
අල්- කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නකුගේ ව්‍යාපාර සගයෙක් ලෙස හඳුනාගත් ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදෙස් වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවනු ලබන්නේ මෑතකදීය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ ගැන නිල වශයෙන් කළ දැනුම්දීම්වලට අනුව එසේ සම්බාධක පනවනු ලැබූ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා වනුයේ මොහොමඩ් හරිස් නිසාර් ය.
මේ කියන ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික සගයෙක් බව කියන අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන ලද පුද්ගලයා ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනුයේ අහමඩ් ලුක්මාන් තාලිබ් නැමැත්තාය. අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව අල්කයිඩා සංවිධානයට අහමඩ් ලුක්මාන් තාලිබ් විසින් ලබාදී ඇත්තේ මූල්‍යමය ආධාර පමණක් නොව ද්‍රව්‍යමය,තාක්ෂණික හා සේවා අවශ්‍යතාද සපුරා ඇත්තේය.
මේ කියන අහමඩ් ලුක්මාන් තාලිබ් ගැන මුලින්ම එළියට එන්නේ 2019 වසරේදී මෙරට දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන එල්ල වුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ පවා අහමඩ් ලුක්මාන් තාලිබ් ගැන තොරතුරු සොයන්නට පවා උනන්දුවක් දක්වන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් ඔහු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කර ගැනීමත් සමඟය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ද අහමඩ් ලුක්මාන් තාලිබ් ගැන පමණක් නොව, ඔහුගේ මුළු පරම්පරාව ගැනම සඳහන්ය.
ඊට අනුව ජමාතේ ඉස්ලාමියා ශිෂ්‍ය ව්‍යාපාරය මෙරට 1980 වර්ෂයේදී ස්ථාපිත කිරීමට මුල් වී ක්‍රියාකළ කිහිප දෙනා අතර අහමඩ් ලුක්මාන් තාලිබ් ද සිටින්නේය.
කොමිෂන් සභාවේදී අනාවරණය වූ කරුණු වලට අනුව අහමඩ් ලුක්මාන් තාලිබ් සිය පවුලේ සාමාජිකයන් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1995 වසරේදීය. දැන් ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ය.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම් ලබාගෙන සිය බිරිය ද සමඟ ඔහු එරට පදිංචියට ගියද ශ්‍රී ලංකාව සමඟ ඒ පවුලට ඇති සම්බන්ධකම් බිඳ වැටී නැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ අහමඩ් ලුක්මාන් තාලිබ්ලාගේ නම් එළියට එන්නේද එබැවිනි.
මේ කියන අහමඩ් ලුක්මාන් තාලිබ් පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. ඒ එක් අයෙක් වන්නේ ලුක්මාන් තාලිබ් ඉස්මයිල්ය. ඔහු ඉපදී ඇතැයි සඳහන් වන්නේ එංගලන්තයේදීය. දෙවැන්නා ලුක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලාය.
ලූක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා ඔස්ට්‍රේලියාන් පුරවැසියකු වන අතර 2014 සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ආගිය අයෙකි. හඳුනාගෙන ඇති ආකාරයට ඉස්ලාම් අන්තවාදය මෙරට වැපිරවීමට මුල්වූ ක්‍රියාකාරිකයෙකි. අවසන් වරට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කියැවෙන්නේ 2017 දෙසැම්බර් 20 වැනිදාය. නැවත මෙරටින් පිටත්ව ගියේ යැයි සඳහන් වන්නේ 2018 ජනවාරි 10 වැනිදාය. මේ ගැන කරුණු අනාරවරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන ඔස්සේය. ඊට අමතරව පාස්කු කොමිෂන් සභා වාර්තාවේද මේ ගැන සටහන් රැසක්ම ඇත්තේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලදී මුලින්ම එළියට එන්නේ ලුක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලාගේ නාමයයි. ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් උමාර් නැමැත්තාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය. සාදික් යනු පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙකි. මාවනැල්ලේ බුදු පිළිම කඩා බිඳ දැමීමට නායකත්වය දුන්නේද ඔහුය. පාස්කු ප්‍රහාරයෙන් පසු සාදික්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ගම්පොල නගරයේ පිහිටි පාවහන් වෙළදසැලක සැඟවී සිටියදීය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එදා හෙළිකර ගන්නේ ලුක්මන් තාලිප් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා සමඟ ඔහු 2014 වසරේ සිටම සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇති බවය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පාස්කු කොමිසමේදී පවා හෙළිදරව් වන කරුණුවලට අනුව මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමට නායකත්වය දුන් මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නොහොත් අබු උමර් තුර්කිය හරහා සිරියාවට යවා දින 40ක අවි පුහුණුවක් ලබාදීමට මුල්වී පහසුකම් සපයා ඇත්තේ අහමඩ් ලූක්මාන් තාලිබ් සහ ලූක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා යන පිය පුතු යුවළ විසිනි. ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නොහොත් අබු උමර් සිරියාවට ගොස් එම අවි පුහුණුව ලබා ඇතැයි කියැවෙන්නේ 2014 වසරේදීය.
එවකට ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමියා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයා වූයේ මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලාය. සිරියාවේ අවි පුහුණුව සඳහා ඔහුව යොමුකර ඇත්තේ යැයි කියැවෙන්නේ එබැවිනි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ මෙම කරුණු එකිනෙක හෙළිවන්නට ගැනීමත් සමඟ අමෙරිකානු ආරක්ෂක අංශ ඒ කෙෙරහි විශේෂ අවධානයක් යොමු කරනුයේ අමෙරිකානු ආරක්ෂක අංශත් එදා පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා මැදිහත්ව සිටි බැවිනි. එහිදී අමෙරිකානු ආරක්ෂක අංශවල විශේෂ අවධානයක් යොමු වී තිබුණේ ඔවුන් සිරියාවේ ත්‍රස්ත කල්ලි සමඟ යම් සම්බන්ධයක් පවත්වන බව පෙනී යන්නට වූ බැවිනි.
ඒ අය අතර අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ්ගේ අනෙක් පුතා වන ලුක්මන් තාලිබ් ඉස්මයිල්ද සිටියේය. මේ අයගේ නම් පාස්කු කොමිසමේදී ද එළියට ආවේය.
එසේ ඔවුන්ගේ නම් පාස්කු කොමිසම හරහා එළියට එන විට අහමඩ් තාල්බ් ලුක්මාන් තාලිබ් පවසන්නට වූයේ තමන් මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයකු සහ විද්‍යාත්මක පර්යේෂකයකු ලෙස සිය ජීවිත කාලයම ගත කර ඇත්තේ මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා බවය.
ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු චෝදනාවක් ගැන තමාගෙන් ප්‍රශ්න කර නොමැති බව පවා කියමින් තමාට එල්ල කරන අපහාසාත්මක චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු එකල පවසන්නට වූයේ එක්සත් රාජධානියේ නීතීඥ සංවිධානයක් හරහා ප්‍රකාශයක් නිකුත් කරමිනි. එහෙත් ඒ කියූ නීතිමය පියවර කිසිවක් අද වනතුරුත් ගෙන ඇති බවක් නම් දැන ගන්නට නැත. මෙම ප්‍රකාශය පවා අහමඩ් කාලිබ් ලුක්මාන් තාලිබ් වෙනුවෙන් නීතීඥ සංවිධානයක් විසින් එදා නිකුත් කරනුනේ ද පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඔස්සේ ඔහු ගැන තොරතුරු හෙළිවීමේ ප්‍රතිඵලයක් ලෙස කටාර් හීදී එරට ආරක්ෂක අංශ විසින් ඔහුව 2019 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක් තුළ වීම විශේෂිතය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදෙස් වත්කම් පාලන කාර්යාලය විසින් ශ්‍රී ලාංකීය ව්‍යාපාරික මොහොමඩ් හාරිස් නිසාර්ට සම්බාධක පැනවෙන්නේ ලංකා රජයට එරෙහිව නඩු පවරන බව කී අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ්ගේ දෙවැනි පුතා වන ලුක්මාන් තාලිබ් ඉස්මයිල් සමඟ ව්‍යාපාර කරන්නට ගොසිනි. අමෙරිකානු විමර්ශන ඒජන්සි විසින් හෙළිකරගෙන ඇති ආකාරයට අනුව අල් -කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයා ඇති අයෙක් වන්නේ ඔහුය.
අනාවරණය වන ආකාරයට අනුව ලුක්මාන් තාලිබ් ඉස්මයිල් උපත ලබා ඇත්තේ එංගලන්තයේදීය. ඔහු එංගලන්ත පුරවැසියෙක්ද ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්ද යන්න පැහැදිලි නැතත් සිය මවුපියන් සහ සහෝදරයා සමඟ ඔහු වැඩි කාලයක් ජීවත්ව ඇතැයි කියැවෙන්නේ ඔස්ට්‍රේලියාවේය.
විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මොහොමඩ් හාරිස් නිසාර් සහ ලුක්මාන් තාලිබ් ඉස්මයිල් එකිනෙකා දැන හඳුනා ගන්නේ බේරුවලදීය.
මොහොඩ් හාරිස් නිසාර් බේරුවල චීන කොටුවේ පදිංචිව සිටින මැණික් ව්‍යාපාරිකයෙකි. මැඩගස්කරය සහ චීනය සමඟ ඔහුට ඇති සම්බන්ධකම් බොහෝය. මැඩගස්කරයේ මෙන්ම චීනය සමඟ ද ඔහු මැණික් ගනුදෙනුවල නිරතව සිටින බව සඳහන්ය.
මැඩගස්කරයේ ඔහුට අයත් පතල් පවා ඇති බව කියැවේ. ඉස්මයිල් මැණික් ව්‍යාපාරයේ බැහැලම ඉන්නේ 2006 වසරේ සිටය. ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් ව්‍යාපාරික ආයතනයක් පවා ලියාපදිංචි කරමිනි.
අහමඩ් ලුක්මාන් තාලිබ්ගේ බිරිය බේරුවල පදිංචිකාරියකි. ඇගේ මහ ගෙදර ඇත්තේ ද ඉස්මයිල්ගේ නිවස කිට්ටුව පාතය. ඉස්මයිල් මේ පවුල දැන හඳුනා ගන්නේ 2016 වසරේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය. ඒ පැමිණි ඔවුන් නවාතැන් ගන්නේ බේරුවල පිහිටි නිවසේය. මාස දෙක තුනක් මෙරට ඔවුන් රැඳී සිටින්නේ කමින් බොමින් විනෝද වෙමින් කාලය ගත කරමිනි. එහිදී මැණික් ව්‍යාපාරික නිසාර් සමඟ සමීප හිතවත්කමක් ගොඩනඟා ගන්නා ඉස්මයිල් ඔහුට යෝජනා කරනුයේ ඔස්ට්‍රේලියාවට මැණික් අපනයනය කිරීමේ හවුල් ව්‍යාපාරයක් අරඹන්නටය. සිය ව්‍යාපාර පුළුල්කර ගැනීමේ ආශාවකින් පෙළෙමින් සිටි නිසාර්ද ඒ යෝජනාවට කැමැත්ත පළ කරනුයේ එක පයින්මය. “ජෙම් හබ්“ නමින් නිසාර් සහ ඉස්මයිල් එක්ව හවුල් ව්‍යාපාරයක් අරඹන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
මුල්ම මැණික් තොගය නිසාර් ඔස්ට්‍රේලියාවට යවන්නේ 2018 වසරේදීය. අනතුරුව ඔවුන් කටාර් කේන්ද්‍ර කර ගනිමින් ඔවුන්ගේ “ජෙම් හබ්“ මැණික් ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට ගත්තේ අමෙරිකාව දක්වා සිය ව්‍යාපාරික පරාසය ව්‍යාප්ත කරමිනි. අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉස්මයිල් පස්සේ පන්නන්ට ගන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඔස්සේ ඔහුගේ පියා සහ සහෝදරයා ගැන තොරතුරු අනාවරණය වීමට පටන් ගැනීමත් සමඟිනි. ඒ වන විට ඔවුන්ගේ ව්‍යාපාර අමෙරිකාව දක්වාම ව්‍යාප්තව පැවති බැවින් අමෙරිකානු ආරක්ෂක අංශ ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වා තිබුණි. ඉස්මයිල්ද ත්‍රස්ත සංවිධානවලට උදව් උපකාර කරන්නෙක් ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගන්නේ ඒ අනුවය. අමෙරිකානු ආරක්ෂක අංශ ඒ බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමටද අමතක කර තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්මයිල් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2021 වසරේදීය.
ඉස්මයිල් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශන හමාර වූයේ නැත. දීර්ඝ ලෙස ඔහුගේ ව්‍යාපාර හා ඒ හා බැඳුණු තොරතුරු ද ගවේශනය කර තිබුණේය. ඉස්මයිල්ගේ ව්‍යාපාර සගයෙක් වූ නිසාර් ගැන තොරතුරු හෙළිවන්නේ එහිදීය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය පෙන්වා දෙන ආකාරයට අනුව ඉස්මයිල් සමඟ නිසාර් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුකරන ව්‍යාපාර තුළින් වාර්ෂිකව උපයා ඇති ලාබය අමෙරිකානු ඩොලර් 200,000කි.
මෙහිදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළවලටද ඒත් එක්කම තහනමක්ද පනවනු ලැබීය. ඒ අමෙරිකානුවන් සමඟ ගනුදෙනුවල නිරත වීමද තහනම් කරමිනි.
මෙසේ අමෙරිකාවෙන් සම්බාධක රැසක් පැනවෙන විට නිසාර් සිටින්නේ බේරුවලය. අදටත් ඔහු සිය නිවසේ රැඳී සිටිමින් මැණික් ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නේ සුවසේය.
එසේ නිදහසේ සිය ව්‍යාපාර තවදුරටත් නිසාර් කරගෙන යමින් සිටියද ඔහුගේ ව්‍යාපාර සගයා වූ ඉස්මයිල්ට දැන් හැමදෙයක්ම අහිමිව ගොසිනි. අඩුම තරමින් බේරුවල පිහිටි ඉස්මයිල්ගේ මවගේ මහ ගෙදරද දැන් ඔවුන්ට අයිති නැත. ඒ එය රාජසන්තක කර ඇති බැවිනි. දැන් එහි ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බේරුවල විශේෂ ඒකකයයි.
ඉස්මයිල්ගේ පවුලට ගෑවුණු දේපොළ එසේ අපේ රට තුළ රාජසන්තක වී ඇති පසුබිමක නිසාර් පවසන්නේ ඉස්මයිල් ත්‍රස්තවාදියෙක් බව හෝ ඔහු ත්‍රස්තවාදී කල්ලිවලට උදව් කරන අයෙක් බව තමා කිසිවිටෙකත් දැන නොසිටි බවකි. ඉස්මයිල් සමඟ තමා කළේ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් බව ද ඔහු කියන්නේය.
2021 වසරේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ඉස්මයිල්ට පසු තාමත් නිදහස ලැබී නැත. නිසාර් පවසන්නේ තමාට ඔහුගෙන් විශාල මුදලක් ලැබීමට ඇති බවය. ඔහු කියන්නේ ඉස්මයිල් සමඟ ව්‍යාපාර කිරීමට ගොස් අවසානයේදී සිදුවූයේ තමාට හැම අතින්ම පාඩුවක් වූ බවකි.
නිසාර් මොනවා කීවත් ආමෙරිකානු භාණ්ඩාගාරවල දෙපාර්තමේන්තුව නම් හඳුනා ගෙන සිටින්නේ නිසාර් ද තාලිබ් හරහා අල් කයිඩා සංවිධානයට මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබාදී ඇති අයෙක් ලෙසිනි. ඔහුට එරෙහිව සම්බාධක පනවන්නේ එබැවිනි.
එසේ නිසාර්ට එරෙහිව අමෙරිකනු ආරක්ෂක අංශ ඉතා දැඩි තීන්දු තීරණ ගත්තද තාමත් අපේ රට තුළ නිසාර්ට එරෙහිව විධිමත් විමර්ශනයක් පවත්වා තිබේදැයි ඇත්තේ ගැටලුවකි.
බුද්ධි අංශ විසින් සඳහන් කර ඇති ආකාරයට පාස්කු ඉරුදින එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරක ස්ථානයක් වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ ඉන්ෂාඩ් අහමඩ් මෙම මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික හිතවතෙකි. වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූයේද ඉන්ෂාඩ් අහමඩ්ය. ඔහු මරාගෙන මැරුණු අන්තවාදී ත්‍රස්තවාදියෙක් වූවත් නිසාර් ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් යැයි කියා මෙතෙක් මෙරට සිදු කර ඇති කිසිදු විමර්ශනයකින් තහවුරු වී නැත. ඇමෙරිකාවෙන් සම්බාධක පනවා ඇතත් ඒ කිසිවක් තමාට සිදු නොවූ ගානට ඔහු දැන් ඉබාර් ඛාන් නැමැති පකිස්තානු ව්‍යාපාරිකයෙක් සමඟ එක්ව සිය ව්‍යාපාර පුළුල්කරමින් සිටින්නේ ඒ නිසා විය හැකිය.