
- ලග්න හිමියන් රැසකගේ විදෙස් ගමන් අපේක්ෂා සැබෑ වන ලකුණු
- තීරණාත්මක ග්‍රහ මාරු 6ක් ලග්න රැසකට සුවිශේෂී බලපෑම්
- සුබ නැකැත් රැසකට උචිත සුවිශේෂී දින 7ක්
- වෘෂභ, කටක, සිංහ ලග්න හිමියන්ගේ පැතුම් ඉටු වන කාලයක්
- ධනු, මකර, කුම්භ, තුලා ලග්න හිමියන්ගේ සිතේ සතුට රජයන කාලයක්
- ලග්න රැසකටම මිශ්‍රපල
2022 වසරේ දෙසැම්බර් මාසය දෙස ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකූලව බැලීමේදී පෙනී යන්නේ ග්‍රහ මාරු 6ක් සිදු වන බවයි. ඒ අනුව බුධ ග්‍රහයා අවස්ථා 3කදී රාශි දෙකක් තුළ ගෝචර සහ වක්‍ර වෙමින් චලිතය පවත්වා ගෙන යන අතර, සිකුරුගේ ගමන ද එලෙසම දෙසැම්බර් මාසය තුළ රාශි 2ක බලපැවැත්වේ. සූර්ය ග්‍රහ මණ්ඩලයේ පියා එනම්, රවි ග්‍රහයා ද දෙසැම්බර් මාසය තුළදී එතෙක් සිටි රාශියෙන් ඊළඟ රාශියට පැමිණේ. එමෙන්ම දෙසැම්බරය සුබපල දෙන නැකැත් රැසක් සාදා ගැනීමට ඉතා යෝග්‍ය මාසයකි. ත්‍රිපුෂ්කර යෝග යෙදෙන දින 2ක් සහ කේවල සිද්ධි යෝග යෙදෙන දින 5ක් ද මේ මාසයට ඇතුළත් වන බැවින් ඔබගේ අවශ්‍යතා අනුව ඒවා ප්‍රයෝජනයට ගත හැකිය.
මේෂ - අරමුණු සඵල වේ
ගෘහ ජීවිතය :- කලබලකාරීත්වය, වචනයේ ප්‍රබලත්වය මත ඔබගේ දවසේ කාර්යයන් ඉක්මනින් කර ගැනීමට හැකි වුවත් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. පදිංචි ස්ථානය තුළ අඩුපාඩු මඟ හරවා සමෘද්ධිමත් බවක් ඇති කර ගැනීමට හැකි අතර යුග දිවියේ සුළු ගැටලු පැන නැඟිය හැකිය.
රැකියාව :- මහන්සියේ හැටියට ලැබෙන වේතනය අඩු විය හැකි වුවද කැපවීම් කරන්නට සිදුවේ. සමහරවිට වෙනත් රැකියා සොයන්නට ද උනන්දුවක් ඇතිවේ.
අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට මවුපිය කැපවීම දැඩිව වුවමනා වේ. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වේ.
සෞඛ්‍යය :- ලේ දෝෂ, සෙම් රෝග, හදිසි සුළු අනතුරු ඇති විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
අපල අවම කර ගැනීමට අඟහරුවාදා දිනවල නිර්මාංස වී බෝධි පූජා තබා කතරගම සහ විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ග්‍රහ සෙත් ශාන්ති කවි සහ රතන සූත්‍රය කියන්න.
අය 8, වැය 6, සුබ අංක :- 1, 4, 7, සුබ වර්ණ - රතු, නිල්,
සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - පදිංචි ස්ථානයේ දියුණුව
ගෘහ ජීවිතය :- අරමුණු මුදුන්පත් කර ගැනීමට නොබියව ඉදිරිපත් වීම සහ යුක්තිය සාධාරණයට අනුව කටයුතු කරන බවක් පෙනේ. මෙතෙක් කරගත නොහැකි වූ සමහර දේවල් මේ මාසය තුළ සිදු කර ගැනීමේ භාග්‍යය ඇත. පදිංචි ස්ථානයේ දියුණුව ඇති වෙයි.
රැකියාව :- දැනට කරන රැකියාව උනන්දුවෙන් කරගෙන යන්න. සෑහීමකට පත් නොවේ නම් අමතර ආදායම් මාර්ගයකට ද අවතීර්ණ වීම සුදුසුය. කුමන අන්දමේ රැකියාවක නිරත වුවද ආගම දහම සමඟ කටයුතු කිරීම දියුණුවට හේතු වෙයි.
අධ්‍යාපනය :- කලා අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. විද්‍යා, ගණිත අංශවල දරුවන්ට දැඩි වෙහෙසකාරී බවක් මැද කටයුතු කරන්නට සිදු වේ.
සෞඛ්‍යය :- හදවත් රෝග, දණහිස් ආබාධ, ඇස් රෝග හටගත හැකිය. අපල අවම කර ගැනීමට සිකුරාදා දින නිර්මාංසීව කරඳ කොළ මත පහන් දල්වා විසිතුරු වර්ණවත් මල් පූජා කර බෝධි පූජාවක් පවත්වන්න.
අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්,
සුබ දවස් - සිකුරාදා, ඉරිදා, බදාදා
මිථුන - ලොතරැයි දිනුම්
ගෘහ ජීවිතය :- විදෙස් ගමන් පිළිබඳ උනන්දු වන්නන්ට සඵල වීමට හැකියාව ඇත. පූජ්‍ය පක්ෂයේ හා උසස් පුද්ගලයන්ගේ සහයෝගය ලැබේ. අෂ්ටම ඒරාෂ්ටකය ගෙවෙන කාලය බැවින් ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න. ලැබීම් සහිතයි. ඔබ කරන්නට යන කටයුතු පිළිබඳ අන්‍යයන්ට විවෘතව පැවසීම දුර්වලකමකි. යුග ජීවිතයේ පවතින සුළු ගැටලු තත්ත්වයන් සාමකාමීව විසඳා ගන්න.
රැකියාව :- ලිපි ලේඛන ආශ්‍රිතව කෙරෙන වෘත්තීන්ගෙන් වඩාත් ලාභදායී වේ. රාජ්‍ය ආයතනයක ඒ හා සම්බන්ධ රැකියාවක් කරයි නම් ඔබට පැවරෙන වගකීම් හරි හැටි ඉටු කරන්න. අතමිට මුදල් ගැවසෙන කාලයකි.
අධ්‍යාපනය :- පොතපත දැනුමින් දරුවන් දක්ෂතා මතු කරයි. පරිගණක ක්ෂේත්‍රයේ හැකියා ඉස්මතු වෙයි. තරග විභාගවලින් ජය ලබයි.
සෞඛ්‍යය :- හදිසි අනතුරු, හෘද රෝග, ස්නායු දුර්වලතා මතු කරයි. බදාදා දින නිර්මාංසීව නිල්, කහ මල් ගෙන එම දිනයේ බෝධි පූජා තබා විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. කොහොඹ පැළයකට සාත්තු කරන්න. අසරණ යාචක සහ කුඩා දරුවනට උදවු කරන්න.
අය 5, වැය 3, සුබ අංක- 3, 5, සුබ වර්ණ - කොළ සහ කහ,
සුබ දවස් - බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
කටක - මිශ්‍රපල සහිතයි
ගෘහ ජීවිතය :- චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමට ආගමික කටයුතුවල නිරතවන්න. නිවෙස් අලංකරණ කටයුතුවල නියැළෙන්නට ආශාව ඇතිවේ. කලකිරීම්, සිත් රිදීම් මඟහරවාගෙන බාධක හමුවේ නැඟී සිටීමට හැකි නම් ජීවිතය දිනා ගැනීම පහසුය. මේ ඔබට බොහෝ වැඩ කොටස් කර ගැනීමට හැකි ග්‍රහබල ශක්තීන් සහිත මාසයකි.
රැකියාව :- රැකියා වෙනුවෙන් බොහෝ ඇවිදිලි යෙදේ. අමතක වීම්, අතපසු වීම් සිදු විය හැකි බැවින් දේවකාරියක් මෙන් එය ඉටු කරන්නට සිතා ගන්න. ලැබීම් සහිතය. ස්වයං රැකියා ද සාර්ථක වේ.
අධ්‍යාපනය :- දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. ඉංග්‍රීසි සහ නීතිය හදාරන්නන්ගේ දක්ෂතා වර්ධනය වන ජයග්‍රහණ ලැබෙන කාලයකි.
සෞඛ්‍යය :- උණ, ලේ දෝෂ, අජීර්ණ මෙන්ම හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. අපල අවම කර ගැනීමට මාසයේ ආරම්ක සඳුදා දින සුදු මල් රැගෙන බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පින් දෙන්න. සෑම සඳුදා දිනකම නිර්මාංස වන්න. හැකි නම් බෝධි පූජා දින උදේ පළමු පැයේ 6 – 7ත් අතර කිරිබත් පාත්‍රයක් බෝධියට පූජා කරන්න.
අය 7, වැය 5, සුබ අංක 2, 7, සුබ වර්ණය - සුදු,
සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සිංහ - අභියෝග අතරින් ජය
ගෘහ ජීවිතය :- කලකිරුණු ස්වභාවයක් පැවතියද දක්ෂතා මත ජීවිතය ගොඩනඟා ගන්නට ධෛර්යය, ශක්තිය ඇත. ප්‍රධානියකු සේ කටයුතු කරන ඔබ වසරේ අවසාන මාසය තුළ අභියෝග ජය ගැනීමට කටයුතු කරන්න. උත්සාහය, කැපවීම් මත මේ ඔබේ ඉලක්කගත මාසය බව අමතක නොකරන්න.
රැකියාව :- දැනට කරගෙන යන රැකියාව ආරක්ෂා කර ගන්න. කෘෂිකාර්මික අංශයේ සහ කලාත්මක විසිතුරු භාණ්ඩ අලෙවියේ නිරත වූවන්ට සුබදායකයි. රාජ්‍ය අංශවල රැකියා කරන ඔබ ප්‍රධානීන්ට විරුද්ධ නොවී සිටීම වැදගත්ය. ඉතිරියක් නොවුනද ඉදිරි කාලය ඔබට යහපත් වෙනු ඇත.
අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල දරුවන් තුළ උදාසීන බවක් මතුවීමට හැකි නිසා විවේකයක් සලසා දීමට මවුපියන් උනන්දු වන්න. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ද බාධා යෙදිය හැකි බැවින් බෝධි පූජා පවත්වන්න.
සෞඛ්‍යය :- සෙම්, පිත් දෝෂ, අජීර්ණ රෝගවලට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. අපල අවම කර ගැනීමට ඉරිදා පළමු පැයේ 6 - 7ත් අතර රතු මල් රැගෙන බෝධි පූජා තබන්න. කතරගම දෙවියන්ට පින් දෙන්න. ඉරිදා නිර්මාංස වන්න. සූර්ය පිරිත කියන්න.
අය 14, වැය 11, සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු,
සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - සහනදායි කාලයක්
ගෘහ ජීවිතය :- බුද්ධිමත් පිරිසක් මෙන්ම පූජ්‍ය පක්ෂයේ අයගේ ද අවවාද ගුරුහරුකම් ලැබෙන කාලයකි. පුණ්‍ය කටයුතුවලට සිත ඇදී යයි. ලාභයක් ලබන වැඩකට අතගසයි. අන්‍යයන්ගේ පැසසුම් හිමිවන අතර සහනදායි සති කිහිපයකි.
රැකියාව:- රැකියාවේ වගකීම් අනලස්ව කළද තෘප්තිමත් බවක් නොලැබෙන්නේ ඔබට ඊර්ෂ්‍යා කරන පිරිසකගේ ක්‍රියාකාරකම් නිසාය. විදෙස් රැකියා අපේක්ෂිත අයට සුබ ප්‍රතිඵල ලැබිය හැකිය.
අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරුවන්ට නව දැනුම් සම්භාරයක් එකතු වේ. ඔවුන් සිතුවාටත් වැඩි ජයග්‍රාහී මාවතකට පිවිසේ.
සෞඛ්‍යය :- හදිසි අනතුරු, ශරීරයේ බර වැඩි වීම, සෙම් රෝග මතුවිය හැකිය. අපල අවම කර ගැනීමට බදාදා දවස නිර්මාංසව සිටිමින් බෝධි පූජා කරන්න. කොහොඹ වෘක්ෂයකට සාත්තු කරන්න. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ජය පිරිත කියන්න.
අය 2, වැය 5, සුබ අංක 2, 3, 5, 7, සුබ වර්ණය - කොළ,
සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා.
තුලා - ආකර්ෂණීය කාලයක්
ගෘහ ජීවිතය :- වචනයේ ආකර්ෂණීය බව නිසා අන්‍යයන්ගේ සිත්වල ඔබ කෙරෙහි විශ්වාසය හට ගනී. පදිංචි ස්ථානයේ සුව සහනය අඩු විය හැකි වුවත් අධිෂ්ඨානශීලි බව තුළින් අරමුණු සඵල කරගත හැකිය. ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න.
රැකියාව :- රාජ්‍ය අංශවල තනතුරුවලදී මානුෂික ගුණධර්ම නිසා ඔබේ සහාය ලබා ගැනීමට බොහෝ දෙනා කැමති වේ. කෘෂිකර්ම කටයුතුවලින් ද ඔබට ලාභ ප්‍රයෝජන ලද හැකිය. ස්වයං රැකියා, ස්වර්ණාභරණ සහ විලාසිතා රෙදිපිළි ආදියෙන් ස්ථාවරත්වයකට පැමිණිය හැකිය.
අධ්‍යාපනය :- දරුවන්ගේ කලා කුසලතා, ඉංග්‍රීසි සහ නීති අධ්‍යයන කටයුතුවලට වැඩි ඉඩක් ලැබේ.
සෞඛ්‍යය :- මුත්‍රා, වකුගඩු ආසාදන, හෘද රෝග, උණ, හිසෙහි රක්ත තුවාල ඇති විය හැකිය. අපල දුරුකර ගැනීමට සිකුරාදා දින නිර්මාංසව බෝධි පූජා තබන්න. වර්ණවත් සුවඳවත් මල් පූජා කරන්න. සුවඳ දුම් අල්ලන්න. හැකිනම් අගහිඟකම් ඇති විවාහ යුවළකට උදවු කරන්න
අය 11, වැය 9, සුබ අංකය 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්,
සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක්
ගෘහ ජීවිතය :- පදිංචි ස්ථානයේ වැඩ කටයුතුවලට මුල් තැනක් දී කටයුතු කරන කාලයකි. අසල්වැසි සහ සාමාජීය සහයෝගීතාව ගොඩනැංවෙන කාලයකි. යුග දිවියේ සුළු සුළු මත ගැටුම් ඇතිවිය හැකි වුවද ඒවා තාවකාලික වේ. පවුලේ දියුණුව සැලසේ.
රැකියාව :- රාජ්‍ය අංශවල නියැළෙන අයට බොහෝ කැප කිරීම් කරන්නට සිදු වේ. රැකියා අපේක්ෂිතයන්ට රැකියාවක් ලැබෙන්නට ඉඩ ඇති අතර බොහෝ දුරට එය දැනුම බුද්ධිය මෙහෙයවා කරන එකක් විය හැකිය.
අධ්‍යාපනය :- සියලුම අංශවල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන ග්‍රහබල පෙන්නුම් කරයි. ඔවුන්ගේ උනන්දුව වැඩිවේ.
සෞඛ්‍යය :- ස්නායු ආබාධ, ලේ දෝෂ, පාදවල වේදනා මතු කරයි. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංසව බෝධි පූජා තබන්න. කොලොන් කොළ මත පහන් දල්වන්න. ශල්‍යකර්මයකට භාජනය වීමට සිටින අයකුට උපකාර කරන්න.
අය 11, වැය 8, සුබ අංක 4, 5, 7, සුබ වර්ණය- රතු,
සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා සහ බ්‍රහස්පතින්දා
ධනු - ඉදිරි කාලය යහපත්
ගෘහ ජීවිතය :- පවුලේ වැඩ කටයුතුවලට වැඩි ඉඩක් වෙන් වෙයි. ඉවසීම සහ යහපැවැත්ම මත සියලු අගහිඟකම් දරා ගැනීමේ හැකියාව පවතින හෙයින් ගැටලු අවම වේ. දුරදිග නොයයි.
රැකියාව :- පවතින රැකියාව එපා වන තැනට කරුණු යෙදී ඇතද ඉදිරියේ සුබ කාලයක් එළඹෙනු ඇත. ධෛර්යමත් වන්න. ඕනෑම ගැටලුවකට මුහුණදීමේ ආත්ම ශක්තිය ඔබ සතුයි.
අධ්‍යාපනය :- රාහු 5 වැන්නේ සිටින බැවින් ඉගෙනුම ලබන දුවා දරුවනට අමතක වීම් සහ වෙනත් බාධා ගෙන දෙයි.
සෞඛ්‍යය :- තුනටිය අමාරු,උගුර සම්බන්ධ සෙම් රෝග,පිත් රෝග, බඩ පුරවා දැමීම, ආදියට ඉඩ ඇති බැවින් ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න. වැඩිපුර වතුර පානය කරන්න.
අපල අවම කර ගැනීමට බ්‍රහස්පතින්දා දින නිර්මාංස වී බෝධි පූජා තබන්න. බෝමළුව පිරිසිදු කර පැන් කළයක් බෝධීන් වහන්සේට වත්කරන්න. භික්ෂූන් වහන්සේලාට කහ පාට ගිලන්පස පිළිගන්වන්න.
අය 8, වැය 11, සුබ අංක 3, 5, 6, 8, සුබ වර්ණය - කහ,
සුබ දවස් - ඉරිදා, බදාදා සහ සිකුරාදා
මකර - සුබදායක කාලයක්
ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නගතව ස්වක්ෂේත්‍ර බලයකින් සිටියද ඔබට ඒරාෂ්ටක අපල මිස වෙනත් කිසිවක් නොලැබුණද වැටෙන්න වැටෙන්න නැඟී සිටින ඔබ සතු චිත්ත ධෛර්යය වෙනත් කිසිදු ලග්න හිමියකුට නොමැත. එබැවින් මේ මාසයේදීද ඔබ බලාපොරොත්තු සහගතව ජීවිතයට මුහුණ දීම ආශිර්වාදයකි. ඉදිරි කාලය ඔබට යහපත්ය.
රැකියාව :- රැකියා සහ ව්‍යාපාර කටයුතුවලින් මේ වන විට ලාභයක් නැති අතර, ඒ සියල්ල යථා තත්ත්වයට පත් වන්නේ ජනවාරි 17 වැනිදායින් පසුවය. හිස මත පැටවී තිබුණු බරින් නිදහස් වීමට එවිට හැකි වනු ඇත.
අධ්‍යාපනය :- දරුවන්ට තිබූ ඉගෙනීමේ කටයුතුවල බාධා මගහැරී යයි. විද්‍යා, කලා, වාණිජ සෑම අංශයකම දරුවනට ධෛර්වත් වී සිය අභිමතාර්ථ ඉටුකර ගැනීමේ ග්‍රහ බල ඇත.
සෞඛ්‍යය :- වාත වේදනා, අත් පා හිරි වැටීම්, හදිසි අනතුරු, ඇස් අමාරු ආදියට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න. අපල අවම කර ගැනීමට සෙනසුරු වෙනුවෙන් ග්‍රහ පූජා, බෝධි පූජා, බලුකපුටු දාන, යාචක අසරණ අයට උපකාර කිරීම කළ යුතුය.
අය 2, වැය 14, සුබ අංක 6, 8, 9, සුබ වර්ණය - නිල්,
සුබ දවස - සිකුරාදා සහ සෙනසුරාදා
කුම්භ - සිතේ සතුට රජයන කාලයක්
ගෘහ ජීවිතය :- පුණ්‍ය කටයුතුවල වැඩිපුර නියැළෙන කාලයකි. ඥාති හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබේ. සිතේ සතුටින් ජීවත් වීමේ හැකියාව ඇත. මිල මුදල් ලාභ හිමිවේ. ගුණගරුක බව වර්ධනය වේ. පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ සලසා ගනී. වියදම් පක්ෂය තරමක් වැඩි බවක් පෙන්වන නිසා සකසුරුවමින් කටයුතු කරන්න. ණය දීම් සහ ණය ගැනීම්වලින් වළකින්න.
රැකියාව :- දැනට කරගෙන යන්නාවූ කර්මාන්තවලින් ඵල ප්‍රයෝජන ඇත. කෘෂිකාර්මික අංශවලින් ද දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. රෙදිපිළි, විසිතුරු භාණ්ඩ අලෙවිය ද ස්වයං රැකියාවක් ලෙස කරගෙන යෑම සුදුසුය. විදේශ ගමන් යෙදීමට ද පුළුවන.
අධ්‍යාපනය :- සියලුම අංශවල අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට හිතකර ග්‍රහබල ඇත. ඔවුහු සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙනු ඇත.
සෞඛ්‍යය :- ස්නායු ආබාධ, සෙම් රෝග සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලට ද ඉඩ ඇත. අපල අවම කර ගැනීමට සෙනසුරාදා දිනවල නිර්මාංශව සිට බෝධි පූජා තැබීමත් අසරණයන්ට උපකාර කිරීමත් තිරිසන් සතුන්ට ආහාරපාන ලබාදීමත් විෂ්ණු දෙවියන් පූජෝපහාර දැක්වීමත් සුදුසුය.
අය 5, වැය 8, සුබ අංක 3, 8 සහ 9 සුබ වර්ණ - රතු සහ නිල්,
සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා සහ අඟහරුවාදා
මීන - අසුබ දුරු වන කාලයක්
ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්න භාවයේම සිටීමෙන් ඔබගේ අසුබ පල මඟහරවයි. ශනි ලග්නය දැකීම හේතුවෙන් පුණ්‍ය කටයුතුවලට නිතර සහභාගී වන්නට සහ අනුන්ගේ දුකට පිහිට වන්නට අවස්ථාව ලැබේ. එහෙත් වචන හසුරුවා ගැනීම වැදගත්වේ. කියන්න පෙර දෙවරක් සිතීමෙන් ගැටලු අවම වේ. මිල මුදල් ඉතිරිය අපහසු වුවද උනන්දුව, උත්සාහය සහ කැපවීම ඇතොත් මේ සියල්ල සුබවාදී අතට හරවා ගත හැකිය.
රැකියාව :-රජයේ රැකියාවකට වඩා දැනුම බුද්ධිය මෙහෙයවා කරන ඕනෑම දේකින් ඔබට ආදායමක් උපයාගත හැකි මෙන්ම කෘෂිකාර්මික අංශවලින් ද ප්‍රයෝජන අත්වේ. තමා කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපේක්ෂා ඉටු කර ගත හැකිය.
අධ්‍යාපනය :- ඉගෙනීම් කටයුතුවලට තරමක බාධා ඇති වුවද විදෙස්ගතව අධ්‍යාපනය හදාරන්නට අපේක්ෂිත අයගේ අරමුණු ඉටු විය හැකිය.
සෞඛ්‍යය :- වාත අමාරු, අක්ෂි රෝග, සෙම් රෝග ආදියට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. අපල අවම කර ගැනීමට බ්‍රහස්පතින්දා දින නිර්මාංස වී බෝධි පූජා තබන්න. භික්ෂූන් වහන්සේලාට ගිලන්පස දානමාන පිරිනමන්න. බෝමළුව අමදින්න. කහමල් මාලයක් ඔබේ උසට සාදා බෝධියට පූජා කර අපල දුරු කරගන්න.
අය 8, වැය 11, සුබ අංක 3, 9, සුබ වර්ණ - රතු, කහ,
සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා