
- ඉතා හොඳ සංවිධාන හැකියාවක් ඇති නාම අංක 4 හිමි පුද්ගලයන් නායකත්වය දැරීමට ඉතා සුදුසුයි
ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන තුරු එකතු කළ පසු අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි. ඒ අනුව ඔබේ ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය, අංක 4 නම් මේ එයින් හෙළිවෙන ඔබේ චරිත ලක්ෂණයි.
අංක හතර හිමි ඔබ ජීවිතය පිළිබඳ ඉතා හොඳ දැක්මකින් කටයුතු කරයි. පවුල තුළ සියලු දෙනා සමඟ සුහදව කටයුතු කරන ඔබ තම දරුවන් වෙනුවෙන් සහ බිරිය හෝ ස්වාමියා වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම ඉෂ්ට කරනු ලබයි. සංගීතයට සහ වාදනයට ප්‍රවීණතාවක් ද උරුම කර ගනී. එමෙන්ම ශාස්ත්‍රීය වශයෙන් සංගීතය හා වාදනය හැදෑරීමට ඔබ තුළ ආශාවක් හා උනන්දුවක් ඇති වේ. ජීවිතයේ ඔබට මුහුණ දීමට සිදු වන්නා වූ ප්‍රශ්නකාරී අවස්ථා ඉතා ක්‍රමානුකූලව විසඳා ගැනීමට සමත් වෙයි.
ඔබට ඉතා හොඳ සංවිධාන හැකියාවක් ඇති අතර ආයතනයක ප්‍රධානත්වය දැරීමට හැකි හොඳ කළමනාකරණ හැකියාවක් පිහිටනු ලබයි. ඔබ සිහින මවනු ලබන්නේ ඉෂ්ට කර ගත හැකි දේවල් පිළිබඳ පමණි. ප්‍රායෝගිකව ජීවිතය දෙස බලන ඔබට දියුණු වීමට හොඳ සැලසුම් ඇති අතර ඒ සඳහා ඉතා දක්ෂ ලෙස කටයුතු කරයි. එසේ වුවද මුදල් පරිහරණයේදී ඔබ දෙවරක් සිතා බැලිය යුතුය. වියදම් කිරීමේදී යම් ආකාරයකින් ආදායම සහ වියදම තුලනය කර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම සුදුසුය. සෑම අවස්ථාවකදීම ඔබගේ උද්යෝගීමත් භාවය අඩු නොවී තබා ගැනීම ද ඉතා වැදගත් වෙයි. ඒ තුළින් ඉතා සාර්ථකව කටයුතු ඉටුකර ගැනීමට හැකියාව ලැබෙයි. ඇතැම් අවස්ථාවලදී ඔබ ඉතා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම දුර්වලතාවක් ලෙස දැක්විය හැකිය. සමහර ප්‍රශ්නවලට කෙටි මාර්ග ඔස්සේ පිළිතුරු සෙවීමට පෙලඹීම ද දක්නට ලැබෙයි. කෙසේ වුවත් සමාජයට ආදර්ශවත් ජීවිතයක් ගත කරන ඔබ තුළින් අන් අයට උගත හැකි පාඩම් බොහෝය. ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරන ඔබට ඔබ කරන දේ පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති අතර, ඔබ තෝරා ගත් අරමුණු කරා යෑමේදී ඔබේ මඟ පෙන්වන්නා වන්නේ ද බොහෝ විට ඔබමය.
ඔබ විසින් පටන් ගන්නා වැඩ අතරමග නතර කර දැමීමට ඔබ කිසිසේත් කැමති නැත. කෙසේ හෝ ඒවා අවසානය කරා ගෙන යන්නට සමත් වෙයි. ඔබේ එකම අරමුණ පටන් ගත් වැඩ කෙසේ හෝ සාර්ථකව නිමාවට පත් කිරීමයි.
විවෘත ගති පැවතුම් ඇති ඔබ අන්‍යයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට ද හැකියාව ඇත. කෙසේ නමුත් ඔබට යම් දැනුම් ඇති අයකුගේ මඟපෙන්වීමක් සහ දිරි ගැන්වීමක් ලැබෙන්නේ නම් ඉතා සාර්ථක භාවයට සහ දියුණුවට පත්වීමට පහසුවෙන් හැකියාව ලැබෙනු ඇත. භාවිතා කරන නමට අනුව ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය සොයා ගන්නේ මෙසේය. පළමුව ඔබ භාවිත කරන නම කොළයක සටහන් කර ගන්න.
ඉන්පසු මෙහි ඇති වගුවේ දැක්වෙන පරිදි ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් ලැබෙන තුරු එකතු කරගන්න. අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි.
නාම අංක හෙවත් ප්‍රකාශන අංක 5 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී,
පාඨශාලාචාර්ය, ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය