
මම දැන් පොඩිත්තන්ගේ ආදරයට මැදි වෙලා ඉන්නෙ / කලාවට සම්බන්ධ වූ දා ඉඳලම මම ආදරය විඳිනවා
වසර ගණනාවක් තිස්සේ දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතය ටෙලි නාට්‍යයේ ‘කළණ‘ කියන්නේ සල්ලිකාර පියකුගේ හිතුවක්කාර පුතෙක්. සති අන්තයේ විකාශය වන සැලෙනා නුවන් හි ‘දහම්‘ ඊට හාත්පසින්ම වෙනස් වගකීම් කරට ගත් තරුණයෙක්. මේ අන්ත දෙකම නියෝජනය කරන්නේ එකම තරුණයෙක්. රියැලිටි කලාවේ දායාදයක් වූ ඔහු ප්‍රමෝද් ගනේආරච්චිය.
හිතුවක්කාර තරුණයකු වූ කළණ හදිසියේම ගමට ගිහින් දහම් වුණ හැටි ඔහු අප සමඟ පැවසුවේ මෙසේයි.
“මං කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගන ශිල්පියෙක් විදිහට නම් නෙවෙයි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි වැඩසටහනේ ගායකයෙක් විදිහට. ඒ සීසන් 7 වල. හතර වැනි ස්ථානය දිනාගත්තා. ඊට පස්සෙ සංගීත ප්‍රසංග ආදි නොයෙක් සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ ඔස්සේ තමයි රංගන ශිල්පියෙක් වෙන්න මඟ හැදුණේ. රංගනයෙන් දායක වුණු මුල්ම නිර්මාණය වුණේ දිලූක ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයක් වුණු ‘සසල’ කියන කෙටි චිත්‍රපටය. ඊට පස්සේ ශර්මිලා ධර්මරාසා අධ්‍යක්ෂණය කළ ‘වසන්තය’ කියන අවුරුදු ටෙලි ෆිල්ම් එකට සම්බන්ධ වුණා. ඒක සති දෙකක් තිස්සේ යුටියුබ් එකේ ට්‍රෙන්ඩිං වුණා. මේ අත්දැකීම්වලින් පස්සේ තමයි මාව සංගීතය ටෙලි නාට්‍යයේ කළණට තෝර ගත්තේ. ඒක ලොකු අත්දැකීමක් වුණා. රංගනය ගැන හැදෑරීමක් කරල තිබුණෙ නැති වුණත් එහි අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රියන්ත අයිය වගේ ප්‍රවීණයෙක් වටා මගේ චරිතය ගැටීම මට ලොකු පන්නරයක් වුණා.
අවුරුදු ගණනාවක් තිස්සේ කළණ කියන චරිතය ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවා. සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාටත් නිර්දේශ වුණා. මං කළණට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා. කළණ කියන්නෙ දඩබ්බර, හිතුවක්කාර චරිතයක්. ඒ නිසා බොහෝ විට ප්‍රතිචාර ලැබෙන්නේ බැණලා. ඒත් ප්‍රේක්ෂකයන් හමුවුණාම කියන්නේ ඔයා ඒක හොඳට කරනවා කියලා. මං හරි කැමතියි ඒ ප්‍රතිචාරයට. ඒක තමයි මට ලැබුණු සම්මානය. චරිතයකට බණිනවා කියන්නේ ඒක සාර්ථකයි කියන එක. කළණට ඒ අන්තයෙන් ප්‍රතිචාර ලැබෙද්දි මේ දිනවල සති අන්තයේ විකාශය වන සැලෙනා නුවන් හි දහම්ට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක්. කළණට බණින කෙනාම දහම්ට ආදරය කරනවා. ඒක හරිම සෞම්‍ය ප්‍රතිචාරයක්. දිගු කාලයක් කළණ වෙලාම ඉඳලා දහම් වෙන එක මටත් ලොකු අභියෝගයක් වුණා. මට ඒ අභියෝගය ලබා දෙන්න මුල්වුණේ ඔසඳ සමන් බණ්ඩාර කියන සටන් අධ්‍යක්ෂවරයා. එය සිහිපත් කළ යුතුමයි.”
කළණ, දහම් චරිතවලින් රංගන ශිල්පියා ඉස්මතු වෙද්දි ප්‍රමෝද් ගනේආරච්චි කියන ගායකයා යටපත් වුණා ද? කියල ඇහුව ප්‍රශ්නයට ඔහුගෙන් ලැබුණේ මෙවන් පිළිතුරක්.
“ටීවී එකේ සතිය පුරාම දකින්න ලැබීම රංගන ශිල්පියෙකුට ප්‍රේක්ෂකයන් අතරට යන්න හොඳ අවස්ථාවක්. ගායකයා කියන භූමිකාව නිතර පේන්නෙ නෑ. රංගනය නිසා තවත් ලොකු ප්‍රේක්ෂක පිරිසක් මාව අඳුනගත්තා. ඒ කියන්නේ ප්‍රමෝද් ගනේආරච්චි කියන ගායකයාට තවත් ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණා. මේ ටෙලි නාට්‍ය දෙකේම ගායකයාටත් යම්කිසි ඉඩක් තියෙනවා. ඒ නිසා රංගන ශිල්පියාගෙන් ප්‍රමෝද් ගනේආරච්චි කියන ගායකයා තවත් ඔපවත් වුණා කියලයි මට නම් හිතෙන්නේ. ඉදිරියට ප්‍රමෝද් කියන ගායකයා වඩාත් ඉස්මතු වේවි. මොකද මේ දවස්වල මගේම කියලා ගීත ඇල්බමයක් නිකුත් කරන්න සූදානම් වෙමින් ඉන්නේ. දැනට ගීත හතරක් කරලා ඉවරයි. මේ ඔක්කොම කෙරෙන්නේ මගේ ‘Wave Park‘ කියන ස්ටුඩියෝ එකේ. මායි මගේ යාළුවෙකුයි තමයි ඒක කරගෙන යන්නේ. ඒවගේම Star In Live In Concert මාලාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා. පළමු එක පසුගිය 29 වැනිදා මීගමුවෙන් ආරම්භ කළා. මේක dplus events සහ සාරංග මෙන්ඩිස්ගේ වැඩක්. ඒකත් එක්ක රට පුරා යෑමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී විදෙස් සංචාරයනුත් ලැබේවි. නළුවාට වඩා ගායකයා ඉස්මතු වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා.”
ප්‍රේමවන්තයාගෙන් ලෙසින් එක් සීමාවකට කොටු නොවී වෙනස් චරිත ඔස්සේ යමින් චරිතාංග නළුවෙක් වීම යි ප්‍රමෝද්ගේ හීනය.
“ඒ ඒ චරිත තුළ ජීවත්වෙමින් ඒවාට සාධාරණයක් ඉටු කරමින් රංගන ශිල්පියා කියන කැරැක්ටර් එක ගුණාත්මකව කරගෙන යන්නයි මට ඕන. ප්‍රේමවන්තයාටම කොටු නොවී සමාජයේ වෙසෙන විවිධ චරිත නිරූපණය කර චරිතාංග නළුවෙක් වෙන්නයි මට ඕන.”
ප්‍රමෝද් කියන්නෙ අද දවසේ දී තරුණියන්ගේ සිහින කුමරෙක්. ඒ නිසා ඔහුගෙන් ආදරය ගැන අහන්නත් අමතක කළේ නැහැ.
“ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. අනිත් හැමෝම වගේ මමත් ඒ ආදරය විඳිනවා. කලාවට සම්බන්ධ වූ දා ඉඳලම මං බොහෝ සේ ආදරය විඳිනවා. මේ දවස්වල විකාශනය වන ලිට්ල් ටයිට්න් වැඩසටහන නිසා දැන් මම පොඩිත්තන්ගේ ආදරයටත් මැදි වෙලා ඉන්නෙ.”