අපේ ආදරේට ගෙවල්වලින් විරුද්ධ වුණේ නැහැ | සිළුමිණ

අපේ ආදරේට ගෙවල්වලින් විරුද්ධ වුණේ නැහැ

තාත්තා නිසා පාසලේ මමත් ප්‍රසිද්ධයි

ඔහුව මුලින්ම විශ්වාස කරන්න පටන් ගත්තේ එතැනින්

මට විකට චරිත විතරක් නෙමෙයි හැම පරාසයකම චරිත ලැබෙනවා

 

බන්දු සමරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ විකට රංගන ශිල්පියෙක්. ඔහුගේ පුත් කාංචන සමරසිංහ නම් එතරම් කලාවෙන් දකින්න ලැබෙන්නේ නැහැ . පියාගේ මඟ නොයා වෙනම මඟක යන ඔහු ගැනත් ඔහුගේ ආදරණීය බිරිය ප්‍රමෝදි ගැනත් කතා කරන්න මෙවර රසඳුනෙන් ඉඩක් වෙන් කළා.

 

කාංචනගේ පියා ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක්, පියා වගේ ඔබ සිනමාව ආක්‍රමණය කළේ නැහැ නේද , මුලින්ම අපි ඒ ප්‍රශ්නයට උත්තර දීලා කතාබහ ට ආරම්භ ගනිමු..?

මගේ තියෙන ලොකුම ආසාව තමයි තාත්තව අභිභවා යන ආසාව. ඒත් බන්දු සමරසිංහ කියන නම වගේ මගේ නම ජනතාව අතරට අරගෙන යන එක ලේසි නැහැ. ඒක කරන්න බැරි වැඩක්. නමුත් මම පුළුවන් විදිහට සිනමාවට සම්බන්ධ වෙනවා.

 

තාත්තා ලේබල් වෙලා ඉන්නේ විකට රංගනයට, නමුත් ඔහු එහි ප්‍රවීණයෙක්. ඔබත් ලේබල් වෙලාද ඉන්නේ..?

තාත්තා නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු නිර්මාණයකින් තමයි මම සිනමාවට අවතීර්ණ වුණේ. නමුත් මට විකට චරිත විතරක් ලැබෙන්නේ නැහැ. හැම පරාසයකම චරිත ලැබෙනවා. ලැබුණු චරිත දෙකක් ප්‍රතික්ෂේප කළා. ඒකට මට සාධාරණයක් කරන්න බැරි වෙයි කියලා හිතුණු නිසා. මම දැන් කන්දු කියලා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මාස තුනක් විතර. සංගීතය පැත්තට ටිකක් වැඩිපුර නැඹුරු වෙලා ඉන්නවා. ආරාධනා ලැබුණොත් සිනමාවට ඒ චරිතය මට ගැළපෙනවා නම් භාර අරගෙන රංගනයෙන් දායක වෙනවා. තවම නම් මාව ලේබල් කරලා නැහැ.

 

ඔබ පුංචි කාලේ ඔබේ පියා ලංකාවේ හිටපු කාර්‍යබහුල ම නළුවෙක්. කොහොමද ඔහුත් එක්ක ගෙවපු ළමා ජීවිතේ..?

ඒ කාලේ තමයි තාත්තගේ හොඳම කාලේ. තාත්තා කියනවා එයාලට තිබ්බ කටුකැපිලි කෙටිලි දැන් නැහැ. එච්චර දුක් වින්දා කියලා. ගෙදරින් ගිහින් මාස දෙක තුනකින් ආව දවසුත් තිබ්බා. යන්නේ කරදර කරන්න එපා වැඩේ කරලා ඉවර වෙනකල් කියලා, අදටත් වැඩකට යන්නේ එහෙම කියලා. ඔයාලා ඕන වැඩක්දා ගන්න මේ දවස්වල මගේ වැඩක් තියෙනවා. කරදර කරන්න නම් එපා කියනවා. වැඩේට පේවෙලා එදත් හිටියේ අදත් ඉන්නේ. ඉස්සර අද වගේ තාක්ෂණය පැත්තෙන් දියුණු නැහැ නේ. ලයිට් මූණුවලට අල්ලලා ගෙදර එද්දී එන්නේ ඇස් රතු කරගෙන. අව්වේ ඉදලා කළු වෙලා. අපි තාත්තාව දැක්කම බය වෙනවා. මොන වැඩේ තිබ්බත් ඉස්කෝලේ මවුපිය රැස්වීමට එනවා. හැම තැනකදිම කියන්න ඕන දේ කෙලින් කියලා එනවා මගේ පාසලේ දිත් එහෙමයි ඒ නිසා අපි විතරක් නෙමෙයි සමහරු තාත්තාට බයයි. තාත්තා සිනමාව එක්ක කාර්‍යබහුල වෙද්දී අම්මා තමයි මගෙයි අක්කලා දෙන්නගෙයි වැඩ බලලා කරේ. අම්මා ඒ පැත්තෙන් ලොකු කැප කිරීමක් කළා. තාත්තාට නිදහසේ වැඩ කරගන්න ඉඩ දීලා.

 

රූපවාහිනියෙන් දකින විහිළු චරිතය නිවසේදි කොයි වගේද ..?

තාත්තා කතා කරද්දී හිනා වෙන අය ඉන්නවා. අපිට නම් එයාගේ විහිළුවලට දැන් හිනා යන්නේ නැහැ. ඒ සිස්ටම් එකට පුරුදු වෙලා. තාත්තා ඇත්ත කිව්වත් සමහරු බොරුවට විහිළු කරනවා කියලා හිතලා හිනා වෙනවා. පේන කෙනාට වඩා ඇතුළාන්තයේ ඉන්න පුද්ගලයා වෙනස්. හරි ගැඹුරු අදහස් තියෙන කෙනෙක්. වැඩසටහන්වලදි නම් විහිළු කරලා ඉන්නේ ජනතාව සතුටු කරන්න. ඇත්ත ජීවිතේ බන්දු සමරසිංහ හාත්පසින් ම වෙනස්.

 

කොහොමද පියාගේ ජනප්‍රියත්වය ඔබ දකින්නේ, පාසල් කාලෙදි ඔහුගෙ ජනප්‍රියත්වයෙන් ඔබ වරප්‍රසාද ලබන්න ඇති..?

මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලකින්. තාත්තා නිසා පාසලේ මමත් ප්‍රසිද්ධයි. බන්දු සමරසිංහගේ පුතා කියලා. මම හැමදේකටම දක්ෂ නිසා අවස්ථා හිමි වෙලා තියෙනවා. ශිෂ්‍ය නායකත්වය දරලා තියෙනව. තාත්තාගේ ජනප්‍රියත්වය ගැන කියලා වැඩක් නැහැ. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඔහුව දන්නවා. සිංහල දෙමළ කියලා නැහැ. ළඟදි දවසක යාපනේ දමිළ ළමයෙක් අඳුරගන්න ලැබුණා. මගේ යළුවෙක් ඇහුවා බන්දු සමරසිංහ දන්නවද කියලා එයා නැහැ කියලා කිව්වා. ෆොටෝ එකක් පෙන්නුවම මෙයාව කවුද නොදන්නේ කියලා ඇහුවා. ඒ වගේ නමින් නැත්තත් රූපෙන් හරි දන්නවා. ඒ ආදරේ තාත්තා අද ලබන්නේ එදා කරපු කැපකිරීම් නිසා කියලයි මම හිතන්නේ.

 

බන්දු සමරසිංහ කියන නළුවා රසිකයින් එක්ක ඡායාරූප ගන්න අකමැති චරිතයක් කියන්නේ..?

ඒක මෙහෙමයි. ආඩම්බරයක් නෙමෙයි. තාත්තා හරි අකමැතියි පූජනීය භූමිවල ඡායාරූප ගන්න. සෙල්ෆි ගන්න රසිකයන් දුවගෙන එද්දී තාත්තා කියනවා අපි වෙන දවසක ගමු නේද? අද බැහැ කියලා. එයාලා ඒක වැරදි විදිහට තේරුම් ගන්නවා ඇති. තාත්තා ආඩම්බර කෙනෙක් කියලා හිතනවා ඇති. අනිත් තැන්වල තාත්තාට ප්‍රශ්නයක් නැහැ. ෆොටෝස් ගන්න ඉඩ දෙනවා. අපි තාත්තාට කියනවා ඒක පැහැදිලි කරලා කියන්න කියලා .

 

ඔබේ රූපයෙන් ඔබ බන්දු සමරසිංහ ගේ පුතා කියලා හඳුනා ගන්න අය ඉන්නවද..?

නැහැ. නමුත් තාත්තා එක්ක රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා දැකලා එයාගේ පුතා මම කියලා දන්න අයයි ඉන්නේ.

 

පියාගේ කාලේ සිනමා තිරය වර්ණවත් කළේ දැවැන්ත චරිත, ඒ චරිත ඔබට මුණ ගැහිලා තියෙනවා ද..?

සමහර අය අද ජීවතුන් අතර නැහැ. මම ඒ කාලේ හරිම පොඩියි. සමහර ප්‍රවීණයින් දැක්කම මම ළඟට ගිහිං කතා කරනවා. ඔවුන්ට මම ගරු කරනවා. එහෙම ආශ්‍රය කරන්න ලැබීම වාසනාවක් හැටියට මම දකින්නේ.

 

එතකොට ප්‍රමුදිට කාංචන මුණගැහෙන්නේ අහම්බයකින්, ඔහුගේ ගීතයක රූප රචනාවකට රඟපාන්න ආරාධනා කළ නිසා නේද ..?

ඔව්. එයාගේ දෙව්ලියේ කියන ගීතයේ වීඩියෝ එකට එන්න පුළුවන් ද කියලා අහන්න තමයි එයා මුලින්ම මට කතා කරන්නේ. මම එයාට කිව්වා ට්‍රැක් එක එවන්න ඒක බලලා එන්නම් කියලා. එයා මට ට්‍රැක් එක එව්වේ නැහැ. ඒ නිසා මම ඒකට ගියේ නැහැ. නමුත් එයා ඉඳහිට කතා කරා. ඒ කතාබහ තමයි දුර දිග ගියේ. 2016 කතා කරා යාළුවෝ වගේ 2017 එයා මට කැමතියි කිව්වා. 2022 මැයි විවාහ වුණා.

 

ඔහු ආදරේ ප්‍රකාශ කළාම හිතුවේ නැද්ද ඔහු විහිළුවක් කරන්නේ කියලා බන්දු සමරසිංහ වගේ ඔහුත් විහිළු කරනවා ඇති නේ..?

විහිළුවට නෙමෙයි ඇහුවේ කියලා දන්නවා. කතාබහ කරද්දි තේරෙනවානේ. මුලින් දන්නේ නැහැ ඒයා කාගේ කවුද කියලා. පස්සේ තමයි දැන ගත්තේ. එතකොට නම් ඇත්තටම මට බයක් ඇති වුණා. බන්දු සමරසිංහ කියන කලාකරුවා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. මගෙන් සම්බන්ධයක් පවත්වාගෙන යන්න ඇහුවම මම කිව්වා මගේ අම්මගෙන් ඇවිත් අහන්න කියලා. එයා ඊට පස්ස දවසෙම ඇවිත් ඇහුවා. එතකොට තමයි මම එයාව ගොඩක් විශ්වාස කරේ. බොරුවක් කරන්නේ නැහැ කියලා. බොරුවක් කරනවා නම් ගෙදරින් අහන්නේ නැහැනේ කියලා හිතුවා. ඔහුව මුලින්ම විශ්වාස කරන්න පටන් ගත්තේ එතැනින්. ඔහු අවංක කෙනෙක් කියලත් හිතුණේ එතකොට තමයි.

 

බන්දු සමරසිංහ මුලින්ම ඔබට මුණ ගැසුණු මොහොතේ ඔබ පිළිගත්තේ විහිළුවකින්ද..?

නැහැ. හෙලෝ කොහොමද කියලා. සම්බන්ධය පටන් ගද්දි කාංචනගේ අම්මා දැනගෙන හිටියා. අම්මා හරි අහිංසක ආදරණීය කෙනෙක්. ඊට පස්සේ තමයි තාත්තා දැනගෙන තියෙන්නේ. අක්කලා දෙන්නට වගේම කාංචනටත් ගෙදරින් නිතිරීතී දාන්නේ නැහැ. හරි වැරැද්ද තේරුම් අරන් ජීවත් වෙන්න කියලා තියෙන්නේ. කාංචනත් ඒ නිදහස මිස් යූස් කරලා නැහැ. ඒ නිසා අපේ ආදරේට ගෙවල්වලින් විරුද්ධ වුණේ නැහැ . තාත්තා ගෙදරදි සාමාන්‍යයි.

 

ඔබේ පවුලේ අය ඔහුගේ රසිකයින් වීමත් විශේෂත්වයක්..?

ඒක නම් හරි පුදුමයක්. මගේ අම්මා, තාත්තා දෙන්නම හරිම කැමතියි කාංචන ගේ තාත්තගේ ෆිල්ම් බලන්න. එයාලා වගේම මමත් ඒ කාලේ ඉදලා ඔහුගේ චිත්‍රපට නැරඹුවා. ඇත්තටම මම ඔහුගේ රසිකාවියක්.

 

ඔබ බියුටි පැජන්ට් එකක් නියෝජනය කළා නේද , ඒකත් කාංචන හඳුනා ගැනීමට හේතුවක් වුණා කියලා ආරංචියි ..?

OCBT කැම්පස් එක නියෝජනය කරලා මම පැජන්ට් එකකට සම්බන්ධ වුණා. යුනිවසිටි ස්ටුටන්ඩ් පැජන්ට් එකක්. ලංකාවෙන් තේරුණේ මාව. ඒකට රටවල් 72ක් නියෝජනය කරලා තිබ්බා. මම ටොප් ටෙන් ඇවිත් ඒකෙන් හය වැනි ස්ථානය වෙනකල් ආවා. ඒ දවස්වල ඒ ගැන ශෝෂල් මිඩියා එහෙම ගියා. ටිකක් ඒ ගැන කතා වෙන්න පටන් ගත්තා. එහෙම දැකලා තමයි එයා මට කතා කරලා තියෙන්නේ

 

ඒ කතාව ඇත්ත ද කාංචන ..?

ඔව්. ඒ දවස්වල මගේ මියුසික් වීඩියෝ එකට ගැහැනු ළමයෙක් හොයනවා. හරි යන මුහුණක් හෙව්වට හම්බුණේ නැහැ. එයාගේ ෆොටෝස් හැම තැනම ශෙයාර් වුණා කවුද ඒ කියලා හොයලා බැලුවා. පෙනුමත් ලස්සනයි හුරුබුහුටියි. ඊට පස්සේ තමයි කෝල් කළේ. එයත් ලොකු සීන් දැම්මා සිංදුවේ ට්‍රැක් එවන්න කියළා. රෙගුලාසි වැඩියි. එහෙම යවන්න බැහැනේ. මම කිව්වා ඇවිත් අහලා යන්න කියලා. ඊට පස්සේ එයාව අත ඇරලා වීඩියෝ එක කරපු ඩිරෙක්ටර්ට කිව්වා කෙල්ලෙක් හොයන්න කියලා අන්තිමට නතාෂාව දාලා වැඩේ කරා. ඊට පස්සේ ප්‍රමුදිට කෝල් කරලා කිව්වා වැඩේ කළා කියලා. ඊට පස්සේ දවසක පාටි එකකදි හම්බෙලා කතා කළා. එතකොට තමයි සජීවීව දැක්කේ. ආදරේ හිතුණේ නැහැ. නමුත් දිගටම කතාබහ කළා. පස්සේ ඉතිං දන්නෙම නැතුව දෙන්නා ආදරේ කරලා.

 

තාත්තා ලේළී විදිහට හාර ගන්න කැමති වුණා ද..?

අම්මට කිව්වට තාත්තාට කිව්වේ නැහැ . මොකද එයා එපා කිව්වොත් එපාම තමයි. ආයේ කිසිම විදිහට කැමති වෙන්නේ නැහැ . අම්මට කිව්වා මම කියන්නම් ඔයා තාත්තාට කියන්න එපා කියලා. අම්මා නම් කිව්වා කෙල්ල ලස්සනයි වරදක් නැහැ කියලා . පස්සේ තාත්තාට කියන්න වුණා. තාත්තා මුලින්ම ඇහුවේ ඒ ළමයට ඇයි කැමති වුනේ මොකක්ද හේතුව කියලා . මම කිව්වා ලස්සනට කියලා. තාත්තා ඇහුවා ළමයා කොහෙද මොකද කරන්නේ කියලා. මම විස්තරේ කිව්වා. ආ කමක් නැහැ කිව්වා. එච්චරයි. මම හිතන්නේ තාත්තා එයා ගැන හොයලා බලන්න ඇති. තාත්තා එහෙම කෙනෙක්. අකමැති වෙලා තිබ්බා නම් ඇත්තටම මට ප්‍රමුදිට සමු දෙන්න ඉඩ තිබ්බා. මගේ වාසනාවට තාත්තා කැමති වුණා .

 

ප්‍රමුදි කාංචන තාත්තා වගේ ඔබට ඇස් රතු වෙන විහිළු කරලා නැද්ද ..?

තවම නම් නැහැ. හැබැයි විහිළු කරලා විනෝදෙන් ඉන්නවා. මාව අඬවන්න බයයි. මම පොඩ්ඩක් ඇත්තම් සංවේදී වෙලා අඬනවා. ඒ වෙලාවට එයා විහිළුවක් කරලා මාව ශේප් කර ගන්නවා.

 

ප්‍රමුදි කියන්නේ රූපය නිසා ජාත්‍යන්තරයට ගිය කෙනෙක් , ඒ වගේ කෙනෙකුගේ දක්ෂතා යට යන්න කාංචන ඉඩ දුන්නේ පවුල රැක ගන්න වෙන්න ඇති නේද කාංචන..?

මම කොහොමත් කැමති නැහැ ලොකුවට ෆෝකස් වෙනවට. එතකොට පවුල් ජීවිතයක් නැති වෙනවා. නමුත් එයාගේ ගමන මම නතර කළේ නැහැ. හොඳ දේ තෝරා ගෙන වැඩ කරන්න කියලා මම කිව්වේ. නමුත් එයා එන වැඩ භාර ගන්නේ නැහැ. ළඟදි නිවේදනයට ආරාධනා වක් ලැබුණා. ඒකටත් බැහැ කිව්වා.

 

 

 

Comments