ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ අක්කර ගණන් වැනසේ | සිළුමිණ

ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ අක්කර ගණන් වැනසේ

  • මේ ගැන පාර්ලිමේන්තුවේත් අවධානය යොමු වෙලා
  • කැලෑ එළිපෙහෙළි කිරීමේ යාන්ත්‍රික ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරෙනවා :  ප්‍රදේශවාසීහු චෝදනා නඟති
  • වන විනාශය නවතා දමන්නට වහා පියවර ගන්නවා :  පරිසර හා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර

මහා පරිමාණ වන විනාශයක් පිළිබඳව දෝංකාරය අලුතෙන්ම ඇසෙනුයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නැඟෙනහිර මායිමේ පිහිටි වැලිකන්ද කන්දකාඩුව, ත්‍රිකෝණමඩුව ප්‍රදේශයෙනි. අක්කර දහස් ගණ නෙක වනපෙත ඩෝසර් යොදා වනසා දමා මහා පරිමාණ දැව ජාවාරමක් එහි සිදු කරන බවට ඇතැම් ජනමාධ්‍ය පසුගිය දිනවල ඉතා ඉහළින් අනාවරණය කර තිබුණි. පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දක්වා මේ කාරණය ගෙන ගියේ මාධ්‍ය වාර්තාද උපුටා දක්වමිනි. පරිසර හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර එම වන විනාශය නවතා දමන්නට වහා පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. එහෙත් එම කැලෑ එළි පෙහෙළි කිරීමේ යාන්ත්‍රික ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා නඟති.

එහෙයින් සැබෑවටම කන්දකාඩුවේ සිදු වන්නේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට යාමට අප තීරණය කළේ එනිසාවෙනි. ප්‍රස්තුත කාරණයට අදාළ වගකිව යුත්තන් මෙන්ම පාර්ශ්වකරුවන් බොහෝ දෙනකු මුණගැසී තොරතුරු එක්රැස් කර ගන්නට එහිදී අපට අවස්ථාව උදා විය. මේ සටහන එම නිරීක්‍ෂණ චාරිකාව ඇසුරෙනි.

පොලොන්නරුවේ සිට කන්දකාඩුවට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නගරය දක්වා ගොස් එතැන් සිට වම් පසට දිවෙන සිංහපුර මාර්ගයේ කිලෝමීටර් 25ක් පමණ දුර ගෙවා කන්දකාඩුවට පැමිණීමයි. එය අතීතයේ සිට මෙම ප්‍රදේශයට පැමිණෙන සුප්‍රකට ගමන් මාර්ගය වේ.

මීට අමතර පොලොන්නරුවේ සිට සෝමාවතිය පුද බිමට ආසන්නයෙන් හමුවන සේරුවාවිලට යන මාර්ගය ඔස්සේද කාන්ද කඩුවට පැමිණිය හැකිය. මහවැලි ගඟ හරහා ඉදි කර තිබෙන් අලුත් පාලමෙන් එගොඩ වී කිලෝ මීටර් 25ක පමණ දුර ගෙවා කන්දකාඩුවට ළඟා විය හැකි නමුත් එය තරමක දුෂ්කර මාර්ගයෙකි.

කන්දකාඩුව කියූ පමණින් මෙකල බොහෝ දෙනාගේ සිහියට නැඟෙනු ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා තිබෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානය විය හැකිය. ඒ මන්ද යත් මෑත කාලයේ අවස්ථා කිහිපයෙකම එහි රැඳවියන් මධ්‍යස්ථානය තුළ ගැටුම් ඇති කරගෙන බුරුතු පිටින් එම මධ්‍යස්ථානයෙන් පිටතට පලා යෑමේ සිදුවීම් ඇති වීමයි.

එහෙත් අදින් දශක දෙකකට පමණ පෙර කන්දකාඩුව ඉතා පරසිඳුව පැවැතියේ දේශීය කිරි කර්මාන්තයට විශාල දායකත්වයක් සැපයූ රජයේ සත්ත්ව ගොවිපලක් වශයෙනි. පශු සම්පත බහුල වීම සහ කිරි නිෂ්පාදනය සාර්ථකව සිදු වීම නිසා ආසියාවේ තණනිල්ල ලෙස මේ ප්‍රදේශය එදා හැඳින්වූ බව කියති. කන්දකාඩුව සත්ව ගොවිපළ යනු එකල ලංකාවේ විශාලතම මෙන්ම ඉතාමත් සාර්ථකව පවත්වා ගෙන ගිය සත්ත්ව ගොවිපළක්ව පැවැති අතර, කිරි දෙනුන් 30,000කට අධික සංඛ්‍යාවක් එහි සිටි බව කියති. ඊට සරිලන ගවගාල් ආදිය සහ පරිපාලන ගොඩනැඟිලි ඇතුළු වටිනා සම්පත් රාශියකින් සමන්විත මෙම ගොවිපළ කාලයාගේ ඇවෑමෙන් පරිහානියට පත්ව විනාශ මුඛය කරා ගියේ 1985 වසරේ පටන්ය. එකල එම ප්‍රදේශයේ පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන ගොවිපළ වැසී යෑමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. එමෙන්ම ආයතනයේ පරිපාලන දුර්වලතා ආදිය නිසා දිගින් දිගටම පාඩු ලැබීම ලැබීමද ගොවිපළ වැසී යෑමට බලපෑ මූලික හේතු ලෙස එහි සේවය කළ තතු දත් පිරිස් පවසති.

ජාතිය සතු මේ අගනා සම්පත එතැන් පටන් දිගු කලක් වනගතව වල් බිහිව පැවැති අතර වර්තමානය වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම කැළෑ හෙළි පෙහෙලි කර ක්‍රමයෙන් එය සංවර්ධන මාවතට ඇද දමා තිබේ. එහි යුද හමුදාව සතු ගොවිපලක් දැනටත් පවත්වා ගෙන යනු ලබයි.

ඊට අමතරව අප ඉහතින් සඳහන් කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයද පිහිටා ඇත්තේ මේ බිමෙහිය. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය කාලයේ කොවිඩ් වසංගතය ඉතා තදින් අප රට තුළ පැතිර යද්දී එම ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමටද උපයෝගී කර ගත් බවද මෙහිලා සඳහන් කළ යුතුය. මන්ද යත් එමඟින් විශාල සේවාවක් ඉටු වූ හෙයිනි.

වැලිකන්දට අයත් වන කන්දකාඩුව ත්‍රිකෝණමඩුව ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ මහවැලි බී කලාපයේය. මහවැලි නිම්නය පුරා දිවෙන සෝමාවතී ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා තිබීම නිසා මෙහි අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් ඉතා බහුලය.

මේ වන විට මහා පරිමාණ වන විනාශයක් සිදු වෙතැයි කියනු ලබන ප්‍රදේශය අයත් වනුයේ මෙම කන්දකාඩුව ත්‍රිකෝණමඩුවටය. මෙම ඉඩම් දැනට කලකට පෙර ශ්‍රී ලංකා මහවැලි අධිකාරය සතුව පැවැති බව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු ඉන්දික රණවීර අප සමඟ පැවැසීය. පසුව රජයේ තීරණයක් අනුව එය පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලබා දී ඇති බවද ඔහු කීය. එහෙයින් දැනට ඒ ඉඩම්වල නීත්‍යනුකූල හිමිකාරීත්වය තිබෙනුයේ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයට බවද හෙතෙම සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙළක් ලෙස සත්ත්ව අහාර නිපදවීම සඳහා බඩඉරිඟු වගා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ පෞද්ගලික අංශයට මෙහි ඉඩම් ලබාදී ඇති බව අපට දැනගන්නට ලැබිණි. ඒ අනුව පෞද්ගලික අංශයට අයත් ආයෝජකයන් 59 දෙදෙනකු වෙත ඉඩම් ලබා දී ඇත්තේ බදු පදනමක් මතය. යුද හමුදාව මේ වනවිට එහි වගා කටයුතු ආරම්භ කර තිබෙනු දැකගත හැකිවිය. පෞද්ගලික ආයෝජකයින් වගාව සඳහා ඉඩම් එළිපෙහිළි කිරීම ආරම්භයත් සමඟ මේ වන විනාශයේ දෝංකාරය නැඟෙන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ඒ සඳහා බුල්ඩෝසර් වැනි යන්ත්‍ර සූත්‍ර ආදිය යොදාගැනීම හේතුවෙනි. වගා කටයුතු ආරම්භ කිරීම සඳහා බිම් සකස් කිරීමට එළිපෙහෙළි කිරීම හැර කිසිසේත්ම එහි වන විනාශයක් සිදු නොවන බව එම ආයෝජකයෝ කියා සිටිති. මාධ්‍ය මඟින් පසුගියදා කර ඇති හෙළිදරව් කිරීම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් බඩඉරිඟු වගාවට ඉඩම් එළිපෙහෙළි කිරීම හැර කිසිදු දැව ජාවාරමක් හෝ දැවමය වටිනාකම් ඇති ගස් විනාශ කිරීමක් කර නැතැයි දුරකතනයෙන් අප හා සම්බන්ධවූ ආයෝජකයකු කියා සිටියේය. තමන් දන්නා පරිදි මෙහි කිසිදු නීති විරෝධී කටයුත්තක් එහි සිදුවී නොමැති බවත් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ විනිවිද භාවයකින් යුක්තව සහ නීත්‍යනුකූල තත්ත්වයන් යටතේ බවද ඔහු පැවසීය.

මාධ්‍යවල පළ වෙලා තිබෙන වාර්තා තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් මේ එළිපෙහෙළි කිරීම් නොකඩවා කරන බවද එම ආයෝජකයා වැඩිදුරටත් කියා සිටියේය.

ආයෝජකයන් පවසන පරිදි මෙම ඉඩම් සත්ව ආහාර නිපදවීම සඳහා බඩඉරිඟු වගා කිරීමට ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් බදු පදනම මත ලබා දී ඇත්දැයි යන්න පැහැදිලි කර ගැනීමට දුරකතනයෙන් එම මණ්ඩලයේ සභාපතිවරයා විමසූ විට ඔහුගෙන් ලැබුණේ ඉතාමත් උද්ධච්ච පිළිතුරකි. ඔහු පැවැසුවේ කොළඹ පිහිටි තම කාර්යාලයට පැමිණ තමන් හමුවී එය දැනගන්නා ලෙසයි. එසේ නැතිනම් තොරතුරු පනත යටතේ ඉදිරිපත් කරනු ලබන පත්‍රිකාවක් මඟින්ද දැනගත හැකි බවද ඔහු කීය.

බඩඉරිඟු වගාවක් සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම නිසා වැඩිම බලපෑමක් සිදු වනුයේ ඊට ආසන්නයේ පිහිටි මහවැලි ගමමානය වන සූරිවැවට බව එහි ගම්මු පැවැසූහ.

එහිදී අපට මුණගැසුණු එච්. එම්. විජිතා කුමාරී ප්‍රකාශ කළේ මෙම ගම්මානයට දිනපතාම පාහේ වන අලින් පැමිණෙන බවය. මෑතක සිට එය වැඩිවෙමින් ඇතැයි ඇය කීවාය.

“මේ ගම්වලට අලින්ගේ හිරිහැර අද ඊයේ ඉඳලා නෙවෙයි කාලෙක පටන් තියෙනවා. දැන් ඒ තත්ත්වය එන්න එන්න වැඩිවෙලා. අවට තියෙන කැලෑවල තමයි අලි ඉන්නේ. ඒ කැලෑ දැන් එළි කරන්න පටන් අරන්. ඒ නිසා අලින්ට ඉන්න තැනක් නෑ. අලි ගම්වලට එනවා. අපිට දැන් මේ ගම්බිම් දාලා යන්න තමයි වෙලා තියෙන්නේ. අපි දරු පැටව් එක්කළ පුදුම බයකින් ඉන්නේ රෑ තිස්සෙට නින්දක් නෑ. ඇහැරලා ඉන්නේ. අලින්ට බයේ.”

වැලිකන්ද සූරියවැව ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයකු මෙන්ම එම මහවැලි ගම්මානයේ පදිංචිකරුවකු වන එස්. ඒ. සමරසිංහ පවසන්නේ මෙම කැලෑ එළිපෙහෙළි කිරීම තුළ මහා පරිමාණ වන විනාශයක් සිදුවන බවය. එමෙන්ම මේ විනාශය සිදු කරනුයේ රජයේ රක්ෂිත වනාන්තරයක මෙන්ම වනජීවී කලාපයක බවද හෙතෙම කීය.

“මේක හෙණ ගහන අපරාධයක්. මේ වන විනාශය සිද්ධ වෙන්නේ දැනට මාසයක විතර කාලයක ඉඳලා. අපි මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරී මහත්තුරුන්ට දැනුම් දුන්නා. ඒ අය කිව්වා මේක වනජීවී රක්ෂිතයට අයිතියි කියලා. මේ ප්‍රදේශය මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යාන අතර තිබෙන අලි කොරිඩෝවක්. එම නිසා අපිට ඕන මේ කැලෑ කපන එක නවත්වන්න. සූරියවැව ගමේ පවුල් 300ක් විතර ඉන්නවා. මේ ඉඩම්වල කැලෑ කපලා වගා කළාට පස්සේ ඒ අය විදුලි වැටවල් ගහනවා. එතකොට අලින්ට යන්න තැනක් නෑ. දැනටමත් අලි ගම්වදින එක වැඩිවෙලා. ඉදිරියේදී අලි ගම්වලට එන එක දෙගුණ තෙගුණ වෙනවා. දැන් අපේ ගම්වලට අලි එනඑක වළක්වන්න කියලා අලි වැටක් තියෙනවා. ඒක රෑට අලි පෙරළනවා. උදේට සිවිල් ආරක්ෂක භටයෝ ඇවිල්ලා වැට කෙලින් කරනවා. රෑට ආයෙත් අලි ඇවිල්ලා පෙරළනවා. මේකයි තත්ත්වේ.”

පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එල්. පී. එදිරිසිංහ ප්‍රකාශ කළේ මෙම ඉඩම් පිහිටා ඇත්තේ වනජීවී කලාපයක නොවන බවයි. වනජීවී කලාපයකට මායිම්ව හෝ ප්‍රේරක කලාපයකට අයත් නොවන බවද හෙතෙම අප කළ විමසුමකදී කියා සිටියේය. මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සඳහන් කළ පරිදි මෙම ඉඩම් ජාතික පශූ සම්පත් මණ්ඩලයට අයත් බව ඒ අනුව තහවුරු වෙයි.

එසේ වුවද සූරියවැව ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයා ඇතුළු ගම්මුන් පෙන්වා දෙන අන්දමට වන අලි ගම් වැදීමේ කාරණයට මේ කැලෑ එළිපෙහෙළි කිරීම බලපාන්නේ නම් එය ලඝුකොට තැකිය හැකි කාරණයක් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එමෙන්ම සුප්‍රකට අලි මංකඩක් හෙවත් අලි කොරිඩෝවක් මෙම වනතීරුව ඔස්සේ පවතීනම් එයද නොසලකා හැරිය හැකි නොවන බවද පෙන්වා දිය යුතුය.

මහවැලි කලාපයක් තුළ ඉඩම් පිළිබඳ බලතල පැවැරී ඇත්තේ මහවැලි අධිකාරියටය. එසේ වුවද මේ ඉඩම් අයිති මහවැලි අධිකාරියට නොව වෙනත් ආයතනයකට බව එහි නේවාසික කළමනාකාරවරයා පවසයි. එහෙයින් අප මේ කාරණය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය වන එම්. එම්. හයිරූන් නිෆා වෙත යොමු කළ විට ඇය මෙසේ කියා සිටියාය.

“මහවැලි කලාපවල ඉඩම් පිළිබඳව නීත්‍යනුකූල කටයුතු කිරීමේ බලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබිලා නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට මොකුත් කියන්න බෑ. නමුත් මේ මහා පරිමාණ වන විනාශයක් සහ දැව ජාරමක් පිළිබඳව මාධ්‍යවල පළවීමෙන් පස්සේ පොලොන්නරුව දිසාපතිතුමා කිව්වා මට මේ පිළිබඳව හොයා බලන්න කියලා. එවැනි දැව ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණය වී නෑ. නමුත් කැලෑ එළිපෙහෙළි කිරීම නිසා වන අලි ගම්වැදීම වැඩි වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටමත් වන අලි නිසා සිදුවන හානි මගේ කාර්යාලයට වාර්තා වෙන්නේ සූරියවැව, දිඹුලාන සිංහපුර, මහවැලිතැන්න මේ ආදී ගම්මානවලින්. අලි ගෙවල් කැඩුවහම, මිනිස්සු මැරුවම ඒ බව කියන්න මහවැලි කාර්යාලයට හරි වෙනත් කාර්යාලයකට යන්නේ නෑ. ඒ නිසා මම දන්නවා මේ ප්‍රදේශයේ දැනටමත් වන අලින් නිසා ඇතිවී තිබෙන ප්‍රශ්න. මේ එළිපෙහෙළි කරන ඉඩම් වනජීවී එකට අයිති නොවෙන්න පුළුවන්. නමුත් මේ කැලෑවල අලි ඉන්නවා. ඒ කැලෑ එළිපෙහෙළි කරන කොට ඉන්න තැනක් නැතිව අලි ගම්වලට එනවා. ඉතින් මේ කාරණය මට ලොකු ප්‍රශ්නයක් තමයි.”

ප්‍රාදේශීය ලේකම්වරිය පෙන්වා දෙන පරිදි දැනට ඉඩම් එළිපෙහෙළි කරන කැලෑවල වන අලින් වාසය කරන්නේ නම් එම වාසස්ථාන අහිමි වූ විට ඒ අලින් ගම්වැදීම අනිවාර්යයෙන් සිදුවන්නකි. මිනිස් ජීවිත, ගේ දොර දේපළ වගා බිම් අලින් විසින් විනාශ කරනු ලබන්නේ ඉන් පසුවය. මේ ඛේදනීය තත්ත්වය ජීවිත කාලය පුරාවටම ඉතා දුකසේ වලඳමින් සිටින මෙම කලාපයේ බොහෝ ගම්මානවල ජනයාට ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කරවීම මේ තුළ සිදුවනු ඇතිය යන්න අපටද හැඟී ගිය කාරණයෙකි.

බඩඉරිඟු වගාවකට යැයි කියමින් ඊට මුවාවී මහා දැව ජාවාරමක් සිදුකරන බවක් මාධ්‍ය මඟින් හෙළිදරව්කර තිබුණද, මේ කැලෑ එළිපෙහෙළි කිරීම් තුළ එවැනි දැව ජාවාරමක් සිදුවන බවක් අපගේ නිරීක්‍ෂණයේදී දැක ගැනීමට නොලැබුණු බවද සඳහන් කළ යුතුය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව අතිරේක දිසා වන නිලධාරී ඩබ්ලිව්. පී. වනිගසිංහ මේ බව අපට තහවුරු කළේය. මහා පරිමාණ දැව ජවාරමක් මෙම ප්‍රදේශයේ සිදුවන බවට ප්‍රචාරය වීමත් සමඟ තම නිලධාරීන් එම ප්‍රදේශයට යවා පුළුල් විමර්ශනයක් සිදුකළ බවත් එවැනි දැව ජාවාරමක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද හෙතෙම කීවේය.

මෙලෙස එළිපෙහෙළි කරනා බිම වන අලින්ට හෝ වෙනත් වන සතුන්ට සැරිසැරීමට හැකි පරිසරයක් වුවද එහි පළු, බුරුත, මිල්ල ආදී දැවමය වටිනාකම් සහිත ගස් වර්ග කිසිවක් ඇසට හසුවන මායිමේ අපට දැකගත නොහැකි විය. එමෙන්ම දැව ජාවාරමක් සිදුකර තිබෙන බවට කිසිදු මූලාශ්‍රයක් නොතිබුණි. බුල්ඩෝසර් යන්ත්‍ර යොදාගෙන ඉවත් කරනු ලබන්නේ ලඳු කැලෑ සහ පඳුරු ආදිය බව ඉතා පැහැදිලිව අපගේ දෑස් අබිමුව දිස්විය. එසේ වුවද දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු සංවර්ධන කාර්යයක් සඳහා යොදා නොගෙන පැවැති මෙම ඉඩම් අක්කර සිය දහස ගණනින් එකවර යන්ත්‍රානුසාරයෙන් එළිපෙහෙළි කිරීම තුළ පරිසරයට හානියක් නොවෙතැයි යන්න එයින් කිසි විටෙකත් අදහස් නොකෙරේ.

මේ වන විනාශය නැවැත්වීමට වහා පියවර ගන්නා බවට සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට කෘෂිකර්ම සහ වනජීවී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණද වන සංහාරය නම් අඛණ්ඩව සිදු කරනු දක්නට ලැබුණි. ඒ අනුව පෙනී යන්නේ ඇමැතිවරයාගේ ප්‍රකාශය හුදෙක් ප්‍රකාශයක්ම පමණක් මිස ක්‍රියාත්මක වන්නක් නොවන බව යැයි වැලිකන්දේ සූරියවැවදී ගම්මුන් කියනු අපට ඇසුණි.

මේ අතර අපගේ නිරීක්‍ෂණයට ලක්වූ තවත් කාරණයක් නම් මෙහි වනාන්තරවල වෙසෙන අලි ඇතුන් ප්‍රමුඛ සතා සීපාවාගේ සංචරණ මාර්ග පවා මෙහි ඉඩම් භුක්ති විඳින පිරිස විසින් හිතාමතා අවහිර කර තිබෙන අන්දමයි. අලි වැටෙන් කොටු වූ ඉඩම් පමණක් නොව වන අලින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා විශාල ප්‍රමාණයේ අගල් ආදිය ඉදිකර ඇත්තේ අත්තනෝමතික අන්දමිනි. එය වනජීවි නියමයන්ට පවා පටහැණි බව අමුතුවෙන් කිවයුතු නැත. යම්කිසි ව්‍යාපෘතියක් සඳහා රජයට අයත් ඉඩම් කොටසක් බද්දට ගත් පමණින් එම භූමියේ වෙසෙන සතා සීපාවාගේ අයිතීන් උල්ලංඝනය කරමින් මෙවැනි අනීතික මෙන්ම අමානුෂීය ක්‍රියාකාරම්වලට පෙලැඹීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව පෙන්වා දිය යුතුය. එහෙයින් තවදුරටත් ඒ කටයතුවලට ඉඩ නොදීමට අදාළ වගකිව යුත්තන් අවධානය යොමු කළ යුත්තේ තවදුරටත් පමා නොකරය.

 

Comments