ලේඛන ව්‍යවහාරයද භාෂණ ව්‍යවහාරයද? | Page 3 | සිළුමිණ

ලේඛන ව්‍යවහාරයද භාෂණ ව්‍යවහාරයද?

කතා කරන භාෂාවෙදි අපි භාවිත කරන යම් යම් උපක්‍රම ලේඛනයේ දී ඒ විදියටම භාවිත කරන්න බෑ. අනික් එක කතා කරන විදියටම ලියන්න ගියොත් ඒක කියවන කෙනාට සමහර විට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් 
- මහාචාර්ය අශෝක ප්‍රේමරත්න

කටවහරට තමයි වැඩියෙන් ව්‍යාකරණයන් තියෙන්නෙ. ඇත්තටම ගත්වහරට වඩා කටවහර අමාරුයි 
- මහාචාර්ය ජේ. බී. දිසානායක

සිංහල භාෂාවේ භාෂණ ව්‍යාකරණය හා ලේඛන ව්‍යාකරණය අතර ලොකු පරතරයක් තියෙනවා. අපිට කතා කරන නීති මාලාවක් තියෙනවා කියලා අමතක වෙනවා 
- මහාචාර්ය අශෝක ප්‍රේමරත්න

පරණ පොත්වල තියෙන ඒවා හැමදාම කියනවා මිසක් සමහරු මෑත කාලෙදි බස ගැන මුකුත් හොයලා, අධ්‍යයනය කරලා නෑ. ඒ නිසා ඒ අය කියන කතා අහලා වැඩක් නෑ 
- මහාචාර්ය ජේ. බී. දිසානායක

සක වියරණයට පාදක වෙන රටා සමුදාය ගැන මුලින්ම සඳහන් වෙන්නේ සිදත් සඟරාවේ ය. ඒ වහරනුසෙරෙන් සපයා ගත යුතු බවෙකි. සියවස් අටකට එහා කියූ වදන් එදාටත් වඩා වටින්නේ අදට ය.

මිනිසා කතා කරන්නේත්, ලියන්නේත් එක්තරා සම්මත ආකෘතියක් අනුව ය. එහි සංකේත පද්ධතියක් තිබේ. එය කාලයක් තිස්සේ සකස් වෙමින් වෙනස් වෙමින් පැවැත එන්නකි. ඒ අනුව අපි එක්තරා ආකාරයකට ලියන්නත්, ඊට මඳක් වෙනස් ආකාරයකට කතා කරන්නත් පුරුදු ව සිටිමු. කතා කරන වහර කටවහර යනුවෙනුත් ලේඛනයට භාවිත වහර ගත්වහර යනුවෙනුත් ඒ අනුව නම් කරන්නෙමු.

සිංහලයෙහි කටවහරේ ශබ්ද 40කුත්, ගත්වහරේ ශබ්ද 58කුත් භාවිත වේ. කට වහර ගත්වහරට වඩා සජීවී ය. කටවහරෙන් සිංහලයාගේ ජීවන සුවඳ විහිදේ. භාෂා ව්‍යවහාරයට පාදක වෙන රටා සමුදාය හෙවත් රීති පද්ධතිය හඳුන්වන්නේ ව්‍යාකරණය නමිනි. කතා කිරීමේ රටා සමුදාය භාෂණ ව්‍යාකරණය නමිනුත් ලිවීමෙහි භාවිත ව්‍යාකරණය ලේඛන ව්‍යාකරණය යනුවෙන් ද හැඳින්වේ.

පැරණි ගත්වහර හඳුනා ගැනීමෙහි ලා උපස්ථම්භක වෙන කෘති තිබේ. ගුරුළුගෝමීන් විසින් ලියන ලද අමාවතුර ද, විද්‍යා චක්‍රවර්තීන් විසින් ලියන ලද බුත්සරණ ද ධර්මසේන හිමියන් විසින් ලියන ලද සද්ධර්ම රත්නාවලිය ද පැරැණි ගත්වහර පිළිබඳ හොඳ මූලාශ්‍ර වේ. නූතන ගත්වහර නිර්මාණය කිරීමේ ලා පුරෝගාමී මෙහෙවරක් කළ අය අතරෙන් මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා කේ. ජයතිලක වැන්නෝ ප්‍රමුඛ වෙති. වික්‍රමසිංහයන්ගේ උපන්දා සිටත්, එදිරවීර සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයත්, කේ. ජයතිලකගේ සීගිරි ගී නිර්මාණ කෘතියත් මේ සඳහා උදාහරණ සේ ගත හැකිය. හෙළ හවුලට අයත් ලේඛකයන් අතළොස්සක් හැරෙන්නට සෙසු සියලු ලේඛක ලේඛිකාවන් ලියන්නේ නූතන ගත්වහරෙන් යැයි කිවහොත් කිසිවකු අමනාප නොවනු ඇත.

මෙවර සිළුමිණ වාදයට අපි ඒ පිළිබඳ කතා කරන්නට සිතුවේ එබැවිනි. ගත්වහර හා කටවහර ගැනත් භාවිතයේදී සිදුවෙන ගැටලු ගැනත් මෙවර සිළුමිණ වාදයට සම්මුඛ වෙන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක සහ මහාචාර්ය අශෝක ප්‍රේමරත්න ය. මහාචාර්ය ජේ. බී. දිසානායක භාෂාව හා ජනශ්‍රැතික ප්‍රවේශ සම්බන්ධයෙන් විචාරාත්මක මැදිහත් වීමක් දැරූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පොබැයූ මහාචාර්යවරයෙකි. මහාචාර්ය අශෝක ප්‍රේමරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා හා භාෂා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතිවරයාය. ඔහු වාග් විද්‍යාව සම්බන්ධ ව බොහෝ ප්‍රාමාණික මෙහෙවරක් කළ හා දැනටත් කරමින් සිටින පරපුරක් බිහි කළ විද්වතෙකි.

සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක ගත්වහර හා කටවහර පිළිබඳ කෙටි විමර්ශනයක යෙදෙමින් මෙසේ සංවාදය හා එක්විණි.

“ලෝකයේ හැම ජාතියකටම භාෂාවක් තියෙනවා. පටන් ගත්තේ කතා කිරීමෙන්. ලෝකයේ අද වුණත් හැම ජාතියකටම කතා කරන්න පුළුවන්. පස්සෙ අක්ෂර හා ලේඛන හොයා ගත්තට පස්සේ ලේඛනය ආවා. අපේ සිරිතක් තියෙනවා, අපි ගමනක් යනකොට ඒකට ගැළපෙන ඇඳුමක් හදා ගන්නවා. අපි මඟුල් ගෙදරකට යන්නෙ එක විදියටකට, මළ ගෙදරක යන්නෙ එක විදියකට. පොළට යන්නෙ තවත් විදියටකට. ඒ ඒ ගමන් යන්නෙ ඒ ඒ විදියට. අපේ හැම වැඩකටම ඒකට ගැළපෙන ඇඳුම් කට්ටලයක් තියෙනවා. භාෂාවත් එහෙමයි. භාෂා කට්ටල් ගණනාවක් තියෙනවා ඒ ඒ වැඩවලට. පන්සලට ගියාම කතා කරන්න, දේශනයක් කරන්න, ගෙදරදි කතා කරන්න ආදී වශයෙන්. ඒවා ප්‍රධාන කොටස් දෙකකට අයිතියි. ඒ කටවහර සහ ගත්වහර නමින්”

ඒ ගැන සිය අදහස ඉදිරිපත් කරන මහාචාර්ය අශෝක ප්‍රේමරත්න පවසන්නේ මෙවැන්නකි.

“භාෂාව ඉදිරිපත් වෙන මාධ්‍යය ගැන කතා කළ යුතුයි. මේ සඳහා දෙන්න පුළුවන් පොදු නිර්වචනය මෙහෙමයි. කටවහර කිව්වම අපි කතා කරන්න භාවිත කරන භාෂා ව්‍යවහාරය. ගත්වහර කිව්වම ලිවීම සඳහා පාවිච්චි කරන භාෂා ව්‍යවහාරය. මේ දෙක ගැන කතා කරන්න කලින් අපි දැන ගන්න ඕන භාෂාව ඉදිරිපත් වෙන ආකාරය ගැන. බොහෝ වෙලාවට භාෂාව ඉදිරිපත් වෙන ආකාරයයි, බස්වහර හා කටවහරයි ව්‍යාකූල කර ගන්නවා. පැහැදිලිව තේරුම් නොගැනීම නිසා ගැටලු ඇති වෙනවා.

ඕනෑම භාෂාවක් මාධ්‍ය තුනකින් ඉදිරිපත් වෙනවා. එකක් ශබ්ද මාධ්‍ය. ඒ කියන්නේ කතා කරන ශබ්දවලින් කෙරෙන සන්නිවේදනය. අනෙක් එක ලේඛන මාධ්‍යය. ඒ කියන්නෙ අපි යම් යම් සංකේත භාවිත කරනවා. ඒවට කියන්නෙ අකුරු කියලා. ඊළඟට තව එකක් තියෙනවා සංඥා මාධ්‍ය. කතා කරන්න නොහැකි, ලේඛනය නොහැකි අය භාවිත කරන මාධ්‍යය තමයි සංඥා මාධ්‍ය කියන්නෙ”

ගත්වහර හා කටවහර සම්බන්ධයෙන් කතා කරද්දී එකකට එකක් වඩාත් වැදගත් යැයි නිර්ණායක ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව මහාචාර්ය ජේ. බී. පවසයි.

“එහෙම කියන්න බෑ. පන්සලට ගිහින් අපි කියන්නෙ නෑනෙ වතුරවලින් අත සෝදනවා කියලා. අපි කියන්නෙ පැන්වලින් අත් දෝවනය කර ගන්නවා කියලා. ඒ වගේම ගෙදර ඇවිත් අපි අම්මට කියන්නෙත් නෑනෙ ටැප් එකේ වතුරෙන් අත් දෝවනය කරනවා කියලා. එකම වැඩේ වුණාට කරන්නෙ දෙවිදියකට.

ලෝකයේ හැම වහරකටම ගත්වහරක් නෑ. අප්‍රිකාවෙ ගොඩක් දූපත් තියෙනවා, හොඳට කතා කරන්න පුළුවන්. නමුත් අකුරක්වත් ලියන්න බෑ. වාසනාවට අපිට මේ දෙකම තියෙනවා. ඒ නිසා වඩා හොඳ එක ගැන ප්‍රශ්නයක් නෑ. ඒක සිදු වෙන්නෙ වැඩේ අනුවයි. ගත්වහර ද හරි, කටවහර ද හරි කියන එක එන්නේ ඒ කරන වැඩේ අනුවයි”

කටවහර හෝ ගත්වහර සම්බන්ධයෙන් පවතින සමහර දුර්මත පිළිබඳ සිය අවධානය යොමු කරන මහාචාර්ය අශෝක පවසන්නේ මෙය මාධ්‍ය දෙකක් බවත්, කතා කරන හැම දෙයක්ම ලේඛනයෙන් ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් ය.

‘ශබ්ද මාධ්‍යයෙන් ඉදිරිපත් වෙන භාෂා මාධ්‍ය තමයි කටවහර. ලේඛන මඟින් ඉදිරිපත් වෙන භාෂා මාධ්‍යයට කියනවා ගත්වහර කියලා. කතා කරන භාෂා ව්‍යවහාරය කතාවට පමණක් සීමා වෙන්න ඕන; ඒක ලේඛනයට භාවිත වීම වැරදියි, ලේඛනයට වෙනම භාෂා ව්‍යවහාරයක් තියෙන්න ඕන කියලා සමහරු හිතනවා. මේ දුර්මතයක්. ඒ කියන්නෙ එක මාධ්‍යයකින් ඉදිරිපත් කරන දෙයක් තව මාධ්‍යයකට මාරු කරන්න පුළුවන්. ඒ සඳහාම පාවිච්චි වෙන වෙනම භාෂා ව්‍යාවහාරයක් නෑ. උදාහරණයක් විදියට අපි මේ කතා කරන දේවල් කතා කරන්නෙ සම්මත භාෂා ව්‍යවහාරයෙන්. නමුත් මේක ලිපියක් හැටියට සකස් කරලා ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට මේ කතා කරන භාෂා ස්වරූපය වෙනත් ආකාරයකට හරවන්න ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කරද්දි අවශ්‍යතාවක් මතු වෙන්නෙ නෑ. අපේ සම්මත ලේඛන ව්‍යවහාරයෙන් විතරයි අපි මේ කතා කරන දේවල් ලියන්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒක වැරදියි. කතා කරන එක කතා කරන විදියටම ලේඛනයටත් ගන්න පුළුවන්”

ඒ පිළිබඳ ප්‍රායෝගික උදාහරණ ද ඉදිරිපත් කරන මහාචාර්ය අශෝක අපි කතා කරන එක ඒ විදියටම ලිවීම නම් කළ නොහැක්කක් බැව් පවසන්නේ සනිදර්ශිතව ය.

හැබැයි කතා කරන හැම දෙයක්ම ලේඛනයෙන් ඉදිරිපත් කරන්න බෑ. කතා කරන භාෂාවේදි අපි භාවිත කරන යම් යම් උපක්‍රම ලේඛනයේදී ඒ විදියටම භාවිත කරන්න බෑ. අනික් එක කතා කරන විදියටම ලියන්න ගියොත් ඒක කියවන කෙනාට සමහර විට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මහාචාර්ය සුරවීර තමන්ගෙ කෙටිකතා, නවකතා ලියන එක්තරා කාලයකදී එයා මහන්සි ගත්තා අපි කතා කරන විදියටම සංවාද ලියන්න. ඒ කියන්නෙ උදාහරණයක් විදියට ඔව්... ඔව්... කියන එක ගන්නකො. මේක අපට ඇහෙන්නෙ ඔව්... වොව් කියල නෙ. නමුත් අපි ලියද්දි ඔව්... ඔව්... කියල නෙ ලියන්නෙ. මාත් එක්ක කියන කොට අපිට කතා කරද්දි සන්ධි වෙලා මාත්තෙක්ක කියලා තමයි කියැවෙන්නෙ. හැබැයි අපි ලියද්දි ‘මාත් එක්ක‘ කියලයි ලියන්නෙ.

තව එකක් තමයි භාෂණයේදී අපි උච්චාරණ ධ්වනි පාවිච්චි කරනවා. ‘නෑ ‘කියලා කියලා අපි සංකේතයක්නෙ පාවිච්චි කරන්නෙ. හැබැයි උච්චාරණ විදියෙදි ‘නෑ ‘ කිව්වම විවිධ අරුත් ගැන්වෙන්න පුළුවන්, එය භාවිත කරන කාරණය අනුව. එතකොට නිශේධානාර්ථයම නොවෙයි, හඬ භාවිතයේ වෙනස්කම අනුව අර්ථය වෙනස් වෙනවා.

අපි කතා කරන දේවල් ඒ ආකාරයෙන්ම ලියන්න බෑ.

කටවහර භාවිතය නිසා ගත්වහරට යම් විනාශයක් වනු ඇතැයි භාෂා ප්‍රේමීන් දක්වන තර්කය ගැන සිය මතවාදය ඉදිරිපත් කරන මහාචාර්ය ජේ. බී. භාෂාව නොදන්නාකම නිසා මෙවැනි දෑ සිදුවෙන බව අවධාරණය කරයි.

‘ඒ භාෂාව භාවිතය නොදන්නාකම. එහෙම කියන අයට භාෂාව ගැන මෙලෝ අවබෝධයක් නෑ. සමහරු හිතන්නෙ ගත්වහරට ව්‍යාකරණයක් තියෙනවා, කටවහරට ව්‍යාකරණයක් නෑ කියලා. කටවහරට තමයි වැඩියෙන් ව්‍යාකරණයක් තියෙන්නෙ. ඇත්තටම ගත්වහරට වඩා කටවහර අමාරුයි.

උදාහරණයක් ගන්න. අපේ ගෙදර බල්ලො ඉන්නවා, අපේ ගෙදර බල්ලො නෑ. අපේ ගෙදර බල්ලො නැත්තෙ නෑ, අපේ ගෙදර බල්ලො ඉන්නෙ නෑ. කොහොමද කියන්න ඒක. සමහරුන්ගේ භාෂා අදහස් සියවස් ගාණක් පරණයි. දියවඩන නිලමේ තමන්ගේ නිලමේ ඇඳුම අඳින්නෙ පෙරහරට විතරයි. ගෙදර නෝනා හම්බු වෙද්දි නිලමෙ ඇඳුම ඇදන් යන්නේ නෑ”

ඒ ගැටලුවටම පිළිතුරු සම්පාදනය කරමින් මහාචාර්ය අශෝක පවසන්නේ කටවහර නිර්මාණයේදී යොදන්නේ යම් කිසි සංස්කරණයකට ලක් කිරීමෙන් අනතුරුව බවයි.

“කටවහර ලේඛනයට යොදද්දි අපි ඒ ආකාරයෙන්ම ඒක යොදන්නෙ නෑ. යම් ක්‍රමයකට ඒක සංස්කරණය කරලයි යොදන්නෙ. උදාහරණයක් විදියට නවකතාවක සංවාද අරන් බැලුවොත් ඒ සංවාද ඇත්තටම අපි කතා කරන විදියටම නොවෙයි තියෙන්නෙ. සමහර විට කතා කරන භාෂාවේ වචන තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඉවසිල්ලෙන් ඇහුම්කන් දුන්නොත් අපිට පේනවා ඒ ලියලා තියෙන දේ ඒ විදියටම උච්චාරණය කරන්නෙ නෑ කියලා. මහාචාර්ය ලේඛන සුරවීරගේ උත්සාහය ගැන මම කිව්වෙත් ඒකයි.

නිර්මාණකරණයේදී නිර්මාණකරණයට අවශ්‍ය විදියට බස සංවිධානය කර ගන්න ඕන. කටවහර භාවිත කරන්න කිසිම බාධාවක් නෑ. ඒක අපිට යොදා ගන්න පුළුවන්. හැබැයි අපි නවකතාවක, කෙටිකතාවක හෝ කිසියම් නිර්මාණයක සංවාද ලිව්වත් ඒක අපි යම් කිසි ආකාරයකට සංස්කරණය කරලයි ලියන්නෙ. සමහර විට ලේඛකයා ඒක කරන්නෙ අවිඥානිකව”

මහාචාර්ය ජේ. බී. දිසානායක නිර්මාණකරණයට උචිත බස්වහර පිළිබඳ පවසන්නේ ප්‍රායෝගික විවරණයකි.

“ඒකත් නිර්මාණය අනුව තීරණය වෙන්නක්. නාට්‍යයක් නිර්මාණය කරනවාද; නවකතාවක් ලියනවාද මේ නිර්මාණකරණය අනුවයි ඒකත් සිද්ධ වෙන්නෙ. කවියක් කියනවා නියරේ යන ගමන් මෙහෙම,

ඇල්ලෙ වල් නෙළන කොණ්ඩ මල් බිසවුනේ 
තොප දිහා බලා බලා මට මෙතන රෑ වුණේ 
අපෙ ගමට යන පාර තව ටිකෙන් නොම පෙනේ 
මාත් එක්ක යන්ට වර කොණ්ඩමල් බිසවුනේ

ඔය තියෙන්නෙ ලස්සනට කටවහරෙන් ඒ කාන්තාව ගැන කියලා. මේක වෙන වචනවලින් කිව්වා නම් ඒ කාන්තාවත් හිතාවි මේ මොනවද මේ කියවන්නෙ කියලා”

ඒ පිළිබඳ සිය අවධානය යොමු කරමින් මහාචාර්ය අශෝක පවසන්නේ භාෂා භාවිතයේ නිපුණත්වය දරන්නෙක් නම් නිර්මාණකරුවාට තමා භාවිත බස කුමක් වුව ද එහි ගැටලු පැන නොනඟින බවකි.

“නිර්මාපකයා තමයි මේක දන්නෙ. හැබැයි ඔහු භාෂාව ගැන දැනගෙන තියෙන්න ඕන. භාෂා භාවිතය කොයි ආකාරයෙන්ද විධිමත්ව පාවිච්චි කරන්නෙ කියන එක ගැන දැනුමක් තියෙන්න ඕන. එතකොට කටවහර නිර්මාණකරණයට භාවිත කිරීම පිළිබඳ ගැටලුවක් මතු වෙන්නෙ නෑ”

සාමාන්‍යයෙන් නිර්මාණකරුවන්ට අවැසි ඕනෑම විදියකට ලිවීම නිසා භාෂාවට යම් හානියක් සිදු වන්නේ නම් එය විය හැකි ක්‍රමවේද පිළිබඳ මහාචාර්ය ජේ. බී. පවසන්නේ මෙවැන්නකි.

“ඒක නිර්මාණයේ ස්වභාවය අනුව තීරණය වෙන දෙයක්. අපි කෝට් එකක් ඇඳලා සෙරෙප්පු දාන්නෙ නෑනෙ. පන්සලට යද්දි මොන සෙරෙප්පුවක්වත් දාන්නෙ නෑ. සපත්තු දානවද, සෙරෙප්පු දානවද, මොනවත් නොදා යනවද කියලා තෝර ගන්න ඕන ඇඳුම අනුව. භාෂාවත් ඒ වගේ. කටවහරයි ගත්වහරයි කියන්නෙ වැඩ කිහිපයක් ගන්න දෙයක්”

කටවහරේ ව්‍යාකරණය ගැන පිළිතුරක් සම්පාදනය කරන මහාචාර්ය අශෝක ප්‍රේමරත්න ව්‍යාකරණයේ පුළුල් බව බොහෝ දෙනකුට ආගන්තුක බව පවසයි.

“ව්‍යාකරණය ගැන බොහෝ දෙනා දන්නෙ ලේඛනය සඳහා තියෙන නීති පද්ධතිය විදියට. එතැනින් එහාට ව්‍යාකරණයක් නෑ කියලා තමයි කියන්නේ. සම්මත ලේඛන ව්‍යවහාරයේ තියෙන නීති මාලාවට තමයි ඔවුන් ව්‍යාකරණය කියන්නෙ. ව්‍යාකරණය කියන සංකල්පය ඊට වඩා පුළුල් එකක්. ව්‍යාකරණය කියන්නෙ අපි කතා කරන කොට හරි, ලියන කොට හරි සංඥා භාෂාවෙන් හරි එක්තරා සම්මතයක් අනුගමනය කිරීම. සම්මත නීති මාලාවක් ඕනෑම භාෂා ව්‍යවහාරයක තියෙනවා. ඒක ලේඛනයට විතරක් සීමා වුණු එකක් නොවෙයි. පොඩි උදාහරණයක් ගන්න. අපි යම් කිසි ක්‍රියා පදයක් නිශේධ කරද්දි ‘නො‘ කියන විශේෂණ පදය පාවිච්චි කරනවා. මම යමි..... මම නොයමි, මම කරමි..., මම නොකරමි... ආදී වශයෙන්. දැන් මේ කරමි නොකරමි කියන ලේඛන ව්‍යවහාරයේ තියෙන වචන අපි කටවහරේදී භාවිත කරන්නෙ කොහොමද? කතා ව්‍යවහාරයෙදි නොයමි කියන්නෙ නෑනෙ. අපි කියන්නෙ යන්නෙ නෑ කියලා. මෙතන ව්‍යාකරණයක් තියෙනවා. මේක විශ්ලේෂණය කරලා බැලුවොත් පේනවා මෙතන තියෙන නීතිය. ඒ තමයි නිශේධනාර්ථය එකතු වෙන්නෙ මුලට, අගට නොවෙයි. ලේඛනයේදී මුලට එකතු වෙනවා, කටවහරෙදි අගට එකතු වෙනවා. ක්‍රියාවේ රූපය වෙනස් වෙනවා. කරනවා කියද්දි තියෙන්නේ ‘කර‘ කියන ධාතුවට තමයි ‘න‘ එකතු වෙන්නෙ. ඒකට කියන්නෙ වර්තමාන කෘදන්තයක් කියලා. මේ වර්තමාන කෘදන්තයෙන් හැදෙන වචනයක් තියෙනවා කරන්නේ කියලා. බලන- බලන්නේ, කරන- කරන්නේ, යන්න- යන්නේ ආදී වශයෙන්. නෑ කියන එක එකතු වෙන්නෙ ඒ වචනයට. දැන් මෙතන නීති දෙකක් තියෙනවා. එකක් ක්‍රියා රූපය වෙනස් කරන්න ඕන. අනික ‘නෑ‘ කියන නිපාතය ඊට පස්සෙ යොදන්න ඕන. අපට අවධාරණය කරන්න ඕන වුණොත් ‘නෑ‘ කියන එක මුලට ගන්න පුළුවන්. නෑ මම යන්නෙ නෑ... වගේ. ඒ නැතිව සාමාන්‍ය කතා බහේදී අපි අර නීතිය අනුගමනය කරනවා. මේක මේ උදාහරණයට විතරක් සීමා වුණු එකක් නොවෙයි. සමස්ත භාෂණයම විශ්ලේෂණය කරලා බැලුවොත් ඔය විදියේ නීති රාශියක් අපට පෙන්වන්න පුළුවන්”

ඒ පිළිබඳ මහාචාර්ය ජේ. බී. දක්වන්නේ ද මහාචාර්ය අශෝක දරන මතයට සමානුපාතී අදහසකි.

“ව්‍යාකරණය කියන්නෙ යමක් ලියන රටාව. මම කියනවා ‘මම යනවා‘, ‘මම යන්නෙ නෑ‘, මම ඒක ලියන්නෙ, මම යමි, මම නොයමි කියලා නෙ. අපි ගෙදර ගිහින් කියනවද ‘මම හෙට වැඩට නොයමි‘ කියලා. නෑනෙ. අපි කියන්නෙ මම හෙට වැඩට යන්නෙ නෑ කියලා. මේක දෙකක්. දන්නෙ නැතිව මේවා කතා කරන්න හොඳ නෑ. බස ගැන අවබෝධයක් නෑ. බස විග්‍රහ කරන්නෙ විද්‍යානුකූලව. ඒ අය එහෙම කරන්නෙ නෑ. පරණ පොත්වල තියෙන ඒවා හැමදාම කියනවා මිසක් සමහරු මෑත කාලෙදි බස ගැන මුකුත් හොයලා, අධ්‍යයනය කරලා නෑ. ඒ නිසා ඒ අය කියන කතා අහලා වැඩක් නෑ‘

භාෂා ප්‍රේමීන් හා සංවිධාන විසින් නිරන්තරයෙන් මතු කරනු ලබන කරුණක් වෙන ලේඛනයේ පමණක්ද විධිමත් ව්‍යාකරණයක් පවතින බව යන කරුණ පිළිබඳ මහාචාර්ය ජේ. බී.ගේ අදහස මෙවැන්නකි.

“මේවා නොදන්නාකම නිසා ඇතිවෙන ගැටලු. ‘ පරණ ව්‍යාකරණය ගුරු කරගන්න අය හිතාගෙන ඉන්නෙ එක ව්‍යාකරණ විධියයි තියෙන්නෙ කියලා. ලේඛන ව්‍යවහාරය මිසක් කොහේදෝ තියෙන කටවහරක් මේකට ගේන්න එපා කියලයි ඔවුන් කියන්නෙ. ඔවුන්ට අනුව කටවහර කියලා හඳුන්වන්නේ මේ මෝඩ යක්කු ව්‍යවහාර කරන වහරක්. ලෝකෙ කොහෙවත් එහෙම කියන්නෙ නෑ. කටවහර නූගතුන්ගෙ ව්‍යවහාරයක් කියලා සිතීම හොඳ නැහැ. ඒ ස්ථාවරය වැරදියි. ලේඛන ව්‍යවහාරය වගේම කටවහරත් එක වගේම වටිනවා. මේ දෙක වැඩ දෙකකට ගන්නෙ. මම පොතක් ලියද්දි ලේඛන ව්‍යවහාරය ගන්නවා. කතා කරද්දි මම කටවහර යොදා ගන්නවා. මම මේ දෙක මාරු කර ගන්නෙ නෑ. ලියන විදියට කතා කරන්නෙත් නෑ; කතා කරන විදියට ලියන්නෙත් නෑ”

සිංහල භාෂාවේ භාෂණ ව්‍යාකරණය හා ලේඛන ව්‍යාකරණය අතර ලොකු පරතරයක් ඇති බව පවසන මහාචාර්ය අශෝක අපට කටවහරේ ව්‍යාකරණය අමතක වීමට බලපෑම් කළ හේතු සාධක පිළිබඳ යම් මතක් කිරීමක් කරයි.

“සිංහල භාෂාවේ භාෂණ ව්‍යාකරණය හා ලේඛන ව්‍යාකරණය අතර ලොකු පරතරයක් තියෙනවා. අපිට කතා කරන නීති මාලාවක් තියෙනවා කියලා අමතක වෙනවා. ඒ අපි කතා කරන භාෂාව ඉගෙන ගන්නෙ පාසල් ගිහින් නොවන නිසා. අපි පුංචි කාලෙ ඉඳල මේක ඉගෙන ගන්නෙ භාවිතයෙන්. ඒ නිසා නිරායාසයෙන් එකී ව්‍යාකරණ නීතිවලට අනුකූල වෙලා තමයි කටින් එළියට එන්නෙ. ඉතින් ඒක නිසා අපට හිතෙන්නෙ නෑ, ව්‍යාකරණයක් මේකෙ තියෙනවා කියලා. පැහැදිලි කරද්දි, විග්‍රහ කරද්දි තමයි තේරෙන්න පටන් ගන්නෙ”

නූතන වාග් විද්‍යාව විශ්වවිද්‍යාල විෂයක් බවට පත් කරන්නට මූලික වූ මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා වාග් විද්‍යාව කොටස් තුනක් යටතේ වර්ග කළේය. ඒ ඓතිහාසික වාග් විද්‍යාව, තුලනාත්මක වාග් විද්‍යාව හා නූතන වාග් විද්‍යාව වශයෙනි. හෙළ හවුලේ ක්‍රියාකාරීන් මේ කොටස් තුනෙන් වැඩි අවධානය යොමු කරන්නේ නූතන වාග් විද්‍යාව ඔස්සේ ලේඛන ව්‍යවහාරයට වන බලපෑම් සම්බන්ධයෙනි. එහෙත් මේ සියල්ලම සමාන කොටස් බව නූතන වාග් විද්‍යාඥයන්ගේ මතයයි.

Comments