ලෝකෙ පෙරළෙන තාලෙට පෙරළෙද්දි නැති වෙන හිතේ සතුට | Page 3 | සිළුමිණ

ලෝකෙ පෙරළෙන තාලෙට පෙරළෙද්දි නැති වෙන හිතේ සතුට

“හැමදාම වගේ අහන්න ලැබෙන්නේ දැන් හිත නරක්වෙන දේවල්මයි කියලා හිතෙන්නෙ නැද්ද ?“ ඇය ඇසුවාය.

“ඒක ඇත්ත, ඒත් එහෙමයි කියලා අපි ඒ ගැන හිත හිතා දුක් වෙන එකෙන් වැඩක් තියෙයිද ? එහෙම කළොත් වෙන්නේ අපට හැමදාමත් හිතින් දුක් විඳ විඳ ඉන්නයි.”

“ඔයා කියන්නෙ මේ කිසි දෙයක් නොදැක්කා වාගෙ ඉන්න කියලද අසාධාරණයක් සිද්ධ වුණත් ? 

“නැහැ, නැහැ. එහෙම නෙවෙයි මං කියන්නෙ. ඒ විදිහට ප්‍රශ්න එන එන වෙලාවට හිත් නරක් කරගන්න ගියොත් කරන්න පුළුවන් දේ වුණත් කරගන්න බැරි වෙනවා. අසාධාරණේකට විරුද්ධ වෙන්න වුණත් අපි හිත හයියට තියාගෙන ඉන්න එපායැ.”

ඒ කතාව ඇත්තකි. සැබැවින්ම අද අප ජීවත් වන්නේ එසේ නරක ආරංචි , අසුබ තොරතුරු වැඩිපුර අසන්නට ලැබෙන කාලයකය. හිත සැනසෙන තොරතුරුවලට වඩා , සිත බියෙන් කීරි ගස්සන තොරතුරු වැඩිය. හැරත් අප කාගෙ කාගේත් ජීවිතවලට ලැබෙන්නේ සතුට පමණක්ම නොවේ. නිතරම පාහේ අනපේක්ෂිත හා අවාසනාවන්ත සිදුවීම් ගැන අසන්නට හෝ එබඳු ඒවාට මුහුණ දෙන්නට හෝ අපට සිදු වේ. එහෙත් ඒ බොහොමයක් සම්බන්ධව ඇති ගැටලුව වන්නේ ඒවා බොහෝ විටම පාහේ අපේ පාලනයෙන් පරිබාහිර වීමය. වෙනත් වචනවලින් පැවසුවහොත් ඒවා වෙනස් කරන්නට , කල්තියා හෝ යමක් කරන්නට අපට ඉඩක් නොලැබෙයි. එබැවින් අපට ඒවායින් දැනෙන පීඩනය හා කනස්සල්ල ඉතා ඉහළය.

එබඳු අභාග්‍යසම්පන්න හෝ නොසතුටු අත්දැකීමක් විවිධ මානසික තත්ත්ව නිර්මාණය කරන්නට හේතු වෙයි. කනගාටුව, කනස්සල්ල, කෝපය, වරදකාරී හැඟීම, ලැජ්ජාව හා චිත්තවේග අකර්මණ්‍ය වීම ඒ අතරින් සමහරකි. එය කාටත් පොදුවේ අත්විඳින්නට සිදු වන තත්ත්වයකි. එබැවින් අප තේරුම් ගත යුතු වන්නේ අපේ සියලු කටයුතු සිදු කර ගන්නට වන්නේ මේ දාහක් කලබැගෑනි අතරේම බවය. තවත් විදිහකින් පවසතොත් සුබදායක, සුවදායක පණිවුඩ හා අත්දැකීම් පමණක් ලැබෙන ලෝකයක නොවේ අප ජීවත් වන්නේ.

එසේ නම් එබඳු තත්ත්වයකදී මන සුව රැකගෙන ජීවත් වන්නේ කෙසේද ? කනගාටුදායක ආරංචි හා අප්‍රසන්න අත්දැකීම් හමුවේ අපේ හිත් කෙළින් තබා ගන්නට හැකි වන්නේ කොයි ආකාරයෙන් ද? ඊට අප මුලින්ම කළ යුත්තේ අප සිතන ආකාරය වෙනස් කර ගන්නට උත්සාහ ගැනීමය. පීඩාකාරී සිතිවිලි හා චිත්තවේගවල ගොදුරක් නොවී ඉන්නට හැකි මනසක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යය. ඒවා සිතිවිලි හා විවිධ චිත්තවේග වශයෙන් හඳුනා ගෙන ඒවාට නිසි ප්‍රතිචාර දැක්වීම මිස ඒවාට යටත් වීම අප විසින් නොකළ යුතුය.

බාහිර ලෝකය හෙලවෙන, පෙරළෙන හැම තාලයකටම වෙනස් වන්නට අපට නොහැකිය. එබැවින් ඊට ගැළපෙන ලෙස ආරක්ෂක ක්‍රමවේදයක් හදා ගන්නට අපට සිදු වේ. ඒ සඳහා අපට අත් හදා බැලිය හැකි විවිධ ක්‍රමවේද අතරින් අප පළමුව අවධානය යොමු කළ යුතු වන්නේ අප අප පිළිබඳ දක්වන ආදරය හා සැලකිල්ල (Self-Kindness) ඉහළ මට්ටමකින් පවත්වා ගන්නට උත්සාහ කිරීමය. හුදෙක් අප බොහෝ දෙනා යම් වගකීමක් උසුලන අයය. එනම්, රාජකාරි වශයෙන් හෝ පවුල් සංස්ථාව වශයෙන් හෝ අප දෙඋර මත පැටවී ඇත්තේ විශාල වගකීමකි. ලෝකයෙන් ලැබෙන ඝෘණාත්මක ප්‍රතිචාර හමුවේ දිගින් දිගටම සීමාවක් නැතිව තැවෙන්නට, සැලෙන්නට හුරු වුවහොත් එහි අභාග්‍යසම්පන්න පලවිපාක අපේ යැපෙන්නන්ට ද අත්විඳින්නට සිදු වනු ඇත. මෙකී කාරණය නිසාද සියල්ලට පෙර තමා ගැන අවධානය යොමු කිරීම වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය කළ යුත්තේ කෙසේද ?

පළමුව අප අපේ ශරීරය ගැන සිතිය යුතු වෙයි. පෝෂ්‍යදායක ආහාර වේලක්, විවේකය, නින්ද හා ව්‍යායාම මෙහිදී අංක එකට එයි. සම්බාහනය, ශාරීරික සුවතාව හා මානසික සුවතාව කෙරේ ද බලපාන්නා වූ තවත් එක් සාධකයකි. සිත උපදින එකී කටුක අත්දැකීම් ලියා තබන්නට හුරු වීමද එහිලා හොඳ පුරුද්දකි. තමා මුහුණ දී සිටින අප්‍රසන්න තත්ත්වයට මුහුණ පා ඉන්නා සමීපතමයකු හෝ හිතවතකු වී නම් ඔහුට හෝ ඇයට අප දෙන්නේ කවර පිළිතුරක්දැයි සිතා බැලීම, එසේත් නැතිනම් ඔහුගේ හෝ ඇගේ හිත හදන්නේ කෙසේදැයි උපකල්පනය කිරීම හොඳ ව්‍යායාමයකි. භාවනාව හෝ වේවා මනස එක්තැන් වන වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීම ද තමාගේ යහපත පිළිබඳව උනන්දු වීමේ හොඳ උපක්‍රමයකි.

මෙබඳු තැනකදී තැනකදී අප විසින් සිදු නොකළ යුත්තක් වන්නේ එකී කාරණය ගැන ඕනෑවට වඩා හිතන්නට යෑමය. ඒ වෙනුවට “තව අවුරුද්දක් හමාරක් යද්දී ඕවා වෙනස් වෙයි” හෝ “මේ දවස් ටික ඉක්මනින් ගෙවිලා යාවී” හෝ යනාදී වශයෙන් කල්පනා කිරීම මනසට සහනයක් ගෙන එයි. ඇතැමකු එය ප්‍රශ්නයෙන් පැන යෑමක් ලෙස කල්පනා කරන්නට පුළුවන. එහෙත් මෙහිදී අවධාරණය කරන්නේ එකී පීඩාවට අවැසි පිළිතුර හෝ ප්‍රතිචාරය සූදානම් කර ගන්නට පවා නොහැකි වන අන්දමින් මනසුව බිඳී යෑම වළකා ගත හැකි ක්‍රමයක් ලෙස ආකාරයෙන් කල්පනා කරන්නට හුරු විය හැකි බවය.

අසුබ ආරංචියක් ලැබුණු විට කේතලය ලිප තබන්නට යයි (put the kettle on) චමත්කාරජනක ප්‍රකාශයක් ඉංගිරිසියෙහි එයි. අප ද දන්නා පරිදි තේ පානයක් යනු හිත සන්සුන් කරන්නකි. එසේත් නැතිනම් , බාගවිට මේ තේ පානය හා සම්බන්ධ කේතලය ලිප තැබීමේ කතාව කෝර්ටිසොල් හෝර්මෝනය පිළිබඳ ක්‍රියාකාරීත්වය වක්‍රාකාරව ඉඟි කළා වන්නට ද පුළුවන.

බාහිර ලෝකයෙන් එන සමහර ආරංචි ඝෘජුවම අපට සම්බන්ධ නැතත් ඒවා බොහෝ විට අපේ මන සුව බිඳින්නට හේතු වෙයි. ඒ කිසිවක් වෙනසකට ලක් කරන්නට අපට නොහැකි බව දැන දැන වුවද සමහර විට එයින් පීඩා විඳින්නට අපි හුරු වී සිටිමු. මේ කාරණය බොහෝ සෙයින් අප අත්විඳින්නේ සමාජ මාධ්‍ය ජාලා පරිහරණය හරහාය. සමාජ ජාලා බොහෝ දුරට අපේ ජීවිත හා බද්ධ වී තිබෙන බැවින් ඒවායින් ඈත් වීමද ඒ හැටි පහසු නොවේ. යම් අසුබ හෝ අප්‍රසන්න ආරංචියක් හෝ අත්දැකීමක් හෝ අසන්නට, අත්විඳින්නට ලැබුණු විට බොහෝ දෙනා සිදු කරන දෙයක් වන්නේ ඒ පිළිබඳ යළි හාර හාරා සොයා බලන්නට පටන් ගැනීමය. ඊට සමාජ මාධ්‍ය ජාලාවලින් දරන දායකත්වය, ලබා දෙන සහාය මහා ඉහළය. මේ තත්ත්වය මානසික සෞඛ්‍යයට එරෙහි ප්‍රබල ගැටලුවක් ලෙස අපට හඳුනා ගන්නට ලැබෙයි. සමාජ මාධ්‍ය ජාලා හෝ ජනමාධ්‍ය මූලාශ්‍ර හැකි පමණ කළමනාකරණය කර ගැනීම ඊට විසඳුමයි. පසුගිය වසංගත සමය තුළ ලෝක සෞඛ්‍යය සංවිධානයේ රෙකමදාරුව වූයේ ද එයයි.

අසුබ ආරංචි අප තුළ ඇති කරන්නේ මහත් වෙහෙසකි. ඇතැම් විට එදා දවසේ වැඩක් පළක් කර ගන්නට පවා ඇඟට පණක් නැතුවා සේ ය. සියලු කටයුතු ඇන හිටී. මානසික කම්පනය හා ආශ්‍රිත තත්ත්ව පිළිබඳ විශේෂඥවරියක් වන ඔලිවියා ජේම්ස් ඒ ගැන මෙසේ පවසන්නීය. " පුංචි දෙයක් වුණත් ඇති අපේ හිත බරපතළ විදිහට කඩා වැටෙන්නට සමහර වෙලාවට. ඒ වාගෙ වෙලාවක මගේ උපදෙස වෙන්නෙ ඔබ කැමතිම බාහිර කටයුත්තකට මොහොතක් යොමු වෙන්න කියලායි. විශේෂයෙන්ම ඒක මනස මුල් නොවන ක්‍රියාකාරකමක් නම් වඩා හොඳයි. ගෙවත්තේ වැඩ කරන්නට පොඩි වේලාවක් වෙන්කර ගැනීම ඊට හොඳ විකල්පයක්."

ප්‍රාණයාම ආදී හුස්ම ගැනීමේ අභ්‍යාස ඈත අතීතයේ සිටම මන සුව සදන්නට හේතු විය. මේ කාරණාව සම්බන්ධයෙන් ද හුස්ම ගැනීමේ ව්‍යායාම උසුලන්නේ ඉහළ කාර්‍ෙභාරයකි. අර තේ කෝප්පයේ කතාව මෙන් මෙහි ද යම් විද්‍යාත්මක අරුතක් සැඟව තිබේ. පීඩාකාරී මානසික තත්ත්වයකදී අප තුළ සටන් කිරීම හෝ පලා යෑම (fight - or - flight) මුල් කරගත් ප්‍රතිචාර ඇති විය හැකි බව අප කවුරුත් දන්නා කාරණයකි. හෙමින් උදරයට ගැඹුරු හුස්ම ගැනීම ස්නායු පද්ධතිය සංසුන් කරන්නට උදවුවකි. අනෙක් අතට එය කෝර්ටිසොල් හා ඇඩ්‍රිනලින් පහත දමා ඔක්සිටොසින් හා ඩොපැමින් ඉහළ නංවයි. ඔක්සිටොසින් හැඳින් වෙන්නේ ආදරයේ රසායනය වශයෙනි. එය අපේ සිත සතුටු හා තෘප්තිමත් සිතිවිල්ලෙන් පුරවන්නට සමන්‍ය. එබැවින් හුස්ම ගැනීමේ ව්‍යායාම අප පීඩාවකට පත්ව සිටින කවර මොහොතක හෝ අප සිත කෙළින් තබා ගන්නට උදවු වන්නකි.

බොහෝ දෙනා පිළිගන්නා තවත් කාරණාවක් වන්නේ මානසික පීඩාවක් ඇති වූ විට එය දරා ගැනීමේ හා ඊට මුහුණ දීමේ හුරුව ව්‍යායාම තුළින් අපට ලැබෙන බවයි. එහි අදහස වන්නේ සිතට නොසතුටු හැඟීමක් උපන් වහාම අප ව්‍යායාම කළ යුතු බව නොවේ. එය කිසිසේත්ම ප්‍රායෝගික කාරණාවක් නොවේ. මෙතැනදී අදහස් කරන්නේ අප නිතිපතා ව්‍යායාමවල යෙදෙන්නට පුරුදුව සිටින කෙනෙක් නම් එහි අතුරු ප්‍රතිඵලයක් හැටියට එබඳු අසීරු හෝ පීඩාකාරී අවස්ථාවලට මුහුණදීමේදී යම් අතිරේක සහනයක් ලබාගන්නට සමත් වන බව ය. අනෙක් අතට එය මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් ද වැදගත්ය.

කිහිපවිටක් සියදිවි නසා ගන්නටද උත්සාහ කළ මැරිලින් ඩෙවොනිෂ් පසුකාලීනව සිය මානසික අසීරුතා ජයගත් බලපත්‍රලාභි චිකිත්සකවරියක බවට පත්වූවාය. සිය සාර්ථකත්වයේ රහස් පිළිබඳ කතා කරද්දී ඇය පවසා තිබුණේ ශාරීරික ක්‍රියාකාරකම්, ව්‍යායාම, අභ්‍යාස මෙන්ම හුස්ම ගැනීමේ ක්‍රියාකාරකම් මන සුව රැකගන්නට ඉතා ඉහළ දායකත්වයක් සපයන බවය. මොළය නීරෝගිව පවත්වා ගෙන යෑම , නඩත්තු කිරීම කවරදාක හෝ හිටිඅඩියේ අසන්නට ලැබෙන, හදවත නතර කරන්නට තරම් සමත් වන තිගැස්සුම් හමුවේ අපේ හිත නොවැටී තබාගන්නට උදව්වකි.

මේ මාතෘකාව සම්බන්ධයෙන් හිටපු NHS වෛද්‍යවරියක වන නිකොලා හාකර් පවසා තුබුණු අපූරු කියමනක් අපට උද්ධෘත කරන්නට පුළුවන. ඇය පවසා ඇත්තේ මොළයට මැද මාවතක් නැති බවයි. ඇය ඉංගිරිසි භාෂාවෙන් පවසා තිබුණු එය වෙනත් බසකට පෙරළීමේදී සැබෑ අදහසේ යම් යම් වෙනස්කමක් ඇති වන්නට ඉඩ තිබෙන නමුත් ඇය ඉංගිරිසියෙන් එය පවසා තිබුණේ “The brain loves to go to 'all or nothing” යනුවෙනි. All or nothing යන යෙදුම අප පාවිච්චි කරන්නේ අන්තයකට ඇදෙනු මිස මැද මාවතක් නොමැති බව හඟවන්නටය. එබඳු තත්ත්වයකදී අප කළ යුතු වන්නේ ඊට ඇවැසි මඟ පෙන්වීමය. මන්දයත් අන්තගාමී වීම ප්‍රායෝගිකව සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන්නක් නොවන බැවිනි. ඊට කළ යුත්තේ කුමක්දැයි දැන් කිසිවකු අසනු ඇත. සරල පිළිතුර වන්නේ යහපත් සිහි කල්පනාව පවත්වාගෙන යෑමය.

දැන් බොහෝ දෙනා කල්පනා කරනු ඇත්තේ යම් පීඩාකාරී අත්දැකීමක් ලද වහාම හෝ අසුබ පුවතක් ලද වහාම හෝ ක්ෂණිකව දක්වන ප්‍රතිචාරය පාලනය කිරීම පමණක් වැදගත් වනු ඇති බවය. එය නිවැරැදි නො වේ. ඊට වඩා මහ හුඟක් හිතේ එරී සැඟවී යන්නට පුළුවන. හරියට අයිස් කන්දක වැඩිමනත් කොටස අපට නොපෙනී තිබෙන්නාක් මෙනි. ඒවා අපට වධ දෙන්නට පටන් ගන්නේ හෙමිහිටය, කාලය ගතව යෑමත් සමඟය. යටි පතුලේ ඒ හැටි වේදනාවක් නොදී ඇනී කිඳා බැසගත් ඇබිත්තන් වීදුරු කීරකින් කකුල පැසවන්නට පටන් ගන්නාක් මෙනි. එබඳු තත්ත්වවලට මුහුණ දෙන්නට සිදු වන බව කල්තියා අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. මන්දයත් අප සනසන්නට , අප සිත හදන්නට පැය විසි හතරේම අප ළඟ ගැවසෙන්නට කෙනෙක් නැති බැවිනි.

අසුබ පුවතක් හෝ අප්‍රසන්න අත්දැකීමක් හේතුවෙන් සිත හටගත් පීඩාව කවුරුන් හෝ සමඟ පැවසීමෙන් යම් ආකාරයක මානසික සහනයක් ලබා ගත හැකිය. එහෙත් අප හැමදාමත් අසා ඇති පරිදි අපේ සවන් දෙන්නා තෝරා ගැනීමේදී අප බෙහෙවින් පරිස්සම් විය යුතුය. එසේ නොවුණහොත් අපට සිදු වන්නේ කබලෙන් ලිපට වැටෙන්නටය.

අසුබ ආරංචියක් හෝ නරක අත්දැකීමක් යනු සැමවිටම හිස ගිනි තියන්නට හේතු වන්නකි. කලබලයට පත්ව දුර දිග නොහිතා කටයුතු කරන්නට පෙලඹිය හැකි මොහොතකි. ඒ හදිසි ප්‍රතිචාරවල අනිසි පලවිපාක අපට අත්විඳින්නට සිදු වන්නේ අනාගතයේදීය. එබැවින් හදිසි කේන්තිකාරයන්ට මෙන්ම ඉක්මනින් කම්පාවට පත් වන්නවුන්ට ඇති හොඳම බෙහෙතක් වන්නේ නින්දක් නිදා ගැනීමය. යම් ප්‍රතිචාරයක් දක්වන්නට අවශ්‍යම නම් ඊට අවශ්‍ය මානසික නිස්කලංක බව ගෙන එන්නට නින්ද සමත් වෙයි. “දැන් නුඹ නිදාගනින්. රෑට නැති නුවණ උදේට පහළ වේවි” යැයි රුසියානු සුරඟන කතාවක එන මාර්යා කුමරිය, නැති රටට ගොස් නැති දේ ගෙනෙන්නටැයි අණ කරනු ලැබ අන්දුන්කුන්දුන් වී සිටි අන්ද්රේ දුනු ශිල්පියාට පැවසූයේ එනිසා විය යුතුය.

Comments