අයින්ස්ටයිනුත් අයිකිව්වලින් දෙවැනි කළ ලංකාවේ අරියානා | සිළුමිණ

අයින්ස්ටයිනුත් අයිකිව්වලින් දෙවැනි කළ ලංකාවේ අරියානා

සුගියදා අන්තර්ජාලයේ පළ වූ සුවිහේෂ පුවතක් ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය ලබා ගැනීමට සමත් විය. ඒ පුවතින් කියවුණේ අයින්ස්ටයින්ටත් වඩා දැනුමකින් යුතු දස හැවිරිදි දැරියක් පිළිබඳවය. ලංකාවේ අපගේද අවධානය මේ පුවත පිළිබඳව බොහෝ ආකර්ෂණය වූයේ මේ දැරිය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු දැරියක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමඟය.

මේ පුවතින් කියවුණු දැරිය අරියානා දඹරාව හේවගේ නම් වන දස හැවිරිදි දැරියකි. ඇය ජීවත් වන්නේ එක්සත් රාජධානියේ යෝර්ක්ෂයර් ප්‍රාන්තයේය. ඇයගේ පියා ජනක දඹරාව හේවගේ නම් වන අතර මවුපියන් ශ්‍රී ලංකාවේ සිට කුඩා කල බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවෝ වෙති.

දස හැවිරිදි කුඩා අර්යානා මේ වන විට නිව් යෝර්ක්ෂයර් හි ගැම්මර් පාසලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින්නීය. ඇය සතුව කුඩා කල සිටම සැලකිය යුතු දැනුම සහ මතක ශක්තියක් පවතින බව වටහා ගත් ඇගේ මවුපියෝ ඇයව දැනුම උරගා බැලෙන ‘මෙන්සා අයිකිව්‘ පරීක්ෂණයට ඉදිරිපත් කළහ. ලොවම පුදුමයට පත් වූයේ මේ පරීකෂණයේ ප්‍රතිඵල පැමිණීමත් සමඟිනි. එම පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබා ගැනීමට අරියානා සමත්ව සිටියාය.

මෙය සැබවින්ම ලෝක වාර්තාවක් වූයේ මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බොහෝ දෙනා අසමත් වන නිසාත්, ලෝකයේ විශේෂ දැනුම් සම්භාරයක් පැවතියා යැයි තහවුරු කළ උගතුන්, විද්‍යාඥයන් වුවද මේ පරීක්ෂණයෙන් උසස් ලකුණු ලබා ගැනීමට අසමත් වූ නිසාත්ය. අනෙක් සුවිශේෂී කරුණ වන්නේ අරියානා අවුරුදු දහයක් තරම් කුඩා වියේදී මේ දක්ෂතාව පෙන්නුම් කිරීමය. එබැවින්ම බොහෝ දෙනා විශ්වාසය පළ කරන්නේ අරියානා වයසින් වැඩෙනවිට සුවිශේෂී දැනුම සහිත වනු ඇති බවයි. 

ලෝකයේ උසස් දැනුම සහිත විද්‍යාඥයන් සේ සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස් යන දෙදෙනාම මේ පරීක්ෂණයෙන් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 160ක් පමණි. ඒ අනුව දැනුම අතින් වයස අවුරුදු දහය වන විටම අරියානා ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටිවන් හෝකින්ස් පැරදවීමට අරියානා සමත්ව තිබේ.

මවුපියන් පවසන පරිදි අරියානා පොත්වලට ඉතාම කැමැත්තක් දක්වන්නීය. ඇය වඩාත්ම කැමැත්තක් දක්වන්නේ විද්‍යාව සහ ගණිතය විෂයන්වලටය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ යෝර්ක්ෂයර් හි ශාන්ත පැට්‍රික් කතෝලික විද්‍යාලයේදී ද ඇය සුවිශේෂ දස්කම් දැක්වීමට සමත්ව තිබේ.

ඇයගේ පියා වන ජනක දඹරාව හේවගේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම දියණිය කුඩා කල සිටම සුවිශේෂ දක්ෂතාවලින් සමන්විත බව තමා දැන සිටිය බැවින් මෙම පරීක්ෂණයෙන් ඇය ලබා ගත් ප්‍රතිඵලය තමන්ට පුදුමයක් නොවන බවයි. පැය දෙකක් පුරා පැවති මේ පරීක්ෂණයේදී අරියානාට විවිධ අන්දමේ ප්‍රශ්න සපයා ඇති අතර වචනයෙන් පිළිතුරු ලබා දෙන ප්‍රශ්න, පිළිතුර ලියා දැක්විය යුතු ප්‍රශ්න මෙන්ම ගණිත ගැටලුද ඒ අතර තිබී ඇත. මේ සියල්ලටම සාර්ථකව පිළිතුරු ලබා දීමට සමත් වූ මේ කුඩා දියණිය මේ උසස් ප්‍රතිඵලය වාර්තා කිරිමට සමත් වී තිබේ. මීට පෙර ඉන්දීය ජාතික කුඩා පිරිමි දරුවෙකුද මේ පරීක්ෂණයෙන් ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

කෙසේ වුවද අයිකිව් යනු දැනුම මනින එක් ක්‍රමයක් පමණක් බවත්, අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස් යනු මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගමනයට ඉතා විශාල මෙහෙයක් කළ මහා ප්‍රාඥයන් දෙදෙනකු බවත් ඔවුන් විෂය ක්ෂේත්‍ර රාශියක් ඔස්සේ කටයුතු කළ බවත් සටහන් කළ යුතුමය. කුඩා අරියානාටද ඇයගේ බලාපොරොත්තුව පරිදි අනාගතයේ විද්‍යාඥවරියක් වී ලෝකයට සේවය කිරිමට ලැබේවා යන්න අපගේ පැතුමය.

Comments