මැරයකුගේ හිත වෙනස් කළ ආදරයක්‘හීනයකි මේ ආදරේ’ | සිළුමිණ

මැරයකුගේ හිත වෙනස් කළ ආදරයක්‘හීනයකි මේ ආදරේ’

මහේෂ් හා මා අතර තියෙන බැඳීම සාර්ථක නිර්මාණයක් බිහි වෙන්න ප්‍රධානම හේතුවක්

ශාන්ත සොයිසා සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන්නේ දීර්ඝ කාලීන මිතු දමක අපූරු සුසංයෝගයක්. ඔවුන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයා ආදරෙන් වැලඳ ගන්නත් ප්‍රධානම හේතුවත් මේ දෙපලගේ මේ අවබෝධය. මේ ඔවුන්ගේ 14 වැනි නිර්මාණය. ‘හීනයකි මේ ආදරේ’ කියන්නේ පාතාලයට සම්බන්ධ මැරයකුගේ සිතේ ඇති සැමට පොදු හැඟීමක් වන ආදරය නිසා ඔහු තුළ සිදුවන වෙනස අපූරුවට ඉස්මතු කරන නිර්මාණයක්. එහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා අප හා එක්වුණේ ඒ පිළිබඳ කතාබහටයි.

 

ඔබේ අලුත්ම නිර්මාණය ගැන කතා කළොත්?

“මේක මගේ 14 වැනි නිර්මාණය. අවුරුදු දෙකකට පස්සෙයි මේ නිර්මාණය කරන්නේ. මගේ හැම නිර්මාණයකම තිර රචනය මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ. අපි කල්පනා කළා මෙතෙක් කල් ගිය රටාවට වෙනස් ආකාරයේ දෙයක් කරන්න. අපි කළ බොහෝ නිර්මාණයන්ට යොදා ගත්තේ අකුරු දෙකේ නම්. ඒවා ප්‍රේක්ෂකයන් අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. දැන් නාලිකා අතරෙත් තියෙන්නේ ලොකු තරගයක්. බොහෝ අය ඒ වගේ නම් දාන්නත් පටන් ගත්තා. ඒ නිසා අපි වෙනස් දෙයක් කරන්න හිතුවා. ඒ විදියට තමයි ‘හීනයකි මේ ආදරේ’ බිහිවුණේ. ශලිනි තාරකා, අඛිල ධනුද්ධර, ශ්‍රියන්ත මෙන්ඩිස්, පැතුම් රුක්ෂාන්, දුලීකා මාරපන, රුවන්ති මංගලා ඇතුළුව නවකයන් කිහිපදෙනෙකුත් රංගනයෙන් එකතු වෙනවා. සුරාජ් මාපා මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා.

තම පියා මරා දමනු දෑසින් දකින කුඩා දරුවකුගේ අනාගත ඉරණම පිළිබඳ ලියැවුණු මෙය සමාජයට පණිවුඩයක් දෙන නිර්මාණයක්. තම පියා මරන අයුරු දකින කුඩා දරුවකුගේ මානසිකත්වය, ඒ පීඩනයත් එක්ක ඔහු සමාජයේදී මුහුණ දෙන ආකාරය වගේම තමාට ළමා කාලය අහිමි කළ මේ සමාජය කෙරෙහි ඔහුගේ සිතේ ඇති වන වෛරය, කොතරම් දරුණු වැඩ කළත් ඔහු තම මවට දක්වන ආදරය, ඕනෑම කෙනෙකුට පොදු යෞවනයේ සුන්දර ආදරය නිසා ඔහු තුළ සිදු වන පරිවර්තනය ආදී මිනිස් හැඟීම් සම්මිශ්‍රණය වුණු අපුරු අත්දැකීමක් මේ තුළින් ප්‍රේක්ෂකයාට විඳගන්න පුළුවන්.”

ඔබ බොහෝ විට උත්සාහ කළේ කාන්තා චරිත ඉස්මතු කරන්න. ඔබේ බොහෝ නිර්මාණ සඳහා යොදා ගත්තේත් කාන්තා නාමයන්. එහි විශේෂත්වයක් තියේ ද?

ඇත්ත. මම නිතරම කාන්තාවට ප්‍රමුඛත්වය දෙන්න උත්සාහ කළා. හේතුව, මිනිස් සන්තානයේ ඇතිවන දුක, කඳුළ, සිනහව වැඩිපුරම අත්දකින්නේ කාන්තාව. ඒ වගේම සමාජයේදීත් කාන්තාවට මුහුණපාන්න වෙන ගැටලු වැඩියි. ඒ ගැන තමයි කතා කරන්න උත්සාහ කළේ. මොන කෙනා බැලුවත් මොන පැත්තකින් හරි එයාට ඒ කතාවෙ සම්බන්ධයක් තියෙනවා වගේ දැනෙන්න. හැම නිර්මාණයකම වගේ අන්තර්ගත කරන්න අපි උත්සාහ කළේ සමාජය තුළම පවතින ගැටලු. එතකොට බලන ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නම් මං ගැන තමයි කියලා තියෙන්නේ කියලා. නිර්මාණය තමාට සමීප වෙන තරමට දැනෙනවා වැඩියි. ඒ වගේ මිනිස්සුන්ට දැනෙන්න තමයි අපි නිර්මාණ කරන්නේ.”

ඔබේ හැම නිර්මාණයකටම දායක කරගන්නේ මහේෂ් රත්සර. ඒ තෝරාගැනීමට විශේෂ හේතුවක් තියේ ද?

“දැනට ලංකාවේ සිටින දීර්ඝ තිර පිටපත් රචකයන් අතරේ හොඳම කෙනා මහේෂ් කියලයි මට හිතෙන්නේ. ඔහුට මේ සමාජය ගැන, මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කතාවට උචිත පරිදි අලුත් දේවල් එකතු කරන්නත් ඔහු දක්ෂයෙක්. මට මහේෂ්ගේ තිර පිටපත් ගැන ලොකු අවබෝධයක් තියෙනවා වගේම මහේෂ්ටත් මගේ අධ්‍යක්ෂණය ගැන ලොකු අවබෝධයක් තියෙනවා. අපි අතරේ තියෙන මේ බැඳීම සාර්ථක නිර්මාණයක් බිහිවෙන්න ප්‍රධානම හේතුවක්. මහේෂ් වගේ පළපුරුදු, දක්ෂ, ප්‍රවීණ තිර රචකයෙක් හිටිද්දි ඇයි මං අලුත් අත්හදාබැලීමක් කරන්නේ. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එහෙම අවදානමක් ගන්නවට වඩා හොඳයි අපි දෙන්නගේ එකතුව. මහේෂ් පිටපතක් ලියනව නම් ඕනෑම කෙනෙක් අහන්නෙ ශාන්ත ද මේක කරන්නේ කියලා. මං නිර්මාණයක් ගැන කතා කළොත් අහන්නේ තිර පිටපත මහේෂ්ගෙ ද කියලා. ඒ තරමටම අපේ නම් බද්ධ වෙලා.”

අද බොහෝ නිර්මාණ වාණිජකරණය වෙලා. ඒකෙන් නිර්මාණයට වගේම රස වින්දනයටත් බාධා වන අවස්ථා තියෙනවා. සමහර ඒවා අවසානය වෙද්දි මුල, මැද, අග අමතකයි. ඒ ගැන ඔබටත් කියන්න යමක් ඇති?

“අනිවාර්යයෙන්ම. අද රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක මුදල් පැත්ත හිතන්නත් වෙලා තියෙනවා තමයි. එහෙමයි කියලා අනවශ්‍ය විදියට කතාව ඇදගෙන යන්නවත්, කොටස් 100, 200 අවසන් කළ යුතුයි කියලා දෙයක් නෑ. අපිට හිතුණොත් දැන් මේක මෙතනින් ඉවර කළොත් හොඳයි කියලා. ඒක 68 ද 189ද කියලා, නෑ අපි අවශ්‍ය තැනින් කතාව අවසන් කරනවා.”

ඔබ ක්ෂේත්‍රයට එන්නේම අධ්‍යක්ෂ කියන භූමිකාවෙන් ද?

නැහැ. මං මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ. ඊට පස්සේ සහාය අධ්‍යක්ෂණයෙන් නිර්මාණවලට සම්බන්ධ වුණා. දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යක්ෂ කියන භූමිකාව සාර්ථකව කරගෙන යනවා. මං හිතනවා මේ භූමිකාව හොඳයි කියලා.

ඔබ බොහෝ පළපුරුදු, දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඇයි ඔබ උත්සාහ නොකරන්නේ ඔබේ දැනුම අනාගත පරපුරට බෙදා දෙන්න?

ඇත්තම කිව්වොත් වෙන රටවල වගේ ලංකාවේ මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගන්න ආයතන නැහැ. එහෙම තැනක් බිහිකරන්න කාටවත් වුවමනාවකුත් නැහැ. මගේ අයියත් ටවර්හෝල් රඟහලේ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නාට්‍ය හා රංග කලාව උගන්නන කෙනෙක්. අපි දෙන්නා, මහේෂ් ඇතුළු ප්‍රවීණයන් රැසක් ඉන්නවා. අපේ අදහසක් තියෙනවා නුදුරේදීම අපේ දැනුම අනාගත පරපුරට බෙදාදෙන්න ක්‍රමවේදයක් හදන්න.”

Comments