උපන් රට බබළවන බුද්ධියෙන් ලොව හොල්ලන පුංචි හපන්නු දෙන්නා | Page 2 | සිළුමිණ

උපන් රට බබළවන බුද්ධියෙන් ලොව හොල්ලන පුංචි හපන්නු දෙන්නා

අරියානා දඹරාව හේවගේ සිය පවුලේ අය සමඟ සහ මෙතූ මෙනුවර සිය පවුලේ අය සමඟ
මේ වසරේ එංගලන්තයේ පමණක් Mensa බුද්ධි පරීක්ෂණ විභාගයෙන් ලකුණු 162ක් ලබාගත් Genius අති දක්ෂ දරුවන් පස්දෙනා අතරෙන් දෙදෙනෙක්ම ශ්‍රී ලාංකික දරුවන්

- බිලියන හතක් පමණ වූ ලෝක ජනගහනය අතර මෙවැනි ජීනියස්ලා සිටින්නේ 20000යි
- මෙන්සා ළමා බුද්ධි පරික්ෂණ විභාගයෙන් ළමයකුට ලබා ගත හැකි ඉහළම ලකුණු ගණන 162යි
- මෙම වසරේදී IQ ලකුණු 162ක් ලබා ගෙන ඇති පළමු දරුවා ශ්‍රී ලාංකික දස හැවිරිදි අරියානා දඹරාව හේවගේ
- මේ වසරේදීම IQ ලකුණු 162ක් ලබා ගෙන ඇති අනෙක් ශ්‍රී ලාංකික දරුවා එකොළොස් හැවිරිදි මෙතූ මෙනුවර

බ්‍රිතාන්‍ය ඉංජිනේරු, ගාල්ලේ 
දෙව්සිරි පී. හේවාවිදාන 
ලන්ඩන් නුවර සිට ලියයි. 
[email protected]

ලොව බොහෝ දෙනා තමන් කොතරම් බුද්ධිමත් දැයි දැන ගැනීමේ රහසිගත ආසාවෙන් පෙළෙති. එවැනි අයකුගේ බුද්ධිය මනින ලොව පිළිගත් මිනුම් දණ්ඩ වශයෙන් සැලකෙන්නේ intelligence Quotient හෙවත් IQ මාපකයයි. කෙනෙකුගේ IQ ලකුණු ගණන කුමක්දැයි නිගමනය කර ගැනීම සඳහා ලෝකයේ විවිධ බුද්ධි පරීක්ෂණ සමාගම් නොයෙකුත් විභාග පරීක්ෂා යොදා ගනිති.

වෙනත් බුද්ධි පරීක්ෂණ ආයතනවල ඇති විභාගවලින් IQ ලකුණු 200ට වඩා ලබා ගත් අය ද සිටිති. ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ ලොකුම බුද්ධිමතා වූයේ අමෙරිකාවේ විසෝරි ප්‍රාන්තයේ ජීවත් වු Marilyn Vos Savanth ය. ඇයගේ බුද්ධි ලකුණ 228 වීය. ඇය හැඳින්වුණේ ලෝකයේ ස්මාට්ම පුද්ගලයා ලෙසය.

අද බ්‍රිතාන්‍යය, අමෙරිකාව හා ජර්මනිය වැනි ප්‍රධාන බටහිර රටවල් භාවිත කරන්නේ Mensa නැමැති ලෝක ප්‍රසිද්ධ බුද්ධි ආයතනය මඟින් කරනු ලබන පරීක්ෂණ විභාගයයි.

රෝලන්ඩ් බෙරිල් නමැති ඕස්ට්‍රේලියානු අධිනීතිඥවරයා හා ලාන්සලොට් වෙයා නැමැති බ්‍රිතාන්‍යය විද්‍යාඥයා විසින් 1946දී ඔක්ස්ෆර්ඩ් සරසවියේ අරඹන ලද Mensa සංවිධානයට බැඳෙන්නට අවසර ඇත්තේ ඉහළ පෙළේ IQ අංකයක් ඇති අයට පමණි.

මෙන්සා ළමා බුද්ධි පරීක්ෂණ විභාගයෙන් ළමයකුට ලබා ගත හැකි ඉහළම ලකුණු ගණන 162කි. වැඩිහිටියන්ට ඇති විභාගයෙන් අයකුට ලබා ගත හැකි උපරිමය 161ය. ලකුණු 162ම ලබා ගන්නා බුද්ධිමත් දරුවා “Genius”යනුවෙන් හඳුන්වනු ලැබේ. යම් කුඩා දරුවකු මෙන්සා IQQ විහාගයෙන් 162 ක ඉහළම ලකුණු ගණන ලබාගත් සෑමවිටකම ඔහු අයින්ස්ටයින් හා මහාචාර්ය හෝකින්ස් ට වඩා නැණවත් බව ලොකු සිරස්තලවලින් බ්‍රිතාන්‍ය පත්තර ප්‍රකාශ කරන නමුත් එය සත්‍යයක් නොවේ. මේ දරුවන් එම විශිෂ්ට විද්‍යාඥයාන් දෙදෙනාට සම කිරීමට නොහැකිය. එයට හේතුව එම දෙදෙනාගේ නියම IQ ලකුනු කවරෙදයි කිසිවකු නොදන්නා නිසාය. එයට හේතුව ඔවුන් දෙදෙනා කිසිවිටෙක මෙන්සා ආයතනය මඟින් හෝ වෙනත් ආයතනයක් හරහා තමන්ගේ IQ මට්ටම මැන ගෙන නොමැති නිසා ය. එම දෙදෙනාගේ IQ අංකය 160 යන්න බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් අනුමාන කර කරන ලද ලකුණු ගණනක් පමණි. අයින්ස්ටයින් මෙන්සා විභාගයට වාඩි වූවා නම් ඔහු ලකුණු 250 ටත් වඩා ගන්නවා ඇත.

බිලියන හතක් පමණ වූ ලෝක ජනගහනය අතර මෙවැනි ජීනියස්ලා සිටින්නේ 20000ක් පමණ යැයි කියති.

Mensa IQ බුද්ධි ප්‍රශ්න තිබු ප්‍රශ්න 150න් තෝරා ගත් පහත සඳහන් ප්‍රශ්න හතරට විනාඩි හතරක් තුළ නිවැරැදි පිළිතුරු සැපයීමට ඔබට හැකිදැයි බලන්න. එසේ නම් ඔබටත් මෙන්සා බුද්ධි පරීක්ෂණ විභාගයට පෙනී සිට ලකුණු 150 වත් ගත හැකි යැයි මට සිතේ.

1. පහත සඳහන් සංඛ්‍යා පෙළෙන් සංඛ්‍යා තුනක් එකතු කොට උත්තරය වශයෙන් 60 කී සැරයක් ඔබට ලබා ගත හැකිද?

2, 3, 5, 10, 15, 20, 25, 50

2. පහත සඳහන් වචන දෙකේ අකුරු මාරු කොට එම තේරුම ම ඇති වචනයක් හදන්න.

Due Crop

3. පහත සඳහන් ශේණියේ x ලකුණ වෙනුවට නිවැරැදි අංකය යොදන්න.

4, 9, 16, 25,?,19, 64, 81

4. ? ලකුණ වෙනුවට ඕනෑම ගණිත සලකුණක් එක්වරක් පමණක් යොදා ඔබට ලබා ගත හැකි ලොකුම උත්තරය කුමක්ද?

6 ? 2 ? 2 ? 4 ? 2 =

2016 දී මෙන්සා බුද්ධි පරීක්ෂණයෙන් ලකුණු එකසිය 162ක් ලැබූ ලොව ළාබාලතම දැරිය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටවු වූයේ බ්‍රිතාන්‍යයේ සිටින ලාංකික දැරියක් වූ නිශී උග්ගල්ල ය. ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙන දුන් ඇය එතනින් නැවතුණේ නැත. ඉන් පසු දක්ෂතම දරුවන් 11000ක් අතරේ පැවැති තරග විභාගයෙන් විශිෂ්ට ලෙස ජයගෙන බ්‍රිතාන්‍යයයේ සුධීමත් දැරිය Child Genius of Britain වශයෙන් කිරුලු පැළඳ ගත්තේද පුංචි නිශී උග්ගල්ලය. ඉන් මාස කිහිපයකට පසු බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මෙහෙයවූ සාමාන්‍ය දැනීම මහා තරගයේදී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධි ලැබූ උගතුන් දෙදෙනකු ද සිටි වැඩිහිටි වියත් පිල පරදවා ජයග්‍රාහක කුසලානය දිනාගත්තේ පුංචි නිශී මෙහෙයවූ දීප්තිමත් පාසල් දරු කණ්ඩායමයි. 2023 වසරේ දී උසස් පෙළට මුහුණ දෙන දැන් දහහත් හැවිරිදි නිශී උග්ගල්ල දැරියගේ බලාපොරොත්තුව කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධි ලබා බ්‍රිතාන්‍යයයේ ඉහළ පෙළේ විද්‍යාඥවරියක් වීමය.

මේ වසරේ එංගලන්තයේ පමණක් Mensa බුද්ධි පරීක්ෂණ විභාගයෙන් ලකුණු 162ක් ලබාගත් Genius අති දක්ෂ දරුවන් පස්දෙනකු සිටී. ඔවුන් අතරෙන් දෙදෙනෙක්ම ශ්‍රී ලාංකික දරුවන් බව මා ලියන්නේ මහත් අභිමානයෙනි.

ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ලබාදෙමින් මෙම වසරේදී IQ ලකුණු 162ක් ලබා ගෙන ඇති පළමු දරුවා නම් බ්‍රිතාන්‍යයයේ (Huddlers Field) නගරයේ පාසැල් අධ්‍යාපනය ලබන දස හැවිරිදි අරියානා දඹරාව හේවගේය. ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ දීප්තිමත් දරුවකු වන මරියානා පසුගියදා පැවති පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ද ඉහළින් ම සමත් වී ඇත. ‍Huddersfield නගරයේ තිබෙන සුපිරි පාසල් හත ම අනේ ඔබේ දුව අපි පාසැලට ඇතුළු කරන්නයි කියමින් ඇයගේ මවුපියන් ඉදිරියේ බැගෑපත් වෙති.

මගේ දුව පොත් කියවන්න හරි කැමතියි. විද්‍යාව තමා ඇයගේ ප්‍රියතම විෂය. දුවගේ මේ ජයග්‍රහණය ගැන අපිට කියන්න බැරි සතුටක් දැනෙනවා යැයි අරියානාගේ පියා ජානක දම්බරාව හේවගේ කියයි. පාසැලේ බාලදක්ෂිකා කණ්ඩායමේ සාමාජිකාවක් ද වන අරියානා IQ ලකුණු එකසිය හැට දෙකක් දිනා ගැනීමෙන් ලබාගත් පන්නරයත් සමග ඉදිරියට ගොස් විවිධ ආකාරයේ විද්‍යා තරගවලට සහභාගී වී තව තවත් ජයග්‍රහණ ලබනු ඇතැයි ජානක බලාපොරොත්තු වෙයි.

අරියානා සමඟ කරට කර සිට විශිෂ්ට බුද්ධිමය දක්ෂතාව විදහා දක්වමින් IQ ලකුණු 162ක් ලබා ගත් ලෝකයේ ඉහළම බුද්ධිමතුන් 20000ට මෙවර එක් වූ දෙවෙනි ශ්‍රී ලාංකේය දරුවා නම් Hertfordshire ප්‍රාන්තයේ Hatfield නගරයේ වෙසෙන එකොළොස් හැවිරිදි මෙතු මෙනුවර පුතුණුවන්ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ මෙතූගේ පියා එරන්ද රුසියාවේ ඉහළ උපාධියක් ලබා දැන් ගුවන් යානා ඉංජිනේරුවකු වශයෙන් සේවය කරන අතර කොළඹ විශාඛා විද්‍යාලයේ හා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ මව උපේක්ෂා රත්නායක දැන් වෛද්‍යවරියකි. වැඩිමල් දරුවා මෙතු හැරුණ විට ඔවුන්ට අෂේන් (7) සෙදත් (5) පුතුන් දෙදෙනකු හා අහස්නා (3) දියණියක් ද සිටී.

තමන්ගේ හුදු විනෝදය සඳහා පමණක් මෙන්සා විභාගයට වාඩි වූ මෙතු මෙනුවර පැය එකහමාරක් තිස්සේ ගණිතය, වාචික තර්කනය යන පත්‍ර හතරේ ප්‍රශ්න 150කට පිළිතුරු දුන්නේය.

ඉන් ටික දිනකට පසු Mensa ආයතනයන් ඔහුට ලැබුණ පිළිතුරෙන් මුළු පවුලම අමනානන්දයට පත් වීය. එය සඳහන් වූයේ මෙතු විභාගයෙන් ලකුණු 162ක් ලබා (Genius) සුධීමත් නැණවතකු වශයෙන් හෝ පත්වී ඇති බවය. Mensa අයතනයෙන් ඒ සමඟම Mensa ආයතනයේ සුධීමත් සමාජයේ සුපිරි සාමාජිකයකු වීමට ද මෙතුට ආරාධනා ලැබී ඇත.

“ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත” යන සුභාෂිත කවි පදය සත්‍යයක් නොවන බව මෙතු මෙනුවර දරුවා විසින් දැනටම පැහැදිලිව ඔප්පු කර තිබේ.

ආනන්ද බෝඩිමේ සිටිද්දී Chemistry වාර විභාගය සදහා බකීර් මාකර්, කරන්නාගොඩ හා රංජිත් මද්දුම බණ්ඩාර සමඟ මා ආවර්තිතා වංගුවේ (Periodic Table) තිබෙන මූල වර්ග (Elements) එක දිගට කඩ පාඩම් කරන්නට තැත් කළත් අපට ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්වලට වඩා එහාට කිසිදෙයක් මතක තිබුණේ නැත.

නමුත් 2016දී වසර පහක මොන්ටිසෝරි දරුවකු වූ මෙතු මෙනුවර මෙන් අවර්තිතා දිගුවේ (periodic table) මූල ලෝහ වර්ග 118ම කටපාඩමින් එක දිගට කියවා තම ගුරුවරුන් මවිත කළේය. ආවර්තිතා දිගුව කට පාඩමින් කියවන ලෝකයේ ළාබාලතම දරුවා වශයෙන් ඔහු record setter නැමති ලෝක වාර්තා පොතට ද ඇතුළු වීය.

Letchworth එය නගරයේ බෞද්ධ විහාරයේ ඉරිදා දහම් පාසැලේ දීප්තිමත් දරුවකු වන මෙතු බුද්ධ ධර්මය පිළිබඳ නොයෙකුත් තෑගි දිනා ගෙන තිබේ. තවත් විශේෂ කරුණක් වන්නේ 11 හැවිරිදි මෙතු මෙනුවර සංගීතයට දක්වන සහජ දක්ෂතාවයි. පුංචි කාලයේ පටන්ම Mozart ගේ සංගීතයට ලැදිකමක් දැක් වූ මෙතුගේ රිද්මය හා කාල නිර්ණය ඉතා නිවැරදි විය. පියානෝ, වියෝලා හා තබ්ලා වාදනයට ද ඇති දක්ෂයකු වන මෙතු පාසැල් ගායන කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ Choir හා Cantata ගායකයාද වේ.

පුංචි මෙතුගේ සුමිහිරි ඉංග්‍රීසි හා සිංහල ගීත ගායනා කොතරම් ජනප්‍රිය ද කියනවා නම් ඔහුගේ Menu wara නමැති යූ ටියුබ් චැනලයට දැනටමත් ලොව වටා ලක්ෂ හතරක අනුගාමිකයන් සිටිති.

අධ්‍යාපන කටයුතු ක්‍රීඩා හා අනිකුත් බාහිර අංශවලින් ඉහළින්ම දස්කම් දක්වන සමහර දරුවෝ “අළු ඔළු” ආඩම්බරකාරයෝ වෙති. එහෙත් මෙතු මෙත්සර කිසිසේත්ම එවැනි ළමයකු නොවන බව ඔහු අධ්‍යාපනය හදාරන වෙදබි විදුහලේ විදුහල්පති Jenkins මහතා කියයි.

"මෙතු පන්තියේ වැඩට, සංගීතයට සාහිත්‍යයට අතිශයින්ම දක්ෂ දරුවෙක් වුණාට හරිම නිහතමානියි. සමහර වෙලාවට එයා ඉස්කෝ­‌ෙලදී තමන්ගේ දස්කම් පෙන්නන්න හරිම ලැජ්ජයි. අපි තමයි එයා බලෙන් එළියට ගන්නේ. මේ දරුවා Mensa විභාගයෙන් ලකුණු 162ක් ගැනීම ආචාර්ය මණ්ඩලයේ අපිට කිසිම පුදුමයට කරුණක් වුණේ නැහැ.

මෙයා කවදහරි එංගලන්තයේ ඉහළතම විද්‍යාඥයෙක් වෙන එක අපිට 100ක් ෂුවර්.” විදුහල්පතිවරයා තවදුරටත් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් ආසියාතික දරුවකු හැම අතින්ම දක්ෂයකු වන විට බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් හිතන්නේ එම ළමයාගේ මවුපියන් ඔහුට ඇති කරන මානසික පීඩනය නිසා ඔහු කෘත්‍රිම ලෙස දක්ෂයකු වී ඇති බවයි. එවැනි දෙමව්පියන්ට බ්‍රිතාන්‍ය පත්තර කියන්නේ හෙළිකොප්ටර අම්මලා තාත්තලා කියාය.

වාසනාවට එරන්ග ඉංජිනේරු පියා හෝ උපේක්ෂා වෛද්‍යවරිය මව එවැනි වර්ගයේ මවුපියන් නොවේ. ”‍අපි කවදාක්වත් අපේ දරුවන්ට පීඩනයක් එල්ල කරලා නෑ. පුතාට කරන්න ආසා දේවල් අපිට කිවුවම අපි කරන්නේ ඒවාට අවශ්‍ය මුදල් හා පහසුකම් සලසන එක විතරයි. අනාගතයේදී මෙතු මොන පාරේ යනවාද කියලා එයාම නිදහසේ තීරණය කරාවි”‍ යැයි වෛද්‍ය උපේක්ෂා මෙනුවර කියන්නේ මෙනු පුතා මෙතෙක් ලබා ඇති ජයගහණ ගැන ඇති වූ ප්‍රීතියත් සමඟය.

මෙතු මෙත්සරගේ මීළඟ බලාපොරොත්තුව ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළු වී ඉහළ පෙළේ උපාධියක් ලබා ලොව ප්‍රධානතම තාරකා විද්‍යාඥයකු වීමයි. එයට අමතරව තමන්ගේ ප්‍රියතම විනෝදාංශය වූ සංගීත ශාස්ත්‍රයෙන් ද බ්‍රිතාන්‍යයේ නමක් තැබීම ඔහුගේ පැතුමයි.

පුංචි මෙතු මෙත්සර දැනට පෙන්වා ඇති දස්කම් දෙස බලන විට මේ විශිෂ්ට පාසැල් දරුවාගේ බලාපොරොත්තු දෙකම ඉටු වනවාට කිසිම සැකක් නැතැයි විදුහල්පති ජෙන්කින්ස් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාවටත් බ්‍රිතාන්‍යයටත් ආභරණයන් ව ඇති නිශී උග්ගල්ල හා අරියානා හේවගේ දියණියන් දෙදෙනා හා මෙතු මෙනුවර පුතු ලෝකය ජය ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයි මට සිතේ.

Comments