යක්කලමුල්ලේ කුරුඳු වාඩියේ ද්විත්ව ඝාතනය: | සිළුමිණ

යක්කලමුල්ලේ කුරුඳු වාඩියේ ද්විත්ව ඝාතනය:

 

රතිඤ්ඤා කරලෙන් තවමත් ඇවිළෙන ඌරගහ මිනිස් ඝාතන රැල්ලේ ඇතුළත කතාව

 

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. ඒ බව අතීතයේ සිට වර්තමානය දක්වාම පසක් වන පරම සත්‍යයකි. අවි ගත් ඇතැමුන් ඇතැම් අවස්ථාවල විරුද්ධ පාර්ශ්වයන්හි ගොදුරක් හෝ ආරක්ෂක අංශවලට අවනත නොවීම හෝ ආරක්ෂක අංශවලටද බලය පෙන්වීමට යාමෙන් මැරුම් කෑ අවස්ථා ගණනාවකි. පසුගිය කාලයේදී එසේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා (එස්ටීඑෆ්) සාමාජිකයන්ගේ අත්අඩංගුවෙන් පලා යාමට තැත් කිරීම් නැතිනම් ගැටුම් ඇති කරගැනීම නිසා මෑත කාලයේ මැරුම් කෑ පිරිස අතර නමගිය අපරාධකාරයන් වන මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, රත්මලානේ රොහා වැන්නන් ප්‍රමුඛය.

මේ අතර ඉකුත් දින කීපයේදී එස්ටීඑෆ් සාමාජිකයන් සමඟ ගැටුම්වලට මැදිවීම නිසාද මිනිස් ඝාතන, කොල්ලකෑම් ඇතුළු විවිධාකාර අපරාධවලට සම්බන්ධ අපරාධකාරයන් කීප දෙනෙකුම මරණයට පත් විය. එහිදී ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා මහ දහවලේ අහුන්ගල්ලේ රියෝ හෝටලය ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලේ සිටි පුද්ගලයකුට වෙඩි තැබීමට මෝටර් රථය පැදවූ අපරාධකාරයෙක් ද වන තණමල්විල පදිංචි මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තාද ඔක්තෝබර් 13 දා පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඔහු විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව බළපිටිය ප්‍රදේශයේ සඟවා තිබූ ගිනිඅවිය කීපයක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී මහේෂ් ඉන්දික පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් විය. එලෙස පසුගිය 18 වැනිදා අලුයම මිනුවන්ගොඩදී එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත් වූහ. එසේ එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වූයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පාතාල සාමාජිකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා වනුයේ දිනුක හෙවත් ‘මුලා‘ සහ මිලාන් කෝසල හෙවත් ‘ජුණ්ඩා‘ය.

මුලා සහ ජුණ්ඩා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරයෙන් මරණයට පත් වූයේ මිනුවන්ගොඩ නිවෙසක ඉහළ මහලේ සිටියදියි. මුලා සහ ජුණ්ඩා ඉකුත් ඔක්තෝබර් 19 දා දහවල් 12ට පමණ ගාල්ල, යක්කලමුල්ලේ, කරුවලගල, මාගෙදර හේවගේ හර්ෂණගේ කුරුඳු වාඩියේ දෛනික වැටුපට හය දෙනෙකු කුරුඳු තළමින් සිටියදී එතැනට පැමිණ ඒකේ 47 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ දෙදෙනාය. එම වෙඩි ප්‍රහාරයෙන් කුරුඳු තළමින් සිටි කරන්දෙණිය, ඌරගස්මංසන්ධියේ පදිංචි 33 හැවිරිදි වෙඩික්කාරගේ සමන් කුමාර හෙවත් මරුවා එම ස්ථානයේදීම මරණයට පත් විය. ඊට අමතරව හේවගේ හර්ෂණ සහ ඔහුගේ සිවු හැවිරිදි කුඩා දරුවාද නිකරුණේ වෙඩි ප්‍රහාරයට ලක් විය. ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි සිවු හැවිරිදි දරුවා දින කීපයකට පසු අවාසනාවන්ත ලෙස මියගියේය.

එම ම්ලේච්ඡ ඝාතන සඳහා යතුරුපැදිය ධාවනය කර තිබුණේ ජුණ්ඩාය. වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ මුලා බව විමර්ශන සිදුකළ නිලධාරින් අනාවරණය කරගෙන තිබිණි. මෙම ඝාතකයන් දෙදෙනා පසුගිය අගෝස්තු 24 වැනිදා සවස් යාමයේදීද තවත් ඝාතනයක් තර තිබුණේ ඌරගස්මංසන්ධියේදීය. එදින ඝාතනය වූයේ 30 හැවිරිදි තොටමුණගේ ධම්මික දිලිත් විමලවීරය. ඌරගස්මංසන්ධියේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ සැලුන් එකක් පවත්වාගෙන ගිය ධම්මික ඝාතනය වූයේ එම සැලුන් එක තුළ කොණ්ඩා කපමින් සිටියදීය. එම ඝාතනය සඳහාද යතුරුපැදිය ධාවනය කළ ජුණ්ඩා සමඟ පැමිණි මුලා ඉහළ මහලේ ධම්මික කොණ්ඩා කපන ස්ථානයටම ගොස් ඔහුට වෙඩි තැබීය. වෙඩි ප්‍රහාරයත් සමඟ එම ස්ථානයෙන් පලා යාමට තැත් කළ ධම්මික ඉහළ මහලේ සිට පහළ මහලේ ෂීට් ඇතුරු වහලයට පැන තිබුණේ පලා යාමේ අටියෙනි. එහෙත් එම වහලේ ෂීටයද කඩාගෙන වහලේ රැඳුණු ධම්මිකට එළවාගෙන ගොස් මුලා විසින් වෙඩි තබා තිබිණි.

ඒ අනුව මාස දෙකක් වැනි කාලයකදී ඝාතන තුනක් සිදු කළ ජුණ්ඩා සහ මුලා යන අපරාධකාරයන් දෙදෙනා ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 36 හැවිරිදි හේවාවසම් ගමගේ දිලුක හෙවත් ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු වන මුලා පෝද්දල, අමුගොඩ, වල්පිට උතුර, ගල්වල පාර ප්‍රදේශයේ අයෙකි. යතුරුපැදිකරු වූ 34 හැවිරිදි පැටිකිරිආරච්චිගේ මිලාන් කෝසල හෙවත් ජුණ්ඩා පෝද්දල, නාරවල, මුලාන පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනා දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

ඌරගහ ප්‍රදේශයේ වසර හතක පමණ කලෙක සිට දෙපාර්ශ්වයක් අතර පවත්වා ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙකී අපරාධකාරයන් විසින් ත්‍රිත්ව ඝාතනය කර තිබිණි. මොවුන් දෙදෙනා ඉකුත් දිනවල සිදුකළ ත්‍රිත්ව ඝාතන සමඟ මේ වන විට අවස්ථා 6කදී 9 දෙනෙකු ඝාතනය වී අවසානය. ඒ අතර සිවු හැවිරිදි දරුවකුද නිරපරාදේ ඝාතනය වීම අවාසනාවකි. මුලා සහ ජුණ්ඩා එම දෙපාර්ශ්වයන්හි ගැටුමේ එක් පාර්ශ්වයකට නායකත්වය දෙන ඉන්දික මහේෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකි. ඉන්දික මහේෂ් මේ වන විට මෙරටින් පලා ගොස් ඩුබායිහි සිටින බවට සැල වේ.

යක්කලමුල්ල ද්විත්ව ඝාතනයෙන් පසු තැන තැන සැඟවී සිටි ජුණ්ඩා සහ මුලා මෙරටින් පලා යාමේ අරමුණ ඇතිව කටුනායක ගුවන් තොටුපළට ආසන්න මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණෙන්නට ඇතිද නැතිනම් ගිනිඅවිද සහිතව තවත් අපරාධයකට පැමිණ සිටියාද යන්න ආරක්ෂක අංශවල සැකය වී තිබේ. කෙසේ හෝ මේ දෙදෙනා මරණයට පත්වන්නට සති දෙකකට පමණ පෙරදී මිනුවන්ගොඩ, කොළඹ පාරේ, දෙමහල් නිවෙසක ඉහළ මහල කුලියට ගෙන පැමිණ තිබිණි. නිවෙසේ හිමිකාර වයසක යුවළ පහළ මහලේ පදිංචිව සිටිති. නිවෙස්වල ‘පොටි‘ ඇදීමේ රැකියාවේ නිරත වන අය ලෙස පෙනී සිටිමින් මේ දෙදෙනා එම නිවෙස කුලියට ගෙන සිටියේය. ඉකුත් 17 වැනිදා රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එස්. එච්. පීරිස්ට සිය තොරතුරුකරුවකුගෙන් විශ්වසනීය තොරතුරක් ලැබිණි.

“සර්... යක්කලමුල්ලේ කුරුඳු වාඩියේ ඩබල් මර්ඩර් එකයි ඌරගහ සැලුන් එකේ මර්ඩර් එකයි කරපු උන් දෙන්නා මිනුවන්ගොඩට පැනලා ඉන්නවා... දැන් සති දෙකක කාලයක ඉඳන් උඩ තට්ටුවක් රෙන්ට් එකට අරන් ඉන්නෙ... උන් දෙන්නා තවත් ගේමකට ඇවිල්ලද නැත්නම් රටින් පැනලා යන්නද දන්නෙ නෑ... සර්... ඉක්මනට සර්ච් පාරක් දැම්මොත් අල්ලගන්න පුළුවන්...“ ඔත්තුකරු කීවේය.

සිය තොරතුරුකරුගෙන් ලද හෝඩුවාව ගැන පොලිස් පරීක්ෂක පීරිස් විසින් සැණින් ජ්‍යේෂ්ඨ නිලධාරින් දැනුම්වත් කෙරිණි. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි, විශේෂ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ප්‍රධානි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු කණ්ඩායමක් මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත, කොළඹ පාරේ, අංක 1 ලිපිනයෙහි නිවෙස සොයා ගියහ. ඒ වන විට 18 වැනිදා සිකුරාදා දින උදා වෙමින් තිබිණි. වේලාව හරියටම අලුයම 12.35ට පමණය.

දෙමහල් නිවෙසක් වූ අදාළ නිවෙසේ ඉහළ මහලට එස්ටීඑෆ් නිලධාරින් යන විටත් ඝාතකයන් දෙදෙනා සිටියේ අවදියෙනි. අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ‘මරාගෙන මැරෙනවා‘ යැයි පවසමින් ඔවුන් එස්ටීඑෆ් නිලධාරින්ට වෙඩි තැබීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයෝද ක්‍රියාත්මක වූහ. එහිදී වෙඩි වැදුණු දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත් වූහ. අනතුරුව එස්ටීඑෆ් නිලධාරින් විසින් දෙදෙනා නතරව සිටි කාමරය පරීක්ෂාවේදී ටී56 ගිනිඅවියක්, බෝර 12 පතොරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක්ද සොයා ගන්නා ලදි. ඊට අමතරව ධම්මිකගේ ඝාතනය සහ කුරුඳු වාඩියේ ද්විත්ව ඝාතනවලට සහාය දුන් පෝද්දල නරාවල 47 හැවිරිදි පුද්ගලයකු සහ 35 හැවිරිදි කාන්තාවක්ද හෙරොයින් සමඟ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව අසලදී අත්අඩංගුවට ගැනීමටද පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශ 3 හි පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරිහු සමත් වූහ. ඒ පසුගිය 18 වැනිදාය.

ජුණ්ඩා සහ මුලා අතින් ඝාතනය වූ ධම්මික සහ සමන් කුමාරද ඌරගහ ඝාතන වැලෙහි 2019 සැප්තැම්බර් 6 වැනිදා අලුත්ගම සිට ඌරගහ හරහා ඇල්පිටිය දක්වා ධාවනය වූ WP NA 1275 දරන ලංගම බස් රථයේදී ඝාතනය වූ 41 හැවිරිදි රංජිත් ජයවර්ධනගේ ඝාතනයට අත්අඩංගුවට පත් පස්දෙනාගෙන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතව මෑතකදී ඇප මත පැමිණ සිටියේය. වසර හතක් පුරා දිග හැරෙන අවස්ථා හයකදී 9 ‌ෙදනෙකු මරු කැඳවමින් ජුණ්ඩා සහ මුලාද පරලොව ගිය එම දෙපාර්ශ්වයේ ගැටුමේ ඇතුළත කතාන්දරය මෙලෙසිනි.

මහේෂ් රණවීර ඌරගස්මංසන්ධිය කුඩා ඌරගහ පදිංචි තරුණයෙකි. ඉන්දිකගේ නිවෙස පිහිටියේ ඌරගස්මංසන්ධිය ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචි සමන් සුරේෂ්ගේ නිවෙසට කිලෝමීටර් 5ක පමණ දුරකිනි. ඔවුහු සම වයස්හි යාබද ගම්වල තරුණයන් ලෙස සමඟිව ජීවත් වූහ. වඩු වැඩ කළ සමන් සුරේෂ් කලක් යුද හමුදාවේද සිටි අයෙකි. සමන්ට බාල සහෝදරයෙක් ද විය. ඔහු සුරංග සුරේෂ්ය. සුරංග සුරේෂ් ඌරගහ රථවාහන ‘ටින්කරින්‘ වැඩපළක් පවත්වාගෙන ගිය අහිංසක තරුණයෙකි. ඔහුගේ මිතුරා උෂාන් රන්දිකයි. උෂාන් ‘වලිය‘ට බර අයෙකි. 2015 වසරේ අප්‍රේල් 16 වැනිදා ඌරගස්මංසන්ධිය, නුගුඩුමුල්ලේදී අවුරුදු උත්සවයක් පැවැත්විණි. එදින සමන් සුරේෂ් විසින් දල්වන ලද රතිඤ්ඤා කරලක් ඉන්දික මහේෂ්ගේ දෙපා අසල පුපුරා ගියේ අත් වැරැදීමකිනි. ඊට පෙර අසල්වාසි ගම්වල තරුණයන් ලෙස කිසිම ගැටුමකින් තොරව ජීවත් වූ සමන්ලාගේ පාර්ශ්වය සහ ඉන්දික මහේෂ්ලා අතර එම රතිඤ්ඤා කරල පුපුරා යාමත් සමඟ ගැටුමකට මුල පිරිණි. මුල් දිනවලදී දෙපාර්ශ්වය අතර අතින්-පයින් ගැටුම් ඇති විය. ඉන්දික මහේෂ් ඌරගහ, මාලවල වැලි ව්‍යාපාර කටයුතුවල නිරත තොම්මයාහකුරු සරත් කුමාර හෙවත් බොස් සරත්ගේ ව්‍යාපාරයන්ට සහාය දෙමින් ඔහු ළඟ රැකියාව කළ අයෙකි.

දිනය 2015 වසරේ නොවැම්බර් මස 03 වැනිදාය. ඉන්දිකලා සහ සමන්ලාගේ ගැටුමේ පළමු මාරක ගැටුම ඇතිවූ දිනයයි. එදින ‘ටින්කර්‘ වැඩපළේ වැඩට ගිය සමන්ගේ බාල සොහොයුරු සුරංග අසනීප තත්ත්වයකින් පසු විය. ඔහු සිය මිතුරා උෂාන්ද කැඳවාගෙන යතුරුපැදියෙන් ආරෝග්‍ය ශාලාවට යමින් සිටියේය. ඒ වන විට උෂාන්, සුරංගටත් නොකියා ඉන්දික මහේෂ්ලාගේ පාර්ශ්වය සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබිණි. එදින එම ගැටුමට මැදි වූ ඉන්දිකගේ පාර්ශ්වයේ එම තරුණයන් ඒ බව ඉන්දිකගේ කුඩා ඌරගහ නිවෙසට ගොස් ඔහුට පවසා තිබිණි.

කේන්තිය ඉහවහා ගිය ඉන්දික, බොස් සරත්ගේ නිවෙසට ගියේය. බොස් සරත්ගෙන් ඔහු ගිනිඅවියක්ද ඉල්ලා ගත්තේය. අනතුරුව ඉන්දික ඔහුගේ මිතුරෙක් වන අසංක සමඟ එක්ව එදින පෙරවරුවේ ආරෝග්‍ය ශාලාවට යමින් සිටි සුරංග සහ උෂාන් කොටුකර ගත්තේ ඌරගස්මංසන්ධිය හඹුරුගල ප්‍රදේශයේදීය. බොස් සරත්ගෙන් රැගෙන ආ පිස්තෝලයක්ද ඉණේ ගසාගෙන සිටි ඉන්දික යතුරුපැදියකින් ආරෝග්‍ය ශාලාවට යමින් සිටි සුරංග සහ උෂාන් කොටුකරගෙන දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කරන්නට තරම් සැහැසි විය. ඉන්දික මහේෂ් විසින් සිදු කළ එම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි සුරංග සුරේෂ් සහ 26 හැවිරිදි උෂාන් රන්දික එම ස්ථානයේදීම මරණයට පත් විය. ඒ සමඟම ඉන්දික මහේෂ් සහ ඔහුට සහාය දුන් අසංක ඌරගහ පොලිසියට බාර වූහ. පොලිසිය ඒ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙළේය. අහිංසකයකු වූ සිය සොහොයුරු සුරංග සහ ඔහුගේ මිතුරු උෂාන් ඝාතනය කිරීම නිසා සමන් සුරේෂ් මාරාවේශ විය. සමන් සුරේෂ් දින දින සිතුවේ නිරපරාදේ ඝාතනය වූ තම සොයුරු සුරංගගේ සහ උෂාන්ගේ ඝාතකයා ඉන්දික මහේෂ් බන්ධනාගාරගතව සිටින හෙයින් ඊට උදවු කළ අයගෙන් හෝ පළි ගැනීමටයි.

ඒ අනුව සමන් සුරේෂ්ට සැලවී තිබුණේ සුරංග සහ උෂාන් ඝාතනයට ගිනිඅවිය දී තිබුණේ බොස් සරත් බවටයි. දෙදෙනාගේ ඝාතනයට හරියටම මසක් සපිරුණු එනම් 2015 දෙසැම්බර් 04 වැනිදා පෙරවරුවේ සමන් සුරේෂ් විසින් බොස් සරත්ව ඌරගහ, ගල්මංගොඩවත්ත මාර්ගය අසලදී ඝාතනය කළේ සුරේෂ් සහ උෂාන්ගේ ඝාතනයට ලෙයට ලෙය පළිගැනීමක් ලෙසය. සරත් ඝාතනය කිරීමෙන් නොනැවතුණු සමන් සුරේෂ්, සරත්ගේ මළකඳ ඔහු ඝාතනය වූ ස්ථානයේ තිබියදී හිස කොටස ඌරගස්මංසන්ධිය, ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල මාර්ගයට ගෙනැවිත් දැමීය. එම ස්ථානය බොස් සරත්ගේ නිවෙසටද මීටර් 150ක් පමණ දුරකින් පිහිටි අතර ඔහුගේ හිස තිබූ ස්ථානය සමන්ගේ සොහොයුරා සහ ඔහුගේ මිතුරු උෂාන්ද ඝාතනය වූ ස්ථානයයි. බොස් සරත් ඝාතනයෙන් දින තුනකට පසු සමන් සුරේෂ් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පාළුවට ගිය තේ වත්තක නිවෙසක සැඟවී සිටියදිය.

සමන් සුරේෂ් බන්ධනාගාරගත වෙද්දී ඉන්දික මහේෂ්ද බන්ධනාගාරයේ පසු විය. මාස ගණනකට පසු ඉන්දික ඇප මත මුදා හැරීමෙන් පසුව පැමිණෙන්නේ බන්ධනාගාරයට ගිය පුද්ගලයාට වඩා හාත්පසින් ම වෙනස් ‘වැඩ්ඩෙක්‘ වෙමිනි. ඒ බන්ධනාගාරයේදී ඇතිකර ගත් සබඳතා මත එවකට පාතාලයේ මහ කෙරුමාට ඇඳගෙන සිටි මාකඳුරේ මධුෂ්ගේ තවත් ‘ගෝලයෙක්‘ ලෙස අභිෂේක ලබමිනි. ඒ අනුව ඉන්දික මහේෂ් ඌරගහ අවට පෙදෙස්වල මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන නියමුවා බවට ද නිතැතින්ම පත් විය. කලකට පසු සමන් සුරේෂ්ද බන්ධනාගාරයෙන් මුදා හැරිණි. සමන්ගේ මිතුරෙක් වූයේ සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස සේවය කළ චමිල දීපාල් රණසිංහයි. චමිල ඒ වන විටද යම් යම් චෝදනා යටතේ කිහිප වරක්ම බන්ධනාගාර ගතවද සිටි අයෙකි. සමන්ගේ සොහොයුරු සුරංග සමඟ ඝාතනය වූ උෂාන්, චමිලගේ ඥාති සහෝදරයෙකි. චමිල දීපාල් දකුණේ පාතාල නායකයෙක් වූ කොස්ගොඩ සුජීගේ ළඟම හිතවතෙකි. ඔහුට එම හිතවත්කමට මඟ පෑදි තිබුණේ සුජිගේ ප්‍රධානම සහ විශ්වාසවන්තම ගෝලයෙක් වූ ප්‍රදීප් කුමාර හෙවත් ඌරගහ මයිකල් හරහායි. දකුණේ ඝාතන වැලකටම ප්‍රධාන වගකිවයුත්තෙක් වන මයිකල් ද ඒ දිනවල රටින් පලා ගොස් සිටියේය. මයිකල් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති 48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත් රණවීර 2018 වසරේ ජූනි 08 වැනි දා ඝාතන කිරීම සඳහා, ඝාතකයන්ට ගිනිඅවිය සපයමින් එම ඝාතනය පිටරට සිට මෙහෙයවූ තැනැත්තා බවත් පසුව පොලිසිය අනාවරණය කරගත්තේය. චමිලගේ මවගේ තාත්තා හෙවත් ඔහුගේ සීයා සහ ප්‍රදීප් කුමාර ජයවර්ධන හෙවත් මයිකල්ගේ මවගේ තාත්තා හෙවත් මයිකල්ගේ සීයා යන දෙදෙනා සහෝදරයන්ය. ඒ අනුව චමිල සහ මයිකල් ළඟම ඥාතීන්ය. 2018 වසර වෙද්දී සමන් සුරේෂ්, බොස් සරත් ඝාතනයට ඇප මත මුදා හැරිණි. ඒ වන විට සමන් සුරේෂ් විවාහ වී සිටියේය. චමිල දීපාල් අවිවාහක පුද්ගලයෙකි. සමන් සුරේෂ් ඇප මත නිදහස් වීමෙන් පසු මාස කීපයක් ගත විය.

අධික වැසි දිනයක් වූ 2018 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා සවස් යාමයේ චමිල සහ සමන් ඌරගහ, ඉහළ මාලවල, රන්තොටුවිල චමිලගේ නිවෙස ඉදිරිපිට කුරුඳු වාඩියේ කතාබස් කරමින් සිටියේ මධුවිතින්ද සප්පායම් වෙමිනි. ඒ වන විට එම නිවෙසේ වෙසෙන චමිලගේ මවුපියන් සහ සහෝදරිය අසල නිවෙසකට ගොස් සිටියහ. සමන් සහ චමිල ඉඩක් ලද සැණින් සෑම දිනෙකම පාහේ සවස් යාමේ චමිලගේ නිවෙසේ එලෙස හමු වූහ. එදින රාත්‍රී 7.30ට පමණ දෙදෙනා සිටි ස්ථානයට කඩා වැදුණේ සිවු දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. එම පිරිස සමන් සහ චමිලට පිට පිට වෙඩි තබමින් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම ඝාතනය කළහ.

අනතුරුව ඝාතකයෝ සමන්ගේ හිස කඳින් වෙන්කොට හිස කොටස ඊට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ඉහළ මාලවල රන්තොටුවිල සමූපකාරය අසලට රැගෙන ගොස් දමා තිබිණි. ඝාතකයන් චමිලගේ හිස කොටසද වෙන් කිරීමට තැත් කර තිබුණත් පසුව එම උත්සාහය අත්හැර පලා ගොස් තිබුණි. සමන්ගේ හිස ඝාතකයන් විසින් රන්තොටුවිල සමූපකාරය අසලට දමා ගොස් තිබුණේ සමන් විසින්ද ඝාතනය කළ බොස් සරත්ගේ හිසද එම ස්ථානයට දමා ගොස් තිබූ හෙයිනි. බොස් සරත් ඝාතනයට පළි ගැනීමක් ලෙස සමන් සුරේෂ් සහ චමිල දීපාල් ඝාතනයට ඌරගහ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඌරගහ, කුඩා ඌරගහ පදිංචිව සිටි 48 හැවිරිදි චාමින්ද වීරසිංහ, ඌරගහ මැන්ඩෝරාවල ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි සිසිර සේනාරත්න සහ කුඩා ඌරගහම පදිංචි 32 හැවිරිදි තොම්මයාහකුරු අසංක චමිල කුමාර නමැති බොස් සරත්ගේ සහෝදරයෙක් වන අයෙකි.

කාලය කෙමෙන් ගෙවී ගියේය. 2019 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදා. ඌරගහ ඝාතන වැලේ නිහඬතාව බිඳ හෙළමින් හයවන ඝාතනය එදින සිදු විය. ඝාතනය වූයේ කුඩා ඌරගහ පදිංචි 41 හැවිරිදි මාවනාහේවා රංජිත් ජයවර්ධනයි. ඔහු තිදරු පියෙකි. ඔහු සමන් සුරේෂ් සහ චමිල දීපාල්ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනාගෙන් පළමු සැකකරු වන චාමින්ද වීරසිංහගේ බාල සොහොයුරිය වන නයනා ඩෙන්සි වීරසිංහ සමඟ විවාහ වී සිටියේය. රංජිත් ඝාතනය වූයේ අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ WP NA-1275 අංකය දරන ලංගම බස්රථය තුළදීය. ඔහු එදින එම බස් රථයෙන් පවුලේ ඉඩම් ආරවුලකට සම්බන්ධ නඩුවකට සහභාගි වීමට යමින් සිටියේය. රංජිත්ලා ගමන් ගත් බස් රථයට යතුරුපැදියක පැමිණි අයෙක්ද එම බසයට නඟින මඟින් සමඟ බසයට ගොඩ වූයේ අතරමඟය. යතුරුපැදියද බසයට පසුපසින්ම ධාවනය විය. හරියටම එදින පෙරවරු 8.20ට පමණ බසය ඇල්පිටිය, අටකොහොට, බෝගහ වංගුව පසු කරද්දී බස් රථයේ පසුපස දොර අසලම අසුනේ සිටි රංජිත් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාරය එල්ල කළේ යතුරුපැදියෙන් පැමිණ අතරමඟදී බස් රථයට නැඟුණු පුද්ගලයාය.

එම ඝාතනය සමන් සුරේෂ් සහ චමිල දීපාල් ඝාතනයට පළි ගැනීමක් ලෙස සිදුකැර තිබිණි. ඒ වන විට සමන් සහ චමිල ඝාතකයන් බන්ධනාගාරගතව සිටි හෙයින් දෙදෙනාගේ ඝාතනයේ පළමු සැකකරු චාමින්දගේ නැඟණිය නයනාගේ සැමියා වන රංජිත් ඝාතනය කෙරිණි. ඒ රංජිත් සමන් සහ චමිල ඝාතනයට අනුබල දෙමින් දෙදෙනා ඝාතනයෙන් පසු නිවෙසේ සාදයක්ද පවත්වා ඇති බව සමන්ලාගේ පාර්ශ්වයට සැල වී තිබූ හෙයිනි.

ඒ වන විට ඉන්දික මහේෂ් රටින් පලා ගොස් සිටියේ ඌරගහ මයිකල් ඇතුළු කොස්ගොඩ සුජිගේ පාර්ශ්වයට බියෙනි. රංජිත් ජයවර්ධන ඝාතනයට පසුව පොලිසිය සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එම පස්දෙනා අතර ජුණ්ඩා සහ මුලා අතින් ඉකුත් අගෝස්තු මස 24 වැනිදා ඝාතනය වූ ධම්මික විමලවීර මෙන්ම කුරුඳු වාඩිය ඇතුළේදී ඝාතනය වූ සමන් කුමාර හෙවත් ‘මරුවා‘ද විය.

ඡායාරූප - චන්ද්‍රසිරි ගුණසේකර

(ඇල්පිටිය සමූහ)

Comments