
- ලංකාවේ එක්සයිස් පොත් හදන ඔස්තාර්ලා හිටියේ අම්බලන්ගොඩ
- අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල ඉහළ යාමෙන් හතළිස් ලක්ෂයක් සිසු දරුවෝ අසරණ වෙති
- මිල වැඩි වීමට සෝබන කවරයත් හේතුවක්
- ලංකාව මුළුමනින්ම දේශීයව අභ්‍යාස පොත් නිෂ්පාදනය කළ රටක්
- අභ්‍යාස පොතේ ලංකාවේ රතු ඉර ඉන්දුනීසියාවෙන් උලා කයි
- ලංකාවේ එක්සයිස් පොත් හදපු ක්‍රීම්වෝව් කඩදාසිය ඉන්දියාවටත් අපනයන කළ යුගයක් තිබුණා
එදා ගෑස් අර්බුදය - ඉන්ධන අර්බුදය අපට දැනුණත් මෙදා අපට දැනෙන්නේ කඩදාසි අර්බුදයයි. කඩදාසි අර්බුදය උග්‍ර අතට හැරීම නිසා වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට මෘදු පිටපත් (soft copy) මාර්ගයෙන් පමණක් ලබා දීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කළේ මේ නිසාමය.
දැන් ජාතික ප්‍රශ්නය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ වාර්ෂික වාර්තා මුද්‍රණය කිරීමට කඩදාසි අර්බුදය නොව කඩදාසි අර්බුදය හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ගේ අභ්‍යාස පොත් මිල නහුතෙට ඉහළ යෑමය.
ලංකාව වැනි රටක ඩොලරය ඉහළ යෑම හා නැව් ගාස්තු, බැංකු පොලී ඉහළ යෑම නිසා අභ්‍යාස පොත් මිල ඉහළ යෑම මෙරට දේශීය කර්මාන්ත ඉතිහාසය දන්නා අයට නම් කට අගට සිනාවක් ගෙන එන්නකි. 87 - 89 භීෂණ සමය වන විටත් ලංකාවේ අභ්‍යාස පොත්වලට කඩදාසි ආනයනය කළේ නැත. ආසියාවේ අති විශිෂ්ට එක්සයිස් පොත්වලට හදන ක්‍රීම්වෝව් (Cream wove) කඩදාසිය නිෂ්පාදනය කළේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේය. එහි විශිෂ්ටත්වය නොහොත් 'කොලිටිය' කොපමණ ද කිවහොත් හැත්තෑව දශකයේ ඉන්දියාවේ පවා කොලිටි වැඩවලට භාවිත කොට ඇත්තේ ලංකාවේ ක්‍රීම්වෝව් කඩදාසියයි.
භීෂණ සමයේ ඇඹිලිපිටිය කම්හල දවා අළු කළ පසු එවක ආණ්ඩුවේ සිටි කර්මාන්ත නියෝජ්‍ය ඇමති වූ වීරසිංහ මල්ලිමාරච්චි ඇතුළු පිරිස එක්සයිස් පොත් ආනයනයට අවසර දෙන ලදී. මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ මෙම අභ්‍යාස පොත් අර්බුදය පවතින වර්තමානයේ ලංකාවේ ජනපතිවරයා රනිල් වික්‍රමසිංහයන් වීමය. දෛවෝපගත යැයි කියන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තබන සමයේ කර්මාන්ත අමාත්‍යවරයා වූයේත් රනිල් වික්‍රමසිංහයන් වීමය.
ගිනි තැබූ ඇඹිලිපිටිය කම්හලට අළු ගසා නැගිටින්නට අවස්ථාවාදීන් ඉඩ දුන්නේ නැත. අභ්‍යාස පොත් ආනයනයට ඕනෑම අයකුට අවසර දීම නිසා තොග පිටින් ලංකාවට අභ්‍යාස පොත් ගෙන ආවේ ඉන්දුනීසියාවෙනි. මෙහිදී ලංකාවේ අභ්‍යාස පොතේ වූ අනන්‍යතා බිඳ වැටුණි. ඉස්සර ලංකාවේ අභ්‍යාස පොත් කවර වෛවර්ණයෙන් සුදු බොක්ස්බෝඩ් මුද්‍රණය කොට වානිෂ් හෝ ලැමිනේටින් කළේ නැත. එය මිල අධික කටයුත්තකි. ලංකාවේ අභ්‍යාස පොත්වල කවර මුද්‍රණය කළේ 'කවර් පේපර්' නම් ගොරෝසු මිල අඩු ඝන කඩදාසියකය. එහි එක් වර්ණයකින් මුද්‍රණය වූයේ පොත් නිෂ්පාදකයාගේ නම, පොතේ පිටුගණන, මිල පමණකි. වැඩිම වුනොත් ඉලක්කම් චක්‍රයක් පමණි. කවරය ගැසූ ඝන කඩදාසිය නිෂ්පාදනය කළේ ලංකාවේ වාලච්චේන රජයේ කඩදාසි කර්මාන්ත ශාලාවේය.
ආනයනික එක්සයිස් පොත් නිසා දෙවනුව ලංකාවේ නැතිවූ ඊළඟ අනන්‍යතාව වූයේ ඉන්දුනීසියන් සුදු කඩදාසියයි. එය ලංකාවේ ක්‍රිම්වෝව් කඩදාසිය මෙන් ගොරෝසු කඩදාසියක් නොවීය. තෙවනුව ලංකාවේ අනන්‍යතාව වූ එක්සයිස් පොතේ 'රතු ඉර' ඉන්දුනීසියන් එක්සයිස් පොතේ නැති විය. ඒ සන්දියේ ගුරුවරු කියා ඇත්තේ එක්සයිස් පොතේ රතු ඉරෙන් දකුණට ලියන්නට කියාය. ලංකාවේ අභ්‍යාස පොත් මිල ඉහළ යන්නට ප්‍රධානම හේතුව වන්නේ හතරවැනි කාරණය වූයේ රූල් ගසන ක්‍රමවේදයයි.
ලංකාවේ එක්සයිස් පොත් මුද්‍රණයේ කප් ගැසූ බාසුන්නැහේලා හිටියේ අම්බලන්ගොඩය. අම්බලන්ගොඩ 'වැඩ්ඩන්' කඩදාසි රූල් ගසන මාජින් හැදුවේ ලංකාවේය. එම මැෂින් නිපද වූයේ කොස් ලීයෙනි. වමේ සිට දකුණට Reflex Blue ඉර හරහටත්, උඩ සිට පහළට warm Red ඉරත් මුද්‍රණය වූයේ ඉතා ලාභදායී දේශීය ෆවුන්ටන් පෙන් ඉන්ක් විශේෂයක් භාවිතයෙනි. ඒ කාලේ කවරය මුද්‍රණය කළෙත් ගල් අච්චුවේ නොහොත් ලෙටර් ප්‍රෙස්ය. මේ සියළු කරුණු නිසා දේශීය එක්සයිස් පොත මිල ඉතා අඩු විය. එහෙත් ඉන්දුනීසියාවේ ලංකාවේ මෙන් රූලිං මැෂින් හැදුවේ නැත. ඔවුන් අභ්‍යාස පොත් මුද්‍රණය කළේ ඕෆ්සෙට් ක්‍රමයටය. නිපදවන වියදම වැඩි නිසා ඔවුන් රතු ඉර ඉවත් කරන ලදී.
අන්තිමට ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත නොවීම නිසා ඉන්දියාවෙන් හා ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ග්‍රෑම් 60 කඩදාසියේ දේශීයව පොත් නිෂ්පාදනය කරන්නට සිදු විය. ඉන්දුනීසියන් ආක්‍රමණය නිසා පොත් කවරයත් වෛවර්ණයෙන් මුද්‍රණය කරන්නට සිදු විය. ලංකාවේ අභ්‍යාස පොත් නිෂ්පාදනය දේශීයව මුද්‍රණය වූ අම්බලන්ගොඩ රූලිං මැෂිම අමතක කොට ඔෆ්සෙට් ක්‍රමයට එක්සයිස් පොත් නිෂ්පාදනයට පිවිසියේ අවිචාරවත්වය. දේශීය රූලිං මැෂිමේ තීන්ත කිලෝවක් රුපියල් 300 පැවැතියදී ඕෆ්සෙට් තීන්ත කිලෝවක් රුපියල් 1500ට වැඩි විය. අන්තිමට සිදුවූයේ ලංකාවේ අභ්‍යාස පොත් නොහොත් එක්සයිස් පොත් කර්මාන්තය මුළුමනින්ම විදේශීය අමුද්‍රව්‍යවල වහලකු බවට පත්වීමය. පසුව දේශීය අභ්‍යාස පොත් නිෂ්පාදකයින් මැදිහත් වී එවක ආණ්ඩුව ලවාම අභ්‍යාස පොත් ආනයන තහනමක් ක්‍රියාත්මක කරන ලදී.
හෙට්ටි වීදිය රත්තරං බඩුවලට ප්‍රසිද්ධ නම් සේද - කොළඹ එක්සයිස් පොත් වීදිය වී ඇත්තේ ඩෑම්ස්ට්‍රීට් එක නොහොත් වේල්ල වීදියයි. හැත්තෑව දශකය මුල හෙට්ටි වීදියේ රත්තරං බඩු කඩ මෙන් එක්සයිස් පොත් නිෂ්පාදකයන් සිට ඇත්තේ මේ වීදියේය. ස්වස්තික, පැරගන්, හේවගේ සහ හැරිසන් ආදි වෙළඳ නාම හැත්තෑව දශකය මුල ජනප්‍රිය එක්සයිස් පොත් වෙළඳ නම් විය. පිටු 80 එක්සයිස් පොතක මිල වී ඇත්තේ සත 18කි. ජාතික මිල කොමිසම හා ජාතික ප්‍රමිති කාර්යාංශය ප්‍රකාශයට පත් කරන අභ්‍යාස පොත් උපරිම මිලට වඩා විකුණුවහොත් එය දඬුවමකට හෝ අධිකරණයේදී දඩයකට ලක් කළ හැකි වරදක් විය. පසුව සාධාරණ මිල කොමිසය වූයේ ඔය කියූ ජාතික මිල කොමිසමයි. පොඩි එකාට ඉස්කෝලේ ගෙනි යන්න තියන එක්සයිස් පොතේ මිල පාලනය කරන්න අද ඔය මොන හත්ඉලව් කොමිසමක්වත් නැත. එක්සයිස් පොත් නිෂ්පාදකයෝ හිතුමනාපේ ඕන ඕනා විදියට මිල වැඩි කරති.
කොළඹ එක්සයිස් පොත් තොග කඩ ඇත්තේ වේල්ල වීදිය, මැලිබන් වීදිය, රැජින වීදිය හා පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණයේය. එදා කොළඹ කේන්ද්‍රව තිබූ එක්සයිස් පොත් නිෂ්පාදනය දැන් දැවැන්ත කොම්පැනි ග්‍රහණයට ලක්වී කොළඹින් පිටට ගොස් ඇත. මීට වසර දහයකට පෙර මෙම පාසල් ලිපි ද්‍රව්‍ය පැවති මිල සොයා ගැනීමට ලේක්හවුස් පුස්තකාලය පරික්ෂා කර බැලුවෙමි. මීට වසර 10කට පෙර 2012දී පීපල්ස් පාක් පැත්ත ගැන ලියවුණ තරුණි පත්තරේ ලිපියක් සොයා ගත හැකි විය.
ඔබේ දූ දරුවන්ට අවශ්‍ය බොහෝ පොත්පත් මෙහි අලෙවි වන්නේ ඉතා අඩු මුදලකටය. සාමාන්‍යයෙන් පිටු 40ක පොත් දුසිමක් රුපියල් 168ක් වැනි මුදලකට මෙහිදී ලබාගත හැකි අතර පිටු 80ක දුසිමක් සඳහා වැය කළ යුත්තේ රුපියල් 240කි. රුපියල් 360ක් වැනි මිලක් ගෙවා සී.ආර්. පොත් 12ක්ම මිලදී ගත හැකි බව පැවසුවහොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වනු නොඅනුමානයි. ඊට අමතරව පැන්සල් දුසිමක් රුපියල් 36 සිට ඉහළටත්, පෑන් දුසිමක් රුපියල් 96 සිට ඉහළටත් මිලදී ගත හැකි අතර මකන කෑලි 3.50 සිට ඉහළ මිල ගණන් දක්වා වේ. ගම් බෝතලයක අවම මිල රුපියල් 3.75ක් වන අතර බ්‍රවුන් පේපර් දුසිමක් රුපියල් 96ටත් ඔභට මිලදී ගත හැකිය යනුවෙන් එම ලිපියේ සඳහන්ය.
මේ ලිපිය අනුව වසර 10කට පෙර පිටු 40ක අභ්‍යාස පොතක් අලෙවි වී ඇත්තේ රුපියල් 14ක තොග මිලකටය. පිටු 80ක පොතක් රුපියල්. 20, සී. ආර්. පොතක් රුපියල් 25, පැන්සලක් රුපියල් 3, පෑනක් රුපියල් 6 තොග මිල වී ඇත. අද රුපියල් 35ක් වී ඇති බ්‍රවුන් පේපර් කඩදාසියක් මීට දස වසරකට පෙර අලෙවි වී ඇත්තේ රුපියල් 8කටය.
පීපල්ස් පාක් සංකීර්ණයත් - වේල්ල වීදියත් අතර සැරි සරද්දී අපට මුලින්ම හමුවූයේ වාද්දුවේ සිට පැමිණි පොත්හල් හිමියෙකි. ජී. ඩබ්ලිව්. ජයරත්න නම් වූ ඔහුගේ පොත් කඩේ නම නුවන්ගි පොත්හලය.
"මම අවුරුදු පහළොවක් තිස්සේ බුක්ෂොප් එක කරනවා. ඊයේ අලුත්ගම ඉඳන් ඉස්කෝලෙ ළමයි ආවා පරණ ගානට පොත් තියෙනවද බලන්න. ගිය සැරේ රුපියල් 5000/-ට ගත්ත පොත් ලැයිස්තුවට මේ පාර රුපියල් 15,000ක් යනවා. දැන් බලන්න ඉස්සර පත්තරයක් ගත්තම මාසයක් බත් ඔතන්න පුළුවන්. දැන් පත්තරේ කොළ පහයි. දවස් පහයි බත් බඳින්න පුළුවන්."
අප වේල්ල වීදියේ මුලින්ම හමුවන්නට ගියේ හැරිසන් ඉන්ඩස්ට්‍රීස් පොත් නිෂ්පාදක කළමනාකාර අධ්‍යක්ෂ ශාන්ත ගුණරත්න හමුවන්නටය.
"අභ්‍යාස පොත් මිල අඩු කරන්න ඉස්සෙල්ලම පරණ කවරයට යන්න ඕන. දැන් බලන්න මේ මල්ටි කලර් කවර. ළමයි මේවට කවර දානවා. පොතේ මිලෙන් 20%ක් අඩු කරන්න පුළුවන් පරණ තාලෙට කවරෙට ගියොත්. ආණ්ඩුව මැදිහත් වුණොත් මේ තරගෙ නැති කරන්න පුළුවන්."
අප ඊළඟට හමුවූ අග්‍රා ස්ටේෂනරි ආයතනයේ කළමනාකරු රමේෂ් කපූර් එදා පිටකොටුවේ නම් දැරූ එක්සයිස් පොත් නිෂ්පාදකයෙකි.
"ඩොලර් ප්‍රශ්නෙ එන්න ඉස්සෙල්ල එක්සයිස් පොත ඇතුළ ගහපු පේපර් රිමක් (කොළ 500ක් 24"x34") රු. 2375යි. දැන් රුපියල් 13,000/=යි. කවරේ ගහපු ග්‍රෑම් 250 වයිට් බැක් බොක්ස් බෝඩ් පැකට් එක තිබුණේ රුපියල් 2530/=ට දැන් රුපියල් 11,000/=යි. පේපර් - බෝඩ් බුකින් ප්‍රයිස්, ෂිපින් චාජ්, ඩියුටි ඔක්කොම වැඩියි. එතකොට ඉබේම එක්සයිස් පොත් මිල වැඩි වෙනවා. දැන් වෙනදා තිබෙන බිස්නස් එක තාම ස්කූල්සීසන් එකට ආවේ නැහැ."
ඉන්පසු අප Promate අභ්‍යාස පොත් නිෂ්පාදනය කරන සුසර ආයතනයේ කළමනාකරු රොහාන් මංජුල හා KMJ ට්‍රේඩර්ස් අධිපති බෂිර් මොහොමඩ් හමුවන ලදි. මෙහිදී බෂිර් කිව්වේ වෙනම කතාවකි.
"අපිට දුකයි සමහරු ඇවිල්ල ගාන අහල යනවා. රුපියල් 200 තිබ්බ CR පොත, දැන් 530යි, රුපියල් 160 ට තිබ්බ පොත රු. 445/=යි. ආණ්ඩුව හොයන්න ඕන මේ මිල වැඩි වුණේ කොහොමද කියලා. මොකද රුපියල් 200ට තිබ්බ ඩොලර් එක 800 වුණේ නෑනේ. අපි කැමති පොත් අඩුවට දෙන්න. එතකොට බිස්නස් වැඩියි."
මෙරට එක්සයිස් පොත් කර්මාන්තයේ රාජ්‍ය මැදිහත්වීම සිදු වූයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ SPC පොත හරහාය. ඉතා සාධාරණ මිලකට මිල නියම වූ පොත පෞද්ගලික අභ්‍යාස පොත් හිමියන්ට ද හිතුමතේ පොත් මිල වැඩි කරන්නට හැකි වූයේ නැහැ. අප SPC කොළඹ කාර්යාලයට යන විට එහි වූයේ පාළු ස්වභාවයකි. එහි සිටි වැඩ බලන කළමනාකරු ප්‍රියංග ජයවීරගෙන් වෙනදා සීසන් එකට තිබුණ තදබදය නැතිවීම ගැන විමසුවෙමු.
රතු ඉර තියෙන මාකට් එකේ තියෙන එකම එක්සයිස් පොත ආණ්ඩුවේ SPC පොත. කඩදාසි අර්බුදය නිසා දැන් නිෂ්පාදනය ඇනහිටලා තියෙන්නේ. ඒත් හෙට අනිද්දට අලුතින් නිෂ්පාදන පටන් ගන්න යන්නේ.
SPC අලෙවිහලේ තිබුණේ එක්සයිස් පොත් කීපයක් පමණි. එක්සයිස් පොත් නිෂ්පාදනය කරන සොන්ඩර්ස් පෙදෙස සමූපකාර පොත් හලේද අලෙවියට පොත් තිබුණේ නැත. එහි පරණ මිලට පොත් විකුණන බැනරයක් තිබූ අතර අපේ කතාව බැනරයේ ඡායාරූපයක් ගැනීමට සීමාවිය.
මේ අතර අභ්‍යාස පොත් මිල විශාල ලෙස ඉහළ යෑමට බලපා තිබෙන්නේ, රජය බදු පැනවීම පමණක් නොව මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් සිදු කරන ජාවාරම් ක්‍රියාවක් නිසා බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පසුගිය සතියේ කරුණු දක්වා තිබුණි. එමෙන්ම සමස්ත අභ්‍යාස පොත් අවශ්‍යතාවෙන් 40%ක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ලබාදෙන බවත්, මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් 30% බැඟින් ලබා දුන් බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර කරුණු දක්වමින් පවසා ඇත.
කඩදාසි ආනයනයට ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපොළට ලබා දුන් 30% දායකත්වයෙන් 90%ක් පමණ මේ වනවිට නැවතී ගොස් තිබෙන බව සභාපතිවරයාගේ අදහසය. සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ලබා දුන් දායකත්වයත් මේ වන විට නැවතී ගොස් තිබෙන බවත්, මේ අනුව කඩදාසි ගෙන්වන හා පොත් නිෂ්පාදනය සිදු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් කිහිපදෙනෙකු විසින් පොත් හා කඩදාසි අධික මිලකට අලෙවි කරමින් තිබෙන බවත්ය.
අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල ඉහළ යෑමේ සාපය අන්තිමට වැටෙන්නේ 'ඩොලරය' නමැති ගිණුමටය. ඒත් කඩදාසි ටොන් එකක මිල ලෝක වෙළඳපළේ රුසියන් යුද්ධය නිසා ඉහළ ගිය හැටි, 8%කටත් බැංකු පොලිය 33%ටත් එහා වැඩි වීම හා රුපියල් 202ට තිබූ ඩොලරය රුපියල් 370 දක්වා ඉහළ යෑමද මෙහිදී අප සැලකිල්ලට ගත යුතුය. මේ අතර සෙස් බද්ද නිසා පාසල් උපකරණ මිල වැඩි වීම ගැන රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. පාසල් ලිපිද්‍රව්‍ය මිල ඉහළ යෑමට සෙස් බද්දේ සම්බන්ධයක් නැති බවය.
දැන් අභ්‍යාස පොත් තොග කඩවලට එකම පිටු ගණනේ පොත් මිල ගණන් කිහිපයකට ඇත. පරණ පොත් අලෙවි කරන්නේත් අන්තිමට මුද්‍රණය කළ වැඩිම මිලටය. මේ නිසා දැන් තොග කඩ නිතිපතා මිල වැඩිවීම පරිගණක පද්ධතියට එක්කිරීම වදයක් නිසා පරණ පුරුදු ලෙජර් ක්‍රමයට පසුබැස ඇත. මේ අභ්‍යාස පොත් හා පාසල් උපකරණ මිල ඉහළ යෑමේ අර්බුදය දැනටම මෙරට දේශීය කර්මාන්ත ආරක්ෂා කර නො ගැනීමේ අනිටු ඵල විපාකයක් වී තිබේ. සිය රට දේ සිරි සැප දේ කියූ අපේ දේශීය අභ්‍යාස පොත් කර්මාන්ත වළපල්ලට යවා මුළුමනින්ම ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන එක්සයිස් පොත් කර්මාන්තයකට අවිචාරවත්ව ඇබ්බැහි වීමේ අනිටු පලවිපාක අවසානයේ විඳින්නට වූයේ හතලිස් ලක්ෂයක් පාසල් සිසු දරුවන්ටය.
ඡායාරූප - රංජිත් අසංග