුණා. එකපාරටම ඇස් දෙක නොපෙනී ගියා. මට මතක ලොකු දූ මාව වත්තං කරන් එක්කන් යනව විතරයි. එයා තමා අපේ ජීවිත තුනම බේරා ගත්තේ. මගේ රත්තරං දූ ඇත්තටම වීරවරියක්. එයා නැතිවෙන්න අදට අපි තුන්දෙනාම පස් යට.
ඒ ආදරණීය අම්මා තමාගේ වීර දියණිය ගැන කියන්නේ එවැනි කතාවක් ය.
මේ කතාව තුළ අපට හමුවන වීරවරිය නොවන්නට මේ වන විට ජීවිත දෙකක ඉරණම ඛේදාන්තයකින් නිමා වීමට ඉඩ තිබුණි.
මේ අවිහිංසක වීරවරියට ගෞරවය දැක්වීම පිණිස අපටද කළ හැකි යමක් ඉතිරිව තිබේ. ඔවුනට දැන් ජීවත් වීමට නිවෙසක් නැත.ඔවුන්ගේ ආර්ථික ශක්තිය නැවත නිවෙසක් ඉදි කර ගැනීමට තරමට ශක්තිමත් නැත. මෙය කියවන ඔබ මේ දිරිය දියණිය වෙනුවෙන් ගඩොලක හෝ පරිත්‍යාගයක් කළ හැකිනම් ඔවුන්ගේ සුන්දර නවාතැන නැවත ගොඩනැඟෙනු ඇත.
සැබැවින්ම මෙවැනි දිරිය දියණියන් මේ මාතෘභූමියට සම්පතකි. ඇයගේත් ඇයගේ පවුලේත් අනාගතය සරු කරනට අපට හැකිනම් එය මිනිසුන් ලෙස අප සැවොම ඇයට ලබාදෙන ගෞරවණීය ආදරයකි.
“අපට ගෙයක් හදාගන්න උදවු කරන්න“ ඈ ඒ ඉල්ලීම කළේ අප සැමගෙනි. හිත් උණුවන ආදරණීය සංවේදී අප සැවොමගෙන් මේ වීර දියණිය ඉල්ලා සිටියේ තමාට හිසට සෙවණක් ඉදි කර ගැනීමට දායකත්වය ලබා දෙන ලෙසටයි.
කුඩා දිය බිඳු එක්වී මහා ගංගා වැව් තැනේනම්, කුඩා පැළ එක්වී මහා වනාන්තර බිහි වේ නම් මිනිසුන් ලෙස අපට එක්ව මේ වීර දියණියගේ ජීවිතයට එළියක් ලබාදිය නොහැකිද?
ඡායාරූප - රුවන් මීගම්මන