
ඔහු වෙන ක්ෂේත්‍රයක වුණා නම් මං රංගනයට යොමු නොවී ඉන්නත් තිබුණා
එයා මේ ක්ෂේත්‍රය ගැන දන්න කෙනෙක් වුණ නිසා මට හරි පහසුයි
රංගන ක්ෂේත්‍රයට ඇගේ පිවිසුම ඇගේ රූ සොබාව කීවොත් නිවැරැදියි. සුරූපී රූසපුවකට හිමිකම් කියන ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ නම් පරිණත බවක් උසුලන්නියක්. රංගනයට ඇය තවමත් ආධුනික වන්නේ දිගු කලකින් නිර්මාණයක් සඳහා දායක නොවුණු නිසා. පසුගියදා විකාශය ඇරඹුණු ‘හීනයකි මේ ආදරේ‘ හරහා ඇය නැවතත් රංගනයට යොමු වී ඇති බවට ලැබුණු ආරංචියත් සමඟින් නියෝමි පෙරේරා අපේ කතාබහට එක්කර ගත්තා.
දීර්ඝ කාලයකට පසු නැවත ඇගේ රංගනයට පිවිසීම ගැන ඇය දැක්වූවේ මෙවැනි අදහසක්.
“නිරූපණය හරහා තමයි මං කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ 2016 වසරේ. වැඩිපුරම මං කළේ බ්‍රයිඩ්ල් නිරූපණය. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සඳහාත් සම්බන්ධ වුණා. 2018 වසරේ මං ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය සඳහා ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට තේරුණා. ඒ තරගය ඉවර වෙනවත් එක්කමයි මට රංගනය සඳහා ආරාධනාවක් ලැබුණේ. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වුණු බුද්ධික සේරසිංහ විසින් රචිත සුදර්ශන බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් වූ ‘පැකේජ්’ කියන ටෙලි නාට්‍යය. ඒ මගේ පළමු රංගන අත්දැකීම. අවුරුදු ගණනාවකට පස්සේ තමයි මං මේ දෙවැනි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. හීනයකි මේ ආදරේ නාට්‍යයට මාව සම්බන්ධ කරගන්නේ එහි සහාය අධ්‍යක්ෂ මහේෂ් උයන්වත්ත අයියා. එයා තමයි ශාන්ත අයියාට කියලා තිබුණේ ශලිනිගේ යාළුවා මේධාගේ චරිතයට මාව හරියනවා කියලා.”
රංගනය තුළ දිගු කාලීන නිහැඬියාවට හේතුවක් ඇය සඳහන් කළා.
“පැකේජ් ටෙලි නාට්‍යයෙන් පස්සේ තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් මගේ සැමියා ඒවා ගැන හොයලා බලලා මට ගැළපෙනවා නම් විතරයි මාව ඒ සඳහා යොමු කරන්නේ. එයත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. එයා මට හැමදේම කියලා දුන්නා. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තමයි මාව මේ දක්වා ගෙනාවේ. හීනයකි මේ ආදරේ කියන්නේ ශාන්ත සොයිසාගේ හොඳ නිර්මාණයක් නිසා එයා මට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා.”
තමා පසුපස සෙවණැල්ලක් සේ සිටින ආදරණීය සැමියා සිය ප්‍රථම නිර්මාණයේ තිර පිටපත් රචකයා වීමත් සුන්දර අත්දැකීමක් බවයි ඇය පැවසුවේ.
“2016 ඉඳන්ම මං මොඩ්ලින් කළා. 2018 ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයෙන් පස්සේ මට පැකේජ් කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙද්දි අපි ආදරවන්තයින්. මං ඉදිරිපත් වුණු බ්‍රයිඩ්ල් ෂෝ එකකදි තමයි මට මුලින්ම බුද්ධිකව හමුවෙන්නේ. අපි අතරේ සම්බන්ධයක් ඇති වුණාට පස්සේ තමයි මං මේ ක්ෂේත්‍රයට එන්නේ. මගේ මුල්ම රංගනයත් එයාගේ තිර රචනයක්. එයා කොතරම් තිර පිටපත් ලිවුවත් අදටත් එයාගේ හිතේ ඉන්න චරිතවලට සුදුසු කෙනා විතරයි තෝරගන්නේ. මං බිරිය කියලා මට අවස්ථාව දෙන්නේ නෑ. මාව ඒකට ගැළපෙනවා නම් විතරයි මාව යොදා ගන්නේ. එයා නිතරම කියන දෙයක් තමයි ඒ ඒ චරිතයට හරියනම කෙනාට නොදුන්නොත් අපි ඒ නිර්මාණයට කරන්නෙ අසාධාරණයක් කියලා. එයා ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ ඒ ඒ චරිත ඔළුවේ තියාගෙන. මට ගැළපෙන චරිතයක් ලියවුණු දාට ඒක මට ලැබේවි. අපි දෙන්නා අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රය ගැනත්. එයා නිතරම මාව ගයිඩ් කරනවා. ඒ වගේම ලොකු සහයෝගයක් ලබා දෙනවා. එයා මේ ක්ෂේත්‍රය ගැන දන්න කෙනෙක් වුණ නිසා මට හරි පහසුයි වගේම මට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. එයා මේ ක්ෂේත්‍රයේ නොවී වෙන එකක වුණානම් සමහර විට මං රංගනයට යොමු නොවී ඉන්නත් තිබුණා.
ගෙදරදි වුණත් ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් බලද්දි අපි දෙන්නා ඒක දිහා ඔහේ බලාගෙන ඉන්නෙ නෑ. ඒක ගැන විවේචනය කරනවා. මේක මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි. මේ රාමුව තමයි එතනට හරියන්නේ. ඔය වගේ අපි ඒකෙ හොඳ වගේම අඩු පාඩුත් කතා කරනවා. අපි දෙන්නා අතරේ ලොකු බැඳීමක් තියෙනවා. ඒක මං ලබපු ලොකු වාසනාවක්. ඉදිරියෙදිත් මේ වගේ හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා.”