
සංවේදී හදවතක් සහ හොඳ පෞරුෂයක් හිමි ඔබ ප්‍රියමනාප අයෙක්
ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමුවෙන් ඔබගේ නමට අයත් ප්‍රකාශන අංකය සොයා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා මුලින්ම ඔබ භාවිත කරන නම ඉංග්‍රීසියෙන් ලියාගන්න. ඉන්පසු පහත සටහනේ ඇති ආකාරයට ඔබගේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට අයත් ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් වන ලෙස එකතු කරගත යුතුය. මෙහි සඳහන් ඉංග්‍රීසි අංක සටහනේ දැක්වෙන්නේ ඒ ඒ ඉංග්‍රීසි අකුරුවලට අදාළ වන ඉලක්කම් සටහනයි. ඒ අනුව ඔබේ නමට අයත් අංකවලට අදාළ ඉලක්කම් සොයා ගන්න. ඒ ආකාරයට ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන පරිදි එකතු කරගැනීමෙන් පසු අවසානයේ ලැබෙන ඉලක්කම 2 නම් ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය අංක 2යි.
නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය අංක 2 නම් ඔබ නිදහසේ සාමකාමීව කාටත් කරදරයක් නැතිව ජීවත් වීම එකම අරමුණ බවට පත්කර ගත් පුද්ගලයෙකි. ක්‍රම ක්‍රමයෙන් තම හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කරගන්නා ඔබ ජයග්‍රහණයේ හිණිපෙත්තට ගමන් කිරීමට සමත් වෙයි. එමෙන්ම තමන්ගේ පෞද්ගලිකත්වය සහ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ද ඔබ උනන්දු වෙයි. සමාජය තුළ ඉතාමත් කැපී පෙනෙන චරිතයක් ඇති ඔබ තමන්ගේ දක්ෂතා මඟින් උපක්‍රමශීලීව කටයුතු කරමින් සාර්ථකත්වය ඇති කරගතයුතු අයෙකි.
සමාජයේ කා සමඟත් ඉතා ප්‍රියමනාප ලෙස කටයුතු කරන ඔබ අන්‍යයන් අතර ප්‍රකට වෙයි. සෙසු අයගේ හැඟීම් සහ අවශ්‍යතා හොඳින් තේරුම් ගැනීමේ විශේෂ හැකියාවක් ඔබට ඇත. එමෙන්ම සංවේදී හදවතක් මෙන්ම හොඳ පෞරුෂයක් ද ඔබට උරුම වෙයි. ඔබ ඕනෑම අයකුට ඕනෑම වෙලාවක අවශ්‍ය උදවු උපකාර කරයි. හොඳ දරාගැනීමේ ශක්තියක් ඇති ඔබ විවෘත මනසකින් කටයුතු කරයි.
තම සහකරුවාගේ ඕනෑ එපාකම් සහ අවශ්‍යතාවයන් හොඳින් තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ඔබ ආදරයේදී ඉතා හොඳ ප්‍රේමවන්තයෙකි. තම දරුවන් වෙනුවෙන් සහ තමාගේ සහකරුවා වෙනුවෙන් අවශ්‍ය යුතුකම් නොපිරිහෙළා ඉෂ්ට කරයි. ඉතා සංවේදී හදවතක් ඇති ඔබ ඉක්මනින් කම්පා වීමේ ස්වභාවයෙන් ද යුක්ත වෙයි.
නිර්මාණාත්මක මෙන්ම කලාත්මක හැකියාවන් ද ඔබට සහජයෙන් උරුම වී ඇත. හොඳ රසවින්දන හැකියාවක් ඇති අයෙකි. අන් අයට හොඳින් සවන් දෙන ස්වභාවයක් ඔබ තුළ ඇත. ඉක්මනින් කේන්ති ගන්නවා සේම ඉක්මනින් එය නිවා ගනියි. අන් අයට අවවාද උපදෙස් මෙන්ම දැනමුතුකම් දීමට ද ඔබ ඉතා දක්ෂ වෙයි. හිතාමතා කාගේ හෝ සිත් රිදවීමක් නොකරයි. දහසකුත් ප්‍රශ්න තිබුණත් ඒ සියල්ල විඳ දරාගෙන කාටත් කරදරයක් නොවී සතුටින් ජීවත් වීම ඔබගේ ස්වභාවයයි.
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය